මෙරට ගැඹුරුම මිනිරන් පතල වන කහටගහ මිනිරන් පතලේ සේවකයන් පසුගියදා කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඇමැති විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි සාකච්ඡා මාර්ගයෙන් අවසන් විය. ඒ සමඟම වසර ගණනාවක් තිස්සෙ පැවැති සේවක ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ලැබිණි.
මෙරට පොළෝ තලයේ පිහිටා තිබෙන අගනාම සම්පතක් ලෙස මිනිරන් සැලැකේ. ලාංකේය ආර්ථිකයට විශාල විදේශ විනිමයක් ගෙනෙන මිනිරන් ලබාගන්නා ප්‍රධානම ස්ථානය ලෙස දොඩම්ගස්ලන්ද කහටගහ මිනිරන් පතල හැඳින්විය හැකිය.
ලොව ඉතාම පිරිසුදු කාබන් අධිකව පවතින මිනිරන් නිපදවන කුරුණෑගල මදුරාගොඩ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පිහිටි කහටගහ මිනිරන් පතලේ ඉතිහාසය වසර 1872 තරම් ඈත අතීතයකට දිව යයි. මෙරට ගැඹුරුතම මිනිරන් පතල වන එහි එක් පතුලක ගැඹුරු අඩි දෙදහසකි. 1972 වසරේදී ජනසතු වස්තුවක් කළ මෙය වත්මනෙහි කටහගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්' නමින් පවත්වාගෙන යන පූර්ණ රජය සතු සමාගමක් වේ. පතලෙහි පාලනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් සිදු කෙරේ. මෙරට ගැඹුරුතම පොළෝ තලයේ රැකියාවෙහි නියුතු කහටගහ මිනිරන් පතලේ සේවකයන් පිරිසක් පසුගිය දිනවල මාරාන්තික උපවාසයකට එක්ව සිටියේ ඔවුනට තිබෙන සේවක ගැටලු රැසකටම සහනයක් බලාපොරොත්තුවෙනි.
කහටගහ පතලේ අඩි 1132ක ගැඹුරු මිහිතුල පතල් ආවාටයේ සිට සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් පතලේ සේවකයන් 71ක් දෙනෙක් පසුගිය 21 වැනිදා පෙරවරුවේ සිට පසුගිය 23 වැනිදා පස්වරුව දක්වාම මාරාන්තික උපවාසයේ යෙදිණි. එහිදී සේවකයන් කිහිප දෙනෙකුටම අසාධ්‍ය තත්ත්වයන්ට ද මුහුණපෑමට සිදුවූ බවට මාධ්‍ය වාර්තාද පළ විණි. සේවක ගැටලුව පිළිබඳව සත්‍ය වාර්තා කිරීමට කහටගහ ග්‍රැෆයිට් සමාගමේ පාලනාධිකාරිය බාධා පමුණුවා තිබුණේ පතල් භූමියට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස ගේට්ටුද වසා දමන ලෙස ආරක්ෂක අංශ නිලධාරින්ට උපදෙස් දෙමිනි. එසේම පාලනාධිකාරියේ කිසිම නිලධාරියෙකු හෝ මාධ්‍යයටද අදහස් ප්‍රකාශ කිරීමක් සිදු නොකළේය.
කෙසේ හෝ පසුගිය 23 වැනිදා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා සහ අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත් මහතාගේ මැදිහත් වීමෙන් කුරුණෑගල කම්කරු කාර්යාලයේදී, එහි දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස් එම්. ඒ. ඩී. මුණසිංහ මහතා සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි වැඩබලන සභාපති කේ. ඩී. චිත්රපාල මහතා ඇතුළු කහටගහ ග්‍රැෆයිට් පතලේ මාරාන්තික උපවාසයේ යෙදුණු සේවකයන් පිරිසක් එක්ව සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව උපවාසය නතර කිරීමට සේවකයන් කටයුතු කෙරිණි. ඒ සේවක ඉල්ලීම්වලට පාලනාධිකාරිය අවනත වීම හේතුවෙනි. එහෙත් උපවාසයට එක්වූ සේවකයන් පවසන්නෙ පොරොන්දු වූ පරිදි සිය ඉල්ලීම් ඉටු නොකළහොත් යළි මාරාන්තික උපවාසය පෙරටත් වඩා දැඩිව සිදුකරන බවටයි.
මාරාන්තික උපවාසයේ යෙදුණු සේවක ඉල්ලීම්වලට කන් දෙමින් පාලනාධිකාරිය විසින් ලබන පෙබරවාරි මස අවසානයට පෙර දැනට පවතින වැටුප් විෂමතාවන් ඉවත්කොට කළමනාකාර සේවා චක්‍රලේඛයට අනුව සියලු සේවකයන්ට සමාන වැටුපක් ගෙවීමට එකඟ වූහ. ඊට අමතරව කොන්ත්‍රාත් පදනම මත සේවයෙහි නියුතු සේවකයන්ද පෙබරවාරි මස අවසානයට පෙර ස්ථීර කිරීමටද එකඟවී ඇත.
උපවාසයේ යෙදුණ සේවකයන් පවසන්නෙ පතල් ඉතිහාසයේ වැඩ වර්ජනයක යෙදී සියලු සේවක ඉල්ලීම් දිනාගත් පළමු අවස්ථාව මෙය බවයි. ඒ සඳහා රජය පැත්තෙන් තමන්ගේ ගැටලුවලට කන් දීම පිළිබඳව සේවකයන් වත්මන් රජයටද කෘතඥතාව පළ කෙරිණි.
රටේ ආර්ථිකයට ඍජු දායකත්වයක් සපයමින් අඩි දහස් ගණනක පොළෝ යට සිට ඉතාම දුෂ්කර කර්තව්‍යයක කහටගහ පතලේ සේවකයන් යෙදෙන්නෙ ජීවිතය පරදුවට තබා කරන රැකියාවක් ලෙසිනි. ඕස්ට්‍රේලියාව, ජපානය, ඇමෙරිකාව වැනි ලොව දියුණු රටවලින් ඉහළ ඉල්ලුමක් තිබෙන මෙරට මිනිරන් ලබා ගැනීම වෙනුවෙන් සේවකයන් එසේ දුෂ්කර රැකියාවේ නිරත වේ. කහටගහ පතලේ සේවකයන්ට වසර ගණනාවක් පුරා තිබූ ගැටලුව වත්මන් රජය ඇතුළු පාලනාධිකාරිය මෙලෙස විසඳීම මොනතරම් සර්ව සාධාරණද යන්න පසක් වන්නෙ එහි දීර්ඝ කාලීන සේවකයකු වන කරුණාරත්න මහතා අපට පැවැසූ කතාවෙනි.
“අපි පසුගිය 21 වැනිදා සිට උපවාසයක් ආරම්භ කළේ කාලයක සිටම අපට තියෙන ප්‍රශ්නවලට විසඳුමක් සඳහායි. අපේ සේවකයන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි වැටුප් විෂමතාව. අපේ කම්කරු කොටස සිටින්නෙ පඩි පාලක සභා පනත යටතේ. ආයතනයේ කාර්යාලයේ පිරිස සාප්පු හා කාර්යාල පනත යටතේ වැටුප් ලබන්නෙ. මේ අයට රජයෙන් වැඩි කරන සියලු ගෙවීම් එසැණින් ලැබෙනවා. ඒත් පඩි පාලක සභා පනතේ සිටින අපිට 2012වර්ෂයේ සිට පඩියට කිසිම වැඩිවීමක් වෙලා නැහැ. අපේ දෛනික වැටුප රුපියල් 982යි. 13 දෙනෙකුට රුපියල් 680යි. අපි මොනතරම් දුකක්ද මේ පොළොව යටට බැහැලා විඳින්නෙ. ඒ නිසා අපේ එක ඉල්ලීමක් පඩිය වැඩ කිරීම.
දෙවැනි කරුණ නිවාඩු ගැටලුව. වර්ෂයකට පඩි සහිත නිවාඩු තියෙන්නෙ දින 14යි. තව වෛද්‍ය නිවාඩු හතක් ලබා දෙන්න කියා අපි මේ උපවාසයේදී ඉල්ලීම් කළා. ඒත් එක්කම රුපියල් 7800ක විශේෂ දීමනා පෞද්ගලික කියලා ලබා දෙනවා කොටසකට පමණක්. ඒක අපේ සේවකයන් 21 දෙනෙකුට ලැබෙන්නෙ නෑ. ඒක මොනතරම් අසාධාරණ ද? දුක් විඳිමින් රැකියාව කරන සෑම සේවකයෙක්ම එක හා සමාන විය යුතුයි.
එසේම සෙනසුරාදා දින කාර්යාලයේ සේවක පිරිස දවල් 11.30ට පිටත්ව යනවා. ඒ අයට සෙනසුරාදා වැඩ කිරීම වෙනුවෙන් ඕටීත් ගෙවනවා. අපි එදාටත් හවස 2.15 වෙනකල් වැඩ කරනවා. අපි කියන්නෙ එදිනට අපට පැය තුනක ඕටී එකක් දෙන්න කියායි.”
කහටගහ පතලේ සියයක් පමණ වන සියලු සේවක පිරිස වැටුප් ඇතුළු වරප්‍රසාද ලබන්නෙ මිනිරන් කැඩීමට දුක් විඳින කම්කරු සේවකයන්ගේ දහඩිය මහන්සිය නිසාවෙනි. එම නිසා ඔවුහු පුන පුනා පවසන්නෙ මිනිරන් නිෂ්පාදනයට ඍජුවම දායක වන තම පිරිසට සාධාරණය ඉටුවිය යුතු බවයි. “අපි දුක් විඳලා කරන රස්සාවෙන් තමයි මේ ආයතනයේ සියලුම සේවකයන් පඩිනඩි ගන්නෙ... එහෙම නැතිව මේ ආයතනයට පිටතින් මුදල් ගලා එන්නෙ නෑ. ඒත් අපිට සොච්චමක් ලැබෙනකොට ටික දෙනෙකුට විශාල මුදලක් ලැබෙනවා... ඒකයි තියෙන විෂමතාව...අපේ සියලු දෙනාම ජීවත්වන්නෙ මේ පතලෙන් හම්බ කරන සොච්චමෙන්... මේ පතලට... ආයතනයට අපි දක්වන්නෙ පුදුම ආදරයක්... ඒ නිසා කිසිම උපවාසයකදී හෝ උද්ඝෝෂණයකදී පතලට හෝ ආයතනයට අබමල් රේණුවක හානියක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ.” ඒ උපවාසයේ යෙදුණු තවත් එක් සේවකයෙක් කී කතාවකි.
මීට පෙර පසුගිය රජය සමයේ අවස්ථා කීපයකදීම සේවකයෝ මාරාන්තික උපවාස ගණනාවකම යෙදුණත් නිසි පරිදි සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට අපොහොසත් වී ඇත. 2016 වසරේ සේවකයන් දින ගණනාවක් පුරා මාරාන්තික උපවාසයක යෙදී තිබුණේ ලාංකේය මහපොළොවේ අගනා වස්තුවක් වන කහටගහ මිනිරන් පතල පෞද්ගලික අංශයට විකිණීමට විරෝධය පළ කරමිනි. එවරද සේවකයන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස මිනිරන් පතල රටෙහි ජාතික ධනයක් වශයෙන් රැකගැනීමට හැකියාව ලැබිණි.