ගුරුන් නැති­වත් ශිල්ප සෑදේ! | සිළුමිණ

ගුරුන් නැති­වත් ශිල්ප සෑදේ!

ව­ක­තාව, කෙටි­ක­තාව, කවිය, නාට්‍යය හා සින­මාව, සාහිත්‍ය කලා විචා­රය, සංස්කෘ­තිය, මාන­ව­වි­ද්‍යාව හා පුරා­වි­ද්‍යාව යන ක්ෂේත්‍ර පිළි­බඳ ප්‍රමා­ණික විද්ව­තකු මෙන්ම නිර්මා­ණ­ක­රු­වකු ලෙස යුග­කා­රක මෙහෙ­ව­රක් ඉටු කළ මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන් පිළි­බඳ අව­ලෝ­ක­න­යක යෙදී­මට මෙය යෝග්‍ය අව­ස්ථා­වක් වන්නේ කලක් ‘සිළු­මිණ’ කතු පද­විය හෙබ­වූද කලා­ත්මක නව­ක­තාවේ සහ කෙටි­ක­තාවේ පුරෝ­ගා­මියා වූද එතු­මන් විසින් පෝෂ­ණය කරන ලද කෙටි­ක­තාව පිළි­බඳ නව­ක­යන්ට අත්වැ­ලක් සප­යන වැඩ­මු­ළු­වක් ‘සිළු­මිණ’ පුව­ත්පතේ මූලි­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන අව­ස්ථා­වක මත­ක­යට පිවි­සෙන නාමා­ව­ලි­යෙහි මුලින්ම සට­හන් වන්නේ එතු­මන්ගේ නාමය වන බැවිනි.

මාර්ටින් වික්‍රම­සිං­හ­යන්ගේ උපත සිදු වූයේ 1890 මැයි 29 දින කොග්ගල මල­ල­ග­ම­දීය. පියා ළමා­හේ­වාගේ දොන් බස්ති­යන් වික්‍ර­ම­සිං­හය. මව මාගාල්ලේ බල­පි­ටියේ ලිය­නගේ නොච්චො­හා­මිය. ගමේ ගුරු ගෙද­ර දී අන්දි­රිස් ගුරු­න්නා­න්සේ­ගෙන් අකුරු උගත් කුඩා මාර්ටින් පසුව ගමේ පාස­ලෙන් මූලික අධ්‍යා­ප­නය අරඹා 1900 වර්ෂ­යේ දී ගාල්ල උණ­ව­ටුන බොන­විස්ටා විදු­හ­ලට ඇතු­ළත් විය. බොන­වි­ස්ටා­වට පිවිස වස­රක පමණ කලක් ගත වන විටම පියාගේ අභා­වය සිදු වීම නිසා පාස­ලෙන් ඉවත් වීමට ඔහුට සිදු විය. මේ කාලය වන විට කුඩා ළම­යකු ලෙස කොග්ගල මුහුද වෙරළේ ඇවි­දින විට මුහුදු වෙරළේ ගල්පර අවට සිටි අමුතු ජීවීන් දැකී­මෙන් තම සිත උපන් කුහුල හේතු­වෙන් ලෝකයේ අග-මුල සෙවීමේ ආසාව ජනිත වූ බව මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන් පවසා තිබේ. අවට ජීව ලෝකය සමී­පව නිරී­ක්ෂ­ණය කිරීම නිසා ජනිත වූ කුතූ­හ­ලය හේතු කොට ගෙන තව දුර­ටත් ඒ පිළි­බඳ පොත­ප­තින් කරුණු සොයා දැන­ගැ­නීමේ නොතිත් ආසාව මාර්ටින් වික්‍ර­ම­සිංහ නමැති ගවේ­ෂ­ණ­ශීලි චින්ත­කයා බිහි වීමට පසු­බිම වූ බව ඔහු විසින් ලියන ලද ජීවන තොර­තු­රු­ව­ලින් අනා­ව­ර­ණය වෙයි. අඛණ්ඩ විධි­මත් පාසල් අධ්‍යා­ප­න­යක් නොලැබ, කිසිදු පිරි­වෙ­නක හෝ විශ්ව­වි­ද්‍යා­ල­යක ශාස්ත්‍රීය ශික්ෂ­ණය නොලැබ ස්වෝත්සා­හ­යෙන් ඔහු ලද දැනුම විටෙක විධි­මත් ශික්ෂණ මාර්ග ඔස්සේ දැනුම ලද පඬි­ව­රුන්ගේ දැනුම හා සම­තැන් ගන්නා අතර, තවත් විටෙක ඔවුන්ගේ දැනුම ඉක්මවා යනුද පෙනෙයි. වර්ත­මා­නයේ දිවා සුරැ­කුම් මධ්‍ය­ස්ථා­නයේ සිට විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය අව­සන් වන් තෙක් ස්වභා­ව­ධ­ර්ම­යෙන් ඈත් කොට අඳුරු පන්ති­කා­ම­ර­වල සහ උප­කා­රක පන්ති­වල දිවා-රෑ සිර­ගත කොට තනන යාන්ත්‍රික බුද්ධි­ම­තුන්ගේ දැනුම සමඟ වික්‍ර­ම­සිං­හ­යන්ගේ දැනුම සස­ඳන කළ හැඟෙන්නේ තුඹ­සක් සහ මහා­මේ­රුව අතර තිබෙන වෙන­සයි.

වර්ත­මා­නයේ භාෂා සාහි­ත්‍යය සහ මානව ශාස්ත්‍ර විෂ­ය­වල ප්‍රාමා­ණි­ක­යන් ලෙස පෙනී සිටින ඊනියා මහා­චා­ර්ය­ව­රුන් අතු­රින් වික්‍ර­ම­සිං­හ­යන්ගේ සමස්ත ග්‍රන්ථා­ව­ලිය කියවා ධාර­ණය කර­ගත් කෙනකු සෙවීම කළු­නික සෙවී­ම­ටත් වඩා අසීරු කට­යු­ත්තක් වන්නේ වික්‍ර­ම­සිං­හ­යන්ගේ ඥාන පාර­මි­තාවේ අහ­ල­ක­ටදු වත්මන් ශාස්ත්‍ර ගවේ­ෂ­ක­යන් ළං නොවන නිසාය. මේ අද­හස සනාථ කරනු වස් ‘නව ලෝකය’ සඟ­රාවේ වික්‍ර­ම­සිංහ අංක­යට ඔහුම සැපයූ ලිපි­යක සඳ­හන් කරුණු කිහි­ප­යක් මෙහි ලා උපුටා දැක්වීම මැන­වැයි සිතේ:

“ලෝකයේ අග-මුල සෙවීමේ ආසාව නමැති ඒ ගින්න තවම මා තුළ නොනි­වීම පව­තියි. සත්ත්ව ජීවි­ත­යෙහි අග-මුල සොය­න්නට උනන්දු වුණ මා තුළ මනුෂ්‍ය ජීවි­තය පිළි­බඳ කුහු­ලක් හට­ග­ත්තේය. ඒ කුහු­ලට හේතු වූයේ ගැමි ජීවි­තය පිළි­බඳ අත්දැ­කීම් හා ඇතැම් ජාතක කථා හා රුසි­යන්, ප්‍රංස නව­ක­ථා­වන්ගේ ඉංග්‍රීසි පරි­ව­ර්ත­න­යන්ද කිය­වී­මය. 1917 රුසි­යන් විප්ල­ව­යට අවු­රුදු කිහි­ප­ය­කට පෙර මම ටොල්ස්ටෝ­යිගේ ඇනා කැර­නිනා, ගෝර්කිගේ කෙටි­කතා, ගොගොල්ගේ මළ පේ‍්‍රතයෝ හා චැකෝෆ්ගේ කෙටි­ක­තාද කිය­වීමි... මාගේ අත්දැ­කීම් ගුරු කොට ගෙන පළ­මුව ලියූ හොඳම කෙටි­කතා ‘ගැහැ­නි­යක්’ පොතෙහි ඇත. එය පළ වූයේ 1924දීය. එකළ ලංකාවේ විශ්ව­වි­ද්‍යා­ල­යක් නොවීය. සමස්ත ශාස්ත්‍ර­ශා­ලාව ඇර­ඹුණේ ‘ගැහැ­නි­යක්’ පළ වන්නට තුන් අවු­රු­ද්ද­කට පෙරය. කොළඹ ලංකා විශ්ව­වි­ද්‍යා­ලය ඇර­ඹුණේ ‘ගැහැ­නි­යක්’ පළ වී දහ­අට අවු­රු­ද්ද­කට පසුය. පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලය පිහි­ටු­වන ලද්දේ ‘ගැහැ­නි­යක්’ පළ වීමෙන් අවු­රුදු විසි­න­ව­ය­කට පසුය.”

සිංහල කෙටි­ක­තාව 1924 දී යථා­ර්ථ­වාදී මාව­තට පිවි­සවූ මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන්ගේ සමාජ අව­ලෝ­ක­නය කොත­රම් නිරා­කු­ලද යන වග පෙන්වන සුවි­ශේෂ කෙටි­ක­තා­වත් තිබේ. ‘සමා­ජ­වා­දියා’ නමැති ඒ කෙටි­ක­තාව ඔහු රචනා කර තිබෙන්නේ 1946 වර්ෂ­යේ­දීය. යට­ත්වි­ජිත ධනේ­ශ්වර පන්තියේ තරු­ණ­යකු එංග­ල­න්ත­තයේ උසස් අධ්‍යා­ප­නය ලබන අව­ස්ථාවේ ඒ සමා­ජයේ ඉහළ පන්ති­යෙන් පම­ණක් නොව මැද පන්ති­යෙන්ද ඔහුට ලැබෙන්නේ ලංකා­වේ දී පහ­ළම සමා­ජ­යට අයත් පීඩි­ත­ය­කුට ලැබෙන සැල­කි­ල්ල­ටත් වඩා අඩු සැල­කි­ල්ලක් බව ඒත්තු යෑමෙන් ඇති වූ දැඩි මාන­සික පීඩ­නය ඔහු සම­නය කර­ගත්තේ ඉහළ සමා­ජ­යට ද්වේෂ කරන එංග­ල­න්තයේ කම්ක­රු­ව­න්ගේත් පහළ මැද පන්තියේ කල­කි­රුණු මිනි­සු­න්ගේත් ආශ්‍රය සෙවී­මෙනි. ඔහු ලංකා­වට පැමිණ ධන­පති විරෝධි දේශ­පා­ලන ප්‍රවා­හ­යට එක් වෙයි. වික්‍ර­ම­සිං­හගේ තියුණු සමාජ නිරී­ක්ෂ­ණය මෙරට ප්‍රභූ සමාජ පන්තියේ සාමා­ජි­ක­යකු වූ දේවාර් සූර්ය­සේන ලියූ ‘Sri Lanka, I sing’ කෘති­යෙහි විස්තර කෙරෙන සත්‍ය සමාජ ජීවන තොර­තුරු හා සාක­ල්‍ය­යෙන්ම ගැළ­පෙයි. මෙයින් පැහැ­දිලි වන්නේ මාර්ටින් වික්‍ර­ම­සිංහ යනු හුදු ප්‍රබන්ධ කථා­ක­රු­වකු නොව ගැඹුරු නිර­වුල් සමාජ සවි­ඥා­න­ක­ත්ව­යක් ඇති ලේඛ­ක­යකු බවය. ‘ගම්පෙ­ර­ළිය’, ‘කලි­යු­ගය’, ‘යුගා­න්තය’ සහ ‘විරා­ගය’ යන නව­ක­තා­වල ප්‍රති­රාව නැඟෙ­න්නේද ඔහුගේ මේ ප්‍රබල සමාජ දැක්ම මුසු වුණු කලා­ත්මක පරි­ක­ල්ප­න­යයි.

මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන්ගේ සාහිත්‍ය විචාර චින්ත­න­යද ඔහු සතු තියුණු සමාජ දැක්මෙන් පෝෂ­ණය වූවකි. ස්වදේ­ශි­ක­ත්වයේ හෝ අනු­කා­ර­ක­ත්වයේ කිසිදු අන්ත­යක ආලග්න නොවූ ඔහුගේ සියුම් විචාර චින්ත­නය ලැසල්ස් ඇබ­ර්ක්‍රොම්බි වැනි කීර්ති­මත් සාහිත්‍ය විචා­ර­ක­ය­කුගේ ආලෝ­චනා සිහි ගන්වයි. ‘සාහි­ත්‍යෝ­දය කතා’, ‘සිංහල සාහි­ත්‍යයේ නැඟීම’, ‘ජාතක කතා විම­සුම’, ‘නව පද්‍ය සිංහ­ලය’ යන කෘති­ව­ලින් ප්‍රකාශ වන ඔහුගේ විචාර චින්තා අඩ­සි­ය­ව­සක් ඉක්ම ගොස් ඇතත් තව­මත් අභි­යෝ­ග­යට ලක්ව නැත. මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තාන සිය ‘Sigiri Graffiti’ කෘති­යෙහි ප්‍රස්තා­ව­නා­වෙ­හිලා මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන් වෙත කෘත­වේ­දි­ත්වය ප්‍රකාශ කරන්නේ ඔහු සතුව පැවැති පැති­රුණු සාහිත්‍ය විචාර චින්ත­න­යට නිසි ගෞර­වය පුද­මිනි.

ජීවි­තයේ විය­පත් සම­යේ දී ‘බව­ත­ර­ණය’ වැනි ආන්දෝ­ල­නා­ත්මක නව­ක­තා­වක් රචනා කිරී­මට තරම් අදීන මන­සක් ඔහු සතුව තිබී­මෙන් පැහැ­දිලි වන්නේ ළමා වියේ පටන් විවෘත මන­ස­කින් ලෝකය නිරී­ක්ෂ­ණය කිරී­මෙන් ගොඩ­න­ඟා­ගත් නිව­හල් මන­සක උදා­ර­ත්වය ජීවි­තයේ සන්ධ්‍යා සමයේ පවා රැක­ගැ­නී­මට ඔහුට තිබුණු අචල අදි­ටනේ ශක්ති­යයි. ඔහු සම්ප්‍ර­දාය විවේ­ච­නය ලක් කළේ සම්ප්‍ර­දාය ඉඳුරා දැන වඩ­වා­ගත් විදු­හුරු මන­ස­කිනි.

1976 ජූලි මස 23 වැනි දින මේ අදීන චින්ත­කයා මෙලො­වින් සමු ගත්තද, ඔහු දැල්වූ ප්‍රඥා ප්‍රදී­ප­ස්ත­ම්භය අප දිවි මඟ එකලු කර­මින් අද­ටද දීප්ත­මා­නය.

 


Comments