කොරෝනා කාලේ ඔන්ලයින් විවාහේ | සිළුමිණ

කොරෝනා කාලේ ඔන්ලයින් විවාහේ

මේ වකවානුව පුරාම අපට අසන්නට ලැබුණේ ලෝකයේ නරකම උවදුරු හමුවේ වුවද ජීවිතයේ සොඳුරුම අවස්ථා අහිමි කරගන්නට අකමැති වූ වෙනස් මිනිසුන් ජීවිතය අත්දකින්නට තෝරාගත් නිර්මාණශීලී ප්‍රවේශයන්ය. පසුගිය 20දා ඩුබායි හි KhaleejTimes වෙබ් අඩවිය තවත් එවැනි අපූරු පුවතක් වාර්තාකර තිබිණි. ඉන් කියැවුණේ සිය මංගල උත්සවය පිළිබඳ සියලු කටයුුතු සැලසුම් කළ පසු පැමිණි කොවිඩ් වසංගතය අභිමුව ලොක්ඩවුන්වූ ශ්‍රී ලාංකික යුවලක් රටවල් දෙකක සිට චිරාගත සම්ප්‍රදාය සංකේතවත් කරමින් තමන් සැලසුම් කළ ආකාරයට සිය මංගල උත්සවය පැවැත්වූ නිර්මාණාත්මක ආකාරයයි.

ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය දිනාගත් මේ මංගල්‍යයේ ශ්‍රී ලාංකික මනාලිය නදීකාය. මනමාලය ගයාන්ය. ඩුබායි හි රැකියාවේ නිරත මේ යුවල ලංකාවේ සිදුවන විවාහ මංගලෝත්සවයෙන් පසු ඩුබායි හි පදිංචි වීමට සැලසුම් කර සිටියහ. ඔවුහු ඒ මංගල උත්සවය වෙනුවෙන් දින නියම කරගෙන ඉතාම විචිත්‍ර උත්සවයක් සංවිධානය කිරීමට සූදානම් වී උන්හ. කොවිඩ් වසංගතය ලෝකය පුරා පැතිර යන්නේ ඒ අතරය.

මේ වනවිට නදීකා සිටියේ ඩුබායිවලය. ගයාන් ලංකාවේය. රටවල් සිය දේශ සීමා වසා දමා තිබිණි. එය යථාවත් වන දින සම්බන්ධව අදහසක් කිසිවෙකුටත් නොවීය. ලෝකයේ සියලුම සම්ප්‍රදායික එක්වීම් වැළැක්විණි. පන්සලකට පල්ලියකට යෑමත් තහනම් විය. යථාර්ථයට අනුව මේ මංගල උත්සවය කුඩුපට්ටම් වන ලකුණු පහළ විය. සියලුම සෞඛ්‍ය ආරක්ෂණ නීති හා මගපෙන්විම් යටතේ වුවත් උත්සවය පැවැත්වීමට ඩුබායි හි සිටින නදීකා ලංකාවට පැමිණිය යුතු වූයේය. එහෙත් දෙරට අතර ගුවන් ගමන් නැවතී තිබිණි. උත්සවය සැලසුම් කර තිබුණේ ජුනි 10 දාටය. දෙදෙනා දෙතැනක සිටියත් මංගල උත්සවය සැලසුම් කළ ආකාරයටම කරන්නට නදීකාත් ගයානුත් තීන්දු කළහ. මල් සැරසිලි සූදානම් කෙරිණි. ආරධනා පත් අමුත්තන් වෙත යැවිණි. මංගල කේක් නිර්මාණය විය. මනාලිය වන නදීකා ඩුබායි සිටත්, මනමාලයා ගයාන් කොළඹ සිටත් මංගල උත්සවය වෙනුවන් වැඩ කළහ.

නියමිත දිනය උදා විය. කොළඹ මංගල උත්සවය ඇරඹිණි. නදීකා මනරම් මංගල ඇඳුමකින් සැරසුණාය. ඇය ඩුබායිවල සිට කොළඹ සිය මංගල්‍යයේ ඥාති පිරිස සමඟ සූම් ඇමතුමකින් එක් වූවාය. චිරාගත සම්ප්‍රදයානුකූල නැකැත් විදි අනුගමනය කරමින් විවාහය සංකේතාත්මකව නියමිත වෙලාවට සිදුවිය. සූම් ඇමතුම ඔස්සේ මනමාලිය කොළඹ පැමිණියාය. අන්තර්ජාලය ඔස්සේ අතඟිලි එක් විණි. අනතුරුව පැමිණ සිටි ඥාති මිත්‍රාදීන්ගේ ආශීර්වාදය මැද මංගලෝත්සවය නිමා විය. ඉන් පසු සම්ප්‍රදායානුකූලව නව මනාලිය සිය සැමියා වන ගයාන්ගේ ඩුබායිහි පිහිටි මහල් නිවාසය වෙත ගියාය.

“විවාහ මංගලෝත්සවයක් ලොකු හෝ කුඩා එක්ක වීම වැදගත් නැහැ. වැදගත් වන්නේ ඔබට ආදරය කරන පිරිස් ඒ වැනි මෙහොතක ඔබ සමඟ සිටීමයි. ඒ මොහොතේ අප සැබෑ ලෙසම සම්බන්ධ වුණා. මම හුදකලා වුණේ නෑ. මංගල දිනයේදි ඩුබායිහි මගේ නිවසට මගේ මිතුරු මිතුරියන් පිරිසක් පැමිණියා. මගේ මවුපියන්, ගයාන්, ගයාන්ගෙ මවුපියන්, පවුලේ ඥාතීන්, අන්තර්ජාලය හරහා සම්බන්ධ වුණා. අපි අපේ භාර අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කර ගත්තා. කැමරාව ඔස්සේ චාරිත්‍ර ඉටු වුණා. පසුව මගේ දෙමව්පියන් කොළඹ පිහිටි ඔවුන්ගේ ස්ථානයට ගියා. මම මගේ ජිවිත පොරොන්දුවත් සහිතව ගයාන්ගෙ බිරිය ලෙස ඔහුගේ මහල් නිවාසයට ගියා.“ නදීකා KhaleejTimes වෙත කියා තිබුණාය.

අනතුරුව දෙසතියක රැකියාවේ නිවාඩුවක් ගත් නදීකා ගයාන්ගේ මහල් නිවාසයේ පදිංචිව බිරියක් ලෙස සිය ගෘහ ජිවිතය ඇරඹුවාය.

“ ගයාන්ගෙ නිවස දැන් මම මගෙ ලෙස සකස් කරගනිමින් ඉන්නවා. පිරිසිදු කිරීම් කරන අතරම ඔහු වෙනුවෙන් රසට ආහාර සකස් කිරීමේ පරමාර්ථය සහිතව ඉවුම් පිහුම් අරඹා තිබෙනවා. එන ගුවන් ගමන් වාරවලින් කවරකින් හෝ ඉක්මනින් ඔහු ඩුබායිවලට එනකම් මම මග බලා‍ගෙන ඉන්නවා. අපි දෙන්නා ආගම් දෙකක. අපි මීට අවුරුදු 5කට පෙර ඩුබායි වලට ආවෙ. අපි වෙහෙස මහන්සි වී වැඩ කරන්නත්, විවාහ වී සතුටින් ජීවත් වෙන්නත්, විවාහය වෙනුවෙන් දෙමාපිය ආශීර්වාදය ලබා ගන්නත් කැපවුණා.“

නදීකා KhaleejTimes වෙත හැඟුම්බරව කියා තිබුණාය. ඔවුන් ඒ සම්ප්‍රදායික බාධක පමණක් නොව, ලෝකයේ බිහිසුණුම උවදුරුත් පරාජය කරමින් අපේක්ෂා සහිතව ජීවිත ගමන ආරම්භ කර සිටිති.

 

Comments