සාග් 2019 සමච්චලය ආශීර්වාදයක් කරගත් මලල ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ | සිළුමිණ

සාග් 2019 සමච්චලය ආශීර්වාදයක් කරගත් මලල ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ

ඩිල්ෂි කුමාරසිංහ
ඩිල්ෂි කුමාරසිංහ

 

සාග් කලාපයේ ඉන්දීය මලල ක්‍රීඩා ආධිපත්‍යය තරගාවලි අටකට පසු බිඳ දමන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් ක්‍රීඩාංගණයේදී සමත් වූහ. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 15ක් හිමි කර ගනිද්දී ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි කර ගැනීමට හැකි වූයේ රන් පදක්කම් 12ක් පමණි. පාකිස්තානයට රන් පදක්කම් පහක්, නේපාලයට රන් තුනක්, මාලදිවයිනට රන් පදක්කමක් වශයෙන් සමස්ත පදක්කම් 36 බෙදී ගිය අතර, බංග්ලාදේශයට එකදු පදක්කමට හෝ හිමිකම් කීමට නොහැකි විය.

 

මලල ක්‍රීඩාවෙන් මෙරටට හිමි වූ රන් පදක්කම් 15න් ක්‍රීඩකයන් රන් පදක්කම් හතරක් දිනා ගනිද්දී, ඉතිරි රන් පදක්කම් 11ම දිනා ගැනීමට ක්‍රීඩිකාවන් සමත්වීම කැපිපෙනෙන සිදු වීමකි. මීටර් 100 x 4 සහ 400 x 4 වශයෙන් සහාය දිවීමේ පදක්කම් දෙකට අමතරව ක්‍රීඩකයන් හිමි කර ගත් සෙසු රන් පදක්කම් දෙක හිමිකර ගැනීමට සමත් වූයේ මීටර් 400 ඉසව්වට තරග කළ අරුණ දර්ශන සහ මීටර් 800 ඉසව්වට තරග කළ ඉඳුනිල් හේරත්ය. අරුණ දර්ශන සිය මීටර් 400 ඉසව්ව තත්පර 46.69 කින් නිම කරමින් රන් පදක්කම දිනා ගනිද්දී, ලක්මාල් ප්‍රියන්ත රිදී පදක්කම දිනා ගත්තේ තත්පර 46.79 කින් තරගය නිම කරමින්ය. ඉඳුනිල් හේරත් මීටර් 800 ඉසව්ව විනාඩි 1:50:52 කින් නිම කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

 

2016 පැවැති 12 වැනි සාග් තරගාවලියේ දී ඉන්දියාව රන් පදක්කම් 28්‍ක් දිනා ගත් අතර ශ්‍රී ලංකාවට දිනා ගැනීමට හැකි වූයේ රන් පදක්කම් 9ක් පමණි. 12 වැනි සාග් තරගාවලියේදී මීටර් 100 හිමාෂ එෂාන් සහ මීටර් 200 සුරන්ජය ද සිල්වා ජය ගැනීමට සමත් වුවද මෙවර ඔවුන් දෙදෙනාටම හිමි වූයේ රිදී පදක්කම්ය. ඉඳුනිල් හේරත් එම තරගාවලියේදී ද සිය ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එහිදී උස පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට මංජුල කුමාර සමත් විය. ඉෂාර සඳරුවන් රිටි පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් අතර මෙවර එකී ඉසව්ව ඉවත් කර තිබු‍ණි. රුමේෂිකා කුමාරි මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් අතර, නිමාලි ලියනආරච්චි සිය සුපුරුදු ඉසව්ව වන මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ඉඳුනිල් හේරත්

 

2016 සාග් තරගාවලියේ ලාංකේය මලල ක්‍රීඩාව එසේ ඇල්මැරුණු ස්වභාවයෙන් දිය වී ගියද, මෙවර එකී තත්ත්වය සම්පූර්ණයෙන් කණපිට පෙරළන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙහිදී වඩාත් කතාබහට ලක් වූ ක්‍රීඩිකාව වූයේ ඩිල්ෂි කුමාරසිංහයි. ඩිල්ෂි මෙහිදී ශ්‍රී ලංකාව දිනා ගත් රන් පදක්කම් 15න් තුනකට ම හිමිකම් කියන්න සමත් වූවාය.

 

මෙහිදී වඩාත් කැපී පෙනෙන්නේ ආදේශක ක්‍රීඩිකාවක් ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඇතුළත් කර සිටි ඩිල්ෂි කුමාරසිංහ රන් පදක්කම් තුනක් ම දිනා ගැනීමයි. ඩිල්ෂි මුලින්ම ජයග්‍රහණය කරන ලද්දේ මීටර් 400 ඉසව්වයි. එකී ඉසව්වට ද ඩිල්ෂිව ඇතුළත් කර නොතිබුණි. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම උණ සහ ඩෙංගු රෝගයට ගොදුරු වීම නිසා අහම්බෙන් අවස්ථාවක් හිමි වූ ක්‍රිඩිකාවක් වූයේ ඩිල්ෂි කුමාරසිංහයි. මීටර් 200, 400 සහ 400 x 4 ඉසව්වල රන් පදක්කම් බලාපොරොත්තු තබා සිටි නදීෂා රාමනායක වෙනුවට ඩිල්ෂිට මේ අවස්ථාව උදාවිය. ඒ අනුව ආදේශකයන් වශයෙන් තරග කළ ක්‍රීඩිකාවන් තිදෙනා ඉහළ දස්කම් දක්වමින් රන් පදක්කම් ජය ගැනීම විශේෂත්වයකි. මෙහිදී ඩිල්ෂි කුමාරසිංහ මීටර් 400 ඉසව්ව තත්පර 53. 40 කින් ජය ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. එතැනින් නොනැවැතුණු ඩිල්ෂි, සාග් තරගාවලියට යෑමට දිනකට පෙර අනතුරකට ලක්ව අස්ථි බිඳීමකට ලක් වූ නිමාලි ලියනආරච්චිගේ ප්‍රධාන ඉසව්ව වන මීටර් 800 විනාඩි 2:06:18 කින් නිම කරමින් දෙවැනි රන් පදක්කම සහ මීටර් 400 x 4 සහාය දිවීමේ තරගයේ පෙනෙන තෙක් මානයක නොතිබූ රන් පදක්කම විශිෂ්ට තරග අවසානයක් කරා ගෙන යමින් දිනා ගැනීමට ද සමත් වූවාය. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 3:41: 10 ක කාලයක් ගත කර තිබුණි.

 

මීට අමතරව තවත් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූයේ නිලානි රත්නායකයි. නිලානි මීටර් 1500 විනාඩි 4:34:34 කින් සහ මීටර් 5000 ඉසව්ව විනාඩි 16:55:18 කින් නිම කරමින් රන් පදක්කම් දෙක දිනා ගැනීමට සමත් විය.

 

මීටර් 100 x 4 පිරිමි සහාය දිවීමේ තරගය සාග් වාර්තාවක්ද සමඟ ජය ගැනීමට ශ්‍රී ලංකාවේ හිමාෂා එෂාන්, විනෝජ් සුරංජය, සුපුන් ප්‍රියදර්ශන සහ චානුක සංදීප සමත් වූහ. කාලය තත්පර 39:14 කි. මොවුන් බිඳ දැමුවේ ඉන්දීය ක්‍රීඩකයන් විසින් පිහිටුවා තිබූ තත්පර 39:40ක කාලයයි. මීටර් 100 x 4 කාන්තා සහය දිවීමේ තරගය ද ලක්ෂිකා සුගන්දි, සදීපා හෙන්ඩර්සන්, අමාෂා ද සිල්වා සහ සාරංගි ලක්ෂිණී ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ තත්පර 44:89 ක කාලයක් සටහන් කර ගනිමින්ය.

 

“මලල ක්‍රීඩා කණ්ඩායමට 80ක් විතර ඇතුළත් කරලා තියෙනවා“ යැයි අවඥාවෙන් පැවසූ ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට අභියෝග කළේ හැකි නම් පදක්කම් ද දිනා පෙන්වන ලෙසය.

 

නිලානි රත්නායක

“මලල ක්‍රීඩා කණ්ඩායම අරක නෑ. මේක නෑ. කියන්න කලින් පදක්කම් දිනලා පෙන්වන්න ඕනෑ. අපෙනුත් කට්ටිය අඩු කරලයි මලල ක්‍රීඩා කණ්ඩායමේ 80ක් ගෙනාවේ“ යැයි ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා අභියෝගයක්ද කළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන අබමල් රේණුවක තරම්වත් සැලකිල්ලක් නොදක්වමින්ය. මෙවැනි අභියෝග ඇසුරෙන් ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයාගේ ක්‍රීඩාවට ඇති ළැදියාව සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ දක්වන ආකල්ප පිළිබඳ වැටහීමක් ලබාගැනීමට වෙහෙස මහන්සි විය යුතු නොවේ.

 

නොලැබුණු දේ පිළිබඳ වද නොවූ කණ්ඩායමක ශක්තිය මැනවින් වටහා ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තමන්ට අභියෝග කළ නිලධාරීන්ට ප්‍රති උත්තර බැන්දේ එකී අභියෝගයන්ම වෙස්වළාගත් ආශිර්වාදයක් කර ගනිමින්ය. නිලධාරී නඩ නියෝජනය කරමින් සාග් පමණක් නොව වෙනත් තරගාවලි ද නියෝජනය කරන නිලධාරී නඩ ගැන වගේ වගක් නැතුව කටයුතු කරන බලධාරීන්ට මෙවර සාග් තරගාවලිය අවසාන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම්වලින් නිසි ප්‍රතිචාර දක්වා තිබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් දිනාගෙන පෙන්වන්නයි අභියෝග කළ නිලධාරීන් ඔවුන් රනින්, රිදියෙන්, ලෝකඩ පදක්කම්වලින් ගෙල සරසා ගන්නා විට සුබ පැතුවේ රෙදි ඇඳගෙනදැයි කිසිවෙකුට සිතුණොත් පුදුමයක් නැත.

 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර රන් 15, රිදි 12, ලෝකඩ 8 ක් වශයෙන් සමස්ත පදක්කම් 35 ක් දිනා ගෙන තිබේ. 2016 දී රන් 9, රිදී 11, ලෝකඩ 17 ක් වශයෙන් සමස්ත පදක්කම් 37 කි. 2010 දී රන්8, රිදී 8, ලෝකඩ 6ක් වශයෙන් සමස්ත පදක්කම් 22කි. 2006 දී රන් 14, රිදී 12, ලෝකඩ 7 ක් වශයෙන් සමස්ත පදක්කම් 33කි. 2004 දී රන් 12, රිදී 9, ලෝකඩ 3ක් වශයෙන් සමස්ත පදක්කම් 24කි.

 

මෙවර සාග් තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව්වලින් නව තරග වාර්තා 4ක් බිහි විය. මෙකී නව තරග වාර්තා හතරම ක්‍රීඩකයන් විසින් බිහි කිරීම ද විශේෂත්වයකි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ශ්‍රී ලංකාව සිය සම්පූර්ණ බරම යොදා රන් 15ක් දිනා ගනිද්දී, ඉන්දියාව සිය දෙවැනි තෙවැනි සහ නැඟීගෙන එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොදාගෙන රන් 12, රිදී 22, ලෝකඩ 14ක් මලල ක්‍රීඩා ඉසව්වලින් දිනා ගැනීමට මෙවර සමත්වීමද ලාංකේය බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතු කරුණකි.

මීටර් 100 x 4 පිරිමි සහාය දිවීමේ තරගය සාග් වාර්තාවක්ද සමඟ ජය ගැනීමට
 ශ්‍රී ලංකාවේ හිමාෂා එෂාන්, විනෝජ් සුරංජය, සුපුන් ප්‍රියදර්ශන සහ චානුක සංදීප සමත් වූහ.

 

Comments