පෝරකයට ගිය පෝලින්ට අවසානයේ ජීවිත සමාව | සිළුමිණ

පෝරකයට ගිය පෝලින්ට අවසානයේ ජීවිත සමාව

දරුවා ඝාතනයට ලක්කර දමා තිබුණ ශාන්ත රීටා පල්ලියේ ලිඳ

රාම්ද්‍රාස් ගෝටාභය කිරඹකන්දගේ මරණය සිදුවූයේ 1966 පෙබරවාරි 7 වැනි දිනය‍. එදින ගෝටා ගල්කිස්සේ හේන පාර් පාසලට යද්දී පෝලින්, පාසලේ ගේට්ටුව අසලදී ඔහුව එක් කරගෙන ගිය බවට සාක්ෂි ඉදිරිපත් කෙරුණි.

එදිනම පෝලින් 11 හැවිරිදි ගෝටා සමඟ ශාන්ත රීටා පල්ලිය වෙත ගිය බව ද පල්ලියේ අන්නයිරාළ 1966 පෙබරවාරි 7 වැනි දින උදේ 7.30 උදේ 9 ට දහවල් 11.45 ට සහ දවල් 1 ට දෙදෙනා දුටු බව ද කියා සිටියේ ය‍. ගෝටා මේ අවස්ථාවේ ක්ලාන්ත ගතියකින් සිටි බව ද අනාවරණය විය මේ සාක්ෂි දුන් අය අතර අන්නයිරාළ ඇල්බට් පෙරේරා, පල්ලියේ පාසලේ ප්‍රධානියා රෝලන්ඩ් ගුණසේකර, ඔහුගේ පුත් අර්ල් යන පිරිස සහ තවත් කීප දෙනෙකි.

මෙහිදී රෝලන්ඩ් සහ ඇල්බට් ගෝටාගේ ක්ලාන්ත ගතිය ආ පොලින්ගෙන් විමසූ විට ඇය එය පිළිගත් බව ද සාක්ෂිවලින් අනාවරණය විය. එසේ වුව ද ගෝටාගේ මළ සිරුර ශාන්ත රීටා පල්ලියේ ළි‍ඳෙන් පසු දින (8 වැනි දා) ගොඩ ගන්නට සිදුවූයේ කෙසේ ද? පෝලින් සහ ගෝටා ප්ලලියේ සිටියදී පෝලින් ඔහුව ළිඳට තල්ලු කරනු කිසිවෙකු දැක නැත. ගෝටාගේ පාසල් බෑගය දෙහිවල ඇලන් මාවතේ හෙලන් අල්විස් මහත්මියගේ ගෙවත්තේ තිබී හමුවිය. ඇලන් මාවත පෝලින් පදිංචි නිවස පිහිටා ඇති කොරි පාරට ඉතා කිට්ටුව පිහිටා ඇත.

මෙම ස්ථානය චාර්ලට් ජයවර්ධන මහත්මියගේ නිවසට ද ඉතා කිට්ටු ය. 1966 පෙබරවාරි 7 වැනි දින උදේ පෝලින් දුඹුරු පැහැති කඩදාසියකින් ඔතා බෝතලයක් ගෙන යනු දුටු සාක්ෂිකාරිය චාර්ලට් ජයවර්ධන මහත්මිය යි. පැමිණිල්ල විශ්වාසය කළේ ගෝටාට සිහිය නැති කිරීම සඳහා යම් දියරක් බෝතලයට දමාගෙන යන්නට ඇති බව ය.

1966 පෙබරවාරි 7 වැනි දින උදේ සිට පිළිවෙළින් සිදුවූ සිද්ධීන් මෙසේ ය.

පොලින් කෲස් කල්තියා සැලසුම් කළ පරිදි උදෙන් ම ගෝටාට සිහි නැති කිරීමට දියරයක් බෝතලයක දමා ගෙන ගියේ ගෝටාගේ පාසලටය. එහිදී පෝලින්, ගෝටාව ගෙන ගියේ සාන්ත රිටා පල්ලියටය. ඒ යන විට ගෝටා ඇඳ සිටියේ නිල් පැහැති කලිසමක් සහ සුදු කමිසයකි. ඈ ඇඳ සිටියේ කහපාට රෙද්දට රතු මල් ඇති ඇඟට තද වූ සායක් සහ සුදු හැට්ටයකි. ඇගේ උස වැඩි වන අඩි උස සපත්තු ඈ පැළඳ සිටියාය. පිරිමින්ගේ දැඩි අවධානය යොමු කරගැනීමේ මනසක් ඇති පෝලින්ව දන්නා කොයි කවුරුත් ඇය අපරාධකාරියක් යැයි සැක කළේ නැත.

පල්ලියේදී අන්නයිරාළ සිතුවේ පෝලින් ඇගේ පුතා සමඟ පැමිණ සිටින බවකි. දවල් 12.45 ට පල්ලිය වසන්නට පෙර ඔහු ඇගෙන් බොහොම තැන්පත් ස්වරූපයෙන් ඇසුවේ අද පැමිණි කාරණාව කුමක්දැයි කියාය. ඊට පිළිතුරු වශයෙන් ඇය පැවැසුවේ උප්පැන්න සහතිකයක් ලබාගැනීම සඳහා පියතුමා හමුවීමට පැමිණි බවකි. කෙසේ වෙතත් එදින දවල් 1 දක්වා පෝලින්, ගෝටා සමඟ පල්ලියේ රැඳී සිටියාය.

එතැන් පටන් පෝලින් සහ ගෝටා පිළිබඳව කාගේත් අවධානය යොමු නොවූයේ පුතෙකුගේ උප්පැන්නයක් පිළිබඳ කාරණාවකට පැමිණ සිටි බව පැවැසූ හෙයිනි. මේ අතර ගෝටාගේ බෑගය තම ගෙවත්තේ තිබී එය අසල්වැසියන් ඉදිරියේ විවෘත කිරීමෙන් පසු එය දෙහිවල පොලිසිය බාර දී තිබුණි.

මේ අතර ගෝටාගේ මිනීමැරුමට ඔහුගේ පියා කිරඹකන්දත් පෝලින් උදව් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැඩි සැකයක් මතු විණ. පෝලින් ගෝටාගේ පාසලට පැමිණ ඔහුව එක්කරගෙන යන දින ඒ වේලාවටම ඒ අසලවූ ගරාජයකට කිරඹකන්ද තම මෝටර් රථය අලුත්වැඩියා කිරීමට පැමිණියේය.

කෙසේ වෙතත් 1966 පෙබරවාරි 8 වැනි දින උදේ 6.30 ට ගෝටාගේ මළ සිරුර ‍ශාන්ත රීටා පල්ලිය භූමිය තුළ ඇති ළි‍ඳෙන් ගොඩ ගන්නා ලදී. සාක්ෂි දුන් කිසිවෙකුත් පෝලින් කිසිම අවස්ථාවක ගෝටාව ළිඳට තල්ලු කළ බවක් දැක නැත. එසේ නම් ගෝටාගේ සිරුර ඊට පසු දින ශාන්ත රීටා පල්ලිය භූමියේ ළි‍ඳෙන් ගොඩ ගත්තේ කෙසේද? ගෝටාගේ මිනී මැරුම පිළිබඳව විමර්ශන කළ නිලධාරීන්ට විසඳා ගැනීමට නොහැකි වූ ප්‍රධානතම ප්‍රශ්නය එයයි. එහෙත් විමර්ශකයින් දිගින් දිගටම ඊට පිළිතුරු ලබාගැනීමට විමර්ශන කාරියේ නිරත විය.

ඊට පිළිතුරක් ලබාගැනීමට විමර්ශකයන්ට නොහැකි විය. පෝලින් සහ බෝධිපාල කිරඹකන්දට එරෙහි එවකට පැවැති දෙහිවල සහ ගල්කිස්ස පොලිසිවල නිලධාරීන් ඔවුන්ගේ රාජකාරි නිසි ලෙස ඉටු නොකරන බව එවකට සිටි පොලිස්පතිවරයාට දැනගන්නට ලැබිණි. මියගිය ගෝටාගේ බෑගය සොයා ගැනීමට දෙහිවල පොලිසිය උත්සාහ ගෙන නොමැත. එය මෙම නඩුවට ප්‍රබල සාක්ෂියකි. එමෙන් ම සිද්ධියෙන් පසු ඊට අදාළ විමර්ශන කටයුතු ඇරඹීම ප්‍රමාද කළේ ය.

දෙහිවල සහ ගල්කිස්ස පොලිසිවල නිලධාරීන් පෝලින්ගේ හිත මිතුරන් ය. පෝලින්ට අවශ්‍ය දුරකතන ඇමතුම් ලබාගන්නේ පොලිසියෙනි. ගෝටාගේ පාසල් බෑගය හෙලන් අල්විස් මහත්මියගේ ගෙවත්තේ තිබී සොයා ගන්නා ලදී. ඇගේ අසල්වැසියන්ට එය පෙන්වා බෑගය විවෘත කර ඒ පිළිබඳ තොරතුරු සාකච්ඡා කරද්දී බෑගය ඇතුළේ සඳහන්ව තිබූ නම වූ රාමදාස් ගෝටාභය කිරඹකන්ද නම හෙයින් එය පොලිසියට දෙන ලෙස ලෝරන්ස් වැන්ඩර්සීල් නම් මහතෙක් අල්විස් මහත්මියට උපදෙස් දුන්නේ ය.

ඊට උරණ වූ පොලිස් නිලධාරීන් වැන්ඩර්සීල් මහතාට බොරු නඩුවක් පැවරුවේ ය. සුරතලට ඇති කරන මාළු සමඟ ටැංකියක් සොරා ගැනීමේ චෝදනාවන්ට වැන්ඩර්සීල් මහතාට බො‍රු නඩුවක් පැවරූ පොලිසිය අවුරුදු 11 වයස ඇති පිරිමි ළමයෙක් ළිඳක ගිල්වා මරා දැමීමට එරෙහිව සිද්ධියට නිහඬව සිටියේ ය.

ගෝටාව ළිඳට දැම්මේ කවුද? එය කළේ කුමන වේලාවකද? මෙම ප්‍රශ්න දෙකට පිළිතුරු ලබාගැනීමට වෛද්‍ය සාක්ෂි ඔස්සේ විමර්ශකයන් උත්සාහ ගත්ත ද එය සාර්ථක නොවීය.

ගෝටාගේ සිරුර ශාන්ත රිටා පල්ලියෙන් ගොඩගත්තේ පෙබරවාරි 8 දින උදේ 8.30 ට ය. පෙරදින ශාන්ත රිටා පල්ලියේ ළිඳ ළඟට ගෝටාව ගෙන ආවේ කවුදැයි මෙහිදී ප්‍රශ්නයක් පැන නැගුණි. එම අය කවුදැයි ගෝටාගේ පියාට පෙන්වීමට දෙදෙනෙක් ඉදිරිපත් විය. ඒ රොහාන් හා ලෙස්ලි දෙදෙනා ය. ඔවුන් පෙර දිනයේ පෝලින් ගෝටාව ශාන්ත රිටා පල්ලියට ගෙනා බව දුටුවේ ය.

ගෝටාගේ පියා කිරඹකන්දට පෝලින්ව පෙන්වීමට ඔහු සමඟ නිවසට ගිය ද ඔහු පෝලින්ගේ නිවසට ඇතුළු වී අනිත් දෙදෙනා සමඟ පැමිණියේ ය. එදිනම සවස මරණ පරීක්ෂණය පැවැත්විය. ගෝටාට එදින පහරදී බිම ඇදගෙන විත් ළිඳට දමා තිබෙන බව මරණ පරීක්ෂකවරයා පැවසීය. කිරඹකන්ද ගෝටාගේ ආදාහනය එදිනම කිරීමට මරණ පරීක්ෂකගේ අවසරය ලබාගත්තේ ය.

මොරටුවේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි බූල්ජන්ස් සහ අධිකරණ වෛද්‍ය නිලධාරි චන්ද්‍රා අමරසේකර මහත්වරු ගෝටාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්විය. මරණය සිදුවූ වේලාව නිශ්චය ව‍ශයෙන් වෛද්‍ය බූල්ජන්ස්ට ප්‍රකාශ කිරීමට නොහැකි විය. වෛද්‍ය චන්ද්‍රා අමරසේකර මහතාගේ නිගමනය අනුව පෙබරවාරි 7 වැනි දින දවල් 2.30 ට පැය 18 කට හෝ 24 ක් අතර ඔහුගේ මරණය සිදුවී ඇති බව ය.

අමරසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ ගෝටාගේ

හිසේ සහ කකුලක තුවාල තිබූ බවයි. ගෝටාගේ මරණයට හරියටම මාසයකට පසු මෙහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් අධිකාරි ඒ.එම්. සෙනෙවිරත්න සහ පොලිස් පරීක්ෂක එච්.වයි. ද සිල්වා මහත්වරුන්ට අත්අඩංගුවට ගත් අතර ජූනි 2 පෝලින් අත්අඩංගුවට ගත් අතර ජූනි 22 කිරඹකන්ද අත්අඩංගුව ගනු ලැබීය.

ජූනි 30 වැනි දින දෙදෙනාට ම එරෙහිව චෝදනා ඉදිරිපත් කර නඩු පැවරුණි. ගෝටාගේ මරණය සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් දකුණු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔවුනට විරුද්ධ නඩුවක් ආරම්භ කෙරුණි. ඉන් පසු නීතිපතිවරයා දෙදෙනාටම විරුද්ධ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළේ ය. 1968 පෙබරවාරි 23 එවකට සිටි අග විනිසුරු එච්.ඇන්.ජී‍. ප්‍රනාන්දු සහ ඉංග්‍රීසි කතා කරන ජූරි සභාවක් හමුවේ නඩු විභාගය කෙරුණි.

දෙවැනි විත්තිකාර බෝධිපාල කිරඹකන්ද පළමු වැනි විත්තිකාරිය සමඟ නොමනා සබඳකමක් පවත්වාගෙන ගියත් අපරාධය සිදු කළ දිනයේ ඔහු ඊට ‍හවුල් වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති හෙයින් ඔහු චෝදනා දෙකක් ම අධිකරණයෙන් නිදහස් කළේ ය. ශාන්ත රිටා පල්ලිය භූමියේ ළිඳට වයස 11 පාසල් දරුවෙක් දැමීම පිළිබඳව ඇසින් දුටු සාක්ෂි නැතත් ගෝටා පාසල යෑම වළක්වා පල්ලියට ගෙන ගොස් ළිඳ ළඟ තබාගෙන සිට සිහිමද ගතියකින් පසු වූ ඔහුව තමා බාරයේ සිටියදී ළිඳට වැටුණේ කෙසේ දැයි පැහැදිලි කිරීමෙන් වැළකී සිටි පෝලින්ට එරෙහිව ඉදිරිපත්වූ පර්යේෂණ සාක්ෂි අනුව පෝලින් ඔහුගේ මරණයට වගකීව යුතු බව ජූරි සභාවේ 7 දෙනා ගෙන් හය දෙනෙක් තීරණය කළේ ය. මේ සඳහා ඇයට දිය යුතු දඬුවම මරණ දඬුවම බව නඩුව විභාග කළ අගවිනිසුරු එච්.එන්.ජී. ප්‍රනාන්දු විනිසුරු තීරණය කළේය.

අවසාන වශයෙන් කියන්නට යමක් ඇත්නම් ඒ සඳහා ඇයට අවස්ථාව සැලසුණි. ඇගේ අවසන් ප්‍රකාශය මෙසේය. “මා ඔබතුමාට දිවුරා ප්‍රකාශ කරන්නේ මේ අපරාධයට මා කොහෙත්ම සම්බන්ධ නැති නිර්දෝෂීය. ගෝටාගේ මෘත ශරීරය නිවසට ගෙන ගිය අවස්ථාවේ එහි බියන්කා ජෙනසන් නැමති කාන්තාවක් සිටියා. ඇගේ මෙහෙකරු එහිදී ගෝටාගේ නෑදෑයින්ට දන්වා සිටියේ ගෝටාගේ පියා එදින දහවල් වත්තල නිවසකට ඔහුව ගෙන ගිය බවයි. ශාන්ත රිටා පල්ලියේ අන්නයිරාළ මෙම අධිකරණයට කැ‍ඳෙව්වේ නෑ.

ඒ ඔහු මරණ පරීක්ෂණයේදී කළ ප්‍රකාශයක් නිසයි. ඔහු එදින 6.30 ට ළිඳට වතුර ගන්න ගිය අවස්ථාවේ ළිඳ තුළ ඔහු කිසිවක් නොදුටු බව පැවසුවා. පැමිණිල්ල සඳහන් කරන අන්දමට මා මේ අපරාධය කළේ එදින දවල් 2 සහ 3 අතරයි. ඒ අනුව අන්නයිරාළ පවසන අන්දමට ඔහු සවස 6.30 ළිඳට ගිය අවස්ථාවේ ළිඳ තුළ කිසිවක් තිබී නෑ.

ඉන් පෙනී යන්නේ මා මෙම අපරාධය නොකළ බව ය. මා නිර්දෝෂයි. මේ අපරාධය කළ තැනැත්තා ඔබතුමා නිදහස් කළා මට කියන්න තියෙන්නේ එපමණයි.“ ඉන්පසු පෝලින් කෲස්ට විනිසුරුතුමා මරණීය දණ්ඩනය නියම කළේ ය.

ඇය නියම කළ මරණීය දඬුවමට එරෙහිව අපරාධ අභියාචනා අධිකරණයටත්, එංගලන්තයේ රාජාධිකරණයන් අභියාචනා කළේ ය. ඉන් ඵලක් නොවීය.

එවකට සිටි ජනාධිපති විලියම් ගොපල්ලව මහතා ජනාධිපති සමාව යටතේ මරණීය දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලිහිල් කළේ ය. පෝලින් කෲස් බන්ධනාගාරයේ යහපත් අයුරින් සිටි හෙයින් සිරදඬුවම අඩුවී දකුණු පළාතේ කන්‍යාරාමයක උවටැන් කිරීමට අවස්ථාව ලබා ගත්තාය.

 

Comments