කැනේඩියානු දේශපාලකයන්ට නොපෙනෙන රතු ඉන්දියානු සමූලඝාතනය | සිළුමිණ

කැනේඩියානු දේශපාලකයන්ට නොපෙනෙන රතු ඉන්දියානු සමූලඝාතනය

මම දැනට ජිවත්වන මැනිටෝබා පළාතේ විනිපෙග් නගරයේ වාසය කරන මිතුරන් කණ්ඩායමක් සෑම වසරකම වෙසක් උත්සවය නිමිති කරගෙන ආහාර දන්සලක් පවත්වයි. මෑතක සිට මටද ඒ සදහා දායක වීමට අවස්ථාව ලැබුණි. විනිපෙග්හි නිවෙස් අහිමි (homeless) පුද්ගලයින් වෙනුවෙන් කෙරෙන මෙම දන්සල ඔවුන් වෙනුවෙන් වෙන්වුණු නිවාසයකට (homeless Shelter) ගොස් කරනු ලබන්නකි. මෙරට නිවෙස් අහිමි අය ලෙස නම් කෙරුණත් අපේ රටේ නම් මෙවැනි උදවිය යාචකයන් ලෙස හඳුන්වයි. මේ වසරේදී කොරෝනා ප්‍රශ්නය හේතුවෙන් වෙනදාමෙන් එම ආයතනට ගොස් දනය බෙදීමේ අවස්ථාව අපට අහිමි විය. පසුගිය වසරේ නම් එම කාර්ය සදහා සහභාගිවූ අපට නිවාසය තුළටම ගොස් ආහාරපාන බෙදා දීමේ හැකියාව ලැබුණි. එය අමුතුම අත්දැකීමකි. ඒ වෙනුවට මේ වසරේ අපි නරක් නොවන ආහාර එක්රැස් කරගෙන ඒවා රැගෙනගොස් එම නිවාසයේ පාලකයින්ට අවශ්‍ය අයට බෙදාදීම සඳහා ලබා දුන්නෙමු.

සාමාන්‍යයෙන් වසරේ මස 6 ක පමණ කාලයක් අධික සීතලෙන් වෙලී පවතින විනිපෙග් නගරයේ නිවාස අහිමි පුද්ගලයකු වීම එක අතකට මරණ දඩුවම ලැබුවා හා සමාන කාරණාවකි. සීත ඉර්තුවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් ඍණ 35ක් පමණ වන මෙම ප්‍රදේශයේ පුද්ගලයෙකුට තබා කිසිදු සත්වයෙකුට වුවද එළිමහනේ ජිවත් විය නොහැකිය. ඒ හේතුවෙන් නගරයේ තැනින් තැන මෙවැනි නිවාස විවිධ ස්වේච්චා සංවිධාන මගින් පවත්වාගෙන යති. රාත්‍රියේදී නිවෙස් අහිමි අයට නිදන ශාලා බවට පත්වන මෙම නිවාස දිවාකාලයේදී ඔවුන්ට නොමිලේ අහාර සපයන ආපන ශාලා බවට පත්වෙති. අපගේ වාර්ෂික දන්සල පවත්වන්නේ මෙවැනි එක නිවාසයක් අරමුණු කරගෙනය. පසුගිය වසරේ පැවති දන්සලට අඩුම තරමින් 500 ක් පමණ දෙනා අහාර ලබා ගැනීමට පැමිණි අතර ඔවුන් ගෙන් බහුතරයක් රතු ඉන්දියානුවන්ය. සංඛ්‍යා ලේඛන වලට අනුව විනිපෙග්හි නිවාස අහිමිවූවන් ගෙන් 60% - 70% ප්‍රමාණයක් රතු ඉන්දියානුවන් වෙති.

කැනඩාව යනු රතු ඉන්දියානුවන්ගේ රටකි. කොලම්බස් විසින් ඉන්දියාව සොයා ආ ගමනේදී ඉන්දියාව යැයි සිතා උතුරු ඇමරිකාවට ගොඩ බට හෙයින් ක්‍රමක්‍රමයෙන් බටහිර ජාතින් ගේ ග්‍රහණයට ලක්වූ අතර අනතුරුව භුමියේ නියම උරුම කරුවන් එහි බෝඩින් කරුවන් පිරිසක් බවට පත් වී තිබේ. ඉතා දියුණු යැයි සම්මත රටක් උවද කැනඩාවේ රතු ඉන්දීය හෙවත් ස්වදේශිකයින් (natives) ගේ තත්වය ඉතාමත් කණගාටු දායකය.

මගේ වෘත්තීය ජීවිතයේදී රතු ඉන්දියානුවන් හා නිතර සම්බන්ධ වීමට සිදුවන අතර ඔවුන් බහුතරයකගේ ජිවිත ඛේදවාචකයන්ය. මා නීතිඥයකු ලෙස දිවුරුම් දුන් මුල් අවදියේ සේවාදායකයින් ලබාගැනීමට සහ අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණින් මැනිටෝබා නීති ආධාර සේවය මගින් පවත්වාගෙන යන නීති උපදෙස් ලබාදෙන දුරකථන සේවයක ස්වේච්චාවෙන් කටයුතු කළෙමි. නීතිඥයින් රැසක් සම්බන්ධ වී සිටින මෙම සේවය මගින් යම් පුද්ගලයකු පොලිසිය මගින් අත් අඩංගුවට ගත් වහාම ඔහුට හෝ ඇයට නීති උපදෙස් අවශ්‍ය නම් මෙම දුරකථන අංකයට ඇමතීමෙන් එයට සම්බන්ධවී සිටින නීතිඥයකුගෙන් උපදෙස් ලබාගත හැකිය. මා හට පමණක් දිනකට අඩුම ගන්නේ දුරකථන ඇමතුම් 20ක් පමණ ලැබෙන අතර ඉන් ඉතා බහුතරයක් රතු ඉන්දියානුවන් ගෙනි. එයිනුත් බහුතරයක් රතු ඉන්දියානු බාලවයස්කාරයන් ගෙනි. ඔවුන්ට එරෙහිව ඇති චෝදනා අවවාද කර නිදහස් කළ හැකි ඉතා සුළු චෝදනා වුවත්, පොලිසිය මේ බාලවයස් කරුවන්ට නඩු පවරති. අවුරුදු 18 නොපිරූ මේ බාලවයස් කරුවන් බොහෝදෙනෙකුට අඩුම ගණනේ පෙර වැරදි 15-20 වත් වෙති. එම පෙර වැරදිවලින් බහුතරයක් අධිකරණය මග හැරීම පිළිබද චෝදනාය. මෙයට හේතුව මම සොයා බැලුවෙමි.

මේ දරුවන් ජිවත් වන්නේ මැනිටෝබා පළාතේ ඉතා දුෂ්කර ප්‍රදේශයක් වූ උතුරු පළාතෙහිය. මෙම ප්‍රදේශ වල ස්ථිර අධිකරණ පිහිටුවා නැත. ඇත්තේ මසකට වරක් රැස්වන තාවකාලික උසාවි පමණි. වරදකරුවකු එම තාවකාලික අධිකරණය රැස් නොවන දිනයක අත්අඩංගුවට ගනු ලැබුවහොත් පොලිසිය ඔහුව කි.මී. 500ක් පමණ දුරින් පිහිටි නගරයට රැගෙන යයි. එහිදී ඇප ලබා අධිකරණයෙන් එළියට එන ඔහු ඊළඟ අධිකරණ දිනයේදී අධිකරණයට යාමට අඩුම ගණනේ ඩොලර් 500ක් පමණ වන ගුවන් ටිකට් පතක් ලබා ගත යුතුය. එය ඔහුට කිසිසේත් කල නොහැක. එම මුදල ඉපයීමට ඔවුන්ට එම ප්‍රදේශ වල කළ හැකි රැකියාවන් නොමැත. ඉතින් අධිකරණයට නොපැමිණීම නිසා තවත් අපරාධ වරදක් මේ පොඩි එකාගේ පෙර වැරදි ගොන්නට ඇතුළු වෙති. ඒ අනුව රතු ඉන්දියානුවන්ගෙන් සිර ගෙවල් පිරී යයි. පොඩි එකා කුඩා කල සිටම අපරාධ කරුවෙකු වෙයි. මේ ආකාරයෙන් රතු ඉන්දියානුවන් අති බහුතරයක් කුමන හෝ වරදකට කුඩා කාලයේදීම අපරාධ කරුවකු වී තිබේ. ඒ නිසා බොහෝ දෙනෙකුට අවශ්‍ය නම් දිගින්දිගටම අපරාද කරුවෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය මුලික පුහුණුව කුඩා කාලයේදීම ලැබී තිබේ.

මෙය රතු ඉන්දියානු ජනතාවට එරෙහි ක්‍රමික කුමන්ත්‍රණයක් දැයි වරෙක සිතේ. හේතුව නම් අධිකරණය නොපැවැත්වෙන දිනයේ ඉතා සාමාන්‍ය වැරදි වලට හසුවන බාලවයස් කාරයින් පොලිසිය මගින් සමථයකට පත් කර හැකිව තිබෙන ඒවා වීමයි. එහෙත් සිදුවන්නේ ඔවුන් අත්අඩංගුවට ගෙන අපරාධ ලෝකයට ඔවුන් යොමු කිරීමයි. අනික් අතින් මෙම රතු ඉන්දියානු දරුවන් සෑම කෙනෙක්ම පාහේ හැදී වැඩෙන්නේ අනාත නිවාස වලය. ඔවුන්ගේ දෙමාපියන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටිති. මේ හේතුව නිසා රජයේ ළමා සහ පවුල් සේවා (Child and Family Services) ආයතනය මේ ළමයින් තම බාරයට ගෙන වෙනත් පවුලක හෝ ඔවුන් විසින් පාලනය කරණ ආයතනයක බාරයට පත් කරති. එය තවත් ඛේදවාචකයකි.

මා සේවය කරණ විනිපෙග් අධිකරණයේ සහ ඒ අවට අධිකරණ වල විභාග කෙරෙන ළමා සහ පවුල් සේවා නඩු සමස්ථයම පාහේ රතු ඉන්දියානු දරුවන් සම්බන්ධ නඩුය. සිය පවුල් වලින් ඉවත් කෙරෙන මෙම දරුවන් ළමා සහ පවුල් සේවා ආයතනයේ තාවකාලික භාරයට පත් කෙරෙති. ඉතා බලවත් පනතක් මගින් බලය ලබා ක්‍රියාත්මක වන මෙම ළමා සහ පවුල් සේවා ආයතන එක්තරා මාෆියාවක් බවට පත්වී තිබේ. "ළමයාගේ අවශ්‍යතා ප්‍රථම වේ." යන තේමාව යටතේ ක්‍රියාත්මක වන ළමා සහ පවුල් සේවා ආයතන පනත මගින් පුද්ගලික ආයතනවලටද ළමා සහ පවුල් සේවා ඒජන්සි පවත්වාගෙන යාමේ අවස්ථාව ලැබී තිබේ. ඒ හේතුවෙන් ළමයෙකු පවුලෙන් ඉවත් කර තම භාරයට ගැනීමේ කාර්ය ලාබ ලැබීමේ චේතනාවෙන් සිදුවන තත්වයකට පත් වී තිබේ. ඒ හේතුවෙන්ම රතු ඉන්දියානු දරුවන් සහ පවුල් මේ ළමා සහ පවුල් පනතේ ගොදුරු බවට පත් වී තිබේ.

මෙවැනි තත්වයක් යටතේ කැනේඩියානු රතු ඉන්දියානුවන්ගේ ජිවිත ඉතා ඛේදජනකය. එහෙත් කැනේඩියානු දේශපාලකයෝ වෙනත් රටවල මානව හිමිකම් ගැන කතා කරති. ඡන්ද ලබාගැනීමේ අරමුණින් තමන් නොදන්නා වෙනත් රටවල සිදු නොවුණු සමුලාඝාතනයන් පිළිබද කතා පවත්වති. එහෙත් තම ප්‍රදේශයේම සිදුවන කැනේඩියානු භුමියේ අයිති කරුවන්ගේ ඛේදවාචකය ඔවුනට නොපෙනේ. ලිපිය අවසන් කිරීමට ස්වදේශික කාන්තාවන් සහ තරුණියන් අභිරහස්ලෙස මියයාම පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජාතික කොමිසමේ (National Inquiry into Murdered and Missing Indigenous Women and Girls) වාර්තා නිගමනය ඉදිරිපත් කරමි. අපි මේ සමුලාඝාතනය පිළිබද කැනේඩියානුවන්ට අධ්‍යාපනයක් ලබාදෙමු.

 

[email protected]

Comments