මේ රස්නෙට ලෙඩ ගොඩයි වැඩි­පුර වතුර බීම එකම පිළි­ය­මයි | සිළුමිණ

මේ රස්නෙට ලෙඩ ගොඩයි වැඩි­පුර වතුර බීම එකම පිළි­ය­මයි

“පුදුම රස්න­යක්” මේ දින­වල කාගේත් මුවින් පිට­වන වදන් පෙළකි. පවතින වියළි කාල­ගු­ණය නිසා පීඩා­වට පත්වන ජන­තාව මේ වන විට ගැටලු රාශි­ය­කට මුහුණ දී සිටිති. ළිං සහ ගංගා ඇළ­දො­ළ­වල ජල මට්ටම පහත වැටී­මත් සම­ඟම ජල පරි­භෝ­ජනය කෙරෙහි ඇති වන බල­පෑම ගැන කවු­රුත් කතා කරති. ජල විදුලි කප්පා­දුව ගැන අව­ධා­න­යෙන් පසු­වෙති. එහෙත් ශරීර සෞඛ්‍යය කෙරෙහි අවධා­නය යොමු කරන්නේ ඉතා අඩු­වෙනි.

පරි­ස­රයේ පව­තින දැඩි උෂ්ණ­ත්වය නිසා දහ­දිය මඟින් මිනිස් සිරුරේ තිබෙන ජලය පිට වෙයි. එබැ­වින් නිර­න්ත­ර­යෙන් ජලය පානය කිරීම ඉතා වැද­ගත් වේ. සිරුරේ ක්‍රියා­කා­රි­ත්ව­යට අවශ්‍ය ජලය නිසි පරිදි නොලැ­බු­ණ­හොත් විජ­ල­නය ඇති විය හැකිය. විජ­ල­නය නිසා මස් පිඬු පෙර­ළීම, සිහි මූර්ජාව (Heat Stroke) පවා ඇති විය හැකි අතර සම කැසීම, ඇස් දැවිල්ල, දහ­දිය නිසා සමට හානි සිදු වීම වැනි ගැටලු ද මතු විය හැකිය. ඇතැම් විට හෘද­රෝග සහ පෙණ­හලු රෝග වැනි නිද­න්ගත රෝග උත්සන්න විය හැකිය. පව­තින වියළි කාල­ගු­ණික තත්ත්වය යටතේ ජලය පානය කිරීම අත්‍ය­වශ්‍ය සාධ­ක­යක් වන්නේ එබැ­විනි.

“ශරී­රයේ ඇති ජලය අඩු වීමෙන් විවිධ සංකූ­ලතා ඇති වෙනවා. ඒ නිසා ජලය ලීටර් 5-6 ක් වත් දින­කට පානය කිරීම අත්‍ය­ව­ශ්‍යයි. අඩුම වශ­යෙන් ලීටර් 5ක් වත් පානය කළ යුතුයි. වතුර බීමට පිපා­සය දැනෙන තුරු සිටින්න එපා. විනාඩි 15 – 20 කට වරක් වතුර උගුරු 8-10 ක් පානය කිරීම පුරු­ද්දක් වශ­යෙන් කරන්න. ශරී­ර­යට දියර වර්ග සුදු­සුයි කියලා සීනි අධික බීම වර්ග බොන්න එපා. හැකි­තාක් නටන තෙක් උණු කර නිවා­ගත් ජලය තමයි බීමට සුදුසු වෙන්නේ. සම­හ­රුන් වතුර නට­වන්නේ නැතිව පානය කර­නවා. ඒත් පව­තින වියළි කාල­ගු­ණය සමඟ වසං­ගත රෝග පැති­රෙන්න පුළු­වන්. ඒ අව­දා­නම වළක්වා ගැනී­ම­ටයි වතුර නටවා නිවා­ගෙන බොන්න කියලා අපි උප­දෙස් දෙන්නේ.” යනු­වෙන් සඳ­හන් කළේ පවුල් සෞඛ්‍ය කාර්යාං­ශයේ අධ්‍යක්ෂ, ප්‍රජා සෞඛ්‍ය විශේ­ෂඥ වෛද්‍ය චිත්‍ර­මාලි ද සිල්වා ය.

උෂ්ණ­ත්වය වඩාත් දැඩි වන කාල පරා­සය ලෙස ඈ පෙන්වා දෙන්නේ පෙර­වරු 11.00 - පස්වරු 3.30 අතර කාල­යයි. එබැ­වින් එම කාලය තුළ අන­වශ්‍ය පරිදි එළි­ම­හනේ ගැව­සීම අවම කිරීම ඉතා වැද­ගත්ය. එළි­ම­හනේ යෑමට සිදු වේ නම් පන් තොප්පි පැල­ඳී­මත් ස්ත්‍රී පුරුෂ භේද­ය­කින් තොරව කුඩ පාවිච්චි කිරී­මත් යෝග්‍ය වේ. ළා පැහැති ඇඳුම් ඇඳීම, අධික රස්නය ඇති විට මුහුණේ සහ අත් වතු­රෙන් තෙමීම සහ වාතා­ශ්‍රය හොඳින් ලැබෙන සේ දොර ජනෙල් විවෘ­තව තැබී­මෙන් සිරුරට දැනෙන උෂ්ණත්වය අඩු කර ගත හැකිය. සිරු­රට දැනෙන අධික උෂ්ණ­ත්වය නිසා තද අව්වේ ක්‍රීඩා කිරීම සුදුසු නැත.

“අධික උෂ්ණ­ත්වය නිසා සංකූ­ලතා ඇති වන අව­දා­නම් කණ්ඩා­ය­මක් හැටි­යට ළම­යින් හඳු­නා­ගෙන තිබෙ­නවා. ඒ නිසා දරු­වන් අව්වේ ක්‍රීඩා කිරී­මට එළි­ම­හ­නට යනවා නම් තොප්පි­යක් දාලා යැවීම පිරි­සුදු වතුර බෝතල් දීම වැඩි­හි­ටි­යන්ගේ යුතු­ක­මක්. අධික ශරීර උෂ්ණ­ත්ව­යත් එක්ක ඕනෑම කෙනෙ­කුගේ නාඩි වේගය හා ශ්වසන වේගය වැඩි වෙනවා. හිස­ර­දය, සිහි මද ගතිය, වලි­ප්පුව ඇති වෙනවා.

අධික දහ­දිය දැමීම, ශරී­රයේ අප්‍රා­ණික බව, ක්ලාන්තය, පිපා­සය සමඟ ආත­තිය ඇති වෙන්න පුළු­වන්. මේ නිසා තමයි පුළු­වන් තරම් වතුර බොන්න කියල අපි උප­දෙස් දෙන්නේ. අඩුම වශ­යෙන් දව­ස­කට වතුර ලීටර් 5ක් බොන්න ‍ඕනෑ.” යනු­වෙන් පවුල් සෞඛ්‍ය කාර්යාං­ශයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේ­ෂඥ වෛද්‍ය චිත්‍ර­මාලි ද සිල්වා සඳ­හන් කළාය.

මෙම වෛද්‍ය උප­දෙස් නිසා හෝ පිපා­සය නිසා මේ දින­වල ජන­තා­වගේ පානීය ජල පරි­භෝ­ජ­නයේ ඉහළ යෑමක් සිදු විය හැකිය. ශ්‍රී ලංකා පානීය ජල බෝතල් කර්මා­න්ත­ක­රු­වන්ගේ සංග­මයේ සභා­පති අනුර කුමා­ර­සිං­හ­ගෙන් ‍ඒ පිළි­බඳ විම­සුවේ එම නිසාය.

“පානීය ජල බෝතල් වෙළ­ඳාම කාල­ගු­ණය සමඟ සම්බන්ධ දෙයක්. පායන කාල­යට වෙළ­ඳාම වැඩියි. වැහි කාල­යට වෙළ­ඳාම අඩුයි. කොහො­ම­ටත් සෑම අවු­රු­ද්ද­කම මාර්තු මාසයේ පානීය ජල බෝතල් විකි­ණෙන ප්‍රමා­ණය ඉහළ යනවා. මේ අවු­රුද්දේ පෙබ­ර­වාරි මාසයේ පව­තින උණු­සුම් කාල­ගු­ණය එක්ක පානීය ජල බෝතල් අලෙ­විය ඉහළ ගිහින් තිබෙ­නවා. ජල බෝතල් කර්මා­න්ත­ක­රු­වන්ගේ සංග­මයේ සාමා­ජි­ක­යන් 150 දෙනෙකු පමණ සිටි­නවා. ඒ හැමෝ­ගේම මේ දින­වල අලෙ­විය වැඩි­වෙලා තියෙ­නවා.” යනු­වෙන් අනුර කුමා­ර­සිංහ පැව­සීය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදි­රි­පිට පදික වේදි­කාවේ සිටින විට අපට දක්නට ලැබෙන්නේ මී මැසි පොදි­යක් මෙන් පොර කන ජන­තා­වය. සම­හරු අතින් කටින් බඩු මලු එල්ලා ගෙන බස් රථ­ව­ලට නඟිති. සම­හරු බස් රථ­ව­ලින් බසිති. ඇතැ­මෙක් මගී පාලම ඔස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථාන­යට දිව යති. එ‍සේ කඩි­ස­රව එහා මෙහා යන ජන­තා­වගේ පිපා­සය සංසි­ඳු­වා­ලී­මට වෙළෙ­ඳුන් පිරි­සක් ද සෑදී පැහැදී සිටිති.

කොටුව දුම්රිය ස්ථානය ඉදි­රි­පිට මඟී පාලමේ පිය­ගැ­ට­පෙළ අසල පිහිටි කඩ පේළියේ දෙහි, දොඩම් සහ පල­තුරු බීම අලෙවි කරන ෆවුමි සමඟ කතා කළ විට ඔහු පැව­සුවේ මේ දින­වල දෙහි සහ ‍දොඩම් පානය සඳහා අධික ඉල්ලු­මක් පව­තින බවයි. “මේ දව­ස්වල බිස්නස් සරුයි. දෙහි, දොඩම් බීම ගොඩාක් විකි­ණෙ­නවා.” ෆවු­මිට අප සමඟ කියා ගත හැකි වූයේ එප­ම­ණකි. බස­ය­කින් බැස ගත් පිරි­සක් කඩ­යට ඇතුළු වූ බැවින් ඔහු අප සමඟ කළ කතා බහට නැව­තීමේ තිත තැබීය. දොඩම් මිරි­කී­ම­ටත් වීදුරු සේදී­ම­ටත් අයිස් කැට කැඩී­ම­ටත් ඔහු වෙන් කළ කාල­යෙන් අංශු මාත්‍ර‍යක් උදු­රා­ගැ­නී­මට අපට හැකි වූයේ නැත.

එම කඩ පේළි­යේම දොඩම් සහ දෙහි බීම අලෙවි කරන එස්. ලමීන් ට අප සමීප වූයේ තවත් තොර­තුරු දැන ගැනී­මට ය. “වැඩි­පුර ඉල්ලන්නේ දොඩම් සහ දෙහි බීම. මේ කාලේ සැරට පාය­න­වානේ. ඒ නිසා හුඟ­ක්දෙනා දොඩම් හෝ දෙහි බොන්න පුරුදු වෙලා ඉන්නවා. මේ දව­ස්වල මමත් වැඩි­පුර දොඩම්, දෙහි ගෙනත් තියා ගන්නවා.” ප්‍රමාණ වශ­යෙන් පැව­සී­මට ඔහු මැළි වුවද එස්. ලමීන් දොඩම් පානය කළ වීදුරු සෝදන අත­ර­වා­රයේ අප සමඟ වචන කීප­යක් කතා කිරී­මට තරම් කාරු­ණික විය.

පිට­කො­ටුව මධ්‍යම බස් නැව­තු­ම්පොළේ ද පානීය ජල බෝතල් අලෙවි කරන වෙළ­ඳු­න්ගෙන් ජල බෝතල් මිල දී ගන්නා මඟින් දැක­ගත හැකි වුවත් එම වෙළඳුන් සමඟ කතා කිරී­මට ඉසි­ඹු­වක් සොයා ගැනීම අසීරු වූයේ බස­ය­කින් බැස තවත් බස­ය­කට ගොඩ­ වෙමින් ඔවුන් ජීවන අර­ග­ලයේ යෙදෙන නිසාය.

සාමා­න්‍ය­යෙන් ශරී­ර­යට අවශ්‍ය ජලය තර­ම­ටම අගනා පාන­යක් ලෙස සැල­කෙන්නේ තැඹි­ලිය. තැඹිලි පානය කිරී­මෙන් පිපා­සය සංසි‍ඳෙන අතර එහි ඖෂ­ධීය වටි­නා­ක­මක් ඇති බැවින් ශරී­රය සැහැ­ල්ලු­වෙන් පවත්වා ගත හැකිය. තැඹිලි අලෙවි කරන වෙළෙ­න්දකු සොයා ගියේ එබැ­විනි. කොටුව රීගල් සින­මා­ශා­ලාව පසු කර මහ­ජන බැංකු මූල­ස්ථා­නය දෙසට යන විට කොට්ටං ගසක් යට තැඹිලි විකු­ණන වෙළෙ­න්දෙකු මට හමු­විය. ඔහු පී. ධර්ම­සිරි දාබ­රේය.

“මීට සති­ය­කට විතර ඉස්සෙල්ලා නම් දව­ස­කට තැඹිලි ගෙඩි 100 ක් 125ක් විකු­ණුවා. ඒත් දැන් නම් 100 ක් වත් විකුණා ගන්න බැහැ. ඊයේ ගෙනාපු තැඹිලි ගෙඩි 100 ඉතිරි ගෙඩිත් තවම තියෙ­නවා. ඒ නිසා මම අද ගෙනාවේ තැඹිලි ගෙඩි 80 යි. ඒකට හේතුව තැඹිලි ගෙඩියේ මිල ඉහළ යෑම. ඉස්සර මම තැඹිලි ගෙඩිය රුපි­යල් හැත්තෑවකට වික්කේ. ඒත් අද මම තැඹිලි ගෙඩියක් ගන්නෙත් අසූ­වකට. ඒ නිසා මට විකු­ණන්න වෙලා තියෙන්නේ ගෙඩි­යක් රුපියල් සිය­ය­කට. දැන් සති­යක ඉදලා තැඹිලි ගෙඩි­යක් රුපි­යල් සිය­යයි. සීය වුණා දා ඉඳලා මට බිස්නස් අඩුයි.” ධර්ම­සිරි දාබරේ පැව­සීය.

ඔහු තව­දු­ර­ටත් දන්වා සිටියේ ඔහු තැඹිලි මිල දී ගන්නා කැලෑ පොළේ සිටින තැරැ­ව්ක­රු­වන් නිසා තැඹිලි ඇතුළු භාණ්ඩ­වල මිල ඉහළ ගොස් ඇති බවය. තැරැ­ව්ක­රු­වන් නැතිව තැඹිලි මිල දී ගත හැකි නම් තැඹිලි මිල මීට වඩා අඩු විය හැකි බව ඔහුගේ අද­හ­සය.

එහෙත් මේ සියල්ල සිදු වන්නේ රාත්‍රි­යේ­දීත් නොනි­දන ගෙන්ද­ගම් පොළො­වේය. ගමෙන් විස්සට තිහට ගමෙන් ගන්නා තැඹිලි ගෙඩිය සිදා­දියේ සිය­යට අලෙවි වන විට වාසිය හිමි වන්නේ අතර මැදි­යාට. එය දැඩි උණු­සුම වැඩි වන වෙන­මම කතා­වකි.

Comments