කොරෝනාවෙන් දකුණේ ජන සමාජය බේරුණේ මෙහෙමයි | සිළුමිණ

කොරෝනාවෙන් දකුණේ ජන සමාජය බේරුණේ මෙහෙමයි

කොරෝනාවෙන් ගැලවුණු පළාත් අතර දකුණට ද හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. දකුණේ මිනිස්සු සෞඛ්‍ය අංශ ලබා දුන් අවවාද තිතට ම පිළිපැදීම ඊට හේතුවයි. ඒ මේ ලිපිය ලියන මොහොත වනතුරුම දකුණේ කිසිදු පුද්ගලයකු දකුණේ දී කොරෝනා ආසාදනය වූ බවට සාක්ෂි ලැබී නොමැති බැවිනි. මේ ලිපිය ලියන මොහොත දක්වාම වාර්තා වී ඇති රෝගීන් ගණන 07 දෙනෙකි. ඔවුන් සියල්ලෝම ආසාදනය වී ඇත්තේ තම පදිංචි දිස්ත්‍රික්කයෙන් පිටත දී ය.

කොරෝනා ශ්‍රී ලංකාවට පැමිණෙන විට ද සංචාරකයෝ දහස් සංඛ්‍යාත පිරිසක් දකුණේ ප්‍රදේශවල ළැගුම් ගෙන සිටියහ. ගාල්ලෙන් කොරෝනා වැළඳුණු විදෙස් සංචාරකයකු වාර්තා වුව ද දකුණේ පදිංචි කිසිවකුට මේ දක්වාම ඔවුන්ගෙන් කොරෝනා ආසාදනය වූ බවට සාක්ෂි ලැබී නැත. මෙය වාසනාවකි.

දකුණ කොරෝනාවලින් ආරක්ෂා කරගැනීම සඳහා විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. මෙහි මූලිකත්වය ගෙන ක්‍රියා කළේ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාය.

පළාත් සභාව හා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබීම හේතුවෙන් දේශපාලන නායකත්වයේ කාර්ය භාරයෙන් වැඩි වගකීම ද ආණ්ඩුකාරවරයා මත පැටවී තිබිණි. සියලු පළාත් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරුණේ ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයෙනි.

ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්ට පිටතින් පැමිණෙන පුද්ගලයන් පිළිබඳ සොයා බලා ඔවුන් නිරෝධායනයට ලක්කිරීමත්, විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් හා සම්බන්ධතා පැවැත්වූ තැනැත්තන් මෙන්ම ආසාදිතයන් බවට තහවුරු වී ඇති පුද්ගලයන් හා සෘජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් හා සම්බන්ධ වූ අය නිරෝධායනයට යොමු කිරීමත් ඉක්මණින් ක්‍රියාත්මක කෙරිණි. මෙලෙස දකුණු පළාතේ නිරෝධායනය අවසන් කළ සංඛ්‍යාව 8941කි. ඊට අමතරව තවත් 1790ක පිරිසක් මෙම ලිපිය ලියන මොහොත වනවිටත් නිරෝධායනය වෙමින් සිටිති.

ආණ්ඩුකාර විලී ගමගේ මහතා දකුණේ ක්‍රියාත්මක වූ කොරෝනා මර්ධන සැළැස්ම මෙසේ විස්තර කළේය.

''අපි නිලධාරීන්ගේ රැස්වීම් කිහිපයක් පැවැත්වුවා. සියලුම රාජ්‍ය නිලධාරීන් හමුදා ප්‍රධානීන් මේ සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කළා. නිරෝධායනය සඳහා යොමු කරන පුද්ගලයන් සඳහා අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කළා. ඒ වගේම රෝගීන් වාර්තා වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පවා අපි සැළසුම් කළා. මෙතැන දී සෞඛ්‍ය අංශවල නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳවත් අපේ අවධානය දැඩිව යොමුවුණා. ඒ නිසා අපි ඔවුන්ට මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් ලබාදුන්නා. ඊළඟට අපේ වැඩිම අවධානයක් යොමු වුණේ හැකි පමණ ඉක්මණින් පීඩාවට පත්ව සිටින ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සහ ඔවුන්ට රජයෙන් ලබාදෙන දීමනා ලබාදීමට. මේ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත්තා."

ඒ අනුව දකුණු පළාතේ කොරෝනා ආසාදිතයැයි සැක කෙරෙන පුද්ගලයන් සඳහා අවශ්‍ය වාට්ටු සැකසීමට රුපියල් ලක්ෂ 22ක් වෙන් කෙරිණි. දකුණු පළාතේ සෞඛ්‍ය කා‍ර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල 350ක් හා මුඛ ආවරණ 10,000ක් සැපයිණි. එමෙන්ම ඇඳිරිනීති කාලයේ දී පවා සාමාන්‍ය එන්නත් කටයුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් මගින් සිදුකෙරිණි. අවශ්‍ය වුවහොත් යොදා ගැනීමට නිරෝධායන මධ්‍යස්ථාන හඳුනාගෙන ඒවා සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ ලබාදෙන ලදී. දකුණේ රෝහල්වල ලියාපදිංචි වී සිටින සායනික රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිවෙස්වලටම යැවීමේ වැඩපිළිවෙල ද ක්‍රියාවට නංවන ලදී.

දකුණු පළාතේ සමූපකාර දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීක 466ක් භාවිතා කරමින් ජංගම රථ 92ක් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 7400ක් වටිනා ආහාර තොග බෙදා හැරීම මේ දක්වා සිදුකර තිබේ. එමෙන්ම පළාත් පාලන ආයතන හරහා සහන මිලට ජනතාව වෙත ආහාර මළු බෙදා හැරීම ද සිදුකෙරිණි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හරහා එළවළු කිලෝ 131,462ක්, මාතර දිස්ත්‍රික්කයේ එළවළු කිලෝ 151,069ක් හා හම්බන්ෙතාට දිස්ත්‍රික්කයේ එළවළු කිලෝ 17,165ක් මේ වනවිට බෙදා හැර තිබේ.

රජය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව අඩු ආදායම්ලාභී පවුල් සහ රැකියා අහිමිවූ පුද්ගලයන් වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 159,096කට, මාතර දිස්ත්‍රික්කයේ 121,036කට හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ 145,096 කට රුපියල් 5000 දීමනාව ලබා දී ඇත.

''මෙහි දී ගැටලු කිහිපයක් ඇතිවුණා. ප්‍රධාන වශයෙන් ම ඇඳිරිනීතිය බලපාන කාලසීමාවේ දි දකුණේ රෝහල් සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලය තම සේවා මුර සඳහා අදාළ ස්ථානවලට යාමේ ප්‍රශ්නය ආවා. අපි ඒ ගැන ගමනා ගමන මණ්ඩලයේ දකුණු පළාත් කළමනාකරු සමඟ සාකච්ඡා කළ විට මුදල් නැතිව ප්‍රවාහන පහසුකම් ලබාදීමේ දුෂ්කරතාව කිව්වා. ඒ නිසා පළාත් සභාවෙන් ඒ සඳහා ඉන්ධන වියදම ලබාදීමට පොරොන්දු වුණා. ඒ වගේම සියලු රෝහල් සඳහා අඛණ්ඩ ජල සැපයුම් ලබාදීම ගැනත් අපි විශේෂ අවධානයක් යොමු කළා." යැයි ආණ්ඩුකාර විලී ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය මගින් අඩු බර ළමුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන පෝෂණ උදාන වැඩසටන යටතේ හඳුනාගෙන ඇති දරුවන් 1580ක් සඳහා අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය ලබාදීම ද සිදුකෙරිණි. ඊට අමතරව දකුණු පළාතේ පෙර පාසල් ගුරුවරුන්ට සහන ණය මුදලක් ලබාදීම සඳහා දකුණු පළාත් සංවර්ධන අධිකාරියෙන් රුපියල් කෝටියක මුදලක් ද, රැකියා අහිමිව සිටින බස් රියදුරන්ට සහ‍ කොන්දොස්තරවරුන්ට ණය ලබාදිම සඳහා දකුණු පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට රුපියල් ලක්ෂ 70ක මුදලක් ද, පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල කොරෝනා නිරෝධායන ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 550ක මුදලක් ද පළාත් භාණ්ඩාගාරයෙන් ඒ ඒ පළාත් පාලන ආයතන වෙත ලබා දී ඇත.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා මෙසේ කීවේය. ''කොරෝනා වයිරසයේ පැතිරීමක් දකුණේ දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් අපි ඕනෑම තත්ත්වයකට සූදානමින් ඉන්නවා. කරාපිටිය ශික්ෂණ රෝහල, හම්බන්තොට පැරණි රෝහල සහ මාතර කඹුරුගමුව රෝහල සූදානම් කර තිබෙනවා, කොරෝනා සැක රෝගින් සහ ආසාදිතයන් පවා ඇතුළත් කිරීමට. ඊට අමතරව මූලික රෝහල් 08ක් ඕනෑම හදිසි තත්ත්වයකට යොදා ගත හැකි අයුරින් සූදානම් කර තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයට අමතරව විවිධ පුද්ගලයන් විසින් පරිත්‍යාග කරපු පුද්ගලික ස්ථාන කිහිපයකුත් නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබෙනවා. "

මේ අතර ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මියගේ මූලිකත්වයෙන් ඒ ඒ ග්‍රාමසේවා වසම්වල සිටින ආහාර ද්‍රව්‍ය අවශ්‍ය පවුල් හඳුනාගෙන ගමේ ග්‍රාම නිලධාරී ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් කොටස්වලට බෙදා ඔවුන් ගැන සොයා බැලීම සිදුකෙරිණි. ඕනෑම අයකුට සෘජුවම ප්‍රාදේශීය ලේකම් ඇමතිය හැකි දුරකථන අංක පවා ලබාදුන් අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු සියලු අවශ්‍යතා සහන මිලට ලබාගත හැකි පරිදි කඩිනම් යාන්ත්‍රණයක් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සකස් කෙරිණි.

නියාගම ප්‍රාදේශීය ලේකම් චතුර මිහිදුම් මහතා ඊට වඩා මදක් වෙනස් වූ කාර්යයකට අත ගැසුවේය. තම බල ප්‍රදේශයේ යතුරු පැදි හිමි තරුණයන් කණ්ඩායමක් කැඳවූ ඔහු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැන්වීමක් ප්‍රචාරය කරමින් කියා සිටියේ තම නිවසට අවශ්‍ය භාණ්ඩ ලේඛනය ලබාදෙන්නේ නම් ඒ්වා නිවසටම ලබාදෙන බවයි. ඔහු මේ කාර්යය ආරම්භ කළේ තම සාක්කුවෙන් ලබාදුන් රුපියල් 5000.00ක මුදලකිනි. විනාඩි කිහිපයකින් ලැබුණු ඇණවුම් සඳහා රුපියල් 5000.00 ප්‍රමාණවත් වූයේ නැත. පළමු දිනයේ දී ම රුපියල් 25,000.00 ක් යොදා රුපියල් 1000.00 බැගින් වටිනා භාණ්ඩ රැගෙන නිවෙස්වලට බෙදූ ඔවුන්ට දෙවැනි දිනය වන විට රුපියල් 125,000.00 ක භාණ්ඩ බෙදීමට සිදුව තිබිණි. මේ ක්‍රමය බෙහෙවින් ජනප්‍රිය වී ගියේය. අවසානයේ ඔහුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද කතා කළේය.

මේ ක්‍රම දෙකම දකුණේ අතිශය සාර්ථක ව්‍යාපෘති වූ අතර ආපදා අවස්ථාවක දී ජනතාවට විවිධ යාන්ත්‍රණ යොදා ගනිමින් අවම පහසුකම් යටතේ උපරිම සේවයක් ලබාදිය හැකි බවටත් මනා උදාහරණ විය.

දිස්ත්‍රික්කයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම ඒවායේ ප්‍රගතිය සොයා බැලීම අත්‍යාවශ්‍ය කරුණකි. මේ සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සීමිත නිලධාරීන් පිරිසක් සමග කාර්යාලයට පැමිණ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු සමග සාකච්ඡා කළේය. නෙළුව වැනි දුරබැහැර ප්‍රදේශවල සිට ගාල්ලට පැමිණීමට ගතවන කාලයත්, මුදලත් ඉතිරිවිය. තීන්දු තීරණ කඩිනමින් ගතහැකි විය. ජනාධිපතිවරයාද දිසාපති සෝමරත්න විදානපතිරණ මහතා සමග මේ රැස්වීම්වල සාර්ථකත්වය ගැන සාකච්ඡා කළේය.

ගාල්ල දිසාපති සෝමරත්න විදානපතිරණ මහතා මෙසේ කීවේය. ''අපි අන්තර්ජාලය හරහා සිදුකළ රැස්වීම් ක්‍රමය ඉතාමත් සාර්ථක වුණා. වේලාවත් මුදලත් ඉතිරියි. අපි දිනපතා රැස්වීම් පවත්වා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රගතිය සමාලෝචනය කළා. මෙහි දී අපේ වැඩිම අවධානය යොමු වුණේ ජනතාවට ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලබාදීමට. ඒ සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ක්ෂේත්‍ර නිලධාරීන්ට වගකීම පවරලා අවශ්‍ය කරුණු සොයා බැලුවා. ඒ වගේම අපි ඉදිරියේ දී ඇතිවන ආහාර හිඟයකට මුහුණ දීමට අවශ්‍ය නිසා වගා කටයුතු ගැන දැඩි අවධානයක් යොමු කළා. බෙන්තොට දෙද්දුව සංචාරක කර්මාන්තය සඳහා යෝජිත අක්කර 2000ක ඉඩම පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයට සංවර්ධනය කිරීමේ සැළැස්මක් ඇතිව යුද හමුදාව සමඟ එක්ව එහි පළතුරු, එළවළු සහ ජලජීවී වගාව සඳහා යොදා ගැනීමට සැළසුම් කළා. පෞද්ගලික ව්‍යාපාරිකයන්ට මහා පරිමාණයෙන් අක්කර 5-10 බැගින් පුරන් කුඹුරු ලබා දී ඔවුන්ට බැංකු ණය පහසුකම් පවා ලබා දී වී වගාව හෝ වෙනත් කෙටි කාලීන බෝග වගා කරන්න තීරණයක් ගත්තා. පර්චස් 20 වැනි ප්‍රමාණයක් ඇති ගෙවතුවලත් අපනයන බෝග වැවීම ගැනත් අපි කටයුතු කරමින් සිටිනවා. ධීවර ජනතාව සඳහා ගාල්ලේ ශීතාගාරය ඉතා ඉක්මණින් අලුත්වැඩියා කරලා දුන්නා. "

දකුණු පළාතේ කෘෂිකාර්මික ජනතාව වැඩිම පිරිසක් වාසය කරන දිස්ත්‍රික්කය වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. මේ වනවිට එහි කොරෝනා රෝගීන් හතර දෙනකු වාර්තා වී ඇත.

හම්බන්තොට දිසාපති ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා ''හම්බන්තොටින් වාර්තා වී ඇති සියලුම ආසාදිතයන් පිට ප්‍රදේශවලින් රෝගය ආසාදනය වී පැමිණි අය. ඔවුන් කිට්ටුවෙන් ඇසුරු කළ අය පිළිබඳ අවධානයෙන් සිටිමේ වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යනවා. වසංගත තත්ත්වය ආරම්භ වී ඇඳිරිනීතිය දැමීමත් සමග සියලුම අංශවල නියෝජනයෙන් කොරෝනා මර්ධන බලකායක් සකස් කරලා ඒ ඒ වගකීම් භාරදුන්නා. අපිට තිබුණු විශාල ගැටලුවක් තමයි හම්බන්තොට ගොවීන්ගේ අස්වැන්න වෙ‍ෙළඳපොළට යොමුකිරීමට නොහැකි වීම. මේ සම්බන්ධයෙන් අපි විශේෂ වැඩපිළිවෙලක් සකස් කළා. මේ අනුව අපි ගොවීන්ගේ අස්වැන්න බස්නාහිර පළාතට යොමු කළා. දවස් තුනකට කෙසෙල් කිලෝ 174,000ක් බස්නාහිර පළාතේ විකුණන්න හැකිවුණා. තවත් ගැටලුවක් තමයි පානීය ජල අවශ්‍යතාව. මේ සඳහා වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කළා. අසීරුතා ගොඩක් තිබුණා. ඒ අසීරුතා නිලධාරීන්ගේ දැඩි කැපකිරීම නිසා සාර්ථක වුණා කියා කිව හැකියි. "

මාතර දිසාපති ප්‍රදීප් රත්නායක මහතා මෙසේ පැවසීය.''මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර සඳහා සැකසූ ආපදා කළමනාකරණ සැලැස්මක් තිබුණා. අපි මේ සැලැස්ම ප්‍ර‍‍යෝජනයට ගත්තා. ප්‍රවාහනය, ආහාර, ඖෂධ, ජලය වගේ කාර්යයන් මාණ්ඩලික නිලධාරීන් යටතේ කමිටුවලට බෙදා දුන්නා. එයට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් නිලධාරීන් 13 දෙනකුගෙන් යුතු කමිටු හැදුවා. මෙයට සමූකාර, පොලිසිය, හමුදාව, සෞඛ්‍ය වෛද්‍ය වැනි විවිධ ක්ෂේත්‍රවල නිලධාරීන් ඇතුළත් වුණා. ඇඳිරිනීතිය ආරම්භ වූ විගස ඖෂධ සැල් විවෘතව තැබීම, පාන් බෙදන ජංගම රථ යෙදවීම වගේ දේවල් මුලින්ම පටන්ගත්තේ මාතර දිස්ත්‍රික්කයෙන්. එය ජනාධිපතිතුමාගේ පවා ඇගයීමට ලක්වුණා. අපිට නිශ්චිත වැඩපිළිවෙලක් තිබූ නිසා ජනතාවට එල්ල වූ පීඩනය අවම කරන්න හැකියාව ලැබුණා."

 

Comments