මුහුණු පොතේ අනෙක් පැත්ත | Page 2 | සිළුමිණ

මුහුණු පොතේ අනෙක් පැත්ත

‘මුහුණු පොත්’ ගිණුම් හිමි පිරිමි සංඛ්‍යාවට වඩා, ලෝකයේ පිරිමි ජනගහනය අඩුයි

පේ රටේ බින්තැන්නේ සිට කොළඹ කුරුඳුවත්ත තෙක් අහුමුල්ලක් නෑර සිටිනවුන් අතරින් ඇතැම් විට තවමත් ‘බැංකු ගිණුමක්’ වත් නැතියවුනට පවා ‘ෆේස් බුක් ගිණුමක්’ තිබීම නම් හරිම අපූරු ය. ‍‍ දෙවියන්, බුදුන් වැඳ නිදි පැදුරෙන් නැගිටින්නට පුරුදුව සිටි සමාජයක විසූ බොහෝ දෙනෙකු අද නින්දට යන්නේ ද, නිදි යහනට පිවිසෙන්නේ ද ‘ෆේස් බුක්’ සමඟිනි. ලෝකයේ සෙසු රටවල තත්ත්වය ද මීට නොදෙවෙනි ය. එක්තරා විදෙස් පුවත්පතක වරක් අපූරු වාර්තාවක් පළ කර තිබිණි. ඒ අනුව ලොව පුරා ‘මුහුණු පොත්’ ගිණුම් හිමි පිරිමි සංඛ්‍යාවට වඩා, ලෝකයේ පිරිමි ජනගහනය පවත්නේ අඩු මට්ටමකය.

මෙය එක්තරා අන්දමකට හාස්‍ය උපදවන පුවතක් ලෙස හැඟුණ ද, මේ තුළ සැඟවුණ යතාර්ථය ‍එසේ සුළු ‍කොට නොසලකා හැරිය යුතු වූවක් නොවන බැව් මුහුණු පොතේ ගිණුම් කිහිපයකට හිමිකම් පාමින් විවිධ අපරාධ, වංචාවන්හි නිරතවූවන් පිළිබඳ සිදුවීම් සැලකීමේදී අවබෝධ වනු ඇත.

තිස් හැවිරිදි දෙදරු මවක වූ ‘අනෝලි’ මුහුණු පොතේ නිතර සැරිසරන්නියක වූවා ය. ඇගේ සැමියා විදෙස් රැකියාවක නිරත වූයෙන් ඇයට සීමා පනවන්නට කිසිවකු සිටියේ ද නැත. එහෙයින් තමන් වෙත එන ‘මිතුරු ආරාධන’ (FRIENDS REQUEST) දෙවරක් නොසිතා පිළිගන්නට පුරුදු වී සිටි අනෝලි නිතර විවිධ ඇඳුම්වලින් සැරසී, විවිධ ඉරියව්වලින් සිට ගත් තම ඡායාරූප මුහුණු පොතේ පළ කරන්නට වූයේ දකිනවුන්ගේ අවධානය තමන් වෙත යොමුකර ගැනීමෙන් අපමණ වින්දනයක් ලබමිනි.

වරක් තම පියයුරු මඳක් නිරාවරණය වන සේ ගත් ඡායාරූපයක් මුහුණ පොතට මුදා හැර පැය කිහිපයක් තුළ අනෝලිගේ ඡායාරූපයට ලැබුණු ‘ලයික්’ සංඛ්‍යාව මෙන්ම ‘කමෙන්ට්’ සංඛ්‍යාව හැටත් ඉක්මවා යද්දී ඒ එකිනෙක කියවා බැලූ ඇයගේ සිත වඩාත් ඇදී ගියේ මෑතකදී හඳුනාගත් ‘දේවක’ ගේ කමෙන්ටුව වෙතට ය.

(You are very sexy….. sooo beautiful babo) ඔයා හරිම ...................... හරිම ලස්සනයි බබෝ....

සැමියාගෙන් බොහෝ දුරබැහැරක සිටි අනෝලිගේ හුදකලා වූ හදවත මේ කමෙන්ටුව හමුවේ සසල වන්නට වැඩි වේලාවක් ගත නොවුණි.

‘බොහෝම ස්තුතියි...’ ඇය දේවක වෙත පණිවිඩයක් යවන්නට උත්සුක වූවා ය.

(I feel like I am in love with you) ‘ මට හිතෙන්නේ මම ඔබත් සමඟ ආදරයෙන් බැඳී සිටින බව ය’. තත්පර ගණනක් ඇතුළත දේවකගෙන් ‘මැසෙන්ජර්’ හරහා පණිවිඩයක් ලැබිණි.

(Me too feel same) ‘මටත් දැනෙන්නේ ඒ විදිහටමයි’ අනෝලිගේ ප්‍රතිචාරය දේවකව දිරි ගන්වන සුළු වූවක් විය. විනාඩි ගණනක් තුළ ටයිප් කොට හුවමාරු කරගත් පණිවිඩ රැසකින් අනතුරුව අනෝලි දේවකගේ පෙම්වතිය බවට පත්වූයේ ඔහුගේ වගතුග හෝ හරිහැටි නොදැන ය.

ව්‍යාපාර හිමි‍යකු වූ තමන් ඉතා කාර්ය බහුල යැයි පැවසූ දේවක දිනකට කිහිප වරක් ‘මැසෙන්ජර්’ හරහා පණිවිඩ තබමින් ඇයගේ සුව දුක් විමසීමට අමතක කළේ නැත.

දිනක් දේවකගෙන් ඇයට හදිසි දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ තමන්ට ව්‍යාපාර කටයුත්තක් සඳහා හදිසියේම සති කිහිපයකට රටින් බැහැර යෑමට සිදුව ඇති බැවින් එයට පෙර ඇයව දැක ගැන්මට අවශ්‍ය බව පවසමිනි. “යන්න කලින් මට ඔයාගෙ ආදරය විඳගන්න ඕනි” දුරකථන සංවාදය අවසන් කරමින් දේවක පැවසූ දෑ අනෝලි ගේ හදවතට මිහිරක් එක් කළේය.

කෙසේ වුවද පොරොන්දු වූ පරිදි දේවක හමුවන්නට ඈ ගියාය. බස් නැවතුමට වී බලා සිටින ඇය අසලට කැබ් රථයෙන් බැස එන දේවකව හඳුනා ගන්නට ඇයට අපහසු නොවිණි.

‘හරි වැඩේ අයියට හදිසියක් වෙලා මගෙ කාර් එක අරගෙන ගියා. මේ ටවුන් එකේ හැමෝම වගේ මාව අඳුරනවා. ඒ හින්දා ‘හොටෙල් වලට නොගිහින් අපි පොඩි ගෙස්ට් හවුස් එකක් තියෙනවා. එතනට යමු.” තවමත් තමන් දෙස පුදුමයෙන් මෙන් බලා සිටින අනෝලිට පැවසූ දේවක වහා ත්‍රිරෝද රථයක් නවතා ඇයව එයට නංවා ගත්තේ වදනකුදු පවසන්නට ඉඩ නොතබමිනි.

‍දේවක සමඟ යහනට වන් අනෝලිට තම සැමියා මතක් වීමෙන් සිත සසල විණි. එහෙත් තහනම් ගහ අබියස රාගයෙන් මුසපත් වූ දේවකගේ ඇඟිලි තුඩුවල පහසින් තම හැඟීම් අවදිවන්නට වූයෙන් ඇය ඔහුගේ පහස ලැබ ගන්නට ලොල් වූයේ මුළු ලෝකය ම මඳකට අමතක කොට දමමිනි.

තමන්ට විදේශ ගතවීමට පෙර කළ යුතු වැඩ කටයුතු රැසක් ඇති බැවින් ගුවන් යානයට නගින්නට ප්‍රථම ඇමතුමක් දෙන්නට පොරොන්දු වූ දේවක අයගෙන් සමුගත්තේ ය.

පොරොන්දු වූ පරිදි දේවක දුරකථන ඇමතුමක් නොදුන් බැවින් තරමක චකිතයට පත් අනෝලි නින්දට වැටුණු අතර පසුදින උදෑසන අවදිවූ වහාම දේවක තමුන් වෙත තබා තිබූ පණිවිඩය කියවන්නට වූයේ ඉවසුම් නොමැති ව ය. පණිවිඩය කියවාගෙන යන අතරතුර ඇයට හීන්දාඩිය දමන්නට විය.

“එදා මා එක්ක ගෙස්ට් හවුස් එකේ කාමරේ ඉන්න අතරෙ මම සිද්ධ වෙච්ච හැම දෙයක් ම වීඩියෝ කළා. “මීට පස්සෙ මට කතා කරන්න උත්සාහ කරන්න එපා. මේ වෙලාවෙ මට මුදල් අවශ්‍යයි. සතියක් ඇතුළත ලක්ෂ දහයක් මගේ ගිණුමට නොදැම්මොත්, මේ වීඩියෝ එක තමුන්ගෙ මහත්තයගෙ අතට යන්න පුළුවනි.”

සිදුවූ සියල්ල වැටහෙන විට තමා බොහෝ ප්‍රමාද බැව් අනෝලිට වැටහිණි. වරෙක සිය දිවි නසා ගන්නට සිතුණද තම සුරතල් දරු දෙදෙනා අසරණ වන බැව් සිහිවීමෙන් ඇගේ හදවත වේදනාවෙන් රිදුම් දෙන්නට වූවාය. අවසානයේදී තම ගිණුමෙහි ඇති මුදල් රැගෙන දේවක තමන්ට ලබාදී තිබූ ගිණුමෙහි තැන්පත් කළ අනෝලිට නැවත කිසිදිනෙක දේවක පිළිබඳ ව අසන්නට ලැබුණේ නැත.

මේ තවත් එවැනි ම කතාවකි.

මාලිකාට එංගලන්තයේ වෙසෙන දකුණු අප්‍රිකානු ඉංජිනේරුවකු වූ ‘මයික්’ හඳුනාගන්නට ලැබුණේ ද මුහුණු පොත හරහා ය. තම බිරියගේ අකල් මරණයෙන් තනිවූ දියණිය ලන්ඩන් නුවර නේවාසික පාසලක රැඳවූ මයික් අප්‍රිකාවේ දුෂ්කර පෙදෙසක රැකියාවෙහි නිරතව සිටින බැව් පැවසූ අතර මාලිකා හඳුනාගෙන දින කිහිපයක් යන්නටත් මත්තෙන් ඇයට විවාහ යෝජනාවක් ගෙන ආයේය.

“මට ඕනෙ මගේ දුවට හොඳ අම්ම කෙනෙක් වෙන්න පුළුවන් කෙනෙක්ව. මට හිතෙනවා ඒකට සුදුසුම කෙනා ඔයා කියලා” අසාර්ථක විවාහයකින් වෙන්වී තනිව දිවි ගෙවූ මාලිකාට මේ ඇරයුම කිසිසේත් ඉවත දමන්නට සිත දුන්නේ නැත; මයික් සමඟ කතා කළ හැම විටම ඈ සිහින මැව්වේ මයික් හා දියණිය සමඟ ලන්ඩනයේ පදිංචියට යන දිනය පිළිබඳ ව ය.

දවසක් හදිසියේ ම මයික් කතා කරලා කිවුවා තව මාස තුනකට වත් නිවාඩු ගන්න වෙන පාටක් නැහැ. මේ දවස්වල වැඩ කරන්නෙ මුහුදෙ. ඒ හින්දා බැංකුවකට යන්නවත් විදිහක් නැහැ. දවස් තුනක් ඇතුළත පවුම් පන්සීයක් ඉස්කෝලෙට නොගෙවුවොත් දුවව පාසලෙන් අයින් කරන්න වෙන බව ටීචර් දැනුම් දුන්නා කියලා.

“ඔයාට පුළුවන් නම් මම එවන ගිණුම් අංකයට ටීචර්ට පවුම් පන්සීයක් යවන්න... තම අනාගත සැමියා වෙනුවෙන් තම යුතුකම ඉටුකරන්නට සිතූ ඇය එංගලන්තයේ විසූ තම සොහොයුරාට කතා කොට මිතුරියකගේ හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් පවුම් පන්සියයක් ඇයගේ ගිණුමෙහි තැන්පත් කරන්නැයි ඉල්ලා සිටියා ය.

මේ සිදුවීමෙන් සති තුනකට පමණ පසු මයික් ඇයට දන්වා සිටියේ තමන් රැකියාවෙන් ඉවත්වීමට තීරණය කළ බව ය. “මට ඉක්මනට ඔයාව එංගලන්තයට ගෙන්න ගන්න ඕනෙ. ඒ හින්දා මම රස්සාව අතහැරලා එංගලන්තයට යනවා. කීපදෙනෙක් එක්ක කම්පැණි එකක් පටන්ගන්න ප්ලෑන් කරා. මා ළඟ සෑහෙන මුදලක් තියෙනවා. ඒත් තව ලක්ෂ පනහක් විතර ඕන. කොහොම හරි බෑන්ක් ලෝන් එකක් අරගෙන හරි මට මුදල් එවන්න.”

මයික්ගේ මේ ඉල්ලීම මාලිකා තුළ කිසියම් සැකයක් ඉපදවූවද, ඈ ඒ සැකය යටපත් කරන්නට සිතූයේ එංගලන්තයේ පදිංචියට යෑම පිළිබඳ සිහින මවමිනි. 

“ඔයා මුදල් එවන්න ප්‍රමාද වුණොත් මේ වැඩේ අතහරින්න වෙනවා. ඒ හින්දා අපේ අනාගතය ගැන හිතලා මට උදව් කරන්න.” අවසාන වතාවට මුදල් ඉල්ලා ඇමතූ දිනයේදී තමන් කෙසේ හෝ මුදල් යැවිය යුතු බවත්, ඊට පෙර තම සොහොයුරාගේ සහය පතන්නටත් මාලිකා තීරණය කළාය.

මාලිකා ‘මයික්’ පිළිබඳ පැවසූ තොරතුරුවලට සවන් දුන් ඇගේ සොහොයුරාට තම සොහොයුරිය මහත් රැවටිල්ලකට හසුවී ඇති බැව් තේරුම් ගැන්මට හැකිවිණි. වහා ක්‍රියාත්මක වූ ඔහු මයික්ගේ දියණියගේ ගුරුතුමිය යැයි පැවසූ ‘ජුලියානා’ ගේ ලිපිනය සොයා ගිය අතර, නිවසේ විදුලි සීනුව නාද කළ විට එළියට ආ අප්‍රිකානුවන් කිහිප දෙනෙකු දුටු ඔහු ‘ජුලියානා ස්මිත්’ ගැන විමසද්දී එවැන්නියක නොමැති බැව් පැවසූ රස්තියාදුකර පෙනුමැති අප්‍රිකානුවකු තවත් වචනයක් හෝ අසන්නට ඉඩ නොතබා දොර වසා දමා තිබිණි.

එ් සිදුවීමෙන් අනතුරුව මයික් ගේ ‘ෆේස් බුක්’ ගිණුම අතුරුදහන් වී තිබූ අතර, ඔහුගේ ‘වට්ස් ඇප්’ අංකයෙහි සබඳතාව ද විසන්ධි කොට තිබිණි. කෙසේ වුවද ඒ වන විටත් ‘පවුම් පන්සීයක්’ පමණ තම නොදුටු ප්‍රේමය වෙනුවෙන් වැයකර තිබූ මාලිකා ඇගේ සොහොයුරාගේ ප්‍රඥාවන්තකම හේතුවෙන් වංචාකාරයකුට හසුවීමට තිබූ ඉඩකඩ ඇහිරිණි.

මුහුණු පොත හරහා තමන් වෙත ලැබෙන මිතුරුදම් සඳහා වන ඉල්ලීම් පිළිගැන්මට පෙර ඔවුන් පිළිබඳ ව විමසා බැලීම ඉතා වැදගත් ය. මන්දයත් ෆේස් බුක් හරහා සිදුකරන වංචා, ලිංගික අපරාධ, අපහාස කිරීම්, රැවටීම් පිළිබඳ ව වාර්තා වන සිදුවීම්වලට වඩා “සැඟවුණු සිදුවිම්’ බොහෝ වන බැවිනි. මුහුණු පොත හරහා සිදුවන අපරාධ අතර බොහෝ විට අසන්නට ලැබෙන්නේ ලිංගික අපරාධ පිළිබඳ ව ය. මුහුණු පොත ගිණුමක් ඇරඹීමට බාල වයස්කරුවන්ට ඉඩකඩ නැතත්, මුහුණු පොත හරහා සිදුවිය හැකි ව්‍යසනයන්හි බරපතළකම් නොදන්නා ඇතැම් වැඩිහිටියන් තම දරුවනට අන්තර්ජාලයේ සැරසරමින් ‘මුහුණු පොතේ’ රිසිසේ මිතුරන් ඇසුරට ඉඩදී නිහඬ ව සිටිති.

මුහුණු පොත හරහා තරුණියන් රවටමින් ඔවුන් සමඟ ‘ව්‍යාජ පෙම් සබඳතා’ ගොඩනඟා ගනිමින් ඔවුන් රවටා නිරුවත කැමරාගත කොට අන්තර්ජාලයට මුදා හැරීම මේ අපරාධ අතර ප්‍රධාන වූවකි.

පෙර පාසල් ගුරුවරියක වන ශ්‍යාමලීට ඇමරිකාවේ ගොඩනැඟිලි නිර්මාණ ශිල්පියකු වූ ඩෙරික් මහතා මුණ ගැසුණේ ද මුහුණු පොත හරහා ය. ඩෙරික් මහතා ඉතා ආචාරශීලී යහපත් පුද්ගලයකු බැව් ඔහු සමඟ ‘චැට්’ කරද්දී වටහා ගත්තෙන් ශාමලීගේ පවුලේ සාමාජිකයින්ට ද ඔහු පිළිබඳ ව පැවසීමට ඇය පසුබට වූයේ නැත.

මේ අතර ශ්‍යාමලීගේ උපන්දිනය පිළිබඳ මුහුණු පොත මඟින් දැනගත් ඩෙරික් ‘ඉතාමත් සුළු තෑග්ගක්’ එවන්නට යැයි ඇයගේ ලිපිනය ඉල්ලා ගෙන තිබුණි.

පසු දින උදෑසන ‘මැසෙන්ජර්’ හරහා ඩෙරික්ගෙන් ඡායාරූප කිහිපයක් ලැබී තිබුණු අතර ඈ වෙනුවෙන් මිලදී ගත් ‍ඇපල් ෆෝනය, අගනා අත්බෑගයක් හා පාවහන් යුවළක් එක් පින්තූරයක ද, අනෙක් ඡායාරූපයෙහි අගනා කරදාසියකින් එතූ තෑගි බහාලු පෙට්ටිය මත ඇගේ ලිපිනය සඳහන් කර ඇති ආකාරය දක්නට ලැබීමෙන් ශ්‍යාමලීට තම දෑස් අදහා ගැන්මට නොහැකි විය.

“ආව්... අම්මා... අයි ෆෝන් එකක්...” ඇගේ දියණිය සතුටින් උඩපනින්නට වුවද කෙදිනකවත් තමා දැක නොමැති විදේශකයකු තමන්ට පාවහන් මිලදී ගන්නේ කෙසේ දැයි යන්න ශ්‍යාමලී තුළ කුකුසක් හට ගැණිනි.

පසු දින උදෑසන දහය පමණ වන විට ශ්‍යාමලීට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ දේශීය දුරකථන අංකයකින් ය.

“මැඩම්, ඔබේ නමට පාර්සලයක් ලැබී තිබෙනවා. ප්‍රශ්නයකට තියෙන්නෙ ඒක රිලීස් කරගන්න මැඩම්ට පොඩි මුදලක් ගෙවන්න වෙනවා. මම එවන එකවුන්ට් එකට සල්ලි ඩිපොසිට් කරහම මම පාර්සල් එක ක්ලියර් කරල ඩිලිවර් කරන්නම්”

පාර්සලය මුදා හැරීමට ඉල්ලූ සුළු මුදල රුපියල් ‘හැත්තෑ දහසක්’ විය.

“තෑග්ගක් එවුවහම ඒක ගන්න සල්ලි ගෙවන්නෙ මොකටද? ඔය තෑග්ග ආපහු යවන්න” යි පවසමින් ශ්‍යාමලී දුරකථනය විසන්ධි කිරීමට සැරසෙද්දි “මැඩම් සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. මම කස්ටමර්ට කතාකරලා මේක බේරුමක් කරගෙන කෝල් කරන්නම්’ එම පුද්ගලයා ශ්‍යාමලීට පවසා තිබිණි.

ඒ හා සමඟින් ම ඩෙරික් මහතා මැසෙන්ජර් හරහා පණිවිඩයක් තබමින් සඳහන් කර තිබුණේ තෑගි මිලදී ගැන්මට තමා අත ඇති සියලු මුදල් වැයවූයෙන් පාර්සල් ගාස්තුව ගෙවීමට නොහැකි වීම ගැන කනගාටු වන බවත් කෙසේ හෝ එම ගාස්තුවෙන් භාගයක් තමන් ගෙවන බැව් ඒජන්තවරයාට දැනුම් දුන් බැවින් ඉතිරි මුදල ගෙවා පාර්සලයට බාරගන්නා ලෙසට ය.

මේ අතර පාර්සලය භාරව සිටි ඒජන්සිකරු නැවතත් දුරකතන ඇමතුමක් දෙමින් පවසා සිටියේ ‘කස්ටමර් චාර්ජස්වලින් බාගයක් ගෙවන්න පොරොන්දු වුණා. මැඩම් ඉතිරි තිස්පන්දාහ ගෙවුව නම් පාර්සලය රිලීස් කරගන්න පුළුවන්’ යනුවෙනි.

එහෙත් එම මුදල ගෙවීම ඈ තරයේම ප්‍රතික්ෂේප කරද්දී ‘ඒජන්සිකරු ගාස්තුව රුපියල් අට දහසට බැස්සවූ අතර මෙය කිසියම් වංචාවක් බැව් වටහා ගැන්මට ශ්‍යාමලීට අපහසු වූයේ නැත.

“තමුන් හිතුවද මාව අන්දවන්න පුළුවන් කියල. ආයෙත් මට කතා කෙරුවොත් තමුන්ගෙ නොම්බරේ පොලීසියට දෙන බව මතක තියාගත්තොත් හොඳයි” යැයි පවසනවාත් සමඟ එ් පුද්ගලයා දුරකතන ඇමතුම විසන්ධි කළ අතර, පුදුමය නම් ඩෙරික් මහතා ද ඒ හා සමඟින් ම මුහුණු පොත අතහැර දමා ‍ගොස් සිටීම ය.

මුහුණු පොත නිර්මාතෘ වූ මාර්ක් සකර්බර්ග් පවසන අන්දමට ඔහුට ෆේස් බුක් ගිණුමක් නැති වුවද, ශ්‍රී ලංකාවේ නම් අද ඊයේ උපන් බිළිඳුන් පවා මුහුණු පොත් හරහා ලෝකයෙහි සැරි සැරීම සුලබ සිදුවීමකි. ඒ ඔවුනගේ දෙමාපිය වැඩිහිටියන්ගේ ඉවක් බවක් නැති ‘ෆොටෝ පෝස්ට්’ කිරීමේ ඇබ්බැහිකම් හේතුවෙනි.

කරුණු කෙසේ වුවත් අන්තර්ජාලය හා සම්බන්ධ බොහෝ අපරාධයන්හි වින්දිතයන්; තමා මුහුණ පෑ සිදුවීම් සඟවා තබා ගැනීම; හේතුවෙන් අපරාධකරුවන් නිදැල්ලේ හැසිරෙති.

විශේෂයෙන් ලිංගික අපරාධයන්ට ගොදුරු වීම, අන්තර්ජාලය හරහා තම නිරුවත් රූප මුදා හැරීම වැනි සිදුවීම් හේතුවෙන් ඒවා විඳ දරා ගැන්මට නොහැකිව සිය දිවි නසා ගත්තවුන්, මානසික රෝගීන් බවට පත්වූවන් පවා වෙති.

මුහුණු පොත... අන්තර්ජාල හරහා සිදුකෙරෙන නිරුවත් ඡායාරූප පළකිරීම වැනි සිදුවීම් වලදී එවැනි ‘වින්දිතයකු’ කළ යුතු වන්නේ කුමක්දැයි යැයි නැඟූ පැනයට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති මනෝජ් සමරසේකර මහතා පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

“විද්යුත් මාධ්‍ය හරහා සිදුකරන අපරාධයන්ට ගොදුරුවන්නකු කිසිසේත්ම එම සිදුවීම සඟවාගෙන නිහඬ විය යුතු නැහැ. එය එවැනි අපරාධකරුවන්ට දිරිදීමක්.

මෙවැනි අපරාධ සඳහා නීතිය ක්‍රියාත්ම කළ යුතුයි. එවැනි අපරාධ සම්බන්ධව ළඟම ඇති පොලීසියට පැමිණිල්ලක් කිරීම වැදගත්.

අනෙක් අතට නීති කොතරම් තිබුණත් ‍මුහුණු පොත අන්තර්ජාලය හරහා සැරිසැරීමේදී තමන්ගේ අනන්‍යතාව, ආරක්ෂාව, ආත්ම ගෞරවය පිළිබඳව කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. කිසිවකුගේ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැරිය විට වරදකුරු සොයා දඬුවම් ලබා දුන්නත්, ඒ වන විට ඒ ඡායාරූපය බොහෝ දෙනකු අතට පත්විය හැකියි. එනිසා ප්‍රතිකාරයට වඩා සිදුවීමකට ඇති ඉඩකඩ වළක්වා ගැනීමට කල්පනාකාරී වීම ඉතා වැදගත්.”

නිලංකා ජයසූරිය

Comments