පසුගියදා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සූරියවැව තොරතුරු තාක්ෂණ උද්‍යානයේ විනාශය නැරඹීමට එ් ප්‍රදේශයේ කළ නිරීක්ෂණ චාරිකාව ඇස ගැටීමත් සමඟ ඒ පිළිබඳ ව කිසියම් විමසීමක් කළ යුතු යැයි අපට සිත් විය. ඒ අනුව පසුගිය දිනක අපි එහි ගියෙමු.
මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයට යාබද ව සූරියවැව තොරතුරු තාක්ෂණික උද්‍යානය වෙනුවෙන් ඉදි කළ මහල් හතරකින් සමන්විත දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණය අප ඉදිරියේ වෙයි. විශාල පිරිවැයක් දරා ඉදිකර තිබූ එ් ගොඩනැගිලි සංකීර්ණය දුටු විට “දෙවියනේ මේ අපේ රටේ ජාතික සම්පත් නේද? යන සිතුවිල්ල සිතට නැගෙන්නේ නිරායාසයෙනි. මේ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණය මේ වන විට ගස්කොළන් වැවී, වතුර පිරී, පාසි බැඳී වවුලන්ගේ නිවහනක් බවට පත්ව නිකරුණේ විනාශ වී ගොසිනි. මෙලෙස නිකරුණේ විනාශ කර ඇත්තේ අප දරුවන්ගේ අනාගතය ආලෝකවත් කළ හැකි සම්පත් නොවේද?
මේ ව්‍යාපෘතිය ආරම්භ වන්නේ මෙරට ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතු බවට වන යෝජනාව අනුව 2005 වසරේ බලයට පත් මහින්ද චින්තන වැඩ පිළිවෙල මඟිනි. නූතන ලෝකයේ ඕනෑ ම රටක ආර්ථිකමය සෞභාග්‍ය ළඟා කර ගැනීම සඳහා දැනුමට හා නවෝත්පාදනයන් සඳහා හිමිව ඇත්තේ ඉතාම සුවිශේෂී ස්ථානයකි. ඒ අනුව ලෙහෙසියෙන් ඉඩම් අත්පත් කර ගත හැකි ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට එවක රජය පියවර ගත්තේ ය.
ආර්ථිකය ශක්තිමත් කළ හැකි ආර්ථික මර්මස්ථාන රාශියකින් සමන්විත හම්බන්තොට දිස්ත්‍රික්කය ඒ සඳහා සුදුසු ම පාරිසරික කලාපය බවට තීරණය වූයේ ඒ අනුව ය.
සූරියවැව තොරතුරු තාක්ෂණික උද්‍යානය, මාගම්පුර වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාව, රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය, වියළි කලාපීය උද්භිත උද්‍යානය, රිදියගම සෆාරි උද්‍යානය, නවීන පහසුකම්වලින් සමන්විත රෝහල සහ අධිවේගී මාර්ග පද්ධතිය ආදිය ඉදිකිරීම් ආරම්භ වූයේ ඒ අනුවය. මින් බොහොමයක් 2015 වන විට අවසන් අදිරයට පැමිණ තිබිණි. නමුත් 2015 බලයට පත් යහපාලන රජය කිසිදු වගවිභාගයකින් තොරව මේ සියලු සැලසුම් පසෙකට වීසි කර දැමීය.
එහි ඛේදනීය ඉරණම අප නෙත ගැටුණේ පසුගියදා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එ් ප්‍රදේශයේ කළ නිරීක්ෂණ චාරිකාවේදී ය. එහිදී සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගණයට සමීපව ඉදි කිරීම් කටයුතු අතහැර දමා තිබූ සූරියවැව තොරතුරු තාක්ෂණ උද්‍යානය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. ජාතික සම්පත් මේ ලෙස විනාශ මුඛයට ඇද දමා ඇති ආකාරය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වහා පියවර ගැනීමට අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.
දේශීය හා විදේශීය ආයෝජකයන් සම්බන්ධ කර ගනිමින් ලංකාවේ විශාලම තාක්ෂණ හා අධි තාක්ෂණ විශ්වවිද්‍යාලය මේ වසර තුළම ආරම්භ කිරීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා; එහි තොරතුරු තාක්ෂණ, පරිගණක මෘදුකාංග, ඉංජිනේරු තාක්ෂණ , රොබොටික් ඉංජිනේරු පාඨමාලා ඇතුළු වෙනත් අධිතාක්ෂණික උපාධි පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද පැවසීය. දේශීය සිසුන්ට මෙන්ම ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, පාකිස්තානය ආදී ආසියාතික රටවල සිසුන් මේ සඳහා ආකර්ෂණය කර ගැනීම තම ඉලක්කය බවත්; මීට අමතරව දකුණු පළාතේ තිබෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරවල පරිගණකාගාර යොදාගෙන ඒ සියලු පාසල් අධි තාක්ෂණික විශ්වවිද්‍යාලයට අනුබද්ධ කර එමඟින් මුළු දකුණු පළාතේ ම සිසුන්ට තොරුතුරු තාක්ෂණික ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා ලබාගත හැකි පරිසරයක් ඇති කළ හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
ඇත්තෙන් ම මේ මෙරටට විදේශ විනිමය මැවිය හැකි ධන උල්පතකි; ජාතික සම්පතකි. පසුගිය රජය මේ ජාතික සම්පත් රට ඉදිරියේ පමණක් නොව ලෝකය ඉදිරියේ ද හෑල්ලුවට ලක් කළේය. මෙරට ආර්ථිකයේ දැවැන්තම ආයෝජනය වූ හම්බන්තොට වරාය විකුණා දැමූ ඔවුන්; මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වී ගබඩා කළේ සිය මුග්ධකම මොනවට ප්‍රදර්ශනය කරමිනි.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය, මඟපෙන්වීම යටතේ මෙහි ඉදිකිරීම් කඩිනම් කිරීමට සැලසුම් සකස් කර තිබේ. නුදුරේදීම මේ තොරතුරු තාක්ෂණ උද්‍යානය මෙරට තරුණ තරුණියන්ට ඉහළ වැටුප් සහිත අන්තර්ජාතික මට්ටමේ රැකියා අවස්ථා හිමි කරදෙන වෘත්තීය විශ්වවිද්‍යාලයක් බවට පත්වනවා නොඅනුමාන ය.
ඡායාරූප - සුදත් මලවීර