රිළවුන්ට විරුද්ධව පිකටින් කරන බරිගොඩ ගැමියෝ | සිළුමිණ

රිළවුන්ට විරුද්ධව පිකටින් කරන බරිගොඩ ගැමියෝ

- ඉඩෝරෙටත් නොහිඳෙන එකම ළිඳ මගේ. උන් ඒකටත් බැහැලා නානවා දියබුං ගහනවා 
- තොප්පි වෙළෙන්දගේ උප්පරවැට්ටියවත් මුන්ට අදාළ නෑ 
- රතිඤ්ඤා අහස්කූරු පත්තු කළත් රිළවුන් බය නෑ 
- ෂෝකේස් එකේ වහලා තියෙන පාන් බනිස් අරගෙන යනවා

කුලියාපිටියේ බරිගොඩ රජයේ රක්ෂිතය අක්කර සිය ගණනින් සමන්විත වුවකි. මේ රක්ෂිතයේ වඳුරන්ගේ රිළවුන්ගේ රජ දහනකි. රංචු පිටින් ගම් වදින රිළවුන් නිසා ගම් ප්‍රදේශවල කිසිදු ගෙවතු වගාවක් පවත්වා ගැනීමට නොහැකිව ඇති අතර එම රිළා රංචු බිය සැකයකින් තොරව ගම් වැදීමට පටන්ගෙන ඇත.

ඇඳුමක් සෝදා වේළාගැනීමට එළිමහනේ රෙදි වැල්වල වනා තිබුණාද ඒවාද රිළවුන්ගෙන් බේරාගත නොහැකිව ඇත. මේ නිසා රිළවුන්ට විරුද්ධව ගම සහ ගැමියන් සුරැකීමේ සංවිධානයක් පිහිටුවා ගන්නට ගැමියන්ට සිදු විය.

ඒ සංවිධානය පසුගිය දා අපූරු දෙයක් සිදු කළේය. එදා ඔවුහු එකතුව උද්ඝෝෂණය කළේ බලධාරීන්ගෙන් එක් දෙයක් ඉල්ලමිනි. ඒ රිළවුන්ගෙන් සිදු වන උවදුරු දුරුකරලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. කිතලව උණලීය හන්දියේදී පසුගිය දිනෙක එම උද්ඝෝෂණය සිදු කෙරිණි.

එම උද්ඝෝෂණයේදී ප්‍රදර්ශනය කෙරුණු පෝස්ටර්වල ‘රිළා කරදරයෙන් අපව බේරාගන්න’ – ‘අපේ හඬට සවන් දෙන්න’, ‘රිළවුන්ට වැට බඳින්න’- ‘අපේ බව භෝග වගාවට හානි කරන රිළවුන්ගේ කරදරය මඬින්න යන පාඨ දක්නට ලැබිණි.

බරිගොඩ වන රක්ෂිතයේ රිළවුන් ඇතුළු වන සතුන් ගණනාවකට ආහාර සහ වාසස්ථාන වී තිබූ රබර් වගාවෙන් අක්කර ගණනාවක් කපා හෙළි පෙහෙළි කර තිබීමත් බීමට ජලය රක්ෂිතයේ හිඟ පාඩු වීම නිසාත් රිළවුන් රංචු පිටින් ගම් වදින බව එම සංවිධානය පවසයි.

කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිතලව ග්‍රාම සේවා වසමේ සහ කුලියාපිටිය නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බරිගොඩ ග්‍රාමසේවා වසමේ ද පිහිටි ගම් ප්‍රදේශයන්හි නිර්මාණය වෙමින් පවතින රිළා-මිනිස් ගැටුම පැතිර යෑම වළක්වන ලෙස එම ගම් ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති. ලිඛිතව කර ඇති එම ඉල්ලීමේ පිටපත් ජනාධිපති ලේකම්, පරිසර හා වනජීවි අමාත්‍ය, කෘෂිකර්ම අමාත්‍ය, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා, කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති, කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම්, කුලියාපිටිය නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම්, හා කිතලව ගොවිජන සේවා නිලධාරිවරයා වෙත ද යවා ඇත.

ගම් වදින රිළවුන්ගෙන් සිදු වන පීඩා හිරිහැර පිළිබඳ ප්‍රදේශවාසී කීප දෙනෙකු අදහස් දැක්වූයේ මෙසේය.

හැරිසන් වන්නි ආරච්චි මහතා (හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී)

වසර ගණනාවක සිට මේ රිළා උවදුර ඇති වී තිබෙනවා. දැන් තත්ත්වය ඔඩු දුවන තත්ත්වයට පත්වෙලා.

ගම් වදින මේ රිළා රංචුවල දෙතුන් සීයක් විතර ඉන්නවා. දැන් මේ රිළවුන්ගේ වාසස්ථානය බරිගොඩ රක්ෂිතය නෙවෙයි රක්ෂිතය අවට ගම් ප්‍රදේශයි.

දරුවන් පාසල් ගිහින් මවුපියන් රැකියාවලට ගිහින් තියෙන නිවෙස්වල දොර ජනෙල් වසා තිබුණත්, නිවසේ වහලත්, බිත්තිත් අතර තියෙන හිඩැස්වලින් ගෙතුළට රිංගන රිළවුන් පාළුගෙයි වළං බිඳිනවා. ගෙයි ජරාජීර්ණ කරනවා. වත්ත පිටියෙ කිසිම වගාවක් කරන්න බෑ. රිළවුන් ඒ වගාවන් විනාශ කරනවා.

දර්ශන ප්‍රදීප් මාරසිංහ - සෑහෙන කාලයක සිට මේ රිළා උවදුර ගම්වලට වින්නැහියක් වෙලා. බරිගොඩ රක්ෂිතය අවට ගම් ප්‍රදේශවල කඩා වදින රිළවු රංචු 4-5 ක් විතර ඉන්නවා. මේ එක් රංචුවකට රිළවු සියයකට වැඩියි.

මං උණලීය හංදියේ වෙළඳ සලක් පවත්වාගෙන යනවා. කඩේ කවුරුත් පේන්න නොහිටියොත් කඩේ ඉස්සරහා එල්ලලා තිබෙන කෙසෙල් කැන්වලට හා ටිපි ටිප් වැල්වලට වැඩේ දෙනවා. වීදුරු ෂෝකේස් තුළ තිබෙන බනිස්, පාන් හා රස කැවිලි අරගෙන යනවා.

පත්තු කරලා දාන රතිඤ්ඤා අහස් කූරුවලටත් රිළවුන් දැන් බය නෑ. උන් ඒවාට පුරුදු වෙලා.

එම්. එම්. අයි. මාරසිංහ මහතා මගේ කඩේ බතට වෑංජන හදන්න ගෙනාපු කැරට් කිලෝ 4ක් රැහැල ශුද්ධ කරලා කඩේ පිටුපස්සේ තියලා, ලීස් කොළ ටික හෝදලා වතුර පිරෙන්නට එළියෙන් තියලා ඇවිත් බලන කොට කැරට් අල කිලෝ හතරම රිළව් අරගෙන යනවා. තොප්පි වෙළෙන්දා එදා වඳුරු නඩේකට කරපු උප්පර වැට්ටිය අද මේ රිළවුන්ට වලංගු වෙන්නෙ නෑ.

මාර්ග හරහා සමහර තැන්වල ඇදලා තියෙන රැහැන් දිගේ රිළවුන් පාර මාරු වෙනවා. හැබැයි ඒ යන්නේ දුරකතන රැහැන් උඩින් විතරයි. ආවරණ රහිත විදුලි රැහැන් අනතුරුදායක බව උන් අත් දැකලා තියෙනවා.

රිළා කරදරයෙන් මිදෙන්න කුරේටර් කෑමවලට මිශ්‍ර කර තියන්න පුළුවනි. ඒත් ඒක කරන්න කොහොමටත් හිත් දෙන්නේ නෑ. ඒත් ජීවිතනේ.

පත්මිණි මාරසිංහ මහත්මිය - මේ රිළවු මනුස්ස වාසයෙන් දුර බැහැරකට පන්නා දමන්න කියන එක තමයි බලධාරීන්ට අපි කියන්නේ. ගමේ කට්ටිය එකතු වු‍ණොත් පුළුවන්. මේ රිළව් රංචු අල්ලල කූඩු කරන්න. එසේ අල්ලා ගන්නා රිළවුන් ඈත වන රක්ෂිතයට ගිහින් දාන්න බලධාරීන් කටයුතු කරනවා නම්, මේ රිළා උවදුරට ඒකත් එක විසඳුමක්.

ආර්. එම්. ජයතිස්ස මහතා - දවසකට වතුර බවුසර් තුන හතරකට වතුර ගන්නත් වතුර හි‍ඳෙන්නෙ නැති ලොකු ළිඳක් මගේ ගෙවත්තේ තියෙනවා. වතුර හිඟ කාලෙට පොලිසිය, රෝහල වගේ පොදු ආයතනවලට මේ ළිඳෙන් බවුසර් පුරවල වතුර අරන් යනවා.

ඒ ජලය අරන් යන්නෙ බීමට. මේ රිළා රංචු ඒ ළිඳට බැහැලා නානවා, ජල ක්‍රීඩා කරනවා. ඒ අයුරින් ජලය අපවිත්‍ර වීම වළක්වා ගැනීමට ළිඳ වැසෙන්න මං නෙට් එකක් දැම්මා. ළිඳට දාලා තිබෙන බට දිගේ රිළවු ළිඳට බහිනවා.

විසිතුරු මත්ස්‍ය වගාව සඳහා 10 x10 ටැංකි 12න් හදල විසිතුරු මසුන් ඇති කිරීමේ ව්‍යාපෘතියක් මංආරම්භ කළා මගේ ගෙවත්තේම රිළවුන් ඒ වතුර ටැංකිවලටත් බහින්න පටන් ගත්තු නිසා ඒ ටැංකි වටා දැල් ආවරණයක් යෙදුවා. ඒත් රිළව් ඒ දැල් ආවරණය ඇදලා ඉරලා මාළු ටැංකිවලට බහින්න ගත්තා. විසිතුරු මත්ස්‍ය වගාව කිරීමත් මං අත හැරියා.

මෙම රිළා උවදුර නිසා ප්‍රදේශවාසීන්ට අත් විඳීමට සිදුව ඇති ගැහැට හිරිහැර වළක්වාලීම පිළිබඳව අප කළ විමසීමකදී විජයසිරි ඒකනායක කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙසේ පැවසීය.

මෙම ගැටලුව විසඳුම් ලෙස, ප්‍රාදේශීය සභාවටය කියලා ගන්න පුළුවන් සෘජු ක්‍රියා මාර්ගයක් නැහැ. වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන දැනුවත් කරලා තියෙන්නෙ. මේ රිළවු ගහණය පාලනය වෙන්න ක්‍රම වේදයක් හදන්න ඕන. බෝවීම මර්ධනය කරන්නට

අනෙක් කාරණය තමයි මේ රිළවු රංචු අල්ලගෙන රැගෙන ගිහින් වෙනත් රක්ෂිත වනාන්තරයකට මුදා හැරීම මේ සියල්ල පහසු කාරණා නොවෙයි. සංඛ්‍යාත්මකව ඉතා විශාල රිළවු ගහණයක් බරිගොඩ රක්ෂිතයේ ඉන්නවා.

ප්‍රදේශවාසීන් මේ උග්‍ර ගැටලුවට සෘජු විසඳුමක් ප්‍රාදේශීය සභාවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඊට අදාළ ආයතනවල අවදානය යොමු කරවා ගැනීම සඳහායි ප්‍රදේශවාසීන් අපෙන් එම ඉල්ලීම කර තිබෙන්නේ.

අපි මේ කාරණය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවට යොමු කරනවා. ඒ හරහා දිස්ක්‍රික් සම්බන්ධිකරණ කමිටුවට ඉදිරිපත් කොට අවශ්‍ය පියවර ගැනීමට යොමු කරනවා. අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මේ පිළිබඳ දැනුවත් කිරීමට අපට මැදිහත් වෙන්න පුළුවන්. මෙම ගැටලුව අර්බුදයට විසඳුම් ලබා දීමට වගකීම් තිබෙන ආයතනයක් අපෙන් යම් කිසි සහනයක් ඉල්ලුවොත් ඒ කියන්නේ සේවක හා යාන වාහන පහසුකම් පිළිබඳව අපට එය පැහැර නොහැර ලබා දෙන්න පුළුවන්. අපේ නීතිමය සීමාව තුළ අපේ උපරිම සහාය අපි ඒ සඳහා ලබා දෙනවා.

මෙම රිළා උවදුර පිළිබඳ ගැටලුවට තිරසර විසඳුමක් ලබා දිය යුතුය කියන අදහස තුළ අප ඉන්නවා.

කුලියාපිටිය විශේෂ - ඩබ්ලිව් රණසිංහ

Comments