කොරෝනා වෛරසයට විවර වී යන්තමින් බේරුණු ඓතිහාසික කට් තරගය | Page 2 | සිළුමිණ

කොරෝනා වෛරසයට විවර වී යන්තමින් බේරුණු ඓතිහාසික කට් තරගය

ඒ දෙසතියකට පෙරය. මාර්තු 14 ය. රාජකීය සාන්ත රාජකීය - සාන්ත තෝමස් ක්‍රිකට් ගැටුම ඇරඹී තිබිණි. තරගය පුරා දින තුනක් තිස්සේ තරගය පැවැත්වීමට නියමිත විය. එහෙත් රට තුළ උද්ගත වෙමින් පැවතියේ යහපත් ලකුණු නොවේ. කොරෝනා ආසාදිත චීන ජාතික කාන්තාව රටින් හමුවී දින හතලිහස් දෙකකට පසු, එනම් මාර්තු 11 වනවිට ලංකාවේ පුරවැසියෙක් වූ මුල්ම කොරෝනා ආසාදිතයා හමු වී තිබිණි. ඔහු ඒ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මාර්තු 11 බදාදා කොළඹ පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවක දී තත්වය අවධාරණය කර තිබිණි.

"ජාතික ගැටලුවක් මේක. සියලු දෙනා ජාතිය ගැන හිතල වැඩ කරන්න ඕන. මේ තත්ත්වය අවස්ථා හතරක් අනුව සලකා බලනවා. විෂබීජය රටට ඇතුළු වීම, එය පැතිරීම වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ විශාල වශයෙන් රෝගය පැතිරුණොත් ඊට මුහුණ දීම යන අවස්ථා හතරෙන් දැන් දෙවන අවස්ථාවේ අපි ඉන්නේ. වෛරසය පැතිරීම වැළැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා."

ඔහු යෝජනා කළේ දෙස් විදෙස් සංචාරය නරත කරන ලෙසය. එහෙත් ඒ වනවිට යම් සමූහ විසින් රටේ පැවති තත්වය පුරෝකථනය කර ගනු ලැබූ තීන්දු විනා සමාජ හැසිරීම පාලනය පිළිබඳ නිශ්චිත නියාමනයක් ගැනීමට කල් වැඩි බව රජය පාර්ශ්වයෙන් කල්පනා කර තිබිණි. වඩාත් වැඩි අවධානය යොමු වී තිබුණේ විදේශයන්හි සිට පැමිණෙන පිරිස් නිරෝධායනය කෙරෙහිය. එක් රෝගියෙකු හමුවුව ද, සාමාන්‍ය ජන ජීවිතය අඩාළ කිරීමට රජය කටයුතු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය තුමිය කීවාය. මහජන ඒකරාශී වීම් නතර කිරීමට සිදුවනු ඇති බව කීවේ වෛරසය ව්‍යාප්ත වීමේ තත්වය මතය.

තරගය පැවැත්වීම

වාර්ෂික ක්‍රිකට් තරගාවලි අවලංගු කළ යුතුය යන අදහස සමාජය තුළ ඇතිවෙමින් තිබිණි. එහෙත් තරගාවලි කීපයක් ඒ වනවිටත් පවත්මින් තිබුණේය. රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් මහා ක්‍රිකට් තරගය ආරම්භ වන්නේ ඒ පසුබිමෙහිය. සාමාන්‍යයෙන් පාසල් දෙකේ දරුවන් 5500 ක් පමණ මේ තරගය සඳහා සහභාගී වෙති. ඔවුන් ක්‍රීඩාශීලිත්වයෙන් උද්දීපනය කරන තරගය ජීවයෙන් පිරී ඉතිරෙන තරගයකි. පන්දුවෙන් පන්දුවට උණුසුම්වන තරගයකි. එහෙත් වෙනදා පවතින උද්‍යෝගීමත් ජවය පිටිය අවට නොවීය. පාසල් දෙකෙහිම දරුවෝ තරගයට සහභාගී වී තිබුණේ ඉතා අඩුවෙනි. මුල් දින දෙක තුළ පිටිය අවට වූයේ පාලු ස්වරූපයකි. තරගය මුලුමනින්ම ආදි සිසු පිරිසේ හමුවක ස්වරූපය ගෙන ඇති අයුරු පෙනුණි.

සංවිධායක මණ්ඩලය තරගය සම්බන්ධ නිශ්චිත වගකීමක් ගෙන තිබිණි. සමාජ දුරස්ථකරණය ගැන ඒ වනවිට උපදෙස් ලැබී තිබුණේ නැත. පවතින තත්වය තුළ හැකි උපරිම ආරක්ෂණ ක්‍රමවේද දියත් වූයේය. විෂබීජ නාශක දියර සෑම ස්ථානයකම සුලභව බෙදා හරිනු ලැබුවේය. සම්ප්‍රදායක කොටසක් වූ මේ තරගය පැවැත්වීම අත්හිටුවීමට ප්‍රායෝගික හැකියාවක් හෝ වෙනත් නියාමනයක් තිබුණේ නැත. ක්‍රිකට් මේ රටේ ජන ජිවිතයෙහිම උත්කර්ෂවත් කොටසක් නම් ඒ උත්කර්ෂයේ ඓතිහාසික ප්‍රකාශනය වූයේ මේ මහා ක්‍රිකට් ගැටුමය. මේ ක්‍රිකට් තරගයට ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළත් වෙනම පරිච්ඡේදයක් වෙන් වී තිබිණි. ක්‍රිකට් උපන් එංගලන්තෙයේවත් මෙවැනි පැරණි විද්‍යාලාන්තර ක්‍රිකට් තරගාවලියක් නොවුණි. ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ සම්භාවනාවට ලක් වන ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ක්‍රිකට් තරගාවලියට වඩා පැරණි ඉතිහාසයක් මේ ක්‍රිකට් තරගාවලියට තිබිණි. ලෝක මට්ටමින් මේ තරගය දෙවෙනි වූයේ ඔස්ට්‍රෙලියාවේ ඇඩ්ලේඩ් හි පවත්වනු ලබන සාන්ත පීතර විද්‍යාලය සහ ප්‍රින්ස් ඇල්ෆර්ඩ් විද්‍යාලය අතර පවත්වන මහා ක්‍රිකට් තරගයට පමණි. තරගය ලෝක යුද්ධ දෙකක් හමුවේත් ඉන් අනතුරුව පැවති දුර්ග සමයන්හිදීත් නැවතුනේ නැත. ආකරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් තරගය පැවැත්වීමට කටයුතු කරන්නට සිදුවන්නේ ඒ පරිසය තුළය.

කොරෝනා ආසාදිතයෙක් හමුවීම

එහෙත් මේ සියලුම උත්කර්ෂයන් දින දෙකක් යනවිට කුඩු වී ගියේය. තරගයේ නරඹන්නන් අතර කොරෝනා ආසාදිත සිටි බව කියැවිනි. එය ජාතික බෝවන රෝග විද්‍යායතනය තහවුරු කළේය. ඔහු පළමු පෙළ ගුවන් නියමුවෙකි. කිසිම රෝග ලක්ෂණයක් පිළිබඳ අදහසක්වත් නොතිබුණු අවස්ථාවක ඔහු තරගය නරඹන්නට එක් වී තිබුණේය. සෙනසුරාදා සවස හතරේ සිට හය දක්වා කාලය තුළ ඔහු සිය මිතුරන් සිටින කූඩාරමේ ගත කර තිබිණි. රෝග ලක්ෂණ පහළ වන්නේ දෙදිනකට පසුය. ඔහු වහාම ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයට ගොස් කොරෝනා පරීක්ෂණය කරගැනීමට වගකීම් සහගත විය.

තමන් ආසාදිතයෙක් වග දැනගත් වහාම හේ සිය මිතුරු ජාලය අමතා තත්වය පැහැදිළි කර තිබිණි. නොබෝ වේලාවකින් මේ පිළිබඳ විශේෂ විමසුමක් සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන් තරග සංවිධායක මණ්ඩලය සමග එක් වී දියත් විය. ආසාදිත ගුවන් නියමුවරයා සමග ඒ පැය කීපය තුළ සම්බන්ධතා පැවැත්වූ සියලුම පිරිස් ස්වයං නිරෝධායනකයට ලක් කෙරිනි. ඊට අමතරව තරගයට සහභාගී වූ බොහෝ දෙනෙක් නිහඬව සිය නිවෙස්වල නිරෝධායනය වූහ.

මේ අතර සමාජය තුළ දැඩි විවේචනයක් තරය පිළිබඳව මතුව ආවේය. සමහර විවේචන අතිශය ද්වේශය සහගත විය. මේ සිද්ධිය වාර්තා වී පැය කිහිපයක් යනවිට අතිශය බිහිසුණු ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල කෙරිනි. රටේම අවධානයට ලක් වූ එක් පුවත වූයේ රාජකීය විද්‍යාලයේ 13 හැවිරිදි ශිෂ්‍යයකුට කොරෝනා ආසාදිත වී ඇති බවය. ජාතික ව්‍යසනයක් අවස්ථාවක දී අවබෝධයකින් තොරව කටයුතු කර වගකීම් විරහිත අලජ්ජීන් පිරිසක් සේ තරගයට සහභාගී වූවෝ හැඳින්වූහ. සතියක් ගතවන විට රට පුරා කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම වැඩි වූයේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් මේ තරගය නැවැත්වීමට කටයුතු නොකළේ කුමක් නිසාදැයි ජනාධිපතිවරයාගෙන් ඍජුව ප්‍රශ්න කළේය.

මේ වනවිට රට වසා දමා ඇත. අකුරණ, අටලුගම, පදුමායන්කුලම් ගම්මාන ඇත්තේ මුද්‍රා තබා ඇත. රටටම බලපවත්වන පොලිස් ඇඳිරිනීතිය ප්‍රකාශ කර තිබේ. සමාජ දුරස්ථකරණය දැඩි ලෙස ක්‍රියාත්මක ය. කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් මියගොස් ඇත. නීතිය නොතකන වගකීම් විරහිත මිනිස්සු රට අවදානමකට ලක් කර තිබේ.

එවැනි අවිනිශ්චිත වටපිටාක් තුළ කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල දෙකෙහි ආදි ශිෂ්‍ය සංගම් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. ඉන් තහවුරු කළේ රාජකීය සාන්ත තෝමස් මහා තරගයේදී කොරෝනා වෛරස අවදානමට විවෘත වීම නිසා ස්වයං නිරෝධායනයට ලක් ව සිටි කිසිම ආදි පුද්ගයෙකුට වෛරසය ආසාදිත නොවුණ බවය. මේ පිළිබඳ උත්කර්ෂවත් ප්‍රකාශනවලින් බැහැරව සිටින ලෙසත්, වගකිවය යුතු පුරවැසියන් සේ මේ මොහොතේ රජය ලබා දෙන මගපෙන්වීම ඒ අයුරින්ම පිළිපැද තමා මතු නොව, ලෝකය ආරක්ෂා කළ හැකි ප්‍රවේශයක් වෙත එළඹෙන ලෙසත් එම නිවේදනය වැඩි දුරටත් සඳහන් කර තිබිණි.

වගකීම් සහිත හැසිරීම මතු නොව, කුමක් හෝ වාසනාවක් නිසා තත්වය අතිශය සුබවාදී ලෙස නිමා වී තිබිණි. එහෙත් මේ අවස්ථාව සමාජයට ඉතාම වැදගත් පණිවිඩයක් ගෙන ආවේය. ජාතික ආපදාවක් අවස්ථාවක සම්ප්‍රදාය, වගකීම, පුද්ගල තත්තව කලමණාකරණය සම්බන්ධ නිර්වචන වෙනස් වන බවය. සති තුනකට පෙර ඒ මොහොත තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබිණි.

සම්ප්‍රදාය ආරක්ෂා කරගැනීමට සමාජය පැවතිය යුතුය යන අවබෝධය දැන් කවුරුත් අවබෝධයෙන් දනිති. රාජකීය ශාන්ත තෝමස් 141 මහා තරගය කොරෝනා වෛරසයට විවර වී මේ ආකාරයෙන් කිසිම බිහිසුණු ප්‍රතිඵලයක් රහිතව නිමා වීම එක් අතකට අතිශය විරල සිදුවීමකි. එය කිසිසේත්ම පූර්වාදර්ශයක් වන්නේ නැත්තේ එබැවිනි. මෙවැනි ලෝක ව්‍යසනයක් හමුවේ රටකට ලබා දුන් මෙවැනි මුල්ම හා එකම අවස්ථාව මෙය බව පමණක් තේරුම් කර ගැනීම යහපත්ය.

Comments