කෝටි විස්සකට රස්සා නැති කළ වසංගතය | සිළුමිණ

කෝටි විස්සකට රස්සා නැති කළ වසංගතය

ලෝකය අනපේක්ෂිත අර්බුදයක ය. ශිෂ්ටාචාරයකට පදනම සපයන සංකීර්ණ ආර්ථික ක්‍රියාවලියක් ගොඩනැන්වී ඇත්තේ මොනතරම් බිඳෙන සුළු යථාර්ථයක් මත ද යන්න ප්‍රකාශ වී ඇත්තේ නිර්වාණාවබෝධයත් ලබා දෙන්නටත් සමත් මෙනෙහි කළ යුතු සත්‍යයක් සමගිනි.

ලෝකයේ සමස්ථ ආර්ථික යාන්ත්‍රණය බිඳ වැටෙන්නට දෙසතියක් ප්‍රමාණවත් විය. මාර්තු 19 වනවිට The Economic Times වෙබ් අඩවිය අන්තර්ජාතික කම්කරු සංවිධානයේ පුරෝකථනයක් අනුව ප්‍රකාශයට පත් කළේ ලොව වටා මිලියන 25ක ගේ රැකියා අහිමි වීමට නියමිත බවය.

 

අන්තර්ජාතික කම්කරු සංවිධානයේ කියවීම

 

ඒ සම්බන්ධව ලෝක කම්කරු සංවිධානය, “ COVID-19 සහ වැඩ කරන ලෝකය: බලපෑම් සහ ප්‍රතිචාර“ නමින් මූලික ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කළේය. ඒ වාර්තාව අනුව මිලියන 5.6 අවම අගයක සිට මිලියන 24.7 උපරිමයක් තෙක් ගෝලීය විරැකියාව වැඩි විය හැකිය. වර්ෂ 2008 -2009 වකවානුවේ ලෝක ආර්ථික අර්බුදයක් ඇති වුණු අවස්ථාවේ ලෝකයේ රැකියා අහිමි වූ ශ්‍රමිකයන්ගේ ගණන මිලියන 22 ක් විය.

ලෝක කම්කරු සංවිධානයේ පුරෝකථනයන්ට අනුව සේවා නියුක්තිකය පහත වැටීම නිසා 2020 අවසන් වනවිට සේවය නිමා කරන සේවක පිරිසට ඇමරිකානු ඩොලර් බිලියන 860ත් ට්‍රිලියන 3.4 ත් අතර විශාල ආදායමක් අහිමි වීමට නියමිතය. මෙය නැවත භාණ්ඩ හා සේවා පරිභෝජනයේ පහත වැටීමක් බවට පරිවර්තනය වී ව්‍යාපාර හා යහපත් ආර්ථිකයක් පිළිබඳ අපේක්ෂාවන්ට බලපානු ඇත.

මේ සමග ලෝකයේ වැඩ කරන පැය ගණන මෙන්ම වැටුප් අඩුවේ. ආර්ථික ක්‍රියාකාරකම් පහත වැටීම හේතුවෙන් ආදායම අඩුවීම නිසා සේවකයන් විශාල පිරිසක් දරිද්‍රතා රේඛාවට ආසන්නට හෝ ඊට පහළට ඇද දමයි. සමාජ ආරක්ෂණ අයිතීන් රහිතව දෛනික කුලී පදනමේ සිට ස්ථිර නොවන කොන්ත්‍රාත් පදනමේ රැකියාවල නියුතු පුද්ගලයින්, විශේෂයෙන් අඩු වැටුපට සේවය කළ තරුණ හා වැඩිහිටි කම්කරුවන්, කාන්තාවන් සහ සංක්‍රමණිකයන්ගේ රැකියා ව්‍යසනයට ලක්වේ. ඒ අන්තර්ජාතික කම්කරු සංවිධානයේ කියැවීමය.

අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර්ට අනුව මෙය තවදුරටත් ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් පමණක් නොවේ. ජනතාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන ගෝලීය ශ්‍රම වෙළඳපොළක ව්‍යසනයකි.

එය අවසානයේ දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය කර ඇත. ඒ සඳහා පිළියම් සෙවීමට ක්‍රමෝපයන් ඉදිරිපත් කරමින් ඔවුහු මැදිහත් වී සිටිති.

 

අලුත්ම ගණනය කිරීම

 

මුලින් කී ආකාරයට අන්තර්ජාතික කම්කරු සංවිධානය මෙම ඇගැයීම කරන්නේ ආසන්න වශයෙන් මීට මසකට පෙරය. මේ දත්ත උඩු යටි කුරු කරන නිරීක්ෂණ සමූහයක් එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේ සංවර්ධන ආර්ථික පර්යේෂණ සඳහා ලෝක ආයතනය විසින් පසුගිය 9 දා ප්‍රකාශයට පත් කරන කළේය.

මෙම විශ්ලේෂණය ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කර තිබිණි. එම දත්ත අප තිගස්වන සුළුය.

වයිරසය පැතිරීම කළමනාකරණය කිරීම සඳහා ලෝකයේ රටවල් සිය සමස්ත ආර්ථිකයම වසා දැමූවේය. කෝටි 330 ක ගෝලීය ශ්‍රම බලකායෙන් 81% ක සේවා ස්ථාන මේ මොහොත වනවිට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා ඇත. එම ආයතනවල සේවය කළ සේවකයන් ස්ථිර හෝ තාවකාලික ලෙස සේවයෙන් ඉවත් කිරීම සිදු කර තිබේ.

අසනීප නිවාඩු සඳහා ප්‍රවේශයක් නොමැති අවිධිමත් රැකියාවල නියුතු බිලියන දෙකක ජනතාවක් ලෝකයේ වෙති. දුප්පත් රටවල බහුතරයක් රැකියා වලින් සියයට 90ක්ම අවිධිමත් ඒවාය. ධනවත් රටවල එම ප්‍රතිශතය සියයට 18 කි. මෙම සමස්ථයම අතිශය බිහිසුණු ආර්ථික අගාධයකය. ඔවුන්ගේ රැකිය පිළිබඳ පැවැත්ම තහවුරු කිරීම පිළිබඳ කිසිම ප්‍රායෝගික බලාපොරොතුවක් නැත.

භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත, තොග සහ සිල්ලර වෙළඳාම, දේපළ වෙළඳාම්, ව්‍යාපාර පමණක් නොව, සාමාන්‍යය දිවි පෙවතට සීමා පැනවීමත් සමඟ ගමනාගමන, නවාතැන් සහ ආපන ශාලා සේවා මුලුමනින්ම අඩාල වී ඇත. ගෝලීය ශ්‍රම බලකායෙන් 38% කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන්නේ මෙම ක්ෂේත්‍රවලය.

ලොව පුරා කෝටි 125 ක ශ්‍රමිකයන් ප්‍රමාණයක් පැවතුණේ මෙම කුලකය තුළය. ඇමරිකානු ජනතාවගෙන් 43.2% ක් සහ යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ 42.1% ක් බිඳ වැටී ඇති ආර්ථිකයේ දැඩි අවදානම් අංශවල සේවය කරමින් සිටියහ.

2020 වසරේ දෙවන කාර්තු තුළ දී ලොව පුරා, වැඩ කරන පැය ගණනෙන් 6.7% ක් නැති වී යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය පූර්ණ කාලීන සේවකයන් දහනව කෝටි පනස් ලක්ෂයක රැකියා අහිමි වීම හා සමානය.

කෙසේ වෙතත් මේ වනවිට ඇති දල ඇස්තමේන්තු ප්‍රකාරව රැකියා අහිමවන ලෝක ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අන්තර්ජාතික කම්කරු සංවිධානය දක්වන පරිදි කෝටි දෙකහමාරක් නොව, කෝටි විස්සකට අධිකය.

 

ගෝලීය දරිද්‍රතාවය

 

මේ පසුබිම තුළ ගෝලීය දරිද්‍රතාව කෝටි 40 සිට 60 අතර සංඛ්‍යාවකින් කින් ඉහළ යනු ඇත. වසංගතය අවසන් වන විට කෝටි 780ක ලෝක ජනගහණයෙන් අඩකට වැඩි සංඛාවක් දරිද්‍රතාවයෙන් පීඩා විඳිනු ඇත.

ගෝලීය ජනගහනයෙන් සියයට 6 ත් 8 ත් අතර සංඛ්‍යාවක් අන්ත දුගී බවට ඇද වැටෙනු ඇත. අලුතින් දුගීභාවයට පත් වන පුද්ගලයන්ගෙන් 40% ක් පමණ එක්වන්නේ නැගෙනහිර ආසියාව සහ ශාන්තිකර කලාපයෙන් බවත් ඉන් තුනෙන් එකක පමණ කොටසක් උප-සහරා අප්‍රිකානු සහ දකුණු ආසියානු කලාපයට අයත් වනු ඇති බවට පුරෝකථනය වේ.

ලෝකයට මේ හානිය පුනරාවර්ථනය කරන්නට සමස්ථයක් ලෙස දශකයක කාලයක් යනු ඇත. උප සහරා අප්‍රිකාව, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව වැනි සමහර ප්‍රදේශවල ඒ සඳහා අවුරුදු 30 ක් තරම් කාලයක් ගතවෙතැයි කියැවේ.

එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේ සංවර්ධන ආර්ථික පර්යේෂණ සඳහා ලෝක ආයතනය ප්‍රකාශයට පත් කළ ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද පර්යේෂණයේ මෙම දත්ත පිළිබඳ සංවාදය ඇතිවන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වසන්ත හමුව අප්‍රේල් 17 සිට 19 අතර පැවැත්වෙන අතරතුරය.

 

ලංකාවේ විරැකියා තත්වය

 

ජී 20 රටවල මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් අප්‍රේල් 15 වනදා මුණගැසුනු වටපිටාව තුළය.

ආර්ථික විෂය පිළිබඳ ලෝක බලවතුන් මෙසේ හමුවන්නේ පවතින සංකූලතා සහිත සමාජ ආර්ථික පරිසරයෙන් ලෝක ආර්ථිකය මුදවා ගැනීමට අවශ්‍ය යෝජනා ගණනාවක් ලෝක සංවාදයට ලක් වී තිබියදීය

ආර්ථිකයේ මූර්ත අංශය එනම් භාණ්ඩ හා සේවා නිශ්පාදනය අංශය මනිනු ලබන්නේ ආර්ථික සංවර්ධන වේගය හා විරැකියාව යන ප්‍රධාන විචල්‍ය දෙක ඔස්සේය. විරැකියාවට මූලික හේතුව ආර්ථික සංවර්ධන වේගය අඩුවීමය. 2020 දී ලෝක ආර්ථික සංවර්ධන වේගය සියයට 3.6 බවට ඇස්තමේන්තු කර තිබිණි. එහෙත් ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය ( OECD) ප්‍රකාශ කරන ආකාරයට දැන් එය සියයට පනහකටත් අඩුවී ඇත. දැනට එය පවතින්නේ සියයට 1.5 මට්ටමේය.

ලංකාව ද 2020 වසර තුළදී සියයට 4ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කළේය. එහෙත් මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලියු.ඩී.ලක්ෂ්මන්ට අනුව දැන් එය පවතින්නේ සෘණ අගයකය. එම නිසා ඒ හරහා මතුවන විරැකියා ප්‍රශ්නය ද උග්‍ර වීමට නියමිතය.

මේ වනවිට රටේ රාජ්‍ය යාන්ත්‍රණය අඩපණය. ගමේ සිල්ලර කඩයත් වැසී ගොස්ය.

අවිධිමත් අංශයන්හි සේවය නියුතු දෛනික කුලී පදනම මත සේවා සැපයූ සියලු දෙනාම ආර්ථිකව සහමුලින් බිඳ වැටී තිබේ. ව්‍යාපාර ක්ෂේත්‍රයම ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වී ඇති අයුරු පෙනේ.

මේ සංස්කරණයන් බොහෝමයකදී අනියම්, කොන්ත්‍රාත් පදනම්වලින් බඳවාගෙන සිටි සේවකයන්ගේ රැකියා අත්හිටුවීමට හෝ සේවය නිමා කිරීමට සැලසුම් කර තිබේ. අවදානමට ලක් වී ඇතැයි උපකල්පිත රැකියා ප්‍රමාණය දස ලක්ෂයකි.

ලංකාවේ ශ්‍රම බලකායේ ප්‍රමාණය ලක්ෂ 85 කි. ඉන් ලක්ෂ 36 ක් පුද්ගලික අංශයේය. ලක්ෂ 34ක් ස්වයං රැකියාවලය. ලක්ෂ 15ක් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ය.

විරැකියාව පැවතුණේ මේ සමස්ත රැකියා නියුක්තියට සාපේක්ෂව සියයට 4 – 5 සීමාව තුළය. වර්ෂ 2019 දී එය සියයට 4.8ක් ලෙස ඇස්තමේන්තුකර තිබිණි.

එහෙත් ලංකාවේ ආර්ථක වේගය 0 හෝ ඍණ අගයක් ගැනීම හේතුවෙන් වසර අග වනවිට මේ අගය ඉතා ඉහළට යෑමට නියමිතය.

මේ වනවිට එහි ස්වරූපය ප්‍රකාශ වෙමින් ඇත.

පුද්ලික අංශයේ සේවකයන්ගේ රැකියා මූලික ලෙස අවදානමකට ලක් වී තිබේ. මේ වනවිට ඇඟළුම් ක්ෂේත්‍රයේ ස්ථිර සේවයේ යෙදුනු සියයට 30ක් පමණ රැකියාවලින් ඉවත් කර තිබේ. සමස්තයක් ලෙස පුද්ගලික අංශයේ තාවකාලික පදනම යටතේ සේවය කළ වැඩි පිරිසගේ රැකියා අහිමි කර ඇත. ස්වයං රැකියා කළ ලක්ෂ 34 ආර්ථික වශයෙන් අඩපණව ඇත.

මොවුන් බොහෝ දෙනෙක් සේවා සපයන්නන්ය. පවතින තත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවාවන්හි නියැළෙන්නන් හැර අනෙක් බහුතරය ජීවත් වන්නේ විරැකියා සීමාවේ ය.

විදේශයන්හි රැකියාවල නිරත වූන ලාංකිකයන් මෙරටට විදේශ විනිමය ගෙන්වූ ප්‍රමුඛ සාධකය වී සිටියේය. ඔවුන්ගෙන් සියයට 24 ක් ස්ථානගතව ඇත්තේ කටාර්වලය. සියයට 22 ක් කුවේට්වලය. සියයට 16ක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේය. සියයට 17ක් සෞදි අරාබියේය. සියයට දෙකක් පමණ ලෙබනනයේය. මැදපෙරදිග සේවා නියුක්තිය සියයට 81 කි. ඉතිරි සියයට 19 ඉතාලිය, කොරියාව, හා වෙනත් රටවල් කිහිපයකය. වසංගතයෙන් පසු බරපතල ව්‍යසනයකට ලක්විය හැකි බවට උපකල්පිත මැදපෙරදිග කලාපයේත්, දැනට පීඩාවට පත්ව ඇති රටවල්වන ඉතාලිය හා කොරියාවේත් සේවය කරන මේ පිරිස් අතරින් සියයට 30ක් නැවත ලංකාවට පැමිණීමේ අපේක්ෂාවකින් පසුවෙති. මේ සියල්ල අතර යම් සුබවාදී දැක්මක් සහිතව මේ ගැටලුව දෙස බලන්නෝ වෙති.

විදේශගතව හිඳ රටට පැමිණීමට වෙර දරන ලාංකිකයන් අතරින් මුළුමනින්ම විදේශ සේවය අත්හැර එන පිරිස අඩුවනු ඇතැයි අපෙක්ෂා කෙරේ. මේ සමගම සෞඛ්‍ය හා ආරක්ෂක සේවාව දැවැන්ත ලෙස සක්‍රීය වී ඇත. මේ ක්ෂේත්‍රය සඳහා නව රැකියා ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. ඒ පුහුණු තාක්ෂණික සේවා අවකාශය විශ්‍රාමික සේවකයන්ගෙන් පූර්ණ වෙමින් ඇත.

එමෙන්ම රජය දියත් කර ඇති කෘෂිකර්ම වැඩපිළිවෙළ තුළ සියයට 26ක සේවා නියුක්තියක් සහිත කෘෂිකර්ම අංශයට එක්වීමට අනිකුත් අංශයන්හි රැකියා අහිමි වූ අයට අවකාශ සැලසී තිබේ.

පවතින ආර්ථික වටපිටාව විමසන ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දුට අනුව ලංකාවේ ඇතිවනු ඇත්තේ විරැකියා තත්වයක් නොව, ඌණ සේවා නියුක්තියකි. ඉන් අදහස් වන්නේ වැඩ ඇති මුත් වැඩි කාලයක් වැඩකිරීමට නැති තත්වයකි. දැනට පවතින තාවකාලික ඌණ සේවා තත්වය විරැකියා තත්වයක් දක්වා වර්ධනය වනු ඇත්තේ රජය ආර්ථික වැඩපිළිවෙළ කලමණාකරණය කරනු ලබන ක්‍රමවේදය තුළය.

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ සඳහා සතුටු දායක යෝජනා තුනක් ඉදිරිපත් කරයි. ඉන් එකක් නම් සේවක අර්ථසාධක අරමුදලේ සියයට 20ක් ( රුපියල් බිලියන 500 ක්), එහි සාමාජිකයන් අතට පත්කර ඔවුන් තාවකාලිකව වැටී ඇති ආර්ථික ව්‍යසනයෙන් ගැලවීමට පදනමක් සකස් කර දීමය.

දෙවැන්න අලුත් ආර්ථික වැඩපිළිවෙළක් සඳහා සැලැස්මක් ඇති කිරීමය. තුන්වැන්න ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට හා ලෝක බැංකුවට යෝජනවක් ඉදිරිපත් කර ඔවුන්ට ගෙවීමට ඇති ණය හා වාරික වසර දෙකකින් කල්දමා ගැනීමය.

උක්ත කියවැවීමේ සංක්ෂිප්තය මේ වසංගතයෙන් අනතුරුව බිහිවනු ඇත්තේ සංකීර්ණ ආර්ථික හා සමාජ විෂමතාවයක් සහිත සමාජයක් බවය.

පැහැදිලි දිශානතියක් ඔස්සේ ආර්ථික ක්‍රියාවලිය නඩත්තු කරගත නොහැකිවන යුද්ධයක්, වසංගතයක් පසුකර පැමිණි සෑම මොහොතකම මිනිස්සු දුගී බව, විරැකියාව, කුසගින්න, අත්විඳිනු ලැබූහ. දුර දක්නා නුවණක් සහිතව රටේ ආර්ථිකය කළමණාකරණය සිදුවීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබේ. එසේ නොවනන්ට රට යළි ගොඩ ගත නොහැකි ව්‍යසනයකට පත් වනු ඇත.

Comments