සැබෑ මුහුණු සහ වෙස්මුහුණු | සිළුමිණ

සැබෑ මුහුණු සහ වෙස්මුහුණු

අපේ ටවුමෙ එකම එක පල්ලියක් තිබුණා. ක්‍රිස්තියානිකාරයො හිටියෙ ටික දෙනයි. සමහර විට පවුල් හතරයි පහයි. පල්ලියට යන්ඩ පුරුදුවෙලා හිටිය එකම එක ක්‍රිස්තියානි නොවන ළමය මමයි. මම පල්ලියට ගියේ කිසිම විශේෂ හේතුවක් ඇතුව නෙමේ. මං මුස්ලිම් පල්ලියටත් ගියා. ගුරුද්වාර් කියන සික් දේවස්ථානෙටත් ගියා. හින්දු කෝවිල්වලටත් ජෛන පන්සල්වලටත් ගියා. ඒ හැම එකක්ම මට අයිතියි කියලයි මම හිතාගෙන හිටියෙ. මං කිසිම පල්ලියකට පන්සලකට අයිති නෑ. ඒ වුණත් මේ ලෝකෙ තියන හැම පල්ලියක්ම හැම පන්සලක් ම මට අයිතියි. එහෙමයි මම හිතුවෙ.

හැම ඉරිදම පල්ලි එන මේ ක්‍රිස්තියානි නොවන මාව දැකල සතුටු වෙච්ච දේවගැතිවරයා දවසක් මට මෙහෙම කිව්වා. ‘මේ ළමය හරි ආසාවෙන් පල්ලි එනව කියල මං දන්නවා. ඇත්තවශයෙන්ම මේ පුංචි දේව මෙහෙයට වැඩියෙන්ම හිත ඇදිල ගිහින් තියෙන්නෙ ඔය ළමයගෙ තමයි. අනිත් අය බුදියනවා; ගොරෝනව. ඔය ළමය අවදියෙන් ඉඳගෙන අවධානයෙන් හැම දෙයක්ම දැක බලා ගන්නවා. ඔය ළමය ආසද ජේසුස් ක්‍රිස්තුස් වගේ වෙන්ඩ?’ එහෙම අහපු දේවගැතිවරය කුරුසයෙ එල්ලිලා හිටිය ක්‍රිස්තුස්ගෙ පින්තූරෙ මට පෙන්නුවා.

‘ඇත්තෙන්ම නෑ’ මං කිව්වා. ‘මට කුරුසෙ ඇණ ගැහෙන්ඩ ඕනැ නෑ. එයා අපූරු පුද්ගලයෙක් වෙන්ඩ පුළුවන්. ඒත් කුරුසෙට තියල ඇණ ගහන්ඩ තරම් මොකක් හරි දෙයක් සිද්දවෙලා තියෙන්ඩත් පුළුවන්’

දේවගැතිවරය ගැස්සිලා ගියා. ‘මං හිතුව ඔය ළමය ජේසු ගැන ආසාවෙන් ඉන්නෙ කියල’

‘ඔව් මම ආසයි. ඇත්තටම ඔයාටත් වැඩිය ආසයි. මොකද ඔයා දේශනාකාරයෙක් විතරයි. පඩි ගන්න කෙනෙක්. ඔයාට තුන් මාසයක් පඩි හම්බ නූණොත් ඔයා යන්ඩ යනවා. එතකොට ඔයාගෙ ඔය ඉගැන්නිලි සේරම ඉවරයි’ මං කිව්වා.

අන්තිමේදි ඒකමයි සිද්ද වුණේ. මොකද ඒ ක්‍රිස්තියානි පවුල් ස්ථීරවම ටවුමෙ පදිංචිවෙලා හිටියෙ නෑ. ඒ සේරම දුම්රිය සේවකයො. ටික කාලෙකට පස්සෙ ඒ අයව එහාට මෙහාට මාරු කෙරුණ. ඒ අය හදපු පුංචි පල්ලියෙ අර දේවගැතිවරය තනි වුණා. ඉන්පස්සෙ ඔහුට සල්ලි දෙන්ඩ උදව්කරන්ඩ කෙනෙක් හිටියෙ නෑ. ඒ තියා එයාට ඇහුන්කන් දෙන්ඩවත් මං ඇර කිසිකෙනෙක් ඉතුරු උණෙත් නෑ.

ඉතිං ඉරිද උදෑසන ඔහු දේසනාව පටන්ගත්ො. ‘ආදරණීය මිත්‍රවරුනි...’

මං කතාව මැදට පැන්න.‘පොඞ්ඩක් ඉන්ඩ! මිත්‍රවරුනි කියල කියන්ඩ එපා. මිත්‍රවරු නෑනෙ. ඉන්නෙ එක මිත්‍රයයි. ඒ හින්ද අපි දෙන්න කතා කරමු. හරියට ආදරවන්තයො දෙන්නෙක් කතා කරනව වාගෙ. මේක උදේ දේවමෙහෙයක් නෙමේ. බොරුවට පැයක් හිටගෙන කෑ ගහන්නෙ ඇයි?’

එහෙම තමයි ඒක උණේ. මුදල් ගෙවන්ඩ කිසිම කෙනෙක් නොහිටපු හින්ද තුන් මාසෙකින් ඔහු යන්ඩ ගියා. ‘මිනිස්සුන්ට පාන් වලින් විතරක් ජීවත් වෙන්ඩ බෑ’ කියල ජේසු කියල තියනවනෙ. මිනිස්සුන්ට පාන් නැතුවත් ජීවත් වෙන්ඩ බෑ. ඒ විතරක් මදි. මිනිස්සුන්ට හුඟක් දේවල් ඕනෑ. නමුත් හුඟක් දේවල් එන්නෙ පස්සෙ. මුලින්ම ඕනැවෙන්නෙ පාන්.

මම මුස්ලිම් පල්ලියටත් ගියා. ඒගොල්ලොත් මට එන්ඩ ඉඩ දුන්න. මොකද ක්‍රිස්තියානිකාරයොත් මුස්ලිම්කාරයොත් වෙනත් ආගම්වල අය තමන්ගෙ ආගමට හරව ගන්ඩ කැමතියි. මාව දැක්කම ඔවුන්ට හරි සතුටුයි. ඉතින් ඔවුන් ඇහුවෙත් අර ප්‍රශ්නෙමයි. ‘ඔයා කැමතිද නසරත් මොහොමඩ් කෙනෙක් වෙන්ඩ?’ මං පුදුම වුණා. මොකද මේ කිසිකෙනෙක් මං මංවිදිහට ඉන්නවට කැමති නෑ. ඒ කවුරුත් මට මං විදිහට ජීවත් වෙන්ඩ උදවු කරන්නෙ නෑ.

හැමෝම කැමති කාවගේ හරි වෙන්ඩ. මට සිද්දවෙන්නෙ කාගෙ හරි කාබන් කොපියක් වෙන්ඩ. මගෙම සැබෑ මූණ තියා ගන්ඩ දෙයියො මට ඉඩ තියල නෑ. මට සිද්දවෙලා තියෙන්නෙ ණයට ගත්තු මූණක් එල්ලගෙන ඉන්ඩ. හරියට වෙස්මූණක් වගේ. එතකොට කොහොමද ජීවිතේ සතුටින් ගෙවන්නෙ? ඔබේ මූණත් ඔබේම නෙමේ. එහෙමනං ඔබ කොහොමද සතුටින් ජීවත් වෙන්නෙ?

විශ්වයේ මුළුමහත් පැවැත්මම ආශීර්වාදජනකයි. ගල්කුළක් කියන්නෙ ගල්කුළක්. ගඟක් කියන්නෙ ගඟක්. මුහුද මුහුදමයි. මේ කිසිම දෙයක් තව දෙයක් විදියට ඉන්ඩ හදන්නෙ නෑ. එහෙම උණොත් හැම දේම විකාරයක් වෙයි. ඒක තමයි මිනිහට වෙලා තියෙන්නෙ. ඔබට පොඩිකාලෙ ඉඳන්ම උගන්නල තියෙන්නෙ ඔබ විදිහට ඉන්ඩ නෙමෙයි. වෙන කවුරුහරි වගේ ඉන්ඩයි. ඔවුන් මෙහෙමයි කියන්නෙ. ‘ඔයා ක්‍රිෂ්ණ වගේ කෙනෙක් වෙන්ඩ ඕනෑ. බුදුන් වගේ කෙනෙක් වෙන්ඩ ඕනෑ. ඔවුන් ඔබ තුළ ක්‍රිෂ්ණත්, බුදුනුත්, ජේසුත් කෙරෙහි ආශාවක් ජනිත වෙන විදිහට පින්තූරත් අඳිනවා.

ඔබේ අවාසනාවන්තකමේ මූල සාධකය තමයි ඒ ආසාව. ඔබට ඔය කියාපු දේවල් මගෙ පුංචිකාලෙ මටත් කියල තියෙනවා. නමුත් මගෙ ළමා වියේදිම මං මොනම හේතුවක් නිසාවත් මං මං වගේ මිසක් වෙන කෙනෙක් වගේ නොවෙන්ඩ තදින්ම හිතට අරගෙන තිබුණා. හරිගියත් වැරදුණත් මං මං වගේම හිටිය. මගෙ ජීවිතේ අපායෙන් කෙළවර උණත් මං මට ඕනෑ විදිහට ජීවත් උණා කියන තෘප්තිය ලැබෙයි කියල මට හිතුණා. අනුන්ගෙ අවවාද, අනුශාසනා, පරමාදර්ශ, ශික්ෂණය අනුව මං පාරාදීසෙට ගියත් එහෙදි මං සතුටින් නොඉන්ඩ පුළුවන්. එහෙම වෙන්නෙ මං ඉන්නෙ මගෙ කැමැත්තට විරුද්ධව නිසා.

මේ කාරණේ අවබෝධ කරගන්ඩ උත්සාහ ගන්ඩ. ඔබේ කැමැත්තට විරුද්ධව ඔබ පාරාදීසයට ගියත් එතන තියෙන්නෙ අපායක්. ඔබේ කැමැත්තට අනුව ඔබ අපායට ගියත් එතන පාරාදීසය හැදේවි.

පාරාදීසය කියන්නෙ ඔබේ සැබෑ පැවැත්මෙ මල් පිපෙන තැනට. අපාය කියන්නෙ ඔබව තළල පොඩිකරල අදහස් බලෙන් කවපු තැනට.

 

ලබන සතියට

Comments