සටන වෙනුවෙන් අපට තිබුණේ සති හතරයි | සිළුමිණ

සටන වෙනුවෙන් අපට තිබුණේ සති හතරයි

 

ක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය දර­මින් සිට මහින්ද රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­රයා බවට පත් කිරී­මට 2015 වස­රේදී සහාය දුන් තිස්ස අත්ත­නා­යක මහතා මෙවර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධා­න­යෙන් තරග කළ සජිත් ප්‍රේම­දාස මහතා දින­වීමේ අර­මු­ණින් කට­යුතු කළේය. අද සිළු­මිණ සංවා­දය හා එක් වන්නේ ඔහුය.

 

ඔබ එක්සත් ජාතික පක්ෂ­යට යළිත් සම්බන්ධ වුණේ ඇයි?

මම දේශ­පා­ලන වශ­යෙන් නිද­හස් පුර­වැ­සි­යකු ලෙසයි හිටියේ. 2015දී දේශ­පා­ලන තීර­ණ­යක් ගත්තා. ඒ මෛත්‍රී­පාල සිරි­සේන මහතා ජනා­ධි­පති අපේ­ක්ෂක ලෙස පත් කිරී­මට විරෝ­ධය පළ කර­මින්. මම එදා පැහැ­දි­ලි­වම කිව්වා මෛත්‍රී­පාල සිරි­සේන මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස පත් කිරීම හරහා එක්සත් ජාතික පාක්ෂි­ක­යාට කිසිම සෙතක් වන්නේ නැහැ කියා. ඔහු පක්ෂය කර පිටින් ගිහින් පාක්ෂි­ක­යන්ට පයින් ගහ­නවා කියලා මම කිවුවා විත­රක් නොවෙයි; ලිය­ලාත් දුන්නා. දෙවැන්න තමයි ඔහු­ගෙන් රටට යහ­ප­තක් නොවන බවත් මම ප්‍රසි­ද්ධියේ කිවුවා. එනිසා ඒ මොහොතේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා වූ මහින්ද රාජ­පක්ෂ මහ­තාට මගේ සහ‍යෝ­ගය දුන්නා මිස; මම කිසිම දේශ­පා­ලන පක්ෂ­යක සාමා­ජි‍ක­යකු හෝ ක්‍රියා­කා­රි­ක­යකු වුණේ නැහැ.

පහු­ගිය අවු­රුදු 4 1/2ක කාලය මම බලා­ගෙන හිටියේ මොකද සිදු වන්නේ කියලා. ඒ අව­ස්ථාවේ තමයි සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති අපේ­ක්ෂක ධුර­යට පත් වන්නේ. ඔහුගේ ඒ පැමි­ණීම එක්සත් ජාතික පක්ෂ­යට ඉතා වැද­ගත් බව මම තේරුම් ගත්තා. එය සල­ක­මින් තමයි මම ඔහුට සහාය දෙන්න තීර­ණය කළේ. ඔහු පැමිණ ඇති තත්ත්ව­යත් ඊට බල­පෑවා. ඔහු තරු­ණ­යකු වගේම ඕනෑ­ක­මින් සේවය කළ අයෙක්. ඇමැ­ති­ව­ර­යකු ලෙසත් ඔහු කාර්ය රැසක් ඉටු කළා.

 

ඔබ රනිල් වික්‍ර­ම­සිංහ මහතා සමඟ ගැට­ලු­වක් නිසා පක්ෂය හැර ගිය බවත් සඳ­හන් වුණා...

නැහැ. ඔහු හා මා අතර කිසිදු ආකා­ර­යක ආර­වු­ලක් ගැට­ලු­වක් තිබුණේ නැහැ. මට මතු වුණ තවත් ප්‍රශ්න­යක් තමයි පක්ෂය අභ්‍ය­න්ත­ර­යෙන් ගැට­ලු­වක් මතු වීම. ඒ තත්ත්වය නිර්මා­ණය වුණේ සජිත් ප්‍රේම­දාස මහතා නියෝජ්‍ය නායක ධුරය සඳහා යෝජනා කිරීම නිසා. ඔහු එසේ පත් නොකි­රී­මට පක්ෂයේ කිහිප දෙනකු ගත් උත්සා­හය හා මා අතර ගැටු­මක් තිබුණා. ඒ ගැටුමේ අව­සන් ඵලය මෙවන් මත­භේ­ද­ය­කට ලක් වීම හැර නාය­ක­ත්වය හා මා අතර ගැටු­මක් තිබුණේ නැහැ. මගේ විරෝ­ධ­තාව දක්වා මා ඉවත් වුණේ පෙර කී කරුණ නිසයි.

 

එහෙත් ඒ අව­ස්ථාවේ පොදු අපේ­ක්ෂ­කයා ලෙස මෛත්‍රී­පාල සිරි­සේන මහතා ඉදි­රි­පත් කිරීම හැර වෙනත් වික­ල්ප­යක් එක්සත් ජාතික පක්ෂ­යට නොති­බුණු බව ප්‍රකාශ වුණා...

මම ඒක සම්පූ­ර්ණ­යෙන්ම ප්‍රති­ක්ෂේප කර­නවා. රනිල් වික්‍ර­ම­සිංහ මහතා සුදුසු නැත් නම් හෝ ඔහුට ජය­ග්‍ර­හ­ණය කරන්න බැරි තත්ත්ව­යක් තිබෙ­නවා නම් ඒ වෙනු­වට කරු ජය­සූ­රිය මහතා හෝ සජිත් ප්‍රේම­දාස මහතා යොදන්න තිබුණා. එදා මම හිටපු ඒ මතය අද බොහෝ දෙනකු අද පිළි­ග­න්නවා. කවු­රුත් දන්නවා මෛත්‍රී­පාල සිරි­සේන මහතා එක්සත් ජාතික පාක්ෂි­ක­යාට හෝ රටට හෝ වැඩක් නොකළ බව. එප­ම­ණක් නොවෙයි; පාක්ෂි­ක­යන් නොවන අය පවා එය පිළි­ගන්නා දෙයක්.

ඇත්තෙන්ම ඒක දෛවයේ සර­ද­මක්. මම කවදා වත් හිතුවෙ නැහැ මේ වගේ දේකට මුහුණ දෙන්න වෙයි කියලා. දේශ­පා­ලන වේදි­කාවේ නොයෙක් දේට මුහුණ දෙන්න සිදු වුණා. නොයෙක් දේ කතා වෙනවා. පහු­ගිය කාලෙත් ඒ වගේ බොහෝ දේ කතා වුණා. ඒ වගේ දේවල් මාධ්‍ය ඉදි­රියේ වගේම දේශ­පා­ලන රැස්වී­ම්ව­ල­දීත් සිදු වෙනවා. මෙව­රත් සිදු වුණා. ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව වගේම සජිත් ප්‍රේම­දාස මහ­තාට එරෙ­හිව වුණත් ඒ වගේ දේවල් ප්‍රකා­ශ­යට පත් වුණා. කවු­රුත් ඒ දේවල් ඒ තරම් ගණන් ගත් බවක් පේන්න තිබුණෙ නැහැ. එහෙත් දේශ­පා­ලන වේදි­කා­වේදී කතා කරපු කාර­ණා­වක් නැත් නම් මාධ්‍ය හමු­ව­කදී කතා කළ දෙයක් පද­නම් කර­ගෙන මේ විදි­හට ක්‍රියා කිරීම පැහැ­දි­ලි­වම දේශ­පා­ලන පලි ගැනී­මක්. මම මාස 2ක් වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ සිටියා. ඒත් අව­සා­නයේ ඔවුන්ම නඩුව ඉල්ලා අස් කර­ගත්තා. එයින්ම පෙනුණා නඩු­වක් ගෙන­යෑ­මට තරම් කරුණු නැති බවක්. නඩු­වක් ඉදි­රි­යට ගෙන­යන්න තරම් කරුණු එහි නැති බව අධි­ක­ර­ණය පවා පිළි­ගත් කාර­ණ­යක්.

 

රනිල් වික්‍ර­ම­සිංහ මහතා තව­මත් පක්ෂයේ නාය­කයා... ඔබ එය දකින්නේ කෙසේද?

රනිල් වික්‍ර­ම­සිංහ මහතා දැන් නාය­ක­ත්ව­යෙන් ඉවත් විය යුතුයි. මම කියන්නෙ නැහැ කිසි­වි­ටක බල­හ­ත්කා­ර­යෙන් ඔහු එළි­යට දැමිය යුතුයි කියා. මම හිත­නවා එතු­මා­ගේත් කැමැත්ත ආශී­ර්වා­දය ඇතිව ඒ දේ සිදු විය යුතුයි කියා. ඔහු අවු­රුදු විසි ගණ­නක් මේ පක්ෂ­යට නාය­ක­ත්වය දුන්නා. ඒකෙ හොඳ-නරක දෙකම ජන­තාව හොඳින් දන්නවා. ඒත් එක්කම ඔහුගේ නාය­ක­ත්ව­යට එරෙ­හිව පක්ෂය ඇතු­ළෙන්ම විවිධ කැරලි මතු වුණා. මේ කරුණු කොහොම වුණත් දැන් අපි යම් ආකා­ර­යක තීර­ණ­යක් ගත යුතු තැන­කට ඇවිත් තිබෙ­නවා. ඒ නිසා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස අව­සන් මොහොතේ හෝ සජිත් මහතා නම් කළා වගේ මේ පද­විය අත්හැර අලුත් පර­පු­ර­කට ඉඩ දිය යුතු බව ඔහු තේරුම් ගත යුතුයි. මොකද පක්ෂ­යට ඇල­විලා තියෙන දේශ­පා­ලන ලේබල්-එක ගල­වා­ගන්න ලෙහෙසි නැහැ.

විශේ­ෂ­යෙන්ම ජාති­ක­ත්ව­යෙන් තොර, විදේශ බල­වේග හා වැඩි වශ­යෙන් ගනු­දෙනු කරන පක්ෂ­යක් ලෙස එජා­ප­යට ලේබල් වැදිලා තියෙ­නවා. ඒ ලේබල් ගල­ව­ගන්න ඕන. ඒ ලේබල් ගල­වලා එක්සත් ජාතික පක්ෂ­යට අලුත් ප්‍රති­පත්ති එක්ක අලුත් ගම­නක් යන්න ඉඩ දීම එතු­මා­ගේත් යුතු­කම කිය­ලයි මම හිතන්නේ.

 

ඔබ පව­සන්නේ රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ නාය­ක­ත්වය යටතේ මේ පක්ෂය ගොඩ­ගන්න බැහැම කියන එකද?

මේ මොහොතේ මගේ අද­හස ඒක තමයි. ඔහු ඉවත් වී වෙනත් අය­කුට පක්ෂය ගොඩ ගන්න ඉඩ දිය යුතුයි. මේ වෙලාවේ ඒ සඳහා ඉන්නෙ සජිත් ප්‍රේම­දාස මහතා විත­රයි. එම නිසා රනිල් මහ­තාගේ ආශි­ර්වා­දය ඇතිව එය ක්‍රියා­ත්මක කළ යුතුයි. පක්ෂය නව ගම­නක් යන්න නම් පූර්ණ ප්‍රති­සං­ස්ක­ර­ණ­යක් සිදු කළ යුතු වෙනවා.

 

මොන­වද කළ යුතු පූර්ණ ප්‍රති­සං­ස්ක­රණ...

පළ­මුව නාය­ක­ත්වය වෙනස් විය යුතුයි. දෙව­නුව ප්‍රති­පත්ති ව්‍යූහය වෙනස් කිරීමේ සංවි­ධාන වැඩ­ව­ල­ටත් එළ­ඹී­මට තට­යුතු කළ යුතුයි. මං හිතන්නේ 2025 කියන්නේ එච්චර දුර කාල­යක් නෙමෙයි. මේ මොහොතේ සිට 2025 දක්වා වන ගමනේ අපට තව සන්ධි­ස්ථාන තිබෙ­නවා. එකක් පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය, ඊළ­ඟට පළාත් සභා මැති­ව­ර­ණය. ඊට පස්සෙ පළාත් පාලන මැති­ව­රණ.

මේ සියලු කඩ­යිම් පහු කර­ගෙන තමයි 2025 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට යන්නෙ තියෙන්නේ. ඒ හැම කඩ­යි­ම­ක­දීම හොඳ ප්‍රති­ඵ­ල­යක් පෙන්නු­වොත් අපට ජනා­ධි­ප­ති­ව­රණ ඉල­ක්ක­යට ළඟා වෙන්න පුළු­වන්. ඒ නිසා මූලික දේ තමයි ප්‍රති­සං­වි­ධා­නය වෙන්න සියලු කට­යුතු සම්පා­ද­නය නාය­කත්ව වෙන­ස­කින් ආරම්භ කිරීම.

 

ජනා­ධි­ප­ති­ව­ර­ණය සජිත් ප්‍රේම­දාස මහතා පරා­ජ­යට පත් වීමට හේතු වූ කරුණු ලෙස ඔබ දකින්නේ මොන­වාද?

ඒකට හේතු කිහි­ප­යක්ම තිබුණා. එකක් තමයි ඔහුට අව­සාන මොහොතේ තමයි අපේ­ක්ෂ­ක­ත්වය ලබා දුන්නේ. ඒ කියන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කරලා සති­ය­කට පසුව තමයි අපේ­ක්ෂ­ක­ත්වය ලබා දුන්නේ.

ඒ නිසා මුළු මැති­ව­රණ ව්‍යාපා­ර­යම කරන්න තිබුණේ සති 4ක පමණ සුළු කාල­යක්. ඒක ලොකු අවා­සි­යක් වුණා. ගෝඨා­භය මහතා අවු­රුදු දෙකක පමණ සිට ඔහුගේ මැති­ව­රණ කට­යුතු පටන් ගත්තා. නිල වශ­යෙන් ඔහුගේ කට­යුතු මාස 3කට පමණ පෙර සිට පටන් ගත්තා.

ඒ සූදා­නම් වීම සහ අපේ සූදා­නම් වීම අතර ලොකු වෙන­සක් තිබුණා. දෙවැනි එක තමයි මෙ මැති­ව­රණ ව්‍යාපා­රය මෙහෙ­ය­වී­මේදී සහ­යෝ­ගය දීමේ අඩු­වක් තිබුණු බව බොහෝ දෙනෙක් කිය­නවා. විශේ­ෂ­යෙන්ම කකු­ලෙන් ඇදීම්, බල­පෑම් කිරීම් නැත්නම් මඟ­හැර සිටීම් පවා වාර්තා වුණා.

ඒ වගේම ප්‍රති­පත්ති ප්‍රචා­රය පවා නිසි ලෙස ජන­තා­වට යොමු කර­ගන්න අපට හැකි වුණේ නැති බවයි මගේ අද­හස. ඒ සඳ­හාත් බාධා පැමි­ණුණා කියලා මම හිත­නවා. ලැබුණු තොර­තුරු අනුව 50%ක් හෝ 60%ක් හෝ සංඛ්‍යා­ව­කට පම­ණයි ප්‍රති­පත්ති ප්‍රචා­ර­ණය කරන්න පුළු­වන් වී ඇත්තේ.

ඒ වගේම ආණ්ඩුවේ අපේ­ක්ෂ­කයා විදි­හට පක්ෂයේ ආණ්ඩුවේ වැර­දි­ව­ල­ටත් එතු­මාට කර ගහන්න සිදු වුණා.

ආණ්ඩුවේ අපේ­ක්ෂ­කයා වුණාම ඒකට මුහුණ දෙන්න වෙනවා. එතෙන්දි ආණ්ඩුව විසින් කළ ඇතැම් ක්‍රියා­ව­ලට සජිත් ප්‍රේම­දාස මහ­තා­ටයි වන්දි ගෙවන්න සිදු වුණේ.

එකක් තමයි ආණ්ඩුවේ බැඳු­ම්කර ගනු­දෙ­නුව. මේ ගනු­දෙ­නුව ගැන මධ්‍යම පාන්ති­ක­යන් අතර තිබුණේ දැඩි විරෝ­ධතා සහිත ප්‍රති­චා­ර­යක්. ඒ ප්‍රති­චා­රය ගියේ සජිත් ප්‍රේම­දාස මහ­තාගේ කර­පි­ටින්. මැති­ව­රණ ව්‍යාපා­රය අතර මිලේ­නි­යම් චැලෙන්ජ් ගිවි­සුම කර­ළි­යට ගෙන ඒමෙන් වැරදි මත­යක් ජන­තාව අත­රට ගියා. ඒ කියන්නේ අපේ ඉඩ­ක­ඩම් ඇම­රි­කා­වට විකු­ණන්න යනවා කියන මත­යක් ගියා. ඒ වගේම ඒ අව­ස්ථාවේ ජාති­ක­ත්වය ඉස්මතු වෙමින් තිබුණේ ඒ සඳ­හාත් නිසි වැඩි­පි­ළි­වෙ­ළක් පක්ෂ­යෙන් කෙරුණේ නැහැ.

ඒ වගේම ඇතැම් මැති-ඇමැ­ති­ව­රුන්ගේ කතා, මහා සංඝ­ර­ත්න­යට දොස් පැව­රීම්, බුද්ධා­ගම ගැන කියපු කතා ජන­තාව අනු­මත කරපු හෝ එකඟ වුණු දේ නොවෙයි, ඒ කතාත් මේ මැති­ව­ර­ණ­යේදී විශාල ලෙස බල­පෑවා. විශේ­ෂ­යෙන්ම මේ ඡන්ද­යේදී ජාති­ක­ත්වය, ජාතික ආර­ක්ෂාව වැනි දේ සම්බ­න්ධව ජන­තාව විශේෂ මත­යක හිටියේ. පාස්කු ඉරිදා ප්‍රහා­ර­යත් සමඟ එළි­යට ආවේ අපව රැක­ගන්න, අපට ආර­ක්ෂාව දෙන නාය­ක­යකු අවශ්‍ය බවට වූ කතා­වක්. ඒකට වග වෙන්නේ කවුද කියන එකයි ජන­තාව සොයා බැලුවෙ. ඒ ජනතා අව­ශ්‍ය­තා­වට සරි­ලන දේ අපෙන් නිසි පරිදි ඉටු වුණේ නැහැ. ඒ නිසා තමයි සජිත් ප්‍රේම­දාස මහතා ජය ගන්නට නොහැකි වුණේ.

 

එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය රටේ සම්පත් විකි­ණීමේ ප්‍රති­ප­ත්තිය ඒ සඳහා බල­පෑවේ නැද්ද?

පැහැ­දි­ලි­වම බල­පෑවා, සම්පත් විකු­ණන, ජාති­ක­ත්වය මඟ­හැර යන විජා­තික බල­වේග හා සම්බන්ධ පක්ෂ­යක් ලෙස ඇති හංව­ඩුව විශාල ගැට­ලු­වක් තමයි. ඒ කරුණු තද­බල ලෙස බල­පෑවා. ආණ්ඩුව විසින් ගත් ඇතැම් තීන්දු-තීරණ ගැන මටත් පුදු­මයි! මම පක්ෂයේ හිටියා නම් ඒ ගැන විරුද්ධ වෙනවා.

දැන් බලන්න ඡන්ද ව්‍යාපා­රය අත­ර­තු­රදී ගෑස් හිඟ­යක් ආවා. ආණ්ඩු­වට බැරි වුණා සති­ය­කට වැඩි කාල­යක් ගෑස් ටික දෙන්න. ගෝඨා­භය මහ­තාගේ මැති­ව­රණ වේදි­කාවේ කථි­කයො කිව්වෙ ගෑස් දෙන්න බැරි ආණ්ඩුව මොක­ටද කියලා. ඒ දුර්ව­ල­තාව ආණ්ඩු­වට හදා­ගන්න බැරි වුණා. අනිත් එක වංචා දූෂණ නැති කරන්න කියලා ආපු ආණ්ඩුව විසින්ම හොර­කම් කර­නවා කියලා මත­යක් ගියා. ඒ සියල්ල අපට බල­පෑවා.

 

ඒත් පක්ෂ නාය­ක­ත්වය ලබා­ගන්න බැරි සජිත්ට ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් දිනන්න පුළු­වන් වෙන්නෙ කොහො­මද කියල ශ්‍රී රංගා මහතා පැව­සුවා..

ඒ කතාව එක පැත්ත­කින් හරි. නාය­ක­ත්වය බලෙන් ලබා­ග­න්න­වට වඩා හොඳයි ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට ගරු කර නාය­ක­ත්වය බාර දීම. සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පරා­ජ­යට පත් වුණා. එතුමා නියෝජ්‍ය නාය­ක­ක­මෙන් පවා ඉල්ලා අස් වුණා. මේ අව­ස්ථාවේ රනිල් මහ­තාට යුතු­ක­මක් තිබෙ­නවා දෙවැ­නි­යාට නාය­ක­ත්වය දී පක්ෂය ගොඩ ගන්න උදවු දෙන්න.

 

යම් හෙය­කින් ඔබට ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන්, එහෙ­මත් නැත් නම් මහින්ද රාජ­පක්ෂ මහ­තා­ගෙන් ඇරි­යු­මක් ලැබු­ණොත් ඔබ ගන්නා තීර­ණය කුමක්ද?

මම තව­මත් දේශ­පා­ලන වශ­යෙන් නිද­හස් පුර­වැ­සි­යෙක්.

 

Comments