බ්‍රිතාන්‍යයේ ඇමති ධුරයකට පත්වූ ප්‍රථම ලාංකිකයා | සිළුමිණ

බ්‍රිතාන්‍යයේ ඇමති ධුරයකට පත්වූ ප්‍රථම ලාංකිකයා

බ්‍රිතාන්‍යයේ ඇමති ධුරයකට පත්වූ ප්‍රථම ලාංකිකයා

ඉන්දීය සයුරේ මුතු ඇටය ලෙස විරුදාවලී ලත් ශ්‍රී ලංකාවේ මිණි මුතු ලොව පුරා විසිරී තිබේ. මේ, එවැනි තවත් මිණි කැටයක් ගැන කතාවකි. බ්‍රිතාන්‍යයේ හිටපු වෙළෙඳ ඇමති කෝයර් බොන්ස් එම තනතුරෙන් ඉවත්වීමත් සමඟ අගමැති බොරිස් ජොන්සන් මහතා විසින් එම පුරප්පාඩුව සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා පත්කරනු ලැබිණ. ඒ අනුව එංගලන්තයේ ඇමති ධුරයකට පත්වූ ලාංකේය සම්භවයක් සහිත ප්‍රථමයා රනිල් ජයවර්ධන වන අතර එය ශ්‍රී ලංකාවට ද විශාල ගෞරවයකි.

බ්‍රිතාන්‍යයේ නව වෙළද ඇමති රනිල් ජයවර්ධනගේ පියා නලින් ජයවර්ධන වන අතර ඔහු 70 දශකයේ සිට බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය ලැබූ අයෙකි. නලින් ජයවර්ධන ගාල්ල දකුණු ලක බද්දේගම උපත ලැබූවකු වන අතර ඔහුගේ පරපුර හා සම්බන්ධ මතක රැසක් අදටත් බද්දේගම වැසියන් තුළ වේ.

බද්දේගමට පළමුවෙන් මෝටර් රථයක් ගෙනවිත් ඇත්තේ මහ බෝමන් නැමති සුදු ජාතිකයාය. එහෙත් බද්දේගමට දෙවැනි මෝටර් රථය රැගෙන එන්නේ දොන් තෙපානිස් අල්විස් නමැති සිංහලයෙකි.

බද්දේගම, නයාපාමුල, ගොඩේවත්තේ උපන් දොන් තෙපානිස් අල්විස් අබේවික්‍රම මහතා 'ගොඩේ වත්තේ ලොකු මහත්තයා' ලෙස ජනාදරයට පත්ව සිටි අතර ඔහු ගාලු ගඟබඩ පත්තුවේ 'ගොඩේවත්ත තේ කම්හල' ආරම්භ කළේය.

එය සිංහලයකු විසින් ඇරඹි ප්‍රථම තේ කම්හලයි. දොන් තෙපානිස් මහතාට ඇන්ඩෲ, සයිමන්, හෙන්රි, ආතර් හා වින්සන්ට් නමින් පුතුන් පස් දෙනකු සහ දියණියන් හත් දෙනකු විය.

ඉන් පුතුන් තිදෙනකු බද්දෙගම ගම් සභාපති ධුරය දැරූ අතර අනෙක් පුතුන් දෙදෙනා උප ඇමතිවරු විය. එක් පුතකු පසුව කැබිනටි ඇමතිවරයකු ද විය. තවත් පුත්‍රයකු මෙරට පළමු සිංහල ඉංජිනේරුවන් පස් දෙනාගෙන් කෙනකු විය.

තෙපානිස් මහතාගේ බෑණාවරු දෙදෙනකු ද ගම් සභාපතිකම් දැරීය. දොන් තෙපානිස් අල්විස් අබේවික්‍රමගේ එක් දියණියක වූ ඩේසි අබේවික්‍රම මෙනෙවිය විවාහ වුයේ අගුරුවාතොට, මදුරාවල ඉඩම් හිමි වැවිලිකරුවකු වූ මුංවත්ත බාගෙ පත්තුවේ ගම් සභාපතිවරයා වු හෙන්රි ජයවර්ධන සමගය. හෙන්රි සහ ඩේසි යුවළට ලක්ෂ්මන්, අසෝක, නලින් හා ආනන්ද නමින් පුතුන් හතර දෙදෙනකු සහ මල්ලිකා හා දේවිකා නමි දුවරු දෙදෙනකු විය. ඒ අතරින් නලින් පුතු 1978 වසරේදී එංගලන්තය බලා පිටත්ව යන අතර පසුව ඔහු බ්‍රිතාන්‍ය යේ ස්ථිර පුරවැසිකම ද ලැබීය.

ඉන්දීය සම්භවයක් සහිත ඉන්දිරා නම් කාන්තාවක හා විවාහ වන නලින් ජයවර්ධන එංගලන්තයේ මහේස්ත්‍රාත්වරයකු බවට පත්විය. නලින්-ඉන්දිරා යුවළ දරුවන් තිදෙනකුගේ මවුපියන් වන අතර බ්‍රිතාන්‍යයේ නව වෙළෙඳ ඇමති ධුරයට පත් රනිල් මැල්කම් ජයවර්ධන උපත ලබා ඇත්තේ 1986 සැප්තැම්බර් මස 03 වැනිදාය.

ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියකු වන රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය යේ දේශපාලනයට පිවිසෙන්නේ මීට වසර කිහිපයකට පෙරය.

ඔහු අගමැති බොරිස් ජොන්සන් නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂය යටතේ හැම්ප්ෂෙයාර් ප්‍රාන්තය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් විය. එහිදී වැඩි ඡන්ද විසි දහසකට අධික සංඛ්‍යාවක් ලබාගෙන තම ප්‍රතිවාදී ඉංග්‍රීසි ජාතිකයා පරදවමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එක්විය. මේ වනවිට මහ මැතිවරණ තුනක් ජයගෙන ඇති රනිල් ජයවර්ධන කන්සර්වේටිව් පක්ෂයේ උප සභාපතිවරයකු වශයෙන් ද කටයුතු කරයි. හිටපු එංගලන්ත අගමැතිනි තෙරේසා මේ මහත්මිය විසින් රනිල් ජයවර්ධන‍ෙමෙරට වෙළෙඳ තානාපතිවරයා ලෙස ද පත් කරනු ලැබිණ.

රනිල් ජයවර්ධනගේ පියාවන රනිල් ජයවර් ධන මහතා මීට වසර 4කට පමණ පෙර මහේස්ත්‍රාත් ධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු මවුබිමට පැමිණියේය. එහිදී අගුරුවාතොට මදුරාවල සිය උපන් ගමේ සහ බද්දේගම මවගේ ඥාතීන් දැකබලා ගැනීමට ද අමතක නොකළේය.

එමෙන්ම මීට වසර 2ක‌ට පමණ පෙර බ්‍රිතාන්‍ය වෙළෙඳ අමාත්‍ය රනිල් ජයවර්ධ තවත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පිරිසක් සමග මෙරටට පැමිණ අතර ගාලු යන අතරතුර අධිවේගයෙන් හැරී බද්දේගම සිය ඥාතීන් දැකීමට පැමිණියේය.

දොන් තෙපානිස්ගේ මුණුපුරකු වූ ආනන්ද ලැනරොල් බද්දේගම ගොඩේවත්තේදී ඔවුන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර දොන් තෙපානිස්ගේ මුණුපුරකු වූ මෙම ලියුම්කරුට ද ඊට සහභාගි වීමට අවස්ථාව ලැබීම සතුටකි.

"ආච්චි උපන් ගෙය දැකීමට ආසදැයි" ලියුම්කරු විමසූ විට ඉතා සතුටින් ඊට කැමැත්ත පළ කළ රනිල් ජයවර්ධන ඥාතින් සමඟ පා ගමනින්ම ගොස් සිය මිත්තණිය ජීවත් වූ පැරණි වලව්ව දැකබලා ගත්තේය. ඔහු එදින සිය ඥාතීන්ගෙන් සමුගත්තේ ඉතා සුහදවය.

තවමත් 34 වියේ පසුවන සාර්ථක දේශපාලන අනාගතයක් හිමි රනිල් ජයවර් ධන බ්‍රිතාන්‍යය තුළ ශ්‍රී ලංකාවේ අභිමානය රැකගනු ඇත.

 

Comments