හිටපු මන්ත්‍රීවරයා ඈඳුණු අසැබි වීඩියෝවේ ඇත්ත නැත්ත | Page 2 | සිළුමිණ

හිටපු මන්ත්‍රීවරයා ඈඳුණු අසැබි වීඩියෝවේ ඇත්ත නැත්ත

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සැරිසරන වීඩියෝ, ඡායාරූප ඇතුළත් තවත් නොයෙක් දේ ඇතැමුන්ට වින්දනයක්, ආස්වාදයක් ගෙන දෙද්දී තවකකුට මුළු ජීවිතයම කඩාබිඳ දමන ‘හෙණ‘ ගෙඩි හා සමානය. එම නිසා මෑත කාලයේ සමාජ මාධ්‍ය ජාලාවන් නිසා අකරතැබ්බයන්ට මුහුණ දුන් පිරිස අතිමහත්ය. ඒ බව මනා ලෙස පසක් වන්නෙ පොලිස් දෙපාර්තමේන්තුවේ සයිබර් ක්‍රයිම් අංශයන්ට දිනෙන් දින ලැබෙන පැමිණිලි කන්දරාව පිරික්සන විටයි.

හිටපු තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන පිළිබඳවද පසුගිය දිනවල බොහෝ සේ කතාබහට ලක්වූයේ සමාජ මාධ්‍ය ඔස්සෙ සැරිසැරු ආන්දෝලනාත්මක වීඩියෝවක් නිසාවෙනි. එම වීඩියෝවේ සත්‍ය අසත්‍ය පිළිබඳ බොහෝ කරුණු කාරණා මේ වන විටත් පොලිසිය අනාවරණය කරගෙන අවසානය. එහෙත් තරුණ මන්ත්‍රීවරයාට ඉන් සිදුවූ පීඩනය සහ අගතිය නම් අපමණය.

එම කතාන්දරය පෙළගැසෙන්නෙ මෙලෙසිනි. ඇඳිරිනීතිය පැවැති පසුගිය කාලයේ හිටපු මන්ත්‍රීවරයාගේ නමද සඳහන් වූ විනාඩි දෙකක පමණ කාලයක් දිවෙන අසභ්‍ය සමරිසි වීඩියෝවක් බොහෝ සමාජ මාධ්‍ය ජාලාහි සැරිසරන්නට විය. එවැනි අසභ්‍ය වීඩියෝ කෙතෙකුත් සමාජ මාධ්‍යයන්හි සැරිසැරුවද මෙකී වීඩියෝව පිළිබඳව සමාජයේ බොහෝ කතාබහට ලක්වූයේ හිටපු මන්ත්‍රීවරයාගේ රුවට සමාන රුවක් එහි දිස්වූ හෙයිනි.

එකී වීඩියෝ සිය මිත්‍රයකු මාර්ගයෙන් තමනටද ලැබුණු සැණින් කාවින්ද මුලින්ම එය පෙන්වූයේ තම බිරියට බව පසුගියදා මාධ්‍යයටද හෙළි කළේය. අනතුරුව තමාගේ නිර්දෝෂීභාවය තහවුරු කිරීම් වස් තමාව විනාශ කිරීමට තැත් කරන අයවලුන්ට එරෙහිවත් මන්ත්‍රීවරයා කටයුතු කර තිබුණේ ඉතාම තීක්ෂණ ආකාරයෙන් බව කිව යුතුමය. මන්ද ඔහු කිසිසේත්ම කලබල නොවී සියලු දෙනාගේම සහාය ඇතිව අවැසි නීතිමය පියවර ගැනීම පැසසුම් සහගතය.

අනතුරුව තමාගේ ජීවිතයට අවමන් වන ආකාරයෙන් සැරිසරූ එම වීඩියෝව පිළිබඳව හිටපු මන්ත්‍රීවරයා පොලිසියට මෙන්ම වගකිවයුතු සියලු ආයතන දැනුවත් කරමින් අදාළ අංශයන්හි පිහිට පැතීය. ඒ අනුව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයද පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය. ඒ අතරේ කාවින්ද ද තම නිර්දෝෂිභාවය තහවුරු කිරීමට වෛද්‍යවරයකු මාර්ගයෙන් වෛද්‍ය පරීක්ෂණයක්ද සිදුකරමින් එම වීඩියෝවේ සිටින්නේ තමා නොවන බවට සහතික කරමින් වෛද්‍ය වාර්තාවක්ද ලබාගෙන තිබිණි. එම වෛද්‍ය වාර්තාද මේ වන විට ඔහු විසින් පොලිසියට ඉදිරිපත් කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක නන්දන මහතාගේ සෘජු මැදිහත් වීමෙන් සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතාගේ උපදෙස් මත ආරම්භ කෙරුණු එම වීඩියෝව පිළිබඳව කළ විමර්ශනයේදී පොලිස් නිලධාරින් ඉතාම සූක්ෂ්ම ලෙස වීඩියෝවේ සුලමුල කොණෙන් කොණ අනාවරණය කරගැනීමට සමත් වූයේය. එහිදී මෙකී වීඩියෝව නිර්මාණය කළේ කවුරුන්ද... අන්තර්ජාලයට මුදාහැරියේ කවදාද, වීඩියෝවේ එලෙස රඟ දක්වන්නෙ කවුද යන්න ඇතුළු බොහෝ කරුණු අනාවරණය කරගෙන අවසන්ය.

එහිදී මුලින්ම අනාවරණය කරගෙන තිබුණේ එම අසභ්‍ය සමරිසි වීඩියෝව ප්‍රථමයෙන්ම 2018 සැප්තැම්බර් පළමු වැනිදා ඉන්දීය සමාජ මාධ්‍යයට මුදාහළ විනාඩි හතළිස් පහක් තරම් දිගු වේලාවක් දිවෙන වීඩියෝවක් බවයි. එසේම එය ඉන්දියාවේ වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටවල බොහෝ සේ රඟන රංගන ශිල්පින් දෙදෙනෙක් විසින් පෙනී සිටින වීඩියෝවක් බවටද අනාවරණය කරගැනිණි.

තවද සම්පූර්ණ කාලය විනාඩි 45ක් පමණ වන මුල් වීඩියෝව සංස්කරණය කොට කාවින්ද ජයවර්ධන ගේ රුවට සමාන රුවක් යොදා එකී වීඩියෝව විනාඩි දෙකක් තරම් කෙටි කාලයකට සංස්කරණය කර ඇති බවට ද විමර්ශන නිලධාරින් හෙළි කරගැනීමට සමත් විණි.

ඒත් සමඟ එම වීඩියෝව බෙදාගැනීම (ෂෙයාර්) පිළිබඳව මෙරට තවත් ජනප්‍රිය පුද්ගල චරිත කීපයකගේම නම්ද ගෑවෙන බව පොලිසිය අනාවරණය කරගත්තේය. ඒත් සමඟ එහි තිබෙන ආන්දෝලනාත්මක තව තවත් තීව්‍ර වන්නට විය. එලෙස කියැවුණ නම් අතර නිතර සමාජ මාධ්‍යයන්ට ආන්දෝලනාත්මක වීඩියෝ නිකුත් කරන ඉරාජ් වීරරත්න, ඔහුගේ නැඟණිය රිෂිනි වීරරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රීවරියක වන ජීවන් කුමාරණතුංගගේ දියණිය මල්ෂා කුමාරතුංග සහ හිටපු ඇමැතිවරයකු වන හරින් ප්‍රනාන්දුගේ නාමයද වූහ.එලෙස පිරිසකගේ නාම ගෑවීමත් සමඟ කාවින්ද පවසන්නෙ මෙය තනිකරම තමාගේ දේශපාලන ජීවිතය සහ පවුල් ජීවිතය විනාශ කරන්නට කළ සැලැසුමක තවත් එක් පියවරක් බවත් මෙලෙස හැසිරෙන පුද්ගලයන් සමඟ දේශපාලනයේ නොව ජීවත්වීමට ලැබීමත් අභාග්‍යයක් ලෙස සලකන බවයි.

එසේ ඊට ඈඳුණු නම් අතර කියැවුණු ඉරාජ් වීරරත්නගෙන් මේ පිළිබඳව මුලින්ම ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කළ අතර එහිදී ඉරාජ් පවසා තිබුණේ, තම නැඟණිය වන රිෂිනි වීරරත්නට මෙකී වීඩියෝව මල්ෂා කුමාරතුංගගෙන් ලැබුණු බවටයි.

ඒ අනුව මල්ෂාගෙන් වීඩියෝවේ අගමුල අනාවරණය කරගැනීමට පොලිසිය අවස්ථා තුනකදී ප්‍රකාශ සටහන් කරගැනිණි. එහිදී ඇයගෙන් මුලින්ම ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය ගොස් තිබුණේ ඇය රැඳි සිටි ෂැංග්‍රිලා හෝටලයට අයත් සුඛෝපභෝගි නිවස්නයක් වෙතටයි. ඒ මොහොතේ හරින් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරයාද එම ස්ථානයේ සිට පොලිසියට එකී පරීක්ෂණවලට බාධා වන ආකාරයෙන් හැසිරුණු බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.

අනතුරුව මල්ෂා කුමාරතුංගගෙන් වැඩිදුරටත් ප්‍රකාශයක් ලබාගැනීමට ඇයව පසුගිය 14 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවූවාය. එහිදී ඇය පොලිසියට පවසා තිබුණේ, මෙකී වීඩියෝව තමාට එවන ලද්දේ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු බවයි. එහෙත් ඇය එය සනාථ කිරීමට උත්සාහ කළද එම උත්සාහය සාර්ථක නොවූ තැන ඇය පවසා ඇත්තෙ දුරකථනයේ දත්ත මැකී ඇති බවයි. පසුව අධිකරණ නියෝගයක් ලබාගත් කොළඹ අපරාධ කොට්ඨාසය ඇයගේ දුරකථනය පොලිසිය බාරයට ගත්තේය. ඒ අනුව ඇය විසින් පසුගිය 18 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයට සිය දුරකථනය බාර දුන්නේ වැඩිදුර විමර්ශන සඳහායි.

එලෙස දිගහැරෙන වීඩියෝවේ ආගමනය පිළිබඳව හරින් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරයාගෙන්ද පොලිසිය පසුගිය දිනෙක ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. ඔහුගෙන් ද හෙළි වී තිබුණේ තමාට එම වීඩියෝව තරුණ ව්‍යාපාරිකයකුගෙන් ලැබුණු බවටයි. මේ වන විට එම ව්‍යාපාරිකයාටද වීඩියෝව එවා ඇත්තෙ කවුරුන්ද යන්න පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

එහෙත් දිගින් දිගට පොලිසිය මේ පිළිබඳව විමර්ශන සිදු කරමින් යන්නෙ වීඩියෝව සංස්කරණය කරමින් හිටපු මන්ත්‍රීවරයාට අපහාස වන ආකාරයෙන් නිර්මාණය කරන ලද්දෙ කවුරුන්ද යන්න අනාවරණය කරගැනීමටයි. ඒ අතර මූලික විමර්ශන අවසන් වූ සැණින් පුද්ගලයකුට අපහාස වන ආකාරයෙන් වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහැරීම හේතුවෙන් අධිකරණයේ නඩු පැවැරීමටද පොලිසිය කටයුතු කරමින් සිටී.

අපක්ෂපාතී පොලිස් විමර්ශනයක් සිදුකරමින් කාවින්ද ජයවර්ධනට සාධාරණය ඉටුකිරීමට රජයද අවැසි සියලු ශක්තිය ලබා දෙමින් සිටී. එහිදී තරුණ මන්ත්‍රීවරයාගේ අනාගතය විනාශ කිරීමට මෙවැනි වීඩියෝවක් නිර්මාණය කළ පිරිස පමණක් නොව ඊට සහාය දුන් අයවලුන්ද නුදුරේදීම අනාවරණය කරගෙන පක්ෂ, පාට භේදයකින් තොරව නීතිය හමුවට පමුණුවීමට කටයුතු කරන බවට පොලිසිය කියයි.

මේ අතර කාවින්ද ජයවර්ධනගේ මුහුණු පොතද කිසියම් කණ්ඩායමක් විසින් එහි දත්ත වෙනස් කිරීමක් කර තිබිණි. එහිදී මුහුණු පොතෙහි ඔහුගේ ඡායාරූපයද වෙනස්කොට චීන ජාතිකයකුගේ ඡායාරූපයක්ද, දුරකථන අංකයට කොරියන් දුරකථන අංකයක්ද යොදා සම්පූර්ණයෙන්ම මුහුණ පොත වෙනස්කොට තිබූ බවද කාවින්ද පැවැසීය. ඉදිරියේදී මෙලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සෙ අසාධාරණයට ලක්වන පුද්ගලයන් වෙනුවෙන් තමා පෙරට එන බවද ඔහු අවධාරණය කර සිටියේය.

Comments