අත්‍යවශ්‍ය සේවා සපයන්න දුම්රිය සීරුවෙන්... | සිළුමිණ

අත්‍යවශ්‍ය සේවා සපයන්න දුම්රිය සීරුවෙන්...

ශ්‍රී ලංකාවේ රජයේ කාර්යාල සේවකයන් වැඩිම ප්‍රමාණයක් දෛනිකව භාවිතා කරන පොදු ප්‍රවාහන මාධ්‍යය වන්නේ දුම්රිය සේවාවයි. ප්‍රධාන මාර්ග 11ක් ඔස්සේ දෛනිකව දුම්රිය ධාවනය කෙරෙන අතර දිනකට ලක්ෂ 37ක පමණ පිරිසක් දුම්රිය සේවාව භාවිත කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දකුණේ සිට රජයේ හා පුද්ලික අංශයේ රාජකාරී කටයුතු සඳහා කොළඹට පැමිණෙන අති විශාල පිරිසක් දුම්රිය භාවිත කරති. මුහුදුබඩ මාර්ගය ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන මෙම මාර්ගය බෙලිඅත්තේ සිට මරදාන දක්වා විහිදෙන අතර එම මාර්ගයේ දිනකට දුම්රිය ගමන් වාර 120ක් සිදු වෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ රජයේ සහ පුද්ගලික අංශයේ රැකියාවල නිරත 64,000කට වැඩි පිරිසක් මාසිකව දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන දුම්රියේ ගමන් කරති. මේ සියල්ල අඩු යටිකුරු කළේ ගෝලීය කොරෝනා වසංගතයයි. රට පුරාම ඇඳිරිනීතිය දැමිණි. කාර්යාල සහ සියලු සේවා ස්ථාන වසා දැමිණි. දුම්රිය සේවාව ද නවතා දැමිණි. ‍මේ ආකාරයට මාසයකට වැඩි කාලයක් ගතවූ පසු රජය තීරණය කළේ කොරෝනා රෝගය පැතිරීම පාලනය කර ඇති බැවින් රටේ සාමාන්‍ය එදිනෙදා කටයුතු යළි ආරම්භ කිරීම අවශ්‍ය බවයි.

මැයි මස 11 වැනි දා ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ රජයේ වැඩපිළිවෙලට අනුව තිබූ ප්‍රබලතම අභියෝගයක් වූයේ රජයේ හා පුද්ගලික අංශයේ රැකියා සඳහා පැමිණෙන පුද්ගලන් නිවැරදි සනීපාරක්ෂක ක්‍රමෝපායයන්ට අනුව කොළඹට ගේනවා ගැනීමයි. මේ සඳහා භාවිත කළ හැකි ඉතාමත් සුදුසු සහ පහසුම ප්‍රවාහන මාධ්‍යය දුම්රිය සේවාව බව අවිවාදිතය. එසේ වුව ද ඒ සඳහා කිසිදු පාලනයකින් තොරව අවස්ථාව විවර කළහොත් මගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවෙයි. එබැවින් දුම්රිය දෙපාර්තමේන්තුව පැමිණෙන මගීන් සීමා කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙනු ලැබීය. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වුව ද එමගින් මගීන් එකිනෙකා හඳුනාගෙන ඔවුන් සඳහා ආසනයක් වෙන්කර තැබීම දක්වාම පුළුල් ලෙස පැතිරගිය ක්‍රියාදාමයක් විය.

එහි දී සිදුකෙරුණේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රටේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන රාජ්‍ය හා පුද්ගලික සේවකයන් සඳහා ප්‍රවාහන පහසුකම් සපයන බවත් ඒ සඳහා ආයතන ප්‍රධානීන් විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආකෘති පත්‍රය පුරවා ඉදිරිපත් කළ යුතු බවටත් ප්‍රචාරය කිරීමයි.

මේ අනුව දුම්රියෙන් කොළඹ පැමිණීමට අපේක්ෂා කරන තම ආයතන නිලධාරීන් වෙනුවෙන් ආයතන ප්‍රධානීන් විසින් එම අකෘති පත්‍රය පුරවා දුම්රිය සාමාන්‍යාධිකාරී වෙත එවිය යුතුය. එවිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාවිත කරන දුම්රිය සේවා මෘදුකාංගයේ ඒ ඒ ආයතනය වෙනුවෙන් සකස්කරන ලද ගිණුමක පරිශීලක නාමය (User name) සහ මුරපදය (Password) අදාළ ආයතන ප්‍රධානියාට ලබා දෙයි. ඒ අනුව වෙබ් අඩවියට ඇතුළුවී තම ආයතන නිලධාරීන්ගේ නම, හැඳුනුම්පත් අංකය, දුම්රිය වාර ප්‍රවේශ අංකය, ගමන් ආරම්භ කරන දුම්රිය ස්ථානය සහ ඔවුන්ගේ ජංගම දුරකථන අංකය එහි සටහන් කළ යුතුය. එම තොරතුරු පරීක්ෂා කරන දුම්රිය දෙපාර්තමේන්තුව සෑම ඉල්ලුම්කරුවකුටම ඔවුන්ගේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවිඩයක් මගින් ආසනයක් වෙන්කර ඇති දුම්රියේ අංකයත්, මැදිරි අංකයත් ලබා දෙයි.

එමෙන් ම දුම්රිය දෙපාර්මේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය සෑම දුම්රිය ස්ථානයකට ම ඒ ඒ දුම්රිය ස්ථාවලින් සේවාව ලබාගන්නා පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංකය හා වෙන්කර ඇති ආසනය සම්න්ධ තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් ලැබීමට සලස්වයි. එය මගීන්ට ලබා දෙන අවසර පත්‍රයයි. ආසන වෙන්කරවාගත් පුද්ගලයා දුම්රිය ස්ථානයට පැමිණිවිට ඔහුගේ දුරකථනයේ ඇති කෙටි පණිවිඩය පරීක්ෂා කර බලා අවසර පත්‍රය ලබාදීම සිදු වේ. මේ අනුව මගීන්ට දුම්රියේ තම තමන් වෙනුවෙන් වෙන් වූ ආසනයේ ගමන් කිරීමට හැකියාව ලැබේ. ආසනය සොයා ගැනීමට මගීන්ට උදව් ලබාදෙන්නේ දුම්රියේ සේවයට යොදවා ඇති හමුදා නිලධාරීන් විසිනි. එමෙන් ම බෙලිඅත්ත දුම්රිය ස්ථානයට මගියකු ඇතුළුවන විට ඔවුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරනු ලබන අතර අන් දුම්රිය ස්ථාවලින් දුම්රියට ගොඩවන මගීන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම දුම්රිය ඇතුළේ දී සිදුකරයි.

දුම්රිය දෙපාර්ත‍මේන්තුවේ ප්‍රවාහන අධිකාරී (කොළඹ) චන්ද්‍රසේන බණ්ඩාර මහතා මේ සේවාව ගැන මෙසේ කීවේය. ''රටේ සාමාන්‍ය කටයුතු ක්‍රමයෙන් ආරම්භ කිරීමට රජය ප්‍රතිප්තිමය තීරණයක් ගැනීමත් සමග කාර්යාල සේවකයන් සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමේ වගකීමෙන් විශාල කොටසක් දුම්රිය දෙපාර්තමේන්තුවට පැවරුණා. ඒ අනුව අපි ක්‍රමවේදයක් සකස් කළා. රජය මුලින්ම කියා සිටියේ අත්‍යාවශ්‍ය සේවා සඳහා සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් හෝ අඩක් ගෙන්වාගන්න කියා. දැන් ක්‍රියාත්මක වෙන්නේ එක ආසනයකට එක් අයෙක් බැගින් ප්‍රවාහනය කිරීමේ ක්‍රමය. බලපත්‍ර හිමි 64,000න් අඩක් කොළඹට ගෙන්වනවා නම් ගෙන්විය යුතු වෙන්නේ 32,000ක පිරිසක් පමණයි. මේ සඳහා ප්‍රමාණවත් දුම්රිය අපි සතුව තිබෙනවා. ඒ නිසා ගැටලුවක් නැතිව මේ කාර්යය කරගෙන යන්න පුළුවන්. අපි දුම්රිය විශාල සංඛ්‍යාවක් සූදානම් කළා. නමුත් පළමු සතියේ ඒ කියන්නේ 11 වැනි දා සිට 15 වැනි දා දක්වා දුම්රිය සේවාව ලබාගැනීමට ඉල්ලුම් කර තිබුණේ සුළු පිරිසයි. ඒ නිසා දුම්රිය ගමන් වාර අඩු කළා. මුහුදුබඩ මාර්ගයේ බෙලිඅත්තේ සිට එක දුම්රියකුත්, අලුත්ගම සහ පානදුර සිට දුම්රියක් බැගිනුත් ධාවනය කළා. ඉල්ලුම් කළ අයත් මුල් දින කිහිපයේ පැමිණියේ නැහැ. අපි මේ සේවාව සම්පූර්ණයෙන් ම නොමිළයේ ලබා දෙන සේවාවක්."

ප්‍රවාහන අධිකාරී බණ්ඩාර මහතා පවසන්නේ මැයි මස 18 වැනි දා සිට 22 වැනි දින දක්වා දුම්රියේ ගමන් කිරීම සඳහා අවශ්‍ය අයගේ ඉල්ලුම් පත් ලබාගැනීම බදාදා (13) අවසන් කළ බවයි. ඒ අනුව ඉල්ලුම් පත්‍ර 4000-5000ත් අතර ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් එම ඉල්ලුම් පත්‍ර විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඒ ඒ මාර්ග සඳහා යෙදවිය යුතු දුම්රිය සංඛ්‍යාව තීරණය කරන බවයි. ඒ ඒ දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැංවිය හැකි මගීන් සංඛ්‍යාව පිළිබඳ කල් වේලා ඇතිවම දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කාර්යාලයෙන් කලින් දැනුම් දී තිබිණි. යම් දුම්රිය ස්ථානයකින් ඔවුන්ට වෙන්වූ ආසන සංඛ්‍යාවකට වඩා වැඩි මගීන් සංඛ්‍යාක් දුම්රියට නැගුණහොත් සෞඛ්‍ය නීති අනුව දුරස්ථභාවය තබාගැනීමට අවස්ථාව අහිමි වෙයි. නමුත් යම් දුම්රිය ස්ථානයකින් නියමිත මගීන් සංඛ්‍යාවට වඩා අඩු මගීන් සංඛ්‍යාවක් දුම්රියට නැංවූයේ නම් ඉන් පසු ඇති දුම්රිය ස්ථානවලින් එම අඩුව පිරවීමේ අවස්ථාව ලැබෙයි.

මේ අනුව බදාදා හා බ්‍රහස්තින්දා දින දෙකෙහි දී කලින් ආසන වෙන්කර නොගත් නමුත් සේවා අවශ්‍යතාවට කොළඹ යාමට අපේක්ෂාවෙන් පැමිණි මගීන් කිහිප දෙනෙකුට ද දුම්රිය සේවාව ලබාගැනීමේ අවස්ථාව හිමි විය.බෙලිඅත්ත දුම්රිය ස්ථානාධිපති දීපාල් නාරංගොඩ මහතා මෙසේ කීවේය. ''අපේ දුම්රිය ස්ථානයෙන් සේවාව බලාපෙ‍ාරොත්තු වී සිටියේ ඉතා සුළු පිරිසක්. ඒ අය අතරිනුත් පැමිණියේ කිහිප දෙනෙක් පමණයි. 11 වැනිදා ආවේ එක්කෙනයි. 12 වැනි දා දෙන්නයි. 13 වැනි දා 07 දෙනයි බ්‍රහස්පතින්දා 34 දෙනෙකුට අවස්ථාවව ලැබුණා. දැන් එක් ආසනයකට එක්කෙනෙක් බැගින් යා හැකි නිසා අපිට එවැනි පුද්ලයන් සංඛ්‍යාවක් යැවීමට හැකියාව ලැබුණා. අපේ දුම්රිය ස්ථානයෙන් කොළඹ ගිය බොහෝ දෙනෙක් දෛනිකව යන අය නොවෙයි. සඳුදා වැඩට ගිහින් සිකුරාදා ගෙදර එන අය."

මාතර දුම්රිය ස්ථානාධිපති එම්.ඒ.ප්‍රියන්ත මහතා මෙසේ කීවේය. ''සාමාන්‍යයෙන් දෛනිකව කොළඹ යන පිරිසට වඩා ඉතා අඩු පිරිසක් තමයි මේ දිනවල කොළඹ යන්නේ. ඔවුන් ඉතාමත් සංයමයකින්, සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුව දුම්රියේ ගමන් කරන බව පෙනෙනවා. පසුගිය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා මාතරින් දුම්රියට ආවේ පිළිවෙලින් 18,20,30, 76 වශයෙන්. දැන් දැන් මේ සේවාව ලබාගන්නා ප්‍රමාණය වැඩිවෙමින් තියෙන බව පෙනෙනවා. තවමත් අපේ යන්නේ එක දුම්රියක් පමණයි. ඉදිරියට වැඩිකරන්න වේවි."ගාල්ල දුම්රිය ස්ථානයේ එම ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් දුම්රිය සේවාව ලබාගන්නා බව පෙනෙන්නට තිබේ. බදාදා ගාල්ලෙන් දුම්රියට 56 දෙනකු ගොඩවූ අතර බ්‍රහස්පතින්දා සේවාව ලබාගත් පිරිස 102කි. කලින් ආසන වෙන්කර නොගත් මෙතෙක් දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන නැති අයකුට ද ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැගීමට අවස්ථාව සලසා දී තිබිණි. ඔහු කියා සිටියේ තමන්ගේ සේවා අවශ්‍යතාව අනුව ආයතන ප්‍රධානියා ලිපියක් එවා තිබුණ ද කොළඹ යාමට වෙනත් මාර්ගයක් නොතිබූ බවයි. මේ අනුව දුම්රිය ස්ථානයට පැමිණ ඒ බව දැනුම් දුන් විට සේවා අවශ්‍යතාව සළසා කොළඹ යාමට අවස්ථාව ලබාදීම ඉතාමත් වටිනා බව ද හෙතෙම කියා සිටියේය.

දුම්රිය යනු මෙරට රැකියාවේ නිරත ජනතාවට ඉතා සමීපතම ප්‍රවාහන මාධ්‍යයයි. දුම්රිය වටා ගෙතුණු කතාන්තර, කවි, ගීත, කෙටිකතා පමණක් නොව දුම්රිය මගීන් අතර ඇති සංවිධාන, සමිති සමාගම් මෙන්ම අන්තර්ජාල සමූහ සංඛ්‍යාවද අතිවිශාලය.

දුම්රියේ ඇත්තේ වෙනමම ලෝකයකි. ඔවුහු අතර අපූරු අන්‍යොන්‍ය සහයෝගයක් ද තිබේ. දුම්රියේ ආසන වෙන්කරවා ගැනීමේ සිට වර්ෂ අවසාන සාද, ඇතුළු නානාවිධ සැමරුම් පවත්වන අවස්ථාද ඇත. මේ සියල්ල කොරෝනා වසංගතය විසින් වෙනස් කරන ලදී.

 

Comments