හපුතලේ ගුවන් අනතුරේ ඇහින් දුටු සාක්කි | සිළුමිණ

හපුතලේ ගුවන් අනතුරේ ඇහින් දුටු සාක්කි

දිනය පසුගිය සිකුරාදා ( 03 ) ය. එදින උදේ හතට රත්මලාන ගුවන් තොටුපලින් වයි 12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් ගුවන්ගත වූයේය. නියමුවන් දෙදෙනෙකු හා නිලධාරීන් දෙදෙනෙකුගෙන් යුතු ගුවන් යානය යොදවා තිබුණේ ආවේෂණ රාජකාරි කටයුතු වෙනුවෙනි. රටේ නීතිය ආරක්ෂා කරීමට සිදු කරන අනිවාර්ය ආරක්ෂක නිරීක්ෂණ කටයුතු එයට පැවරී තිබිණි. යානය කෙලින්ම ගොඩ බස්සවනු ලබන්නේ වීරවිලට ය. ඒ වනවිට වෙලාව උදෑසන 7.55 ට පමණ ඇත. පැයක කාලයක් වීරවිල ගුවන් හමුදා ධාවන පථයේ රඳවා තිබූ යානය පෙරවරු 8.55 ට පමණ යළි ගුවන් ගත විය.

- යානය ආවේ ගොඩක් පාතින් එක පැත්තකට බර වෙලා... 
- ගෙවල්වලට කඩාවැටෙන්න ගියෙ... නියමුවා මිනිස්සුන්ට කරදරයක් නොවී යානය ගොඩබස්සන්න ලොකු වෙහෙසක් ගත්තා 
- පැය බාගයක් තිස්සෙ මහා ගින්නක් ඇවිළුණා... පොලිසිය ආවෙත් ගින්න ඇවිළිලා සෑහෙන වේලාවකින්...

ගුවන් නියමුවරයා පළපුරුදු නිළධාරියෙකි. ගුවන් නියමු වීරබැද්ද නියමු අසුනේ විය. ඔහු සමග ෆලයිට් ලෙෆ්ටිනන්ට් කුලතුංග, නායක ගුවන් භට හෙට්ටිආරච්චි, සහ සාජන් කුමාර විය.

ආවේෂණ කටයුතුවල නිරත යානයක් සාමාන්‍යයෙන් ඉහළින් පියාසර කරන්නේ නැත. එය සීරුවෙන් කළ යුතු පියාසැරියකි. එහෙත් යානය ඉහළ නන්වා විනාඩි පහළොවක් පමණ යනවිට යානය සුපුරුදු රිද්මයෙන් ගිලිහෙන බව ගුවන් නියමුවාට වැටහිණි. යානයේ දෝෂයක් ඇති වී තිබිණි. ඒ වනවිට නියමුවා සම්බන්ධතා පවත්වාගෙන යමින් සිටියේ මත්තල ජාත්‍යාන්තර ගුවන්තොටුපල සමගය.

දැනට වාර්තාවන ආකාරයට සිදුවී ඇත්තේ යානයේ ඇන්ජිම අධික ලෙස රත් වීමකි. පාලනයෙන් ගිලිහෙන යානය ජනාකීර්ණ ප්‍රදේශයකට පතිතවීම වළක්වා ගැනීමට ගුවන් නියමු වීරබැද්ද කටයුතු කර තිබිණි. හැකි අයුරින් පාලනය කරමින් ජන ශූන්‍ය පෙදෙසක් වෙත පැදවෙන යානය අවසානයේ දී හපුතලේ තම්බපිල්ලේ වතු යාය ආසන්නයේ නියමු පාලනයෙන් ගිලිහිනි. යානය වතු යාය අසල අඩක් නිම කළ නිවාසයක් ඉදිරියේ බෑවුමක් මත පතිත විය. මහා ගිනි ජාලාවක් නැන්විනි. ගුවන් නියමු වීරබැද්ද සමග ෆලයිට් ලෙෆ්ටිනන්ට් කුලතුංග, නායක ගුවන් භට හෙට්ටිආරච්චි, සහ සාජන් කුමාර ඒ ගින්නෙන් දැවී අලු වී ගියේය.

මේ ආදරණීය මිනිසුන් මේ ලියන මොහොත වනවිට මෙලොව හැර ගොසිනි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගිහාන් සෙනවිරත්න ඒ බව තහවුරු කළේය. හාත්පස ඇවිලෙන ගින්න නිවා දමා ඇත. ඒ නගින දුමෙන් අවට බොඳ වී ගොස්ය. අවට ගම්වාසීහු දෙනෝ දාහක් දෙනා මැඩනොගත් කුතුහලයෙන් යුතුව රැස් කකා හිඳිති. ඔවුන් අනතුර වූ ස්ථානය වෙත පැමිණීම වළක්වා තිබේ. සිදුවූ අනතුර සම්බන්ධව විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇත. එහි තොරතුරු ඉදිරි දින කිහිපයේ දී එළි දකින්නට නියමිතය. එතෙක් අපට ඇසෙන්නේ සිද්ධිය ඇසින් දුටුවන් කියන කතාවය.

අනතුර සිදුවූ ස්ථානයට එපිටින් නිවසක සිටි කාන්තාවක් මේ ව්‍යසනය සිදුවන අයුරු දෑසින්ම දැක තිබුණාය. එය ඇයට ඇති කර තිබුණේ බිහිසුණු කම්පනයකි. ඒ කම්පනයෙන් රෝගී වූ ඇය මේ වනවිට සිටින්නේ රෝහල්ගතව බව පොලීසිය කීවේය. මේ අනතුර දුටු තවත් අය වූහ. එක් අයෙක් වන්නේ ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සුමිත් සමයදාස ය. ඔහු ඒ අවාසනාවන්ත අත්දැකීම අප හා බෙදා ගත්තේ ය.

ඒ වෙලාවෙ මම හිටියෙ මගෙ හෝටලේ... ඔරලෝසුවෙ 9.15 ට විතර ඇති. මට පේනවා ගුවන් යානයක් එනවා. හිතාගන්න බැරි තරම් පහතින් එන්නෙ. මට පෙනුනෙ පාලනය ගිලිහිලා වගේ. ඒ එන විදිහට කෙළින්ම වැටෙන්නෙ මගෙ හෝටලය උඩට. මම ඉන්න තැනින් නැගිටලා පැන්නා. මට පෙනුණා නියමුවා ලොකු උත්සාහයක් කරනවා හෝටලය උඩට යානය කඩාගෙන වැටෙන එක වළක්වා ගන්න. ඒ ඔහු ජීවත්වෙලා හිටපු අන්තිම මොහොත. ඔහු මාවයි මගෙ දේපලයි සියල්ල බේරුවා. බේරලා ගෙවල් දොරවල් නැති හිස් බිමකට යානය අරගෙන යන්න උත්සාහ කළා. ඒත් ඒ උත්සාහය කෙළවර වුනා. මට පෙනුනා යානය ගහක වදිනවා වගේ. ඒ එක්කම මහා ගිනි ජාලාවක් නැගුනා. අපිට කිට්ටු වෙන්නවත් බෑ. පැය බාගයක් විතර ඒ ගිනි දැල් නැගුණා. යානයෙ හිටපු මහත්තුරු හැමෝම ඒ ගින්නෙන් අලු වෙලා ගියා. ජීවිත ගණනාවක් විනාශ වෙන්න ගිය අවස්ථාවක් ඔවුන් තමන්ගෙ ජීවිත පූජා කරලා බේරගත්තා කියලා මට හිතෙන්නෙ... මන්ත්‍රීවරයා කීවේය. 

සිද්ධිය තන්ගවේලු කාදර් ද සියැසින් දැක තිබිණි. තංගවේලුත් ඒ වෙලාවේ සිටියේ කඩයක් තුළය.

“ වෙලාව උදේ නවයයි කාලට නවයයි විස්සට ඇති. මම තේ එකක් බොන ගමන් හිටියෙ. අහස දෙදරනවා වගේ සද්දයක් ආවා. මම යන්තම් ඔලුව දාලා බැලුවා විතරයි. මට පේනවා පැත්තකට බර වෙච්චි ගුවන් යානයක් අපි ඉන්න පැත්තට මහා වේගෙකින් එනවා. හිතා ගන්නවත් වෙලාවක් නෑ. එච්චර වේගෙන් ආවෙ. ඒ එක්කම මට පෙණුනා තේ වත්තෙ පහළ කැලේ තිබුණු ගහක අත්තක යානයේ තටුවක් වැදුනා වගේ. ඒ ගමන් පොලොව මහා සද්දයක් ඇවිත් යානය බිමට වැටුණා. ඒ එක්කම ලොකු ගින්නක් ආවා. පුලුවන් තරම් හයියෙන් මම කෑ ගැහුවා. යානය වැටුණෙ හදමින් තියන ගෙයක් ඉස්සරහින් තේ යායෙ පල්ලමට. එතෙන්ට ලං වෙන්න බෑ. ගිනි නිවන්න වතුර ටිකක් හොයාගන්න විදිහක් නෑ. අපේ ඇස් ඉදිරියෙම යෝධ ගිනි දැල් නැගුණා. සමහරු බයවෙලා දිව්වා. හිත හයිය අය දුවගෙන ආවා අනතුර වුණු තැනට. අපිට තිබුණෙ විලාප දිදී බලාගෙන ඉන්න විතරයි. පොලිසිය එද්දි හෙළිකොප්ටරේ ගොඩාක් ගිනි අරන් ඉවරයි.

මොහොමට් නසිර්මා මේ වනවිට හිටියේ නිවසේ ය. ඇය කියන්නේ ඇය දෑසින් දුටු දේය. “ගුවන් යානයක් අහසෙ වටේ රවුමක් කැරකුණා. එකපාරටම යානය පහත් උනා. සද්දෙ දාගෙන පහළින් එන ගුවන් යානය බලන්න දරුවො ටික එළියට පැන්නා. මමත් දරුවො පස්සෙ ගියා. අපේ ගේ පැත්තට පහතින් ආපු යානය ගහක අත්තක වැදිලා හැරිලා ගිහින් බිමට කඩාගෙන වැටුණා මහ සද්දෙට. ඒ එක්කම පළාතම දුමින් පිරිලා ගියා. වෙන්නෙ මොකක්ද කියලා මට හිතාගන්නවත් බැරි උනා. මම ළමයි උස්සගෙන ගෙට දිව්වා. ටික වෙලාවකින් දැක්කෙ මහා ගින්නක් එනවා.” ඇය කීවාය.

සියල්ල සිදුවී හමාරය. අපේ මිනිස්සු අනතුරක දී දිවි දෙවෙනි කොට අනෙකා රැක ගැනීමට කැප වෙති. එහෙත් මේ මොහොතේ ඔවුන්ට සිදු වී තිබුණේ වේදනාකාරීව ඒ ව්‍යසනය දෙස බලාගෙන ඉන්නට පමණය. මෙම ඛේදවාචකය පිළිබඳව ඉදිරියේ දී සවිස්තර වාර්තා එළි දකිනු ඇත. මේ ලියන මොහොත වනවිට මූලික පොලිස් පරීක්ෂණ පැවැත්වෙමින් ඇත. හපුතලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඕ.ඒ.එස්.ආර් දයාරත්න, බණ්ඩාරවෙළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දජයතිලකගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

ප්‍රසන්න පත්මසිරි ඌව පළාත් සමූහ

Comments