AIDS සටනට එක් වුණු ‘ඇප්’ එක | සිළුමිණ

AIDS සටනට එක් වුණු ‘ඇප්’ එක

ප්‍රින්සි මංග­ලිකා ‘Possitive women Network’ ආය­ත­නයේ නිර්මා­තෘ­ව­රි­යයි. 2009 වසරේ ආරම්භ කළ මෙහි සාමා­ජි­ක­ත්වය ලැබු වැඩි­හි­ටි­යන්ගේ ගණන 516 කි. ළමෝ 44 ක් මෙහි සාමා­ජි­ක­ත්වය ලබා සිටිති. මෙම ආය­ත­නයේ සාමා­ජික සාමා­ජි­කා­වන්ගේ වි‍ශේෂ­ත්වය වන්නේ ඔවුන් සියලු දෙනාම HIV ආසා­දි­ත­යන් වීමය. HIVආසා­දි­ත­ය­න්ගෙන් සැදුම් ලත් Possitive women Network ආය­ත­නය ආරම්භ කිරී­මට ප්‍රින්සි මංග­ලිකා පුරෝ­ගාමී වූයේ HIV ආසා­දි­ත­යකු වශ­යෙන් ඈ සමා­ජ­යෙන් ලැබූ නින්දා අප­හාස සහ අව­ම­න්ව­ලින් ලැබූ පන්න­රයි.

“මම එච්.අයි.වී. ආසා­දි­ත­යකු බව හරි­ය­ටම දැන­ගත්තේ 2001 අගෝස්තු 20 වැනිදා. එය දැන­ගත් ගමන් මගේ මුළු ලෝක­යම කඩා වැටුණා. ඇයි දෙයි­යනේ කිසිම වර­දක් නොක­රපු මට දිවි හිමි­යෙන් පති­දම් ආරක්ෂා කරපු මට මෙහෙම ව‍ුණේ කියලා මම ඇඬුවා. ඇත්ත­ටම මට මේ ලෙඩේ හැදුණේ මගේ මහ­ත්ත­යා­ගෙන්. එයා හෝටල් ක්ෂේත්‍රයේ රැකි­යා­වක් කළේ. 1991 දී එයා ජර්ම­නි­යට ගියේ දුවලා දෙදෙ­නාට හොඳට උග­න්වන්න ගෙවල් දොර­වල් හදා­ගන්න මුදල් අවශ්‍ය නිසයි. 1997 දී එයා නැව­තත් මාල­දි­ව­යි­නට ගියා. 1999 දී විතර එයා නිතර නිතර අස­නීප වෙන්න පටන් ගත්තා. උණ, කෑම, අරු­චිය, කැස්ස, නිතර මල­පහ කිරීම වගේ රෝග ලක්ෂණ මතු වුණා. එයට ප්‍රති­කාර කළත් සුව වුණේ නැහැ. පස්සේ රුධිර පරි­ක්ෂා­වක් කර ගන්න කිව්වා. 2001 ජුලි 02 වැනිදා තමයි දැන­ගත්තේ එයාට ඒඩ්ස් හැදිලා කියලා.

ඒ වෙලාවේ රෝහ­ලෙන් පවා මහ­ත්ත­යාට සැලකු‍වේ හරිම අකා­රු­ණික විදි­හට. දඩා­වතේ ගිහින් ලෙඩ හදා ගත්තා කියලා අප­හාස කළා. රෝහලේ වැඩ කරන කෙනෙක් අපේ ගමේ අයට මේ විස්තර කියලා තිබුණා. ඊට පස්සේ ගමේ මිනිස්සු අපේ ගෙවල් ගිනි තිබ්බා. මගේ මහ­ත්තයා වහ බීලා ජීවි­තය නැති කර ගත්ත‍ා. මම දුවලා දෙන්නා­වත් අර­ගෙන නැදෑ ගෙද­රක ගියා. අන්ති­මට මටත් එච්.අයි.වී. වෛර­සය ආසා­ද­නය වුණා. ඒත් මම ජීවි­ත­යෙන් පලා ගියේ නැහැ. ශක්ති­මත් වුණා”

ප්‍රින්සි මංග­ලිකා සිය දිය­ණි­යන් දෙදෙ­නාට අධ්‍යා­ප­නය දී විවා­හ­යන් පවා සිදු කර දුන්නාය. එත­නින් නොනැ­ව­තුණු ඈ තවත් එවැනි සිය දහස් ගණ­නක් වෙනු­වෙන් ආය­ත­න­යක් ද අරඹා ඈ වැනි රෝගීන්ගේ ශුභ­සා­ධ­නය වෙනු­වෙන් කට­යුතු කර­න්නීය.

දැන් 60 වැනි වියේ පසු­වන ප්‍රින්සි මංග­ලිකා වසර 18 ක් මුළුල්ලේ එච්.අයි.වී. ආසා­දි­ත­යකු වශ­යෙන් දිවි ගෙව­න්නීය. එහෙත් තව­මත් ඈ ඒඩ්ස් රෝගි­යෙක් නොවේ. ඊට හේතුව ඈ නිසි පරිදි වෛද්‍ය ප්‍රති­කාර ලබා ගැනී­මෙන් රෝගය පාල­නය කර­ගෙන සාමාන්‍ය අන්ද­මින් ජීවත් වීමයි.

එහෙත් එච්.අයි.වී. ආසා­දි­තයන් බොහෝ දෙනෙකු මුල් අව­ස්ථා­වේ­දීම ප්‍රති­කාර සඳහා යොමු නොවීම නිසා ඒඩ්ස් දක්වා එය වර්ධ­නය වේ. එච්.අයි.වී. වෛර­සය විනාශ කළ නොහැකි වුවත් ප්‍රති­කාර මගින් පාල­නය කර ගත හැකි නිසා ඒඩ්ස් දක්වා වර්ධ­නය නොවී ජීවත් වීමට අව­ස්ථාව හිමි කර ගත හැකිය. ඒඩ්ස් දක්වා වර්ධ­නය වුව­හොත් ආයු කාලය කෙටි වේ. මර­ණය ඉක්මන් වේ. එබැ­වින් යම් පුද්ග­ල­ය­කුට එච්. අයි. වී. ශරී­ර­ගත වි ඇති දැයි සැක­යක් පව­තින්නේ නම් නොප­මාව රජයේ රෝහ­ල්වල පව­තින ලිංගා­ශ්‍රිත රෝග සාය­න­ව­ලට ගොස් නොමිලේ රුධිර පරී­ක්ෂා­වක් කර ගෙන අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රති­කාර ලබා ගත හැකිය. සුහද ශීලි වූත් විශ්ව­ස­නීය වූත් ලිංගා­ශ්‍රිත රෝග සාය­න­වල ප්‍රති­කාර ලබන රෝගීන්ගේ රහ­ස්‍ය­භා­වය සම්පූ­ර්ණ­යෙන්ම ආරක්ෂා කිරී­මට වග­කී­මෙන් බැඳී සිටියි.

“එච්.අයි.වී. ආසා­දි­ත­යන් වගේම ඒඩ්ස් රෝගීන් හඳුනා ගත් මුල් කාලයේ රෝහල් කාර්යය මණ්ඩල වගේම සමා­ජ­යෙ­නුත් ඔවුන්ට ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. ඒත් දැන් අපේ දැනු­වත් කිරී‍ම් නිසාම රෝහල් කාර්යය මණ්ඩල ඔවුන් කෙරෙහි යහ­පත් ප්‍රති­චාර දක්ව­නවා. සමා­ජ­යෙන් විටින් විට ප්‍රශ්න එල්ල වුණත් බොහෝ දෙනෙක් අද දැනු­වත් වී සිටි­නවා. එය බෝවෙන ආකා­රය ගැන අද සිටින අය දන්නවා. රෝගීන් දෙස මානු­ෂි­කව බලන්න දන්නවා. ඒත් සම­හ­රුන්ගේ නොද­න්නා­කම නිසා සමා­ජයේ ප්‍රශ්න මතු වූ අවස්ථා තිබෙ­නවා. එය කන­ගා­ටු­වට කාර­ණ­යක්.” යනු­වෙන් පැව­සුවේ ජාතික ලිංගා­ශ්‍රිත රෝග, ඒඩ්ස් මර්දන ඒක­කයේ සම්බ­න්ධි­කා­රක, විශේ­ෂඥ වෛද්‍ය ලිලානි රාජ­ප­ක්ෂය.

චර්ම රෝග­ය­කින් පීඩා විඳින දරු­වන්ට ඔවුන් ඒඩ්ස් රෝගින් යැයි සලකා පාස­ලට නොපැ­මි­ණෙන ලෙස දැනුම් දුන් දඹුල්ල ප්‍රදේ­ශයේ විදු­හ­ල්ප­ති­ව­ර­යකු ගැන වාර්තා වූයේ මෑත­ක­දීය. මව ඒඩ්ස් රෝගි­යකු යැයි පවසා දරුවා පාස­ල­කට ඇතු­ළත් කර ගැනී­මට ප්‍රති­ක්ෂේප කළ පුව­තක් ගනේ­මුල්ල බොල්ලත ප්‍රදේ­ශ­යෙන් වාර්තා වී තිබිණි. මෙවැනි සිදු­වීම් අස­න්නට ලැබෙන්නේ ඒඩ්ස් රෝගය ගැන පව­තින දුර්මත නිසාය.

එච්.අයි.වී.වෛර­සය කෙන­කුට ශරී­ර­ගත වන ආකාර තුනකි.

1. අනා­ර­ක්ෂිත ලිංගික සම්බ­න්ධතා මගින්

2. මව­ගෙන් දරු­වාට

3. ආසා­දිත රුධි­රය හෝ තරල මගින්

මේ හැර ඔවුන් ස්පර්ශ කිර‍ී­මෙන් අතට අත දීමෙන්, ඔවුන් සමඟ එකට එකතු වී ආහාර ගැනී­මෙන් හෝ වාසය කිරී­මෙන් එච්.අයි. වී. වෛර­සය ශරී­ර­ගත නොවේ. එච්.අයි.වී. වෛර­සය ශරී­ර­ගත වූ පම­ණින් සමා­ජය ඔවුන් කොන් කරන්නේ නම්, හුද­කලා කරන්නේ නම් ප්‍රින්සි මංග­ලිකා වැනි එච්.අයි.වී. ආසා­දි­ත­යන්ට සිදු වන්නේ කුමක්ද? ඔවුන්ට රෝගය පාල­නය කර­ගෙන සාමාන්‍ය අන්ද­මින් ජීවත් වීමට අවශ්‍ය ඉඩ­කඩ සලසා දීම ප්‍රජා­වගේ වග­කී­මය.

අද වන විට මව­ගෙන් දරු­වාට එච්. අයි. වී. ශරී­ර­ගත වීම ලංකාවේ සම්පූ­ර්ණ­යෙන් තුරන් කර තිබේ. 2017 සහ 2018 වර්ෂ­වල එවැනි දරු උපත් කිසි­වක් වාර්තා වී නැත. එච්.අයි.වී. ආසා­දිත මවු­ව­රුන්ට නොක­ඩවා ප්‍රති­කාර ලබා දීම නිසා ගර්භය තුළ සිටින දරු­වාට වෛර­සය ආසා­ද­නය වීම වළක්වා ගැනී­මට හැකි වී ඇති අතර මවු­කිරි දීමෙන් සහ ප්‍රසුති අව­ස්ථා­වේදී දරු­වාට වෛර­සය ශරී­ර­ගත වීම වළක්වා ගැනී­මට වෛද්‍ය­ව­රුන් කට­යුතු කිරී­මෙන් එච්.අයි.වී. ආසා­දිත මවු­ව­රුන්ට බිහි වූ දරු­වන් නිරෝගි දරු­වන් බව තහ­වුරු වී තිබේ. 2018 වර්ෂයේ එච්.අයි.වී. ආසා­දිත මවු­වරු 16 දෙනෙක් නිරෝගී දරු­වන් බිහි කළහ.

එහෙත් එච්.අයි.වී. ආසා­දි­ත­යන් සංඛ්‍යාව වාර්ෂි­කව වර්ධ­නය වන ආකා­ර­යක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ පළමු වරට එච්.අයි.වී. ආසා­දි­ත­යකු වාර්තා වූයේ 1986 දීය. ඔහු පිට­රැ­ටි­යෙකි. ප්‍රථම එච්.අයි.වී. ආසා­දිත ශ්‍රී ලාංකි­කයා 1987 වාර්තා වූ අතර ඒ වන විට ඔහු ඒඩ්ස් තත්ත්වයේ පසු විය. එතැන් සිට 2019 ජුනි මස අව­සා­නය දක්වා එච්.අයි.වී. ආසා­දි­ත­යන් 3393 දෙනකු වාර්තා වී තිබේ. 2019 සැප්තැ­ම්බර් අව­සාන වන විට මෙම වසර තුළ පම­ණක් ලංකාවේ එච්.අයි.වී. ආසා­දි­ත­යන් සහ ඒඩ්ස් රෝගීන් 314 ක් සොයා ගෙන ඇත.

ලෝකයේ සෙසු රට­වල් සමඟ සැස­දී­මේදී ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. ප්‍රව­ණ­තාව අඩු මට්ට­මක පව­තින නමුත් මෑතක සිට එච්.අයි.වී. ආසා­දි­ත­යන් වාර්තා වන සංඛ්‍යාව ප්‍රමා­ණාත්ම­කව ඉහළ අග­යක් ගෙන තිබේ. නිද­සු­නක් ලෙස 2013 – 196, 2014 – 228, 2015 – 235, 2016 – 249, 2017 – 285 සහ 2018 – 350 ලෙස වාර්තා වී ඇත. අවු­රුදු 20- 49 අතර වයස් මට්ට­ම්වල පසු­වන බොහෝ ආසා­දි­ත­ය­න්ගෙන් 75% ක් රට ඇතු­ළත ජීවත් වන අය වීම විශේ­ෂ­ත්ව­යකි. මීට වැඩි වශ­යෙන් ගොදුරු වන්නේ පිරි­මින්ය. එය අනු­පා­ත­යක් ලෙස දක්වන්නේ නම් 1:5 කි. ශ්‍රී ලංකාවේ නව එච්.අයි.වී. ආසා­ද­නය වැඩි­පුර වාර්තා වන්නේ පිරිමි - පිරිමි සම්බ­න්ධතා පව­ත්වන අය අතර වීම වැද­ගත් කරු­ණකි. එච්.අයි.වී. ශරී­ර­ගත වූ අය පිළි­බ­ඳව සලකා බැලී­මේදී මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූ අය, වෙරළේ සිටින පිරිමි දරු­වන් (Beach boys), ලිංගික ශ්‍රමි­ක­යන්, බන්ධ­නා­ගා­ර­ගත වූ අය වශ­යෙන් හඳු­නා­ගත හැකිය.

ලංකාවේ රුධිර පාර­වි­ල­ය­නය කිරීම අද වන විට ඉතා­මත් ආර­ක්ෂා­කා­රීව වග­කී­මෙන් යුතුව ජාතික ලේ බැංකුව සිදු කරන බැවින් එයින් එච්.අයි.වී. ආසා­ද­නය වීම වළක්වා ගත හැකිය. එසේ වුවද රුධි­රය තැව­රුණු ඉඳි­කටු, කැපුම් උප­ක­රණ හවුලේ භාවිත කිරී­මෙන් එය ශරී­ර­ගත වීමේ අව­දා­න­මක් ඇත. එන්නත් කටු, රේසර්, පච්ච කෙටීමේ කටු යනා­දිය වෙන් වෙන්ව පරි­හ­ර­ණය කළ යුතු බව අව­ධා­ර­ණය කරන්නේ එබැ­විනි.

“රුධිර පාර­වි­ල­ය­නය මඟින් ශරී­ර­ගත වීම මව­ගෙන් දරු­වාට යෑම වැනි අවස්ථා හොඳින් වළක්වා ගෙන තිබු­ණත් අනා­ර­ක්ෂිත ලිංගික සම්බ­න්ධතා මඟින් එච්.අයි.වී. ශරී­ර­ගත වීම අපිට පාල­නය කරන්න අමා­රුයි. ඒ නිසා ඒ ගැන පාසල් මට්ට­මෙන් දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම ඉතා වැද­ගත් වෙනවා. තරුණ අයට ලිංගික සම්බ­න්ධතා ප්‍රමාද කිරී­මට අපි උප­දෙස් දෙනවා. අනා­ර­ක්ෂිත ලිංගික සම්බ­න්ධ­තා­ව­ලදී ආර­ක්ෂිත උප­ක­රණ පාවිච්චි කරන්න උප­දෙස් දෙනවා. ඒත් අද සමාජ මාධ්‍ය ජාලා ඇප් මඟින් තත්පර කීප­යක් ඇතු­ළත ලිංගික සම්බ­න්ධතා පව­ත්වන්න කැමති අය හොයා ගන්න පුළු­වන් සමා­ජ­යක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අදට ගැළ­පෙන විදි­හට දැනු­වත් කිරීමේ ක්‍රම­යක් අව­ශ්‍යයි. 70- 80 දශ­ක­වල දැනු­වත් කළ ආකා­ර­යට අද සමා­ජය දැනු­වක් කරන්න බැහැ. ඒ නිසා අපි on - line මඟින් ඒඩ්ස් ගැන, අනා­ර­ක්ෂිත ලිංගික සම්බ­න්ධතා ගැන දැනු­වත් කිරී­මට පටන් ගත්තා. Stay safe කියන ඇප් එක අපි හඳුන්වා දී තිබෙන එක් ක්‍රම­යක්. ඒ හැර එච්. අයි.වී. අව­දා­නම හඳු­නා­ගෙන මිතු­රකු සමඟ රුධිර පරී­ක්ෂා­ව­කට යොමු කර­වන තැනට ගෙනෙන ඇප් එක­කුත් හඳුන්වා දී තිබෙ­නවා. එය know for sure කියලා නම් කර තිබෙ­නවා.” යනු­වෙන් ලිංගා­ශ්‍රිත රෝග විශේ­ෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ජය‍කොඩි පැව­සු­වාය.

නව පර­පු­රට ගැළ­පෙන ආකා­ර­යට සකස් කර ඇති ක්‍රමෝ­පා­යන් මඟින් වුවද දැනු­වත් කර, එච්.අයි.වී. ආසා­දි­ත­යන්ගේ වැඩි වීම පාල­නය කර ගැනීම ඉතා වැද­ගත් කරු­ණකි. මන්ද බොහෝ දෙනෙකු එච්.අයි.වී. ආසා­ද­නය වූ මුල් අව­ස්ථා­වේදී කිසිදු රෝග ලක්ෂ­ණ­යක් නොපෙ­න්වීම නිසා රුධිර පරි­ක්ෂා­වක් සිදු කර ගැනී­මට උන­න්දු නොවෙයි. එහෙත් නොමිලේ සිදු කර ගත හැකි රුධිර පරීක්ෂා මඟින් එච්.අයි.වී. ශරී­ර­ගත නොවු බවට තහ­වුරු කර ගත හැකි අතර ශරී­ර­ගත වූ අයට මුල් අව­ස්ථා­වේ­දීම ප්‍රති­කාර අරඹා රෝගය පාල­නය කර­ගත හැකිය. එච්.අයි.වී. සහ ඒඩ්ස් නිවා­ර­ණය කර ගැනීම සඳහා ප්‍රජා­වගේ ඵල­දායි දාය­ක­ත්වය ඉතා වැද­ගත් වන්නේ මේ පිළි­බ­ඳව සමා­ජය දැනු­වත් කිරීම, දැනු­වත් වී සිටීම, රෝගීන් කොන් නොකි­රීම ප්‍රජා­වගේ වග­කී­මක් වන බැවිනි. එවිට 2025 දී ලංකා­වෙන් ඒඩ්ස් නිවා­ර­ණය කිරීමේ ප්‍රය­ත්නය සාර්ථක කර ගත හැකිය.

 

Comments