අම්ෆන් නිසා ඉන්දුනීසියාවට ගසාගෙන ගිය අපේ ධීවරයන්ගේ කතාව | සිළුමිණ

අම්ෆන් නිසා ඉන්දුනීසියාවට ගසාගෙන ගිය අපේ ධීවරයන්ගේ කතාව

- ආපදා තත්ත්වයට මුහුණ දී තිබෙන බහුදින යාත්‍රා ගණන 34ක් 
- මේ යාත්‍රා ඉන්දුනීසියා මුහුදු සීමාවට ඇතුළු වී තිබුණත් එහි වරායවල්වලට ඇතුළු වුණේ නැහැ 
- 'සවිනි බහුදින යාත්‍රාව ඉන්දුනීසියාව ආසන්න මුහුදේ දී අනතුරට පත්වෙලා; ධීවරයන්ට අනතුරක් නෑ
- නාවික හමුදාවේ උදව්වෙන් ඔවුහු නිරුපද්‍රිතව ලංකාවට

හ මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදීම යනු ඉතා අවදානම් සහගත කාර්යයකි. තෙරක් නොපෙනෙන මුහුදේ සුළි සුළං, කුණාටු වැනි අයහපත් කාළගුණික තත්ත්ව යටතේ සිදුකරන ජීවිතයත් මරණයත් අතර ගනුදෙනුවකි. අතීතයේ නම් මුහුණ දෙන්නට සිදුවන්නේ කවර ආකාරයේ පරිසර සාධකවලට දැයි නොදැන ධීවර කටයුතුවල යෙදීමට ධීවරයන්ට සිදුව තිබිණි. නමුත් වර්තමානයේ තත්ත්වය ඊට වඩා බොහෝ සෙයින් වෙනස් වී ඇත.

මුහුදේ ඇති ධීවර යාත්‍රා නිශ්චිතව ම තිබෙන ස්ථාන පවා අද නවීන තාක්ෂණයෙන් හඳුනාගැනීමට හැකියාව පවතී. එපමණක් නොව මුහුදේ මසුන් වැඩිපුර ගැවසෙන ස්ථාන පවා හඳුනාගත හැකි තරමට මේ තාක්ෂණය දියුණු වී තිබේ. මුහුදේ ස්වභාවයත් සුළඟේ වේගයත් කල්වේලා ඇතිවම දැනගැනීමට හැකි තරමට ම දැන් තාක්ෂණය දියුණු වී තිබෙන බැවින් අතීතයේ තරම් මුහුදු රස්සාව අද අවධානම් නැත. මුහුදේ ඇති යාත්‍රා සමඟ සන්නිවේදනය ද දැන් වඩාත් දියුණු වී තිබේ.පසුගිය දා අම්ෆන් සුළි කුණාටුව වඩාත් දරුණු වෙද්දී ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ධීවර යාත්‍රා රැසක් පිටත්ව ගොස් තිබිණි. සුළි කුණාටුව වඩාත් දරුණු විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් වෙද්දී ඒවා බොහොමයක් යළි ශ්‍රී ලංකා ගොඩබිමට සේන්දු වුව ද ඇතැම් යාත්‍රා තිබුණේ කුණාටුවෙන් බේරී යළි මෙරටට පැමිණිය නොහැකි තරම් ඈත මුහුදේය.

අම්ෆන් සුළි කුණාටුව වර්ධනය වීම ආරම්භ වනවිටම පසුගිය මැයි 15 වැනි දා මුහුදු ගමන් නවත්වන්න යැයි ධීරව හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර යාත්‍රාවලට දැනුම් දී තිබිණි. ඒ වනවිටත් මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ බහුදින යාත්‍රා ගණන 2500කට වඩා අධික ප්‍රමාණයක් විය. මෙවැනි එක් යාත්‍රාවක ධීවරයන් හය දෙනකු පමණ සිටින අතර ඔවුන් ජාත්‍යන්තර මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සිදුකරයි. රට වටා පිහිටුවා ඇති සෝදිසි මෙහෙයුම් අංශයේ මධ්‍යස්ථාන හෙවත් ගුවන්විදුලි මධ්‍යස්ථාන 21ක් මගින් ඔවුන් පිළිබඳ නිරන්තරවම සොයා බැලීම් සිදුකළ අතර ඔවුන්ට කුණාටු ප්‍රදේශය මගහැර ගොඩබිම දෙසට පැමිණෙන ආකාරය පිළිබඳ උපදෙස් ද නිකුත් කරන ලදී.

එසේ වුව ද ඈත දියඹේ මසුන් ඇල්ලීමේ කටයුතු කරමින් සිටි ධීවර යාත්‍රා කිහිපයකට කුණාටුව මගහරිමින් යළි ශ්‍රී ලංකාව දෙසට පැමිණීම අපහසු විය. ඔවුන් ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරන්නට ගන්නා සෑම උත්සාහයක දී ම සිදුවූයේ යළි යළිත් දැඩි සුළං ධාරවට හසුවී රටින් ඈතට පාවී යාමයි. මේ නිසා ඔවුන්ට තිබූ හොඳම ආරක්ෂිත පියවර වූයේ සුරක්ෂිත ප්‍ර‍දේශයකට යාත්‍රා කිරීම පමණි. රළු මුහුදේ කුණාටුවේ සුළං දහරාව සමඟ පොර බදින්නට සිදුවුවහොත් ඔවුන්ගේ යාත්‍රාව මහ මුහුද මැද පෙරැළී යනු ඇත. යාත්‍රාවලින් නිකුත් කරන සංඥාවලට සවන්දිය හැකි ස්ථානය වූයේ ත්‍රිකුණාමලය වරායයි. එහි කණිෂ්ඨ ගුවන්විදුලි නිලධාරී එස්.කේ.ජේ.රවීන්ද්‍ර මෙසේ පැවසීය.

''මේ යාත්‍රා කුණාටුව නිසා ලංකාව දෙසට යාත්‍රා කරන්න බැරිව හිටියා. ඔවුන්ගේ සංඥා දිගින් දිගටම මට ලැබුණා. ඔවුන් සුළඟත් සමග ලංකාවෙන් ඉවතට පාවී යන බව කීවා. මේ ගැන මා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම්වත් කළා. ඔවුන් ගමන් කළ දිසාව අනුව ඉන්දුනීසියාවට ඉතා සමීපයි. මේ නිසා ධීවර අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අපේ යාත්‍රා කුණාටුව නිසා ඉන්දුනීසියාව දෙසට පැමිණෙන බව එරට රජයට දැනුම් දී තිබුණා. මේ යාත්‍රා ඉන්දුනීසියා මුහුදු සීමාවට ඇතුළු වී තිබුණත් එහි වරායවල්වලට ඇතුළු වුණේ නැහැ. දැන් කුණාටු තත්ත්වය අඩු වෙලා නිසා ඔවුන්ට නැවත ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කළ හැකියි."

මේ වනවිට ආපදා තත්ත්වයට මුහුණ දී තිබෙන බහුදින යාත්‍රා ගණන 34කි. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසන්නේ මේවා කුඩාවැල්ල, තංගල්ල, මාතර, අම්බලන්ගොඩ හා මීගමුව යන ධීවර වරායවලින් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රා බවයි. ඉන් 15ක් අන්දමන් දූපත් ආසන්නයේත් 19ක් ඉන්දුනීසියා මුහුදේත් තිබේ. ඒ අනුව අන්දමන් දූපත් අසල ඇති යාත්‍රා මේ වනවිට ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 560ක් පමණ ඈතින් තිබෙන අතර ඉන්දුනීසියාව ආසන්න‍යේ ඇති යාත්‍රා ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 700ක් ඈතින් සිටියි.

නමුත් එම යාත්‍රාවලට මුහුණ පෑමට සිදුව ඇති විශාලතම ගැටලුව වන්නේ යළි ශ්‍රී ලංකාව වෙතට ගමන් කිරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීමයි. ඔවුන් එරට වරායකට ‍ඇතුළු වුවහොත් දින 14ක නිරෝධායන කාලයක් ගත කිරීමට සිදුවන අතර රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියකට පසු යළි මෙරටට පැමිණීමට සිදුවෙයි. මේ නිසා ශ්‍රී ලංකා රජය බ්‍රහස්පතින්දා (21) උදෑසන විට මෙම යාත්‍රා වෙත අවශ්‍ය තෙල් සපයා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් සඳහා සූදානම්ව සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අධි තාක්ෂණ ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන සමුදුර යාත්‍රාව බ්‍රහස්පතින්දා (21) උදෑසන මේ බහුදින යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන හා ආහාර රැගෙන පිටත්ව තිබිණි

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එල්.ජී.පී.චන්දන මහතා මෙසේ කිවේය. ''කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය 'සවිනි' කියන බහුදින යාත්‍රාව ඉන්දුනීසියාව ආසන්න මුහුදේ දී අනතුරට පත්වෙලා තියෙනවා. ඒ යාත්‍රාවේ පොප්ලර් එක කැඩිලා යාත්‍රා කරන්න නොහැකිව තිබෙනවා. අපේ තවත් යාත්‍රා කිහිපයක් එතැනට ගිහින් ඔවුන්ට සහය වෙනවා. ඒ නිසා ධීවරයන්ට අනතුරක් නැහැ. මේ බෝට්ටුව ඇදගෙන එන්න උත්සාහ ගත්තත් එය කළ නොහැකියි. නාවික හමුදාවේ නැවටත් මෙය ඇදගෙන ඒමට නොහැකි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා දැන් ඒ යාත්‍රාවේ අවශ්‍ය උපකරණ ඉවත් කරලා බෝට්ටුව අතහැර දැමීමට සිදුවන තත්ත්වයක් තිබෙනවා."

එම යාත්‍රාවේ හිමිකරු අජිත් නිශාන්ත මහතා මෙසේ කීවේය. ''මගේ යාත්‍රාව මුහුදු ගියේ අප්‍රේල් 19 වැනි දා. මාළු අල්ලාගෙන තිබුණා. නමුත් කුණාටු තත්ත්වය නිසා ඔවුන් ඉන්දුනීසියාව පැත්තට පාවී ගිහින් තියෙනවා. දැන් එහි පොප්ලර් එක කැඩිලා. යාත්‍රාව ඇදගෙන එන්න වෙනත් යාත්‍රාවලින් උදව් කළත් එය රැගෙන එන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. එහි සිටි හය දෙනාම නිරුපද්‍රිතව ඉන්නවා. නාවික හමුදාවත් පවසා තිබුණා මුහුදේ රළු බව නිසා යාත්‍රාව ගේන්න බැහැ කියා. මා ධීවර දෙපාර්තමේන්තුවත් රක්ෂණ ආයතනයත් සමග කතා කරලා යාත්‍රාව අතහැර දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි ජීවත් වෙන්නේ මේ යාත්‍රාවෙන්. අපේ එකම ආදායම ධීවර කර්මාන්තයේ යෙදීම."

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ජාත්‍යන්තර මුහුදු) එම්.පී.ආරියරත්න මහතා මෙසේ කීවේය. ''සුළි කුණාටුව නිසා ඉන්දුනීසියාව හා අන්දමන් දූපත් දෙසට ගිය බහුදින යාත්‍රාවල සිටින කිසිවෙකුට හානියක් සිදුව නැහැ. ඒ නිසා කුණාටු තත්ත්වය අවසන් වූ නිසා ඔවුන්ට නැවත ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරන්න කියා උපදෙස් දුන්නා. එසේ වුණත් මොවුන් වෙනත් රටක මුහුදු සීමාව වෙත ගමන් කළ නිසා ඒ රටවලට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැනුම් දීමට කටයුතු කළා. අපේ ධීවරයන්ට උදව් අවශ්‍ය වුණොත් අදාළ සහයෝගය ලබාදෙන්න කියා. කිසිසේත්ම මේ සම්බන්ධයෙන් බියක් ඇතිකරගත යුතු නැහැ. ඔවුන් සියලු දෙනා සුරක්ෂිතව ඉන්නවා."

සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයට අනුබද්ධ බහුදින යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වයි.ජී.අජිත් නිශාන්ත මහතා මෙසේ කීවේය.''අපේ බහුදින ධීවර යාත්‍රා ඉන්දුනීසියාව හා අන්දමන් දූපත් ආසන්න මුහුදට යාමත් සමගම අපි ධීවර දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය සහ අගමැතිතුමාත්, ජනාධිපතිතුමාත් දක්වාම දැනුම්වත් කරලා ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කළා. දැන් මේ ධීවර යාත්‍රා ආපසු පැමිණීමට පිටත්වෙලා. ඇතැම් ඒවාට තිබෙන්නේ ඉන්ධන ප්‍රශ්නය. නාවික හමුදාව ඒ සඳහා අවශ්‍ය ඉන්ධන රැගෙන නැවක් යවා තිබෙනවා. ඒ නිසා ගැටලුවක් ඇතිවන්නේ නැහැ. අනතුරට පත්වී තිබෙන සවිනි යාත්‍රාව, අසල තිබෙන ඩිල්මි පුතා යාත්‍රාව මගින් ඇදගෙන ඒමට උත්සාහ ගත්තත් එය ව්‍යර්ථ වී තිබෙනවා. ඒ නිසා සචිනි යාත්‍රාව අතහැර දැමීමට සිදුවෙනවා. නමුත් මේ වගේ අවස්ථාවක දී ඔවුන්ට අවශ්‍ය රක්ෂණ ආවරණය ලබාගැනීම් සම්බන්ධයෙන් තිබෙන නීතිමය කාරණා ගැනත් සොයා බැලිය යුතුයි. " ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසන්නේ ඉදිරි දින කිහිපයේ දී මෙම යාත්‍රා සියල්ල සහ අතහැර දැමීමට සිදුවූ යාත්‍රාවේ සිටි ධීවරයන් හය දෙනා ද සමග ශ්‍රී ලංකාවට නිරුපද්‍රිතව පැමිණෙනු ඇති බවයි.

එස්. ලොකුකරවිට 
කරාපිටිය සමූහ

Comments