සිංහල අධ්‍යයනයේ අමරණීය ශ්‍රේෂ්ඨාචාර්යවරයා | සිළුමිණ

සිංහල අධ්‍යයනයේ අමරණීය ශ්‍රේෂ්ඨාචාර්යවරයා

ලංකාවේ විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයන සම්ප්‍රදාය ඇරඹෙන්නේ පාලි හා සංස්කෘත භාෂා අධ්‍යයනයේ ආනුෂංගික ධාරාවක් ලෙස 1921 වර්ෂයේ සිට වුව ද සිංහල අධ්‍යයයනය ස්වාධීන විෂය ක්ෂේත්‍රයක් බවට පත් වන්නේ 1943 වර්ෂයේ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයක් ස්ථාපනය කිරීමත් සමගය. මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය ප්‍රථම සිංහල මහාචාර්ය තනතුරට පත් කෙරුණු අතර 1951 වර්ෂයේ එතුමා හදිසියේ අභාවයට පත් විය. මහාචාර්ය රත්නසූරිය විසින් ප්‍රාරබ්ධ සිංහල අධ්‍යයන සම්ප්‍රදාය තව දුරටත් ශාඛා ප්‍රශාඛා විහිදා වැඩුණු වෘක්ෂයක් බවට පත් කළෝ මහාචාර්ය දයානන්ද ඒකනාථ හෙට්ටිආරච්චි සූරීහුය. මුළු රටෙහි ම සිංහල ජාතිවාත්සල්‍යය උග්‍ර ලෙස වර්ධනය වී ඇතත් සිංහල භාෂාව අන්ත පරිහාණියකට පත් වෙමින් තිබෙන, විශ්වවිද්‍යාලයේ එතුමා රෝපණය කළ වෘක්ෂයේ මල් පල වැරී, පලු පත් හැළී, පිළිල වැඩී, අතු ඉති දිරා වැටෙමින් පවතින අවස්ථාවක, ඒ ශ්‍රේෂ්ඨාචාර්යවරයා පිළිබඳ අවලෝකනයක යෙදීම සොම්නසත් සංවේගයත් එකවර ජනිත කරන නිමිත්තක් වනු ඇත.

ඩී. ඊ. හෙට්ටිආරච්චි උපත සිදු වූයේ 1909 මැයි මස 06 දින කොළඹට නුදුරු බුත්ගමුවේ දී ය. පියා දොන් ඒබ්‍රහම් හෙට්ටිආරච්චි ය. මව පොඩිහාමිනේ විජේසිංහ ය. බුත්ගමුව රජයේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ඇරඹූ මේ දරුවා කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයට සුදුසුකම් ලැබීය. ලන්ඩන් විශ්වවිද්‍යාලයීය අනුබද්ධ ලංකා විශ්වවිද්‍යාල විද්‍යායතනයට ඇතුළත්ව සිංහල, සංස්කෘත හා පාලි භාෂාව යන විෂයන් අයත් ඉන්දු-ආර්ය උපාධි පාඨමාලාව හදාරා 1931 දී ප්‍රථමෝපාධිය සාර්ථක ව නිම කළේය. ඉන් පසු 1932 වර්ෂයේ ඩී. බී. ජයතිලක පඬිතුමන් විසින් මේ තරුණ උපාධිධාරියා සිංහල ශබ්දකෝෂයේ සංස්කාරක මණ්ඩලයට බඳවා ගැනිණ. හෙට්ටිආරච්චි තරුණ විද්වතා විසින් සම්පාදිත ප්‍රථම ශාස්ත්‍රීය ලිපිය වන්නේ, රාජකී ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ සංග්‍රහයට 1933 දී සැපයූ ‘A Short Study of Dhampiya Atuva Gatapadaya‘ නම් නිබන්ධය යි. විසිතුන් හැවිරිදි මේ තරුණයා සිංහල සාහිත්‍යය පිළිබඳ ව ලබා තිබූ පෘථුල ඥානය කෙතරම් දැයි මේ ලිපියෙන් අනාවරණය වෙයි. වසර කිහිපයක් ශබ්දකෝෂයේ සේවය කළ හෙට්ටිආරච්චි තරුණයා කල්කටා විශ්වවිද්‍යාලයට බැඳී පශ්චාද් උපාධිය ලබා පෙරළා දිවයිනට පැමිණ පසුව කෙටි කලක් නැවත ශබ්දකෝෂයෙහි සේවය කෙළේය.

1942 දී ලංකා විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් පිහිටුවන ලද සිංහල අංශයේ ආචාර්ය මණ්ඩලයට මේ තරුණ උගතා බඳවා ගැනිණි. 1946 දී නැවත කල්කටා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව දර්ශනසූරී උපාධිය ලබා ගත් හෙතෙම නැවතත් 1948 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් දෙවන දර්ශන සූරී උපාධිය ද හිමිකර ගත්තේය. මහාචාර්ය රත්නසූරියගේ අකල් වියෝවෙන් පසු 1951 දී සිංහල පිළිබඳ මහාචාර්ය ධුරයට පත් වූ එතුමා 1968 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයයේ උපකුලපති ධුරයට පත් වන තෙක් කාලයෙහි ලංකා විශ්වවිද්‍යාලයයේ සිංහල අධ්‍යයනාංශයේ ආචාර්යවරයකු ලෙස ඉටු කළේ අනල්ප මෙහෙයකි. සිංහල විෂයයට අදාළ පුරාතන නූතන සහ ආනුෂංගික විෂය ක්ෂේත්‍ර සියල්ලෙහි පැතිරුණු දැනුමෙන් යුත් විද්‍යාර්ථියකු බිහි කෙරෙන පාඨමාලා සකස් කොට ඒ පාඨමාලා හැදෑරීමෙන් බිහි වූ කුසලතාපූර්ණ විද්‍යාර්ථීන් නව ශික්ෂණ මාර්ගයන්හි පශ්චාද් උපාධි අධ්‍යයන සඳහා යොමු කිරීමෙන් සිංහල අධ්‍යයනයට මනා පදනමක් සකස් කිරීම හෙට්ටිආරච්චි මහාචාර්යතුමාගෙන් සිදු වූ සුවිශේෂ මෙහෙයකි.

භාෂාධ්‍යයනය, සම්භාව්‍ය ග්‍රන්ථ සංස්කරණය වැනි දෘඪ ශික්ෂණයක් සහිත විෂයක්ෂේත්‍ර කෙරෙහි ආසක්තව කටයුතු කළ හෙට්ටිආරච්චි මහාචාර්යවරයා විසින් ගනු ලැබූ දූරදර්ශී තීරණයක් වන්නේ නූතන සිහල සාහිත්‍යය සහ නාට්‍ය කලාව යන ක්ෂේත්‍රවල පරිචයක් ලබා, එතෙක් පාලි අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයකුව සිටි ඊ. ආර්. එස්. සරච්චන්ද්‍ර හෙවත් එදිරිවීර සරච්චන්ද්‍ර සිංහල අංශයට බඳවා ගැනීමයි. ඒ තීරණය හේතුවෙන් නූතන සිංහල සාහිත්‍යයෙහි මහත් ප්‍රබෝධයක් සිදු වූ බව ප්‍රකටය. අධ්‍යයනාංශයේ අභිවෘද්ධි සාධනයෙහි නිරත වූ හෙට්ටිආරච්චි මහචාර්යවරයා විසින් පී. ඊ. ඊ. ප්‍රනාන්දු, එම්. ශ්‍රී රම්මණ්ඩල, එම්. එච්. පීටර් සිල්වා, එම්. ඩබ්ලිව්. සුගතපාල ද සිල්වා, ජී. හේමපාල විජයවර්ධන, ආරිය රාජකරුණා පී. බී. මීගස්කුඹුර, කේ. එන්. ඕ. ධර්මදාස, මයිකල් ප්‍රනාන්දු යන උගතුන් ආචාර්යවරුන් වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට බඳවා ගැනුණු අතර පසු කලෙක මේ හැම ආචාර්යවරයකු ම සුවිශේෂ විෂය ක්ෂේත්‍රවල ප්‍රමාණිකයන් බවට පත් ව ලංකාව ශාස්ත්‍රාලෝකයෙන් ශෝභමාන කිරීමට මාවත හෙළ කිරීම පමණක් වුව හෙට්ටිආරච්චි මෙහෙය අනුස්මරණීය වීමට ප්‍රමාණවත්ය. මීට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සිංහල අධ්‍යයනාංශයේ දී හෙට්ටිආරච්චි මහචාර්යතුමා යටතේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට දීප්තිමත් විද්‍යාර්ථීන් ලෙස අනිකුත් විශ්වවිද්‍යාලයවල සිංහල අධ්‍යයනාංශ ශෝභමාන කිරීමෙහි තත්පර වූ විද්වතුන් කිහිප පොළක් ද හෙට්ටිආරච්චි නාමය බැබළවූ බව ප්‍රකටය.

විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භ කරන අවස්ථාවෙහි එහි සිංහලාංශයේ මහාචාර්ය ධුරයට පත් කෙරුණු විමල් ජී. බලගල්ලේ හා සමාරම්භයෙහිම ඒ ආචාර්ය මණ්ඩලයට එක් වුණු ඒ. වී, සුරවීර, නන්දසේන රත්නපාල හා ටී. බී. කාංගහආරච්චි ද 1960 දශකයෙහි මුල ඊට එක් වූ විමල විජයසූරිය හා තිස්ස කාරියවසම් ද විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට බඳවා ගැනුණු මිණිවන් පී. තිලකරත්න, නන්දසේන මුදියන්සේ ද කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයට සම්බන්ධ වූ පුඤ්චිබණ්ඩාර සන්නස්ගල, ප. බ. ජි. හේවාවසම්, ඩී. වී. හපුආරච්චි, විමල් දිසානායක, ජේ. බී. දිසානායක, සුචරිත ගම්ලත් ද ඒ පරපුර නියෝජනය කරති. මීට අමතරව පරිපාලන සේවයට හා වෙනත් විද්වත් වෘත්තීය ක්ෂේත්‍රවලට අවතීර්ණ වූ ඔස්ටින් ජයවර්ධන, එච්. ඒ. පී. අභයවර්ධන, ධර්මසිරි ඒකනායක, එස්. ජී. සමරසිංහ යන මේ සියලු විද්වත්හු සිහල අධ්‍යයනයේ විවිධ ඥන ශාඛා වර්ධනය සඳහා දායක වීමෙන් මහාචාර්ය හෙට්ටිආරච්චි විසින් දල්වනු ලැබූ ශාස්ත්‍ර ප්‍රදීපාලෝකය දිවයිනෙහි පමණක් නොව දේශාන්තරයෙහි පවා ප්‍රචලිත කිරීමට දායක වූවෝය. එදවස බැබළුණු සහ අභිනවයෙන් ස්ථාපනය කෙරුණු බොහෝ සිංහලාධ්‍යයනාංශ අද දවසේ ගව ලෙන් හෝ හෝම්පළවල් හෝ බවට පත් වීමේ ඛේදවාචකයට මහාචාර්ය හෙට්ටිආරච්චිගේ ඇතැම් ශිෂ්‍යානුශිෂ්‍ය අනුප්‍රාප්තිකයන් සහ ජාතික ප්‍රතිපත්තියක් නැති අදූරදර්ශී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන පාලන පිළිවෙත් මිස එතුමා වගකිව යුතු නැති බව ද සඳහන් කළ යුතු ය.

මහාචාර්ය හෙට්ටිආරච්චි සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන සංස්කාරක ධුරය ද සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන සංස්කාරක ධුරය රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සභාපති ධුරය ද දැරූ අතර එතුමන්ගේ දූරදර්ශී නායකත්වය සහ දායකත්වය ද ශාස්ත්‍රීය මාර්ගෝපදේශනය ද හේතුවෙන් ඒ ව්‍යාපෘති සහ ආයතන සාර්ථකත්වට පත් වූ බව පැවසිය යුතු ය. භාෂාසාහිත්‍ය ප්‍රමුඛ ශාස්ත්‍ර ලෝකයට ප්‍රදීපස්තම්භයක් වූ මේ විද්වතාණෝ 1986 මැයි මස 06 දින දැයෙන් සමු ගත්හ.

Comments