දරුවන්ට සුන්දර ළමා ලොවක් තිළිණ කළ අපූරු කාටූන් අධ්‍යක්ෂවරයා | සිළුමිණ

දරුවන්ට සුන්දර ළමා ලොවක් තිළිණ කළ අපූරු කාටූන් අධ්‍යක්ෂවරයා

 

 

කාටූන් කතා මාලාවන්ට ප්‍රිය කරන ඔබ අප සැම දෙනාගේ දෙනාගේ සිත් තුළම කුඩා කාලයේ පමණක් නොව වර්තමානයේ පවා එහා මෙහා නළියන චරිත දෙකක් ඇති බව නම් කිව යුතුය. කෙනෙකු අනෙකාට නොදෙවෙනි ලෙසින් සටනට එක් වෙන මෙම පුංචි සගයන් දෙදෙනා විටෙක නිවසේ ඇති බඩුමුට්ටු සියල්ලම පාහේ කඩා බිඳ දමන්නේ විනාශකාරී විනෝදාස්වාදයක් හැමටම ලබාදෙමිනි. මේ පුංචි දගයන් දෙදෙනා ඔබ අප කවුරුත් දන්නා ටොම් සහ ජෙරී ය. නමුත් මින් පසු ටොමි සහ ජෙරීට තමනට උවමනා ලෙස එහාට මෙහාට දුව පැනීමට ඉඩක් නැත. මන්ද ඔවුන් දෙදෙනාගේ නිර්මාතෘවරයා මේ මොහොත වන විට ඔවුන් දෙදෙනා පමණක් නොව මුළු ලෝකයෙන්ම ඈත් ව ඔහුගේ ආගමට අනුව දෙව් මව් තුරුළට ගොස් අවසන්ය . ඔහු නමින් 95 හැවිරිදි වියේදී මිය ගිය Gene Deitch ය.

Deitch උපන්නේ වර්තමානයේ දී ඇමෙරිකාවේ වඩාත්ම කලහකාරී පරිසරය තිබෙනවා යැයි සඳහන් කරනු ලබන චිකාගෝ හි දීය. 1924 අගෝස්තු 8 වන දා උපන් ඔහු 1929 දී සිය දෙමාපියන් සමග කැලිෆෝනියාවේ පදිංචියට පැමිණියහ. කැලිෆෝනියාවට පැමිණි කුඩා Deitch මුලින්ම hollywood හි පාසලකට ඇතුළත් වූ අතර උසස් අධ්‍යාපනය සඳහා 1942දී los angeles high school හා සම්බන්ධ විය. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහු සිය මුල්ම රැකියාව ලෙසින් සම්බන්ධ වූයේ උතුරු ඇමරිකානු ගුවන් සේවය සමඟ එහි ගුවන් සලස්ම ඇඳීමට සම්බන්ධ වීමෙනි. ඒ 1943 වසරේ දීය. මේ අතරතුර ඔහු ගුවන් නියමු පුහුණු වේද යෙදී සිටිය නමුත් නිව්මෝනියා තත්ත්වය වැළඳීම නිසා ඉන් ඉවත්වීමට සිදුවිය. මින්පසු ඔහු jazz සඟරාව හා සම්බන්ධ විය.

සජීවීකරණ වැඩසටහන් හා සම්බන්ධ වීමේ මුල්ම පියවර Deitch තබන්නේ 1955 වසරේදීය.මේ වසරේදී United production of america ආයතනය හා සම්බන්ධවී පුහුණුවක් ලබා ගත් අතර ඉන්පසු ටෙරිටුන් හි නිර්මාණ අධ්‍යක්ෂවරයා බවට පත් විය. මේ ආයතනයේ සේවය කරන සමයේදී ම Deitch විකට චිත්‍රපටයක් උදෙසා තිර පිටපතක් ද රචනා කරන්නට සමත් විය. කෙසේවෙතත් 1958 වසරේදී ඔහු Sidney's family tree නාට්‍යමය කාටූනය සඳහා ඇකඩමි සම්මාන දිනාගැනීමට සමත් වූ මුත් එම වසරේදීම ඔහුට ටෙරිටුන් වෙතින් ඉවත්වීමට සිදුවිය. එය ඔහුගේ ජීවිතය නව මාර්ගයට යොමුකළ සිදුවීමක් ලෙසින් නම් කළ හැකිය. මන්ද ඔහු නිව්යෝර්ක් Gene Deitch associate නම් වූ ඔහුගේම රූපවාහිනී දැන්වීම් ආයතනයක් ආරම්භ කිරීමට සමත් වීමයි.

මේ අතර 1961 වසරේ දී breakfast at tiffeny's සඳහා හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය දිනා ගන්නට සමත් වූ අතර එකල එක්සත් ජනපදයෙන් පිටතදී ඒ තරම් ගෞරවයට පත් වූ නිර්මාණයක් කොතනකවත් නොතිබුණි. 1960 වසරේ සිට 1963 කාලය දක්වා Deitch , popeye cartoon අධ්‍යක්ෂණය කිරීමට තවත් ශිල්පියෙකු සමග සම්බන්ධ වූ අතර ඉන්පසු ඔහුගේ ජනප්‍රියතම කාටුන් මාලාව tom and jerry කොටස් වශයෙන් නිර්මාණය කිරීම ආරම්භ කළේය. කාටුන් මාලාව නැරඹූ ඔහුගේ රසිකයින් මේ සම්බන්ධව ධනාත්මකව කරුණු දක්වමින් ඔවුන්ගේ අදහස් ඔහුට ඉදිරිපත් කර තිබූ බව පසුකාලීනව Deitch සඳහන් කර තිබිණි.

මේ කාල සමයේදී ම Deitch විලියම් එල්. ස්නයිඩර් සමඟ සම්බන්ධ වී 1962 -1964 දක්වා කාල සමයේදී crazy cat නමින් වූ රසවත් කතා මාලාවක් නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කිරීමට සමත් විය. එමෙන්ම 1966 දී Alice of wonder චිත්‍රපටයට සම්බන්ධව පැරිසියේදී වැඩ කටයුතු කළ අතර ඇඩොල්ෆ් වෝර්න් සමග 13 minutes නම් වූ සජීවීකරණ චිත්‍රපටයක් නිර්මාණය කළේය. ඒ නිර්මාණය කිරීමේ මූලික අදහස වූයේ බෙදාහැරීම නොවන නමුත් එය අස්ථානගත විය. නමුත් 2012දී එය අන්තර්ජාලයට මුදා හරින තුරු ඔවුන් සිතා සිටියේ එය නැති වී ඇති බවයි.

Tom and jerry cartoon මාලාවෙන් ලොවම විනෝදාත්මක ලොවකට කැන්දාගෙන ගිය Deitch 1969 සිට 2008 වසර දක්වාම ළමා පින්තූර පොත් අනුවර්තනය කරමින් කනෙක්ටිකට් සංවිධානයට අයත් වෙස්ටන්ඩ් චිත්‍රාගාරයේ සජීවීකරණය සම්බන්ධ අධ්‍යක්ෂවරයා බවට පත් විය. 1969 සිට 2008 වසර දක්වා චිත්‍රපට තිස්හතක් අනුගත කරන්නට සමත් විය. 2003 වසරේදී ඔහුට anifa සම්මාන උළෙලේදී වින්සර් මැකේ සම්මානය හිමිවුණු අතර Asifa hollywood වෙතින් ජීවිත කාලය පුරාවටම ලබා දෙන Art of animation සම්මානය දිනා ගන්නටත් සමත් විය.

පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ගත් කල ඔහු තම ජීවිත කාලයේදී විවාහ දෙකකට මුහුණ දී ඇති අතර Deith ගේ මුල්ම විවාහය සිදුවූයේ වයස අවුරුදු 19 යෙදීය. ඒ තම පළමු රැකියාව කළ උතුරු ඇමරිකානු ගුවන් සේවයේ සේවය කරන අතරතුර දී හමු වූ මාරි සමඟයි. 1943 දී විවාහ වූ මේ දෙපළගේ පුතුන් තිදෙනා චිත්‍ර ශිල්පීන් හා ලේඛකයින් ලෙස සමාජගත වන්නට විය. කෙසේ වෙතත් 1959 වසරේදී ඔහු සේවය කළ Brath v trikn චිත්‍රාගාරයේ නිෂ්පාදන කළමණාකාරවරිය වශයෙන් සේවය කළ Zdenka Najmanova හමු වුනු අතර එහි පෙම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙසින් 1964 දී ඇය හා විවාහ වන්නට විය.

ඔහුගේ පෞද්ගලික තොරතුරු එසේ වුවත් ඒ සියල්ල අබිබවා tom and jerry cartoon මාලාවත් සමගින් ලෝකයේ බොහෝ පවුල් කුඩුම්බයන්හි නොපෙනෙනා සාමාජිකයෙක් ලෙසින් උන්නාය. පසුගිය අප්‍රේල් මස 16 වනදා ඔහු භෞතිකමය වශයෙන් මිය ගියද ටොම් සහ ජෙරී කිසිදු දිනක ඔහුගේ නාමය මියැදෙන්නට ඉඩ දෙන්නේ නැති බව නම් සහතිකය.

Comments