මුළු කොළ­ඹම බොන කැලණි ගඟේ ජල­යට වන හදිය | සිළුමිණ

මුළු කොළ­ඹම බොන කැලණි ගඟේ ජල­යට වන හදිය

ධ්‍ය කඳු­ක­රයේ පොල්පි­ටි­යේදී ආරම්භ වන කැලණි ගඟ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­යෙන් 18.4% ක්, මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යෙන් 0.2% ක්, රත්න­පුර දිස්ත්‍රි­ක්ක­යෙන් 3% ක් , කළු­තර දිස්ත්‍රි­ක්ක­යෙන් 0.5% ක්,කෑගල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් 44% ක්, ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන්14% ක් හා කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන්19.9% ක් ආව­ර­ණය කර­මින් ගලා ගොස් කොළඹ මෝදර ප්‍රදේ­ශ­යෙන් මුහු­දට එක් වේ. කැලණි ගඟෙන් මුළු භූමි­ප්‍ර­මා­ණය හෙක්ට­යාර 233,335කි. මේ අතු­රින් ඉතා ඉහළ දාය­ක­ත්ව­යක් ලබා දෙන උප ජල­ද්‍රෝණි වනුයේ ගුරු­ගොඩ ඔය, ඉහළ මධ්‍යම කැලණි ගඟ හා කෙහෙ­ල්ගමු ඔයයි. කැලණි ගඟේ දිග දළ වශ­යෙන් කි.මී. 145ක් පමණ වේ. වාර්ෂි­කව ගඟට ලැබෙන ජල­ස්ක­න්ධය අක්කර අඩි 7,019,000ක් පමණ වන අතර, එයින් 64%කට ආසන්න ප්‍රමා­ණ­යක් මුහු­දට ගලා බසියි.

බස්නා­හිර පළාතේ ජන­ග­හ­න­යෙන් වැඩි පිරි­ස­කට මෙන්ම මූලික වශ­යෙන් කොළඹ දිස්ත්‍රි­ක්කයේ 80%කට වැඩි පිරි­ස­කගේ පානීය ජල අව­ශ්‍ය­තාව සපු­රන කැලණි ගංගාව මේ වන විට ලක්දෙ­රණේ දූෂි­තම ගඟ බවට පත්ව ඇති පුවත මේ වන විට ප්‍රසිද්ධ කරු­ණකි. මධ්‍යම පරි­සර අධි­කා­රියේ තොර­තුරු මඟින් මෙන්ම මෑත­කදී ජාතික විග­ණන කාර්යා­ලය නිකුත් කළ ‘කැලණි ගඟේ ජල දූෂ­ණය සම්බන්ධ පරි­සර විග­ණන වාර්තාව’ ඔස්සේද මේ බව තව­දු­ර­ටත් තහ­වුරු වෙයි.

කැලණි ගංගා­වට මෙවන් ඉර­ණ­මක් අත්වී­මට හේතු වූ කරුණු මොන­වාද? එයින් පැන­න­ඟින පරි­සර හානි හා එම­ඟින් එහි ජලය පරි­භෝ­ජ­නය කරන මිනිසා ඇතුළු අනෙක් සත්තව සංහ­ති­යට අත්වන බල­පෑම කෙසේ විය හැකිද? එය වළ­ක්වා­ගැ­නී­මට අප කුමක් කළ යුතුද? විමසා බැලීම මේ ලිපියේ අර­මු­ණයි.

මෙහිදී මධ්‍යම පරි­සර අධි­කා­රිය පෙන්වා දෙන්නේ කැලණි ගංගාව ආර­ම්භක ස්ථානයේ සිට මුහු­දට වැටෙන තැන දක්වා වූ පිිහිටි 10,511කට ආසන්න කර්මා­න්ත­ශා­ලා­වල බල­පෑම මෙයට ඍජුව බලපා ඇති බවයි. ජාතික විග­ණන කාර්යා­ලය නිකුත් කර ඇති වාර්තා­වට අනු­වද ඒ බව තව­දු­ර­ටත් තහ­වුරු වේ.

අප­න­යන කලා­ප­වල අහි­ත­කර බල­පෑම්

මේ විග­ණන වාර්තාව වැඩි­දු­ර­ටත් හෙළි­ද­රවු කරන්නේ කැලණි ගඟ අවට ඇති, මෙරට ප්‍රධාන අප­න­යන සැක­සුම් කලාප වන සීතා­වක හා බිය­ගම ස්ථාප­නය කර ඇති කර්මාන්ත ශාලා­වල ක්‍රියා­කා­ර­කම් මෙලෙස කැලණි ගඟ දූෂ­ණය වීමට ප්‍රධාන වශ­යෙන් බලපා ඇති බවයි. විග­ණන කාර්යා­ලයේ නිරී­ක්ෂ­ණය වන්නේ මේ කලා­ප­වල පිහිටි කර්මාන්ත ශාලා මඟින් බැහැර කරනු ලබන අප­ජ­ලය සම්මත පරා­මි­තීන්ට අනු­කූල නොවන ආකා­ර­යට අභ්‍ය­න්තර ජල මූලා­ශ්‍ර­ය­ව­ලට හා පරි­ස­ර­යට මුදා­හ­රිනු ලබන අතර, අප­ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම­වේ­දය නිසි පරිදි කළ­ම­නා­ක­ර­ණය නොවීම, අප­ජ­ලය පිරි­ප­හ­දු­වෙන් පසු ඉතිරි වන මඩිති බැහැර කිරීමේ ක්‍රම­වේ­ද­යන් පරි­සර හිත­කාමී අන්ද­මින් සිදු නොවීම අව­සන් වශ­යෙන් ජල මූලා­ශ්‍ර­ය­ව­ලට දැඩි බල­පෑ­මක් එල්ල කර ඇති බවයි.

කෙසේ නමුත් මධ්‍යම පරි­සර අධි­කා­රිය මේ සම්බ­න්ධ­යෙන් පෙන්වා දෙන්නේ 1980 ජාතික පරි­සර පන­තෙහි 23(a) කොට­සෙහි පනවා ඇති බල­තල අනුව පරි­සර ආර­ක්ෂණ බල­ප­ත්‍ ­වැ­ඩ­ස­ට­හන යටතේ කර්මාන්ත ක්‍රියා­කා­ර­කම් මගින් පරි­ස­ර­යට අප­ජ­ලය බැහැර කිරීම නීති­ගත කර තිබෙන බවයි. එහෙත් එලෙස අප­ජ­ලය පරි­ස­ර­යට බැහැර කිරී­මට නම් යම් කර්මා­න්ත­යක් විසින් පරි­සර ආර­ක්ෂණ බල­ප­ත්‍ර­යක් ලබා සිටීම අනි­වා­ර්යය. එලෙස බල­ප­ත්‍රයේ සඳ­හන් ප්‍රමිති සහ කොන්දේසි යටතේ අප­ජ­ලය බැහැර කිරීම අදාළ කර්මා­න්තයේ නියැ­ළෙ­න්නන්ගේ වග­කීම වන අතර, අවා­ස­නා­ව­කට කර්මා­න්ත­ශාලා මෙලෙස පරි­සර ආර­ක්ෂණ බල­ප­ත්‍ ­ක්‍ර­මය යටතේ ආව­ර­ණය වී ඇති මුත්, ඒවා­යින් බැහැර කෙරෙන අප­ජ­ලය පනවා ඇති ප්‍රමි­තීන්ට සහ කොන්දේ­සි­ව­ලට අනු­කූ­ල­දැයි පරීක්ෂා කිරී­මට නිසි වැඩ­පි­ළි­වෙ­ළක් හෝ බැහැර කෙරෙන අප­ජ­ලය ප්‍රමා­ණය පාල­නය කිරී­මක්ද සිදු නොවන බව මධ්‍යම පරි­සර අධි­කා­රිය පෙන්වා දෙයි.

සීතා­වක කලා­පයේ බල­පෑම

මෙයට පැහැ­දිලි උදා­හ­ර­ණ­යක් විග­ණන වාර්තා­වෙන් ගෙන හැර­පායි. එනම්: කැලණි මිටි­යා­වතේ ඇති ප්‍රධාන කර්මාන්ත පුර­යක් වන සීතා­වක අප­න­යන සැක­සුම් කලා­පය ලබා තිබූ පරි­සර ආර­ක්ෂණ බල­ප­ත්‍රය වසර 8කින් අලුත් කර නැත. සීතා­වක අප­න­යන සැක­සුම් කලා­පය ආරම්භ වන්නේ 1999 වර්ෂ­යේ­දීය. අක්කර 431ක භූමි ප්‍රමා­ණ­ය­කින් සම­න්විත මෙහි ඇඟ­ලුම්, ආහාර හා ප්ලාස්ටික් යනාදි ද්‍රව්‍ය නිප­ද­වන කර්මාන්ත 37ක් අන්ත­ර්ග­තය. සීතා­වක අප­න­යන සැක­සුම් කලා­පය සඳහා 1980 අංක 47 දරන ජාතික පාරි­ස­රික පනතේ 23 (ආ) වග­න්තිය අනුව පරි­සර ආර­ක්‍ෂණ බල­ප­ත්‍රය 2010 දෙසැ­ම්බර් 30 දින දක්වා ලබා­ගෙන තිබිණි. එහෙත් එතැන් සිට ඔවුන් බල­ප­ත්‍රය අලුත් කර නැත. ඒ අනුව විග­ණන වාර්තාව පෙන්වා‍ ­දෙන්නේ, පාරි­ස­රික වශ­යෙන් ඉතා ඉහළ අව­දා­න­මක් සහිත කර්මාන්ත බල­ප­ත්‍ර­යක් ලබා නොගෙන කට­යුතු කිරී­මේදී සිදු විය හැකි පාරි­ස­රික හානිය ඉතා ඉහළ බැවින් පාරි­ස­රික ආර­ක්ෂණ බල­ප­ත්‍ර­යක සඳ­හන් කොන්දේසි සපුරා නැති වීම නිසා බල­ප­ත්‍රය අලුත් කිරීම සිදු නොක­රන අව­ස්ථා­වල එවැනි කර්මා­න්ත­යක ක්‍රියා­කා­රි­ත්ව­යෙන් පරි­ස­ර­යට වන හානිය වෙනු­වෙන් පරි­සර හානි අය කිරීමේ ක්‍රම­වේ­ද­යක් ස්ථාපිත කළ යුතු බවයි. එලෙ­සම බල­ප­ත්‍රය අලුත් කිරී­මේදී ප්‍රතී­තන මණ්ඩ­ලය යටතේ ලියා­ප­දිං­චිය හා මධ්‍යම පරි­සර අධි­කා­රිය යටතේ ලියා­ප­දිං­චිය යන අව­ශ්‍යතා දෙකම සපුරා තිබෙන රසා­ය­නා­ගා­ර­වල වාර්තා පම­ණක් යොදා­ගැ­නී­මට සහ අදාළ වන පරිදි නීති සංශෝ­ධ­නය කිරී­මට පිය­වර ගත යුතු බවයි.

තවද සීතා­වක කලා­ප­යට අයත් කර්මාන්‍ත 37ක අප­ජල පිරි­ප­හ­දුව සඳහා පව­තින පොදු අප­ජල පිරි­ප­හදු මධ්‍ය­ස්ථා­නයේ ධාරි­තා­වද ප්‍රමා­ණ­වත් නොවන බවත්, අප­ජල පිරි­ප­හදු මධ්‍ය­ස්ථා­නයේ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ යන්ත්‍රය අක්‍රීය වී තිබීම පාරි­ස­රික වශ­යෙන් ඇතිව තිබූ බල­පෑ­මක් බවත්, සීතා­වක සහ බිය­ගම අප­න­යන සැක­සුම් කලා­ප­වල කර්මා­න්ත­ශා­ලා­ව­ලින් ජනිත වන මඩිති (sludge) ඉවත් කිරීම සඳහා නිසි ක්‍රම­වේ­ද­යක් යොදා නැති බැවින් මඩිති වැසි ජලය සමඟ මිශ්‍රව ජල මූලා­ශ්‍රය දූෂ­ණය වීමේ අව­දා­න­මක් පව­තින බවත් ඔවුන් තම වාර්තාවේ සඳ­හන් කර තිබේ. මෙම පොදු අප­ජ­ලය පිරි­සිදු කිරීමේ ක්‍රියා­ව­ලිය බිඳ වැටීම හේතු­වෙන් මල අප­ද්‍ර­ව්‍ය­වල අඩංගු බැක්ටී­රියා ප්‍රවාහ ජලයේ පැව­තිය යුතු ප්‍රමා­ණ­යට වඩා පස් ගුණ­ය­කට ආසන්න ප්‍රමා­ණ­යක් වැඩි වී ඇත. මෙම බැක්ටී­රියා කැලණි ගඟට එකතු වෙයි. පාරි­ස­රික නීති රෙගු­ලා­සි­ව­ලට අනුව ගංගා­වට මුදා හැරෙන ජලයේ තිබිය යුතු E'COL: බැක්ටී­රියා ජලය ඒකක වලට සාපේ­ක­ෂව මිලි­ලී­ටර් 4000 ක් වුවද පරි­සර වාර්තා අනුව පැවැති මට්ටම18000ත් මිලි­ලී­ටර් 19000ත් අතර වේ.

ඒ ඔස්සේ තව­දු­ර­ටත් හෙළි­ද­රවු වන්නේ, කැලණි ගඟ සම්බ­න්ධ­යෙන් කරන ලද නිරී­ක්‍ෂණ චාරි­කා­ව­ලදී, ගඟ දෙපස අන­ව­සර ඉදි­කි­රීම් හේතු­වෙන් ගං ඉවුරු ඛාද­නය වීම, ගඟට මායිම්ව ඉදි කළ හෝටල් සහ අන­ව­සර ලෙස ඉදි­කර තිබූ නිවා­ස­ව­ලින් බැහැර කරන ඝන අප­ද්‍රව්‍ය, මල අප­ද්‍රව්‍ය සහ අප­ජ­ලය ගංගා ජල­යට එකතු වීම, වාහන සේවා ස්ථාන­ව­ලින් සහ කර්මා­න්ත­ශා­ලා­ව­ලින් බැහැර කරන අප­ජ­ලය පිරි­ප­හදු කිරී­ම­කින් තොරව බැහැර කිරීම ගංගා ජලය දුෂ­ණය වීමේ ප්‍රධාන හේතු කාරක වන බවයි.

බිය­ගම කලා­පයේ බල­පෑම

බිය­ගම අප­න­යන සැක­සුම් කලා­ප­යද කැලණි ගඟ දුෂ­ණය වීමට බලපා ඇති තවත් ප්‍රධාන සාධ­ක­යකි.

මෙය 1985 වර්ෂයේ ඇරඹී ඇති අතර, අක්කර 450ක භූමි ප්‍රමා­ණ­යක ඇඟ­ලුම්, ආහාර හා ප්ලාස්ටික් යනාදි කර්මාන්ත 60කින් සම­න්වි­තය. විග­ණන වාර්තාව පෙන්වා දෙන අන්ද­මට බිය­ගම අප­න­යන සැක­සුම් කලා­පයේ පිරි­ප­හදු කරන අප ජලය මධ්‍ය­ස්ථා­නය අසල පිහිටි රැඳ­වුම් පොකු­ණ­කට (retention pond) නිකුත් කරනු ලබන අතර, අව­සා­න­යේදී රැඳ­වුම් පොකුණේ අප­ජ­ලය මැණි­ක්අ­ගාර ඇළ ඔස්සේ කැලණි ගඟට එකතු වන බවයි. එහිදී බිය­ගම කලා­පයේ පිහිටි කර්මා­න්ත­ශාලා අතු­රින් පරෙී­ක්ෂා­වට ලක් කළ එක් කර්මා­න්ත­ශා­ලා­වක ඝන අප­ද්‍රව්‍ය බැහැර කිරීම රැඳ­වුම් පොකුණ ආස­න්න­යේම අවි­ධි­මත්ව සිදු කරන බැවින් පිරි­ප­හදු කරන ලද ජල­යට දූෂ්‍ය­කා­රක ඍජු­වම එක්වීමේ හැකි­යාව පව­තින බවත්, අව­සා­න­යේදී කැලණි ගඟේ ජල­යට එහි බල­පෑ­මක් සිදු­විය හැකි බව නිරී­ක්ෂ­ණය වූ බවත් වාර්තාවේ සඳ­හන් වෙයි. එබැ­වින් පිරි­ප­හදු කරන අප­ජ­ලය ජල මූලාශ්‍ර වලට අව­සාන වශ­යෙන් බැහැර කිරී­මට පෙර පිරි­සුදු කිරීමේ ක්‍රම­වේ­දය ශක්ති­මත් කොට, ප්‍රමා­ණ­වත් අධී­ක්ෂ­ණ­යක් කළ යුතු බව විග­ණන වාර්තාවේ අද­හස වී තිබේ.

මේ අතර ඒ පිළි­බඳ අද­හස් දක්ව­මින් මධ්‍යම පරි­සර අධි­කා­රිය පෙන්වා දෙන්නේ, කැලණි ගංගා­වෙහි සහ එහි ඇතැම් අතු ගංගා­වන්හි දූෂිත තත්ත්වය ජලයේ පී.එච්. අගය, සන්නා­ය­ක­තාව, ආම්ලි­ක­තා­වය, දිය වූ ඔක්සි­ජන් ප්‍රමා­ණය, ජෛව රසා­ය­නික ඔක්සි­ජන් ඉල්ලුම, රසා­ය­නික ඔක්සි­ජන් ඉල්ලුම, ක්ලෝර­යිඩ, නයි­ට්‍රේට සහ ෆොස්ෆේට සහ ක්ෂුද්‍ර ජීවී ඝන­ත්වය ආදිය වෙනස් කිරී­මට සමත් වන බවයි. එසේම, ජලයේ ද්‍රාවිත ඇතැම් බැර ලෝහ ප්‍රමා­ණ­යන්ද (ඊයම්, ක්‍රෝමි­යම් වැනි) ජල දුෂ­ණ­යට දැඩි ලෙස බල­පෑම් කරන බවයි.

ජන­තා­වගේ අවම දාය­ක­ත්වය

එලෙ­සම මේ පිළි­බඳ ජන­තා­වගේ දාය­ක­ත්වය අවම මට්ට­මක පැවැ­තී­මද ගංගාවේ ජල දූෂ­ණ­යට හේතු­වක් වන බව මේ පිළ­බඳ අද­හස් දක්වන විද්වත්හු පෙන්වා දෙති. මැණික් ගැරීම, ගංගා වැලි ගොඩ දැමීම වැනි කැලණි ගඟ ආශ්‍ර­යෙන් ලබා ගන්නා ආර්ථික වාසි­වල වර්ධ­න­යක් සිදුව තිබු­ණද එම­ගින් ගංගා ඉවු­රු­ව­ලට දැඩි හානි සිදුව ඇති බවත්, මේ හේතු­වෙන් ගංගා ජල­යට රොන්මඩ එක් වීම ඉහළ ගොස් රොන්මඩ තැන්පත් වීම හා ක්ෂුද්‍ර ජීවී ඝන­ත්වය ඉහළ යෑම ගංගාවේ ජල දූෂ­ණ­යට බලපා තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති. එනිසා ගඟේ පාරි­ස­රික අසි­රිය හා පාරි­ස­රික වටි­නා­කම ආරක්ෂා කිරීම සඳහා සියලු පාර්ශ­ව­යන්ගේ ලැබිය යුතු අනි­වාර්ය දාය­ක­ත්වය මේ වන විට අවම මට්ට­මක පව­තින නිසා ගංගා ජලය දූෂ­ණ­යට ලක්වීම දින­පතා සිදු­වන බව ඔවුන්ගේ අද­හ­සයි.

අන­ව­සර සහ අවි­ධි­මත් ඉදි­කි­රීම්

අන­ව­සර සහ අවි­ධි­මත් ඉදි­කි­රීම්ද කැලණි ගඟ දුෂ­ණය වීමට ප්‍රධාන සාධ­ක­යක් බව පෙනෙන්ට ඇත. විග­ණන වාර්තා­වට අනුව ගඟේ පළල මීටර් 15ට වඩා වැඩි ස්ථාන­වල ගං ඉවුරේ සිට අඩි 198ක වෙන් කිරී­ම­කින් පසු ඉදි­කි­රී­මක් සිදු­කළ යුතු වුවත්, ඊට පට­හැ­ණිව ගං ඉවුරු ආස­න්න­යේම ස්ථීර හා තාව­කා­ලික ඉදි­කි­රීම් ගණ­නය කළ නොහැකි තරම් සිදු­කර ඇති බව ඉහත වාර්තා සඳ­හන් කරයි. එයට උදා­හ­ර­ණ­යක් ලෙස ගඟ පහළ දකුණු ඉවුරේ පිහිටි කොහි­ල­වත්ත සුසාන භූමියේ බැම්ම ගඟ දෙසට කඩා­වැටී මළ සිරුරු හා ආව­ර­ණය කර තිබූ ඉටි­කොළ ගඟට එකතු වීමේ අව­දා­නම මෙන්ම රක්ග­හ­වත්ත ඇළ, රාක්ෂ­පා­න­ගල ප්‍රදේ­ශයේ ස්ථාන­යන්හි ගං ඉවු­රට වන්නට ඇති අන­ව­සර ඉදි­කි­රීම් නිසාද කැලණි නදිය දූෂ­ණය වීමේ ඉඩ­කඩ වැඩි බව ඔවුහු පෙන්වා දෙති.

අවි­ධි­මත් අප­ද්‍රව්‍ය බැහැර කිරීම

මෝදර, මට්ට­ක්කු­ලිය, වැල්ල­ම්පි­ටිය, පෑලි­ය­ගොඩ, කොලො­න්නාව සහ අංගොඩ ප්‍රදේ­ශ­ව­ලදී කැලණි නදි­යට ඝන අප­ද්‍රව්‍ය බැහැර කිරීම් විශා­ල­ව­ශ­යෙන් සිදු වන බවත්, එහිදී ප්ලාස්ටික්, බෝතල්,පොලි­තීන්, කඩ­දාසි සහ ගොඩ­නැ­ඟිලි කඩා ඉව­ත්කි­රීම් සියල්ල ගඟට එකතු කරන බවත් මධ්‍යම පරි­සර අධි­කා­රය මෙන්ම විග­ණන වාර්තාන්ද පෙන්වා දෙන තවත් ප්‍රධාන කරු­ණකි.

එමෙන්ම කර්මා­න්ත­ශා­ලා­ව­ලින් බැහැර කරනු ලබන සියලු දූෂ්‍ය­කා­රක මෙන්ම ගඟට ඉතා ආස­න්නව ඉදි­කර තිබෙන වැසි­කි­ළි­වල අප­ද්‍ර­ව්‍යද ගඟ අවට ඇති ඇළ මාර්ග ඔස්සේ ගලා විත් කැලණි ගං දියට එක් වන බව නිරී­ක්ෂ­ණය කර තිබේ.

කැලණි ගඟ රැක­ගැ­නී­මට නම්:

ගං ඉවුරු ආරක්ෂා කිරී­මට කට­යුතු කිරීම,

අන­ව­සර ඉදි­කි­රීම් නතර කිරීම,

ගඟ ආශ්‍රි­තව පව­තින ගොඩ­නැ­ගිලි නවී­ක­ර­ණ­යේදී හා නව ගොඩ­නැ­ගිලි ඉදි­කි­රී­මේදී පරි­ස­ර­යට ඇති වන හානිය අවම කිරීම සම්බන්ධ වග­කීම පළාත් පාලන ආය­ත­න­ව­ලට පැව­රීම,

මල අප­ද්‍රව්‍ය ගඟට එක් වීම වැළැ­ක්වීම,

ඉතිරි වන ඝන අප­ද්‍රව්‍ය ගඟට සම්බන්ධ වන ඇළ මාර්ග­ව­ලට බැහැර කිරීම වැළැ­ක්වී­මට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම,

මහ­ජ­න­තාව ඒ පිළි­බඳ දැනු­ම්වත් කිරීම අඛ­ණ්ඩව සිදු කිරීම

වැනි ප්‍රධාන කරුණු කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතු බව විග­ණන වාර්තාවේ සඳ­හන් වේ. කෙසේ නමුත් කැලණි ගංගාවේ පාරි­ස­රික, ආර්ථීක හා සාමා­ජීය වටි­නා­කම් ආරක්‍ෂා කිරීමේ ප්‍රධාන වග­කීම් උසු­ලන ආය­තන කිහි­ප­යක්ම ඇත. ඒ අතර මධ්‍යම පරි­සර අධි­කා­රිය, වාරි­මාර්ග දෙපා­ර්ත­ත­මේ­න්තුව, පළාත් පාලන ආය­තන, නාග­රික සංව­ර්ධන අධි­කා­රිය සහ ජාතික ජල­ස­ම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය යන රාජ්‍ය ආය­ත­න­වල දාය­ක­ත්වය වඩා සක්‍රිය වීම ඉතා වැද­ගත් වන බව කැලණි ගඟේ ජල දූෂ­ණය සම්බන්ධ පරි­සර විග­ණන වාර්තාව පෙන්වා දෙයි.

මේ කවර අභි­යෝග තිබු­ණත් අව­සා­නයේ කැලණි ගඟේ ජලය කිසිදු බිය­කත් සැකක් නැතිව පානය කළ යුතු තත්ව­යට පත් කළ යුතුය. ශ්‍රී ලංකා ප්‍රමිති අංක SLS 614 පරා­මි­ති­යට අනුව ජලය පිරි­සිදු කළ යුතු අතර ඒ අභි­යෝ­ගය පැව­රෙන්නේ අඹ­තලේ සහ පට්ටි­විල ජල පවි­ත්‍රා­ගාර වෙතය. බස්නා­හිර පළාතේ ජන ගහ­න­යෙන් සිය­යට අසූ­වක ප්‍රමා­ණ­යක පානීය ජල­අ­ව­ශතා සපු­රන මෙම පවි­ත්‍රා­ගාර වල පිරි­ප­හදු විය­දම පසු­ගිය වසර පහ­තුළ ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇත.

මේවාට වග­කි­ව­යුතු කාගේ කාගෙත් අව­ධා­නය යොමු වී කැළ­ණි­ගඟ පිරි­සිදු කිරි­මට යම් ක්‍රියා­ව­ලි­යක් ආරම්භ කළ යුතු කාලය එළැඹ ඇත.

 

Comments