ඇසළ ගුරු මාරුවෙන් ලග්න රැසකට ජූලි මස සුබපල | Page 2 | සිළුමිණ

ඇසළ ගුරු මාරුවෙන් ලග්න රැසකට ජූලි මස සුබපල

රටට අභිවෘද්ධිය රැගෙන සුර ගුරු සිය ස්වක්ෂේත්‍ර බලය සහිත ධනු රාශියට පිවිසේ

මේෂ, සිංහ වෘශ්චික, ධනු, කුම්භ මීන යන ලග්නවලට සුබයි

වෘෂභ කටක කන්‍ය තුලා මකර යන ලග්නවලට අසුබයි 

මිථුන ලග්නයට මධ්‍යමයි

හිරුට පමණක් දෙවැනි වන ග්‍රහ මඩුල්ලේ විශාලතම ග්‍රහයා වන්නේ සුරගුරු හෙවත් බ්‍රහස්පතිය. 2020 මාර්තු 30 දින 3.55 සිට මකර රාශියේ නීචව ලොව උඩු යටිකුරු කළ ගුරු 2020 ජුනි 30 දින 5.21 ට තමා අධිපතිත්වය දරන ධනු රැසට සම්ප්‍රාප්තව රටට ලෝකයට සිය ස්වක්ෂේත්‍ර බලය පතුරුවයි. අනතුරුව 2020 නොවැම්බැර් 02 වන දින 13.23 තෙක් එහිම හැසිරෙමින් රට නව මගකට යොමු කිරීමට ගුරු සමත් වෙයි.

විශ්ව කේන්ද්‍රයේ 9 - 12 යන ස්ථානවල මෙන්ම බ්‍රහස්පති පුනාවස, විසා, පුවපුටුප නැකත්වලද අධිපතිත්වය දරයි. වාගීෂ - අන්ගීරස - ජීව - දේව ගුරු - ප්‍රශාන්ත - ඉප්ප - දෛවේශ වන්ද්‍ය - මන්ත්‍රී - ආර්ය සූරී - රිජ්‍ය වදන්පති - සුර ගුරු යන නම් වලින්  ද ගුරු හඳුන්වන බව දෛවඥ මුඛ මණ්ඩලයේ සඳහන් වේ. සෞම්‍ය ගති ඇති කහ පැහැති ලෝකෝත්තර ගති ඇති නුවණට අධිපති ගුරු බලවත් වූ විට ඉතා ප්‍රසන්න බව, ගුණගරුකත්වය, නීති ගරුක බව, සෘජු බව යන විශ්වීය ගති ලක්‍ෂණ කෙනෙකු තුළ විදහා දක්වයි.

දේශපාලනයට, ලේඛනයට, ඉගෙනීමට, ආගමික ඇදහීම්වලට ප්‍රමුඛත්වය දෙන ග්‍රහයා ද වන ගුරු බලවත් වූ විට තරබාරු බව දත් වල කැපී පෙනෙන විශේෂත්වයක් ඇති කිරීමට සමත් වනවා මෙන්ම මිහිරි කටහඬ, උදාරත්වය, විශ්වාසවන්ත භාවය ලබා දෙමින් ජන්මියාගේ දිවියට සහන සලසයි.

අනුන්ට උපකාර කරන, අනුන්ට ගෞරව කරන නිරෝගී බවින් හා තර්ක ශක්තියෙන් වාග් ශක්තියෙන් යුතු නිවැරදි පුද්ගලයින් බිහි කරන්නේද ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා විසිනි. කේන්ද්‍රයක යහපත් ස්ථානයක සමව, මිත්‍රව, උච්ච, ස්වක්ෂේත්‍රව සිටින කල කෙනකු බලයෙන් අනූනයකු කිරීම ද කිසියම් කේන්ද්‍රයක සතුරුව, නීචව හෝ පාප පීඩිතව සිටින විට එහි ප්‍රතිවරුද්ධ පැත්ත වන නිකරුණේ වියදම් කරවන, ලෙඩ රෝග ඇති කරවන, සිත දුර්වල කර ශාරීරික උපද්‍රව වලට නතු කරන අපිළිවෙළට යොමු කරමින් පුද්ගලයා නීච භාවයට පත් කරන්නේ ද ගුරු විසින්මය.

ඒ අනුව මෙතෙක් මකරයේ නීචව සිටි ගුරු පසුගිය තෙමසක කාලයක් පුරා සමාජයට, රටට, ලෝකයට කළ ව්‍යසනය අතිමහත්ය. වෙසෙසින්ම ගුරු නීච වූ කල වසංගත රෝග, පෙනහ`ඵ වල සෙම බැඳීම, ලේ දූෂ්‍ය වීම, උණ හා නහර ගත රෝග ඇති කරන ගුරු විසින් කොවිඩ් 19 වසංගත රෝගය ලොව පුරා පතුරුවා ලීමට කොතෙක් දායක වූ වාද යන්න දැන ගැනීමට වෙනත් ආදර්ශ අවශ්‍ය නැත.  රටේ පාලන බලය අඩාල කර වීමට, නීතිය අඩපණ කිරීමට, ආර්ථික මට්ටම පහළ දැමීමට, විරැකියාව ඇති කරන්නට ගුරු දැක්වූ දායකත්වය හේතු විය. 

පැවැති අදූර දර්ශී පාලනය නිමා කරමින් දුර දක්නා නුවණින් විවිධ සංවර්ධන උපාය මාර්ග ක්‍රියාවට නංවමින් ආරම්භ වූ නව දේශපාලන ගමන් මග අහුරුවාලමින් තෙමසක පමණ කාලයක් පොදු මහජනතාව නිවසට කොටු කර ඒ අයගේ මානසික මට්ටම පහත හෙළන්නට හේතු වූයේ  මෙසේ නීචව සිටි ගුරුගේ ක්‍රියා කලාපය නිසාමය. 

ඒ හැරෙන්නට බුද්ධිමතුන් නොමඟ යවන්නට මිනිසුන්ගේ සිත් සතන් පෙළන්නට සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ  පරිශ්‍රමයන් අසාර්ථක කරන්නට පවා හේතුවූ නීච ගුරුගේ බලපෑම ජුනි 30 න් අවසන් වේ.

ජූලි මාසයේ ඇරඹුමත් සමඟ මේ කොවිඩ් 19  වසංගතය ලොවෙන් මුළුමනින්ම පලවා හැරීමට සමත් සාර්ථක එන්නතක් පවා සොයා ගැනීමට පුළුවන් වේ. නුවණට, බලයට අධිපති ගුරු එතැන් සිට ශ්‍රී ලංකාව විවිධ ප්‍රබුද්ධ මිනිසුන්ගේ තෝතැන්නක් කරන්නට සමත් වන බව නිසැකය. එවිට නීතිය නිසි ලෙස ක්‍රීයාත්මක වීම නිදහසේ ආගම අදහන්නට නව නිර්මාණ වලට නිසි තැන ලැබීම, අධාර්මිකයන් පලවා හැරීමට හැකිවීම, පිට රටින් ගෙන්වන දෑ වෙනුවට ඒවා අප රට තුළම නිෂ්පාදනය කිරීමට කටයුතු සැලසීම, නව පාසල් පද්ධතියක් ස්ථාපිත වීම, රෝහල් ආශ්‍රිත යටිතල පහසුකම් වැඩි දියුණු වීම, සෞඛ්‍ය කටයුතු විධිමත්ව ක්‍රියාත්මක වීම, රැකියා ව්‍යාපාර නැංවීම, ආර්ථිකය ප්‍රවර්ධනය වීම ඇතුළු භෞතික සම්පත් වැඩි දියුණු වීම සිදුවනු ඇත.

මේ අයුරින් පොදු වේ සිදුවන යහපත්කම් හැරෙන්නට පුද්ගලයාගෙන් පුද්ගයාට හිමි ලග්න අනුව සිදු කරෙන බලපෑම් පිළිබඳව සලකා බලමු.

 

මේෂ ලග්නය

පැවැති ගැටලු රැසකට ස්ථීර විසඳුම්

මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ ගුරු 9 වැන්න වන පුණ්‍ය ස්ථානයට පැමිණීම පෙර පින් මතු කරන  දේපළ ඉඩකඩම් හිමි වන මෙකෙත් පැමිණි නීති ගැටලුවකට විසඳුම් ලැබීම නිසා සිතට සැනසීම උදා වේ. තවද දැනට අහිමිව තිබූ, අඩාල වී තිබූ රැකියා ව්‍යාපාර ගැටලු විසඳී නව ආර්ථීක රටාවකට පසුබිම වැටේ. අවිවාහක අයට විවාහ යෝජනා හා සම්බන්ධතා ද විවාහ ස්ථානයේ තිබූ ගැටලු විසඳීයාම ද  තම ගමන් මඟ නව මුහුණු වරකින් ක්‍රියාත්මක කිරීමට හැකිවීමට මෙන්ම, උද්යෝගීමත් බවින් කටයුතු කිරීමට හැකි වීම, ගමන් බිමන් වලදී උසස් මිතුරන් ලැබීම, ඒ අයගෙන් තම ජීවන ගමනට ශක්තියක් ලැබීම, ඥාති පාර්ශවයෙන් ඇප උපකාර ලැබීම, ආගමික භක්තිය ඇත්තකු ලෙස සාමජයේ කැපී පෙනෙන අයකු බවට පත්වීමට ද ඔබට වාසනාව උදා වනු ඇත. 

වෘෂ  

ඥාති පාර්ශ්වයේ දෝෂ දර්ශනයට ලක්වේ

 

වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ ගුරු පැමිණෙන්නේ 8 වැන්නටය. විශේෂයෙන් වෘෂභ රාශියට සතුරු වන ගුරුගේ ප්‍රතික්‍රියාව අනුව තුනටිය ආශ්‍රීත ආපදා හදිසි අනතුරු උගුරේ ආසාදිත ඇති වීම පෙන්වයි. 

තවද ආර්ථීක වශයෙන් බිඳ වැටීම, රැකියා ගැටලු හා තම ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ගැටලු රැසකට මුහුණ දීමට සිදු වේ. ඒ අතර නීති ගැටලු කිසියම් ලියවිල්ලකට තබන ලද අත්සනක් නිසා එය දුරදිග යන ගැටලුවක් බවට පත්වන ලකුණු පෙනේ. 

තම ඉඩමක් නිවසක් වාහනයක් තමනට අහිමි වන ලකුණු ඒවා විකුණා දැමීමට සිදු වන ලකුණු පෙනෙනන්ට තිබේ. 

සිය ඥාති පාර්ශවයේ දෝෂ දර්ශනයට ලක්වේ. තමා නව හවුල්කරුවකු සමඟ එක්ව ව්‍යාපාරයකට ගිවිසුම් ගැසීම කිසිසේත්ම නොකළ යුතු වේ.

 

මිථුන ලග්නය

හොඳ නොහොඳ සමසේ භුක්ති විඳීමට සිදු වේ

 

මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ 7 වැන්නට ගුරු පැමිණීම මධ්‍ය ඵල උදා කරන්නකි. විශේෂයෙන් නුවණ මෙහෙයවා කටයුතු නොකොළොත් යුග දිවි ගැටලු ද අවිවාහක නම් මංගල කටයුතු ප්‍රමාද වීමක් ද පෙන්වයි. රටේ තොටේ ප්‍රකට කෙනෙක්වේ. එහෙත් මුත්‍රාශයේ රෝග මුත්‍රා ගල් මුත්‍රා අඩස්සි මතු වීමට හේතු වේ. තම සිතේ ඒකාග්‍රතාවය රඳවා ගැනීමට අපොහොසත්ව කිසියම් ව්‍යාකූල තත්වයකට නතුවීමට ඉඩ තිබේ. බුධ, ගුරු, සදු, සිකුරු දශා අතුරු දශා ගෙවන අයට වාසනාව ගෙනදේ.  සිත සන්සුන් කර ගත හොත් බොහෝ උසස් ප්‍රතිඵල භුක්ති වීදීමට හැකි වේ. තම බලය තේජස හමුවේ නිරහංකාර විය යුතුය. නැතොත් අපවාදයට නින්දාවට පත්වීමට පවා ඉඩ තිබේ. උත්සාහයෙන් කටයුතු කළහොත් සියලු අසුබ ආපස්සට හරවා යවා සැප සම්පත උදා කර ගැනීමට පුළුවන.

 

කටක ලග්නය 

යටි බඩේ දෝෂ මතුවේ

කටක ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ ගුරු 6 වැන්නට පැමිණීම යටි බඩ ආශ්‍රිත රෝග මතුවේ. 

සැර උෂ්ණ ආහාර පාන අවම කිරීම වැදගත්වේ. පිටරටකට යාමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් ජූලි ආගෝස්තු මාස වන විට ඊට සුදුසු වාතාවරණය සැලසේ. කෙසේ නමුදු බෝ වන රෝග ලෙහෙසියෙන්ම වැලදෙනු ඇත. තම ධනයට හානි සිදු විය හැකිය. බොහෝ විට උඩක සිට බිමට බසින විට පාදයේ වළලු කර ආශ්‍රිත ඇමැට්ටි වීමකට මුහුණ දීමට සිදු වේ. ප්‍රවේශම් වීම ඉතා වැදගත්ය. සිහි කල්පානවෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යවේ. 

යටි බඩේ දැඩි උෂ්ණයක් ඇති විය හැකි නිසා ඇඟ නිවෙන ආහාර පාන ගැනීම ඉතා වැදගත් වනු ඇත. තමා අදහන ආගමික කටයුතු වල නිරත වීම ඉතා සුබයි. උපරිම වතුර පානය නිසි වේලාවට ආහාර ගැනීම වැදගත්ය. 

 

සිංහ ලග්නය

ආර්ථික ප්‍රතිලාභ 

රැකියා ප්‍රවර්ධන ඇතිවේ

සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව ගුරු පැමිණෙන්නේ 5 වැන්නට නිසා කලක සිට බලාපොරොත්තු වූ දරු ඵලයක් ලැබීමට හේතු වේ. කුස උෂ්ණ වේ. ඇඟ නිවෙන ආහාර පාන ගන්න. ත්‍රීකෝණ රාශියක් වන 5 වැන්නේ ගුරු ආර්ථික ප්‍රතිලාභ ද රැකියා ව්‍යාපාරයෙන් උසස් ආදායම් ද පහළ වේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුදුසු පසුබිම සැකසේ. ඒ සඳහා මව් පාර්ශවයේ අයකුගෙන් ඇප උපකාර හිමිවේ. කුස ආශ්‍රිතව කලක් පැවැති අසනීප තත්වයක් සමනය කරවා ගැනීමට අවස්ථාව උදාවේ. සැර උෂ්ණ ආහාර පාන අවම කරන්න. උපරිම වතුර පානය කරන්න. ගුරු සිංහයට මිත්‍ර ග්‍රහයකු බැවින් නවතා දමා තිබූ ව්‍යාපාරයක් නැවත ආරම්භ කිරීමට හැකි වන අතර ඉතා සකසුරුවම් ලෙස ගනුදෙනු කිරීම යහපත්ය.

කන්‍යා ලග්නය

 ව්‍යාපාරයකට අත පෙවීම සුදුසුයි

කන්‍ය ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ ගුරු 4 වැන්නට පැමිණීම සුබ වුවත්  ගුරු කන්‍යාවට සතුරු ග්‍රහයකු නිසා දේපලකට අලාභ හානි සිදුවිය හැකිය. වාහන, නිවාස, ඉඩම් ආදී අංශයක දී අධික විය පැහැදම් දරන්නට සිදු වේ. පපුවේ වේදනාව ඇතුළු  උෂ්ණ රෝග මතු කෙරේ. දණ හිසට අපලයි; ප්‍රවේසම් වන්න. 

නහර ගත රෝග උපද්‍රව වලට හේතු වේ. ලේ කැටි ගැසීම හා ලේ වහනය වීමේ රෝග ලක්‍ෂණ මතු කෙරේ. ඒ පිළිබඳ උනන්දු වන්න.  

ආගමික කටයුතු සිදු කර කතරගම දෙවියන්ට බාර හාර වන්න.  තම උගත් දැනුම උපයෝගී කරගෙන නව ව්‍යාපාරයකට අත පෙවීම සුදුසු වේ. කෙනෙකු ඕනවට වඩා විශ්වාස නොකරන්න. තම ධනය වෙන කෙනකුට පවරා කටයුතු කිරීම කොහෙත්ම සුදුස නොවේ. 

තුලා ලග්නය

නීතිමය ගැටලු එළැඹේ

තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ ගුරු 3 වැන්නට පැමිණීම නිසා බොහෝ විට නීති ගැටලු ඉඩකඩම් ආරවුල් මෙන්ම ඥාතීන් සමඟ විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදුවේ.  විශේෂයෙන් ඔබ කල්පනාකාරී නොවුවහොත්  ඉවසීමෙන් කටයුතු නොකළහොත් අනාවාර්යයෙන්ම ඉඩම් නඩුවකට පැටලෙනු ඇත. 

ඔබට තම සහෝදර සහෝදරියන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති ඉඩකඩ අහුරුවයි. විශේෂයෙන් ශරීර සෞඛ්‍ය ගැන සිතනවා නම් උරහිස ආශ්‍රිත හදිසි අනතුරු තත්වයකට වුවද මහුණ දීමට සිදුවේ. 

තමාට හිමි වන්නට තිබූ භෞතික සම්පතක් අහිමිව යෑමට ද ඉඩ ඇත.  

කිසියම් ගනුදෙනුවකදී වුවද ලියකියවිලි වලට අත්සන යෙදීමක දී වුවද කල්පනාකාරී වන්න.

වෘශ්චික ලග්නය

ආර්ථික දියුණුව සැලසේ

වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ ගුරු 2 වැන්නට පැමිණීම නිසා තම ආර්ථික දියුණුවට මං පෙත් එළිපෙහෙළි වේ. තමාට හිමි වන්නට තිබූ උරුමයක පැහැදිලිතාවක් දක්නට ලැබෙන අතර ඒ නිසාම සිතේ සතුට සැනසුම උදා කරන අවදියක් වනු ඇත. 

කල්පනාකාරී නොවුවහොත් ආහාර පානයකින් කිසියම් අසාත්මිකතාවක් ඇති වීමට ඉඩ ඇති නමුත් ඒවාද අවම වන ලෙස කටයුතු කිරීමට ඔබට අවස්ථාව උදා වේ. බොහෝ විට පිට අයකු දෙන ආහාර පාන කෙරේ සැලකිලිමත් විය යුතුය. සෙම වඩන ආහාර පාන, සැර උෂ්ණ ආහාර පාන අගුණ විය හැකිය. අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට මෙය හොඳම කාලයයි. දරුවකු නම් නිර්මාණ කරණයට සුදුසු වකවානුවක් ද වනු ඇත. 

ධනු ලග්නය

සිතේ සතුට අභිවෘද්ධිය 

ලැබෙන කාලයකි

ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ ගුරු ලග්නගත වීම අන් සැම ලග්නයකට වඩා සුබ ඵල දෙනු ඇත. ධනු ලග්නයට අධිපති ගුරු නැතිනම් තම ස්වක්‍ෂ්ත්‍ර බලය පතුරුවාලන ධනු රාශිය තුළ ජන්මියාට මානසික සුවය, ග්‍රන්ථකරණය,  කලා නිර්මාණකරණය  වැනි දේටද යහපත සලසයි. තම බුද්ධමත් බව ප්‍රකට කරවන තත්ත්වයට පත්වේ. විශේෂයෙන් සමාජයේ කැපී පෙනෙන ජයග්‍රහණ ජනතා ප්‍රසාදය හා තරගවලින් ජය ගැනීම සඳහා ද ධනු ලග්න හිමි ඔබ සමතකු කරයි.  නිරෝගී සුවය, ධනය, බලය සහිතව ජීවත් වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගේ. ඉගෙන ගන්නා වයසේ අයකු නම් අධ්‍යාපනයට ඉතා හොඳ පරිසරයක් ගොඩනැගෙන අතර සිතේ සතුට අභිවෘද්ධිය රජයන කාලයක් උදා වනු ඇත.

මකර ලග්නය

හවුල් ව්‍යාපාර තුළින් පාඩු

මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ ගුරු පැමිණෙන්නේ 12 වැන්නට වන අතර ඉතා ප්‍රවේශමෙන් ගත කළ යුතු කාලයකි. විශේෂයෙන් ඔබට දුර බැහැර ස්ථානයකට යාමට සිදු වන අතර එබඳු ගමන් බිමන් තුළින් විවිධ ගැටලු පැන නැගීමට පවා ඉඩ ඇත. 

කිසියම් පිටස්තර රටකදී නම් විවිධ අපහසුතාවලට මුහණ පෑමට සිදුවන අතර ඇස් කන් නාස, ආශ්‍රිත රෝග වැලදීමේ ප්‍රවණතාවක් ද පවතී. ඒ හැරෙන්නට ඔබ කරගෙන ආ ව්‍යාපාරයක් වෙත්නම් එහි ආර්ථික ගැටලු මත කෙරේ. 

හවුල් ව්‍යාපාර වලින් පාඩු ලැබ දේ.  අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු නොකළහොතේ සතුරු කරදර හා සිත් තැවුල් වලට මුහුණ දීමට සිදුවේ. පාදයේ වළලු  කර ආශ්‍රීත  හදිසි අනතරු පෙන්වයි. දුර ගමන් සීමා කරන්න. 

කුම්භ ලග්නය

ලැබීම් ඇති කෙරේ ආයෝජන පුළුල් වේ

කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ ගුරු පැමිණෙන්නේ 11 වැන්න වන ලැබීම් සහිත ස්ථානයට නිසා තම ආර්ථිකය ඉහළ යාමට සුදුසු කරුණු කාරණා එළඹේ. ව්‍යාපාර ලාබ තම ඥාති හිතෛශීන්ගෙන් ඇප උපකාර ලැබෙන කාලයකි. ශාස්ත්‍රීය කටයුතු, පොත්පත් සම්බන්ධ කටයුතු කෙරෙන් යහපත්ය. විභාග ආදී කටයුතු වලින් උසස් ප්‍රතිඵල ද යහපත් සෞඛ්‍ය තත්ත්වයනට ද හේතු ඇති කරයි. 

තමා කරන ආයෝජන කටයුත්තකදී යහපත් ආදායම් ලැබීමට හැකිවේ. සිතේ සතුට අභිවෘද්ධිය පවත්වා ගැනීමට හැකි වේ. 

නිවාස ඉදිකිරීම් කෙරේ උනන්දු වන අයට ඒවා සාර්ථක ලෙස ඉටු කිරීමට හැකි වේ.  ශරීර සෞඛ්‍ය පිළිබඳව ද සතුටු විය හැකි කාලයකි. බොහෝ බාධකව තිබු ගැටලුවලට සහනය උදා කෙරෙන කාලයකි.

මීන ලග්නය

නිවාස, වාහන, ඉඩම් ලාබ

මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ ගුරු පැමිණෙන්නේ 10 වැන්නට බැවින් අංශ කිහිපයකින් යහපත සැලසේ. 

විශේෂයෙන් රැකියා ඵල උසස්වීම් වාසි සහගත ස්ථාන මාරු මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ද උදා කෙරෙන කාලයකි. ශරීර සෞඛ්‍යට ද යහපත් වනු ඇත. 

තමා යන එන තැන්වල ප්‍රධානත්වය, තරග විභාග වලින් ජයග්‍රහණය මෙන්ම ආණ්ඩුවේ උසස් නිලතල දැරීමට ද හැකි වේ. 

විශේෂයෙන් ගුරු මහ දශාව, බුධ මහ දශාව ගෙවන අයට එය එසේම සුබ ඵල දෙනු ඇත.  

දණහිස ආශ්‍රිත ආපදාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇතත් කල්පනාකාරීව කටයුතු කළහොත් එය ද අවම කර ගැනීමට පුළුවන. 

නිවාස, වාහන, ඉඩම් හිමිකම් ඇතිවේ. අලංකාරය සඳහා ඔබ සැමවිටම පෙලඹෙන ඇත.

Comments