ප්‍රීමියර් ලීග් ශ්‍රීලංකාවේ පැවැත්විමේ ‌‌යෝජනාවක් | සිළුමිණ

ප්‍රීමියර් ලීග් ශ්‍රීලංකාවේ පැවැත්විමේ ‌‌යෝජනාවක්

කොවිඩ් 19 අවදානම හේතුවෙන් දින නියමක් නොමැතිව කල්දමා ඇති ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම යෝජනාවට මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 අවදානම ඉදිරි දින කීහිපයේදී පහව ගියහොත් ඉන්දියාව එම යෝජනාව කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ ඇති බවත් සභාපතිවරයා පැවසීය.

“අයි.පී.එල්. තරගාවලිය අවලංගු කිරීමට සිදුවහොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ තරගාවලියේ පාර්ශ්වකරුවන්ට ඩොලර් මිලියන 500 ක් වගේ අති දැවැන්ත මූල්‍යමය පාඩුවක් වන බවට කියවෙනවා. ඒ නිසා වෙනත් රටක හෝ තරගාවලිය පැවැත්වුවහොත් පාඩුව අවම කරගැනීමේ හැකියාව ලැබෙනවා”

“මම හිතන්නේ අපේ රටේ හෝ තරගාවලිය පැවැත්වුවහොත් ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට රූපවාහිනියෙන් හෝ තරගාවලිය නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. අයි.පී.එල්. තරගාවලිය මීට පෙර දකුණු අප්‍රිකාවේ පවත්වලා තියෙනවා” යයි පැවසූ ශම්මි සිල්වා “ඉන්දියාව අපේ රටේ තරගාවලිය පැවැත්වීමට තීරණය කළහොත් අපේ රටේ සෞඛ්‍ය සහ සෙසු බලධාරීන්ගේ අනුමැතිය ඇතිව පහසුකම් සැළසීමට අපි සූදානම්ව ඉන්නවා. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශාල ආදායම් ලැබෙන තරගාවලියක් වෙනවා” යැයි ද වැඩි දුරටත් පැවසීය.

Comments