කඹෙන් වැටුණු හනුමාන් | සිළුමිණ

කඹෙන් වැටුණු හනුමාන්

මට රාම්ලීලා නාටකේ නළුවන්ව මුණගැහෙන එක තහනම් කරපු කතාව මතකයිනෙ. නළුවන්ටත් මාව මුණගැහෙන එකට තහංචි දාලයි තිබුණෙ. හැබැයි නාටකේට අනිවාර්යයෙන්ම වුවමනා කරපු නළුවෙක් නොවන කෙනෙකුට තහංචි පනවන්ඩ ඒ ගොල්ලන්ට අමතක වෙලා තිබුණ .

එයා වඩුකාර්මිකයෙක්. අපේ ගෙදරටත් වැඩ වගයක් කරන්ඩ ආපු කෙනෙක්. මෙදා සැරේ මං අල්ල ගත්තෙ එයාව.

‘නළුවෙක් නූණට ඔයාට පුළුවං මට උදව් කරන්ඩ’ මම ඔහුට කිව්ව.

‘මං ඔයාට ඕනැම උදව්වක් කරන්නං’ ඔහු උදව් කරන්ඩ ලෑස්ති උණේ හරි සතුටින්. ‘මොකද කියනව නං ගිය අවුරුද්දෙ ඔයා කරපු වැ‍ෙඩ් මරේ මරු! හොඳයි මොකක්ද මට ඔයා වෙනුවෙන් කරන්ඩ තියෙන්නෙ?’ ඔහු ඇහුව.

රාම්ලීලා නාටකේ රාම රාවණා යුද්ධයක් තියෙනව. ඒකෙදි රාමගෙ බාල සොහොයුරා, ලක්‍ෂමන විෂ කවපු ඊතලයක් වැදිල මාරාන්තික තත්වයට පත්වෙනව. ඔහුගෙ ජීවිතය බේරගන්ඩ නං අරුණාචල් කියන කන්දෙ තියෙන එක්තරා ඖෂධ පැළෑටියක් ඕනැ කියලයි වෛරය කියන්නෙ. ඒක නොකළොත් පහුවදා උදේ වෙනකොට ලක්‍ෂමන මැරෙනව. ඖෂධේ ගෙන්ඩ කතාවෙද්දිත් ලක්‍ෂමන ඉන්නෙ අසාධ්‍යවෙලා වේදිකාවෙ දිගෑදිල. ලක්‍ෂමන දිහෑ බලාගෙන රාම අඬනව.

ඔය වෙලාවෙ හනුමන් කියනව‘ දුක්වෙන්ඩ එපා! මං වහාම අරුණාචල් කන්දට ගිහිං ඖෂධ පැළෑටිය හොයාගෙන එළිවෙන්ඩ කලිං ආපහු එන්නං’ කියල.

හනුමන් කියන්නෙ රාමගෙ භක්තිවන්ත අනුගාමිකයෙක්. ඒත් ඔහු ඹෟෂධ ගැන දන්නෙ නෑ. ඒ හින්ද ඔහු මෙහෙම ඉල්ලීමක් කරනව ‘මං ඔය කියන ඹෟෂධ පැළෑටිය අඳුනගන්නෙ කොහොමද? ඒ හින්ද ඒක කොයි විදිහෙ පැළෑටියක් ද කියල මට කියල දෙන්ඩ. අරුනාචල් කන්දෙ ඹෟෂධ පැළෑටි මහ ගොඩක් ඇතිනෙ. මට තියෙන කාලෙත් අඩුයි. ඉක්මනට කරුවලත් වැටෙයි’.

එතකොට වෛරය මෙහෙම කියනව. ‘මේ ඹෟෂධ පැළෑටියෙ එක්තරා විශේෂත්වයක් තියෙනව. ඒක රෑට දිස්නෙ ගහනව. ඒ හින්ද හොයාගන්ඩ ලේසියි. දිස්නෙ ගහන පැළෑටියක් දැක්ක ගමං ඒක මුලින්ම ගලවගෙන එන්ඩ!’.

ඔන්න හනුමන් ශ්‍රී අරුනාචල් කන්දට යනව. සිද්ධ වෙන්නෙ පුදුම දෙයක්. අරුනාචල් කන්දෙ තියෙන හැම පැළෑටියක්ම දිස්නෙ ගහනව. ඒ හින්ද කොයි පැළෑටිය ගලව ගන්ඩද කියල හනුමන්ට හිතාගන්ඩ බැරුව යනව.

හනුමන් කියන්නෙ වඳුරෙක්. ඉතිං ඌ මුළු කන්දම උස්සගෙන ඇවිත් ඕනැ කරන පැළෑටිය තෝර ගන්ඩ කියල වෛiවරය ඉස්සරහ තියනව.

නාටකේ වේදිකාගත වෙන වෙලාවෙ ඔය ජවනිකාව පටන්ගන්ඩ යනකොට අපේ වඩුකාර්මික ශිල්පිය හිටියෙ වේදිකාවෙ වහලෙ උඩ. අරුනාචල් කන්ද හදල තිබුණෙ ලීවලින්. වඩුකාර්මික ශිල්පිය සුදානම් ශරීරෙන් හිටියෙ නියම වෙලාවට හනුමන් එක්ක කන්ද වේදිකාව උඩට බාන්ඩයි. හනුමන් හිටියෙ කඹේ එල්ලිලා. කන්දෙ ඉටිපන්දම් දැල්වෙවී තිබුණ. ඖෂධ පැළෑටිවල දිස්නෙ ප්‍රතිනිර්මාණෙ කෙරුණෙ එහෙමයි.

ඔන්න හනුමන් එක්ක අරුනාචල් කන්ද වේදිකාවට පාත්වෙන්ඩ පටං ගත්ත!

‘කන්ද පාත්වේගන එද්දි එක පාරටම හිරවෙන්ඩ අරින්ඩ! කන්දත් එල්ලගෙන හනුමන්ට උඩ කඹේ එල්ලිලා ඉන්ඩ අරින්ඩ!’ ඕකයි මං වඩුකාර්මිකයගෙන් කරපු ඉල්ලීම.

ඒ ජවනිකාවෙදි මිනිහත් කියපු විදිහටම කෙරුව. හනුමන් එක අතකින් උඩ කඹේ එල්ලිලා අනිත් අතින් කන්ද උස්සගෙන හිටිය! හිටිය හිටියම තමයි! වේදිකාවට පාත් උණේ නෑ.

නාටකේ පරිපාලන මැනේජර් කලබලෙන් වේදිකාවෙන් එළියට දිව්ව. ප්‍රේක්‍ෂකයො මොකක්ද මේ වෙන්නෙ කියල හිතාගන්ඩ බැරුව ගල් ගැහිල බලං හිටිය!

එක අතකින් අරුනාචල් කන්ද එල්ලගෙන අනිත් අතින් උඩ කඹේ එල්ලිලා ඉන්ඩ බැරුව හනුමන්ට දාඩියත් දැම්ම. කඹේ බාන රෝල හිරවෙලා!

මැනේජර් වහලෙ උඩට නැගල වඩුකාර්මික ශිල්පියට කෑගැහුව ‘මොකද ඔය කරන්නෙ? ඉක්මනට ඕක බානව!’

වඩුකාර්මික ශිල්පියත් කෑගැහුව. ‘මොනව උණාද කියල හිතාගන්ඩවත් බෑ. කඹේ හෙල්ලෙන්නෙවත් නෑ. එක පාරටම හිර උණා!

කඹේ කපනව ඇරෙන්ඩ ඒ වෙලාවෙ මැනේජර්ට වෙන කරන්ඩ දෙයක් තිබුණෙ නෑ. කඹේ කපපු හැටියෙම හනුමන් කන්දත් එල්ලගෙන වේදිකාවට ඇදගෙන වැටුණ! වේදනාවෙන් මිරිකි මිරිකි මිනිහ නැගිට්ටෙ යකා ආවේසවෙලා. ඒත් දාස් ගණක් නරඹන්නො හිටියෙ නං පුදුම විනෝදෙකින්. නරඹන්නො මහ හයියෙං හිනාවෙනව දැක්ක හනුමන්ගෙ කේන්තිය තවත් වැඩි උණා. මේ මොකුත් නොදැන තමන්ගෙ චරිතෙ ඇතුළෙ ජීවත්වෙලා හිටිය රාම නියමිත දෙබස් කිව්ව.

‘හනුමන් , මගේ බැතිමත් යහළුව...’

ඒ වෙලාවෙ ආපු කේනිතිය හින්ද උන්හිටි තැන් මතක නැතිවෙච්ච හනුමන් මේ විදිහට කෑ ගැහුව, ‘යහළුව! යාළුව යකාට ගියාවෙ! යකෝ මගෙ කකුලත් කැඩිලද කොහෙද?’

රාම - ‘මගෙ සහෝදරය මැරෙන්ඩයි යන්නෙ!’

හනුමන් - ‘මිනිහ මැරිච්චාවෙ! මොකාද කඹේ කැපුවෙ? මං ඕකව තියන්නෙ නෑ!’

ප්‍රේක්‍ෂකයො මහ හයියෙන් හිනාවෙද්දි තිරේ වැහිල ගියා. එදා රාම්ලීලා නාටකේ එතනින් ඉවර උණා.

නාටකේ කල් දැම්මට පස්සෙ මැනේජරුයි, සංවිධායකයොයි අපේ ගෙදරට කඩාපාත්වෙලා අපේ තාත්තව වටකර ගත්ත. ‘ඔහේගෙ පුතා හැම දේම විනාස කෙරුව එයා අපේ ආගම විහිළුවට අරං!’...

තාත්ත වෙනුවට මමයි උත්තර දුන්නෙ. ‘මං විහිළුවට ගත්ත ආගමක් නෑ. වෙලාවෙ හැටියට පුංචි හාස්‍ය රසයක් මතුකෙරුව විතරයි’

මිනිස්සු හිනාවෙලා ඉන්නවට මං කැමතියි. මිනිස්සුන්ව හිනස්සන්ඩත් මං ආසයි. කවුරුත් දන්න පරණ කතාවක් ඒ විදිහටම රඟපාන එකේ තේරුමක් නෑ. දන්න කතාවක් වේදිකාවෙ දකිද්දි ප්‍රේක්‍ෂකයො නිඳි කිරා වැටෙන එක පුදුමයක් නෙමේනෙ. හාස්‍යය කියන එක යල් පැනපු, පරණ හණමිටිකාරයන්ට රුස්සන්නෙ නෑ. ඒකනෙ පල්ලිය ඇතුළෙ හිනාවෙන්ඩ බැරි.

 

ලබන සතියට

Comments