ඒ සෞන්දර්ය ඇමතුමට කන් දුන මැනවි! | සිළුමිණ

ඒ සෞන්දර්ය ඇමතුමට කන් දුන මැනවි!

ජූඩ් ශ්‍රීමාල් විසින් ‘මට තාම හතළිහයි’ යනුවෙන් පුරා සතියක් මුළුල්ලේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලෙහි සංවිධානය කරන ලද නාට්‍ය උලෙළ දේශීය නාට්‍ය කලා රසිකයන්ට හිමි වූ දුලබ වාසනාවක් ලෙස හැදින්වීම නිවැරදි ය. මක් නිසාද යත් නාට්‍ය සතියක් සංවිධානය කිරීම යනු අතිශය දුෂ්කර අභියෝගයක් හෙයිනි. එබඳු කාර්යයක් සඳහා ඉදිරිපත් වන හෝ අනුග්‍රහය දක්වන අර්ථපතීහු ද සුලබ නොවෙති. විශේෂයෙන් එබඳු කාර්යක් සඳහා මුල්‍ය පිරිවැයක් දැරීම ද පහසු නැත. ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් වුවද ඒ සඳහා වැයවන මුදල් පියවා ගත නොහැකිය. නාට්‍ය උලෙළවල්, චිත්‍රපට උලෙළවල් සඳහා රාජ්‍ය මට්ටමින් ලැබෙන අනුග්‍රහයක්ද නැත. ඒ සියලු කරුණු විමසා බලද්දී ජූඩ් ශ්‍රීමාල් ප්‍රේක්ෂකයන් ඇදෙන රඟහලක් නිම වීම සඳහා වූ අභියෝගයට නිර්භයව මුහුණදීම අගය කළ යුතුමය.

ජූඩ් ශ්‍රීමාල් සිය වෘත්තිය ලෙස තෝරා ගෙන ඇත්තේ නාට්‍ය සංවිධානය කිරීමය. කොළඹ නගරයේ මෙන්ම ඉන් පරිබාහිරවද නාට්‍ය ප්‍රේක්ෂකයන් උදෙසා නාට්‍ය දර්ශන සංවිධාන කිරීමේ හතළිස් වසරකට නොඅඩු පළපුරුද්දක් ජූඩ් ශ්‍රීමාල් සතුව තිබේ. නාට්‍ය කණ්ඩායම් සමඟ විවිධ ගම් දනව්වල සංචාරය කිරීම ජූඩ්ගේ වෘත්තියට වඩා විනෝදයක් බව පත්ව තිබිය යුතු යැයි හැඟේ. කුමක් වුවත් ජූඩ් ශ්‍රීමාල් නිරතව සිටින්නේ පහසුවෙන් යමක් උපයා ගත හැකි වෘත්තියක නොවන බවද අපගේ වැටහීම ය.

ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ පරිශ්‍රය තුළ කලා රසාස්වාදනය යනු ඉතා අඩු උනන්දුවක් දක්වන කේෂ්ත්‍රයක් බව කීම නිවැරදිය. ලක්ෂ ගණනක මුදල් යොදවා සාදන චිත්‍රපටයක ලාභය තබා නිෂ්පාදන මුදලවත් උපයා ගත නොහැකි බව කියති. නවකතාවක් වැනි කෘතියකින් පිටපත් දාහක් අලෙවි කිරීමද අසීරු බව කියනු ඇසෙයි. නාට්‍ය කලාව තිබෙන්නේද එබඳු තැනක ය. නාට්‍ය කලා රසික සංඛ්‍යාවද අඩුය. පොත් කියවීම, චිත්‍රපට නැරඹීම සංගීත රසවිඳීම වැනි සියලු තැන්වල අමුතු ප්‍රබෝධයක් නැත.

ප්‍රේක්ෂකයෝ නොවෙත් නම් නාට්‍යයක් නිෂ්පාදනය කරන්නේ කුමටද? විශේෂයෙන් හොඳ නැතහොත් උසස් නාට්‍යයක් නිෂ්පාදනය කිරීම යනු නිෂ්පාදන පිරිවැය පමණක්වත් සපයා ගත නොහැකි දෙයක් නම් ඒ සඳහා අර්ථපතීහු ඉදිරිපත් නොවෙති. මේ නිසා ජූඩ් ශ්‍රීමාල් නාට්‍යකරුවාත් රැකගෙන නාට්‍ය කලාව පවත්වා ගෙන යෑමට පුරෝගාමී වීම එක් අතකින් රසිකයාගේ භාග්‍යයකි. ජූඩ්ගේ නාට්‍ය උලෙළ වෙනුවෙන් ඔහුට සුබ පැතුම් එක් කළ නාට්‍යකරුවන් සියලු දෙනාම පාහේ සඳහන් කර තිබුණේ ජූඩ්ගේ සංවිධාන කාර්යයෙහි සාර්ථකත්වය මෙන්ම ඔහු මුහුණ දී සිටින අසීරුතා පිළිබඳ ව ය. ජූඩ් මෙකී සංවිධාන කටයුතු වල කෙබඳු රුසියකු වුවත් අද්‍යතන, සමාජ ආකල්ප, සංස්කෘතික වටිනාකම් ආදිය සමඟ ද ඔහුට ගැටීමට සිදු වෙයි.

අප ජිවත්වන මෙම පාරිභෝගික සමාජය තුළ සියලු සංස්කෘතික වටිනාකම් උඩු යටිකුරු වී ඇත. කලා රසාඥතාව ද ශීඝ්‍ර පරිහානියකට ලක්ව තිබේ. උසස් කලා රසාස්වාදනය වෙනුවට ක්ෂණික විනෝදය ලැබෙන අවර ගණයේ කලා වෙ‍ෙළඳ පොළක් අද නිර්මාණය වී තිබේ. එහි සැබෑ සාහිත්‍යකරුවා සරණාගතයෙකි.

සැබෑ නාට්‍යකරුවා දුගියෙකි. විදග්ධ සිනමාකරුවා බංකොලොත් වූවෙකි. ඒ වෙනුවට අල්පශ්‍රැත කලා විහීන පරපුරක් සමාජ මතු මහලට නැඟ නොයෙක් විසූක දස්සන පාති. ඔවුන් දන්නා සත් කලාවක් නැත. ඔවුන්ට වුවමනා කලාව නමින් වෙ‍ෙළඳ භාණ්ඩ තනා කාගේ හෝ ඇගේ ගැසීම ය. ඒ සමාජ විගඩම දෙස දුර සිට බලන සැබෑ කලාකරුවා කම්පා වෙති. යම් පමණකින් හෝ නිර්මාණයක් කර ජනගත කිරීම සඳහා අප්‍රමාණ දුක් විඳිති; දුර්භෝජන වළඳිති.

ජූඩ් ශ්‍රීමාල් වර්ගයේ සංවිධායකයන් පෙනී සිටින්නේ සත් කලාව උදෙසා ය. කලාවේ නාමයෙන් භාණ්ඩ තොරොම්බල් කිරීම හෝ අවර ගණයේ කෘති වෙළඳ පොළට එවා සාක්කුව පුරවා ගැනීම ජූඩ් ශ්‍රීමාල් වැනි සංවිධායකයන්ගේ අරමුණ නොවේ. කවර කලා මාධ්‍යයකට වුව ද ධනවාදී පාරිභෝගි සමාජයක පැවැත්මක් නැත. ගෞරවයක් නැත. කලාකරුවා පසු පසට ඇද දමා ක්ෂණික සැපයුම් කරුවෝ ඒ වෙළඳ ලොව වැජඹෙති.

අද විද්යුත් මාධ්‍ය ඇතුළු සියලු තැන්වලට ජනතාව ඇද ගනු ලබන්නේ මුදල්, තෑගිබෝග ලබාදීමෙනි. තොර තෝංචියක් නොමැතිව ඒවායේ තිබෙන වැල්වටාරම් බලන ගෘහිණියෝ මුව නොසෑහෙන ස්තුති පිරිනමමින් බොළඳ, සිල්ලර කතාන්තර වලට තමන් වසඟ වු ආකාරය විස්තර කරති. උසස් ගීත, හොද නාට්‍ය, අර්ථවත් සංගීත යනාදී කිසිවක් ඒ සමාජයට අදාළ නැත.

බොහෝ රූපවාහිනි නාලිකාවල නාට්‍ය ස්වරූපයෙන් නිෂ්පාදනය වන්නේද කුහුල දනවන බොල් සිනා විසිරෙන විගඩම් ය. නොයෙක් නොමඟ යවන ප්‍රචාරවලින් ඒවාට වෙළඳ පොළක් තනාගැනීමට ද හැකි වී තිබේ. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ලෙස රඟ දක්වන ග්‍රාම්‍ය ටෙලිකතාවලින්ද, ඝෝෂාකාරී සංගිතයෙන්ද අඩුවක් නැත. මානව සබඳතා, දයා කරුණාව වෙනුවට වෛරය, රාගය මොළවන වර්ගයේ ලාභ භාණ්ඩ කඳු ගැසීමද සිදුවේ. එහෙත් ඉන් සමාජයට, පුද්ගලයාට අත්වන ප්‍රතිලාභය, යසස කුමක්ද? මංමුළා වු සමාජයකට මඟ පෙන්වා දෙනු ලබන ප්‍රබුද්ධ කලාවක් අද නැත. පෙදෙහි රස හව් විඳිනා දුලබ රසිකයෝ අද කොහි සිටිත්ද?

ජූඩ් ශ්‍රීමාල් සිය නාට්‍ය උලෙළ ඔස්සේ අපට දෙන පණිවිඩයක් ඇත. එනම් ජිවිතය හා මනුෂ්‍යත්වය පිළිබඳ යථාර්ථ ඥාන සම්පාදනය සඳහා වූ සද්කලාව රැකගත යුතු බවය. සංස්කෘතික ආධ්‍යාත්මය සුවපත් කරවීම සඳහා සෞන්දර්ය කලාව තරම් ප්‍රබල ඔසුවක් නැති බව නොවේද, ඔහුගේ අවධාරණය වී ඇත්තේ. ජූඩ්ගේ නාට්‍ය උලෙළට එක්ව තිබුණේ ශ්‍රී ලාංකික සංස්කෘතික ආධ්‍යාත්මය හඳුනාගත්, සියුම් මානව සබඳතා විග්‍රහ කළ නාට්‍යකරුවන් කීප දෙනෙකුගේ ප්‍රශස්ත නිර්මාණ කීපයකි. දයානන්ද ගුණවර්ධනගේ ‘ගජමන් පුවත’, හෙන්රි ජයසේනගේ ‘කුවේණි’, ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු’, එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘බවකඩතුරාව’, සයිමන් නවගත්තේගමගේ ‘සුදු සහ කළු’ ධර්මසේන පතිරාජගේ ‘වංගගිරිය’ මෙන්ම පරාක්‍රම නිරිඇල්ලගේ ‘ගිරා පත්තිය’වැනි නාට්‍යමය හරයකින් යුතු ගම්භීර නිර්මාණ බව ඒවා නැරඹූ ප්‍රේක්ෂකයෝ ඉඳුරා දනිති. “කාපල්ලා... බීපල්ලා... ජොලි කරපල්ලා...” යන මුග්ධ තේමාව යටතේ සකසා තිබෙන කසල වෙ‍ෙළඳ සමාජයකට මෙබඳු නාට්‍යයක් විවේකීව රස වීදීම පවා දුෂ්කර ය. බොහෝ රුපවාහිනී නාළිකාවල ඔවුන්ට ගැළපෙන මානසික ආහාර බෙදා හරිමින් ද තිබේ.

වෙළඳ ප්‍රචාරකයෝ ඔවුන්ගේ මනදොළට සෑ‍හෙන නාරි රූප යොදා ගනිමින් ඔවුන් මෝහනය කරති. ඒ වර්ගයේ කලා විහීනයන් බහුල සමාජයකට නාට්‍ය හෝ වෙනත් කලා අදාල නැත. එහෙත් සැබෑ කලාව සුරැකීම සහෘද ජනතා උරමතට වැටී තිබෙන වගකීමකි.

කලා ඉතිහාසය තුළ අප දුටු බොහෝ සාඩම්බර ලකුණු අද වියැකී ගොස් තිබේ. කලාකරුවා හා රසිකයා අතර සහසබඳතාව දුරස් වී තිබේ. එදා කලාව බිහිවූයේ අනන්ත සජ්ජනයා උදෙසා ය. එසේම තම නිර්මාණයට ලැබෙන ජනතා ප්‍රතිචාර ගැනද කලකරුවාට යම් අවබෝධයක් විය. භාරතයේ විශිෂ්ට කවියා වූ කාලිදාස විශ්ව කීර්තියට පත් අභිඥාන ශාකුන්තලය රචනා කර මුලින්ම රඟ දැක්වූයේ රාජ සභාව ඉදිරිපිටදීය.

“මං අභිනව නිර්මාණයක් කළා මගේ ප්‍රයත්නය දෙස ඔබේ රසාලිප්ත මනස යොමු කරනු මැනවි” යන්න ඔහුගේ ආයාචනය විය. අද තත්වය කුමක් ද? අපේ රාජ සභාවල එබඳු සංවේදී රසිකයෝ කී දෙනක් සිටිත්ද? මාධ්‍ය කාලීන යුගයේ භාරතයේ පාලකයන් සමග පඬිවරු සිටියහ. කාෂ්මීරයේ එක් රජෙක් පහළොස් දෙනෙකුගෙන් යුත් පණ්ඩිත සභාවක් නඩත්තු කළ බව කියති. එහෙත් අද පාලකයන් විසින් නඩත්තු කරනු ලබන විකට රූප ගැන කවර කතා ද? ලංකාවේත් සැබෑ කලා නිර්මාණ බිහි වූ ආකාරය අදත් අපට දැක ගත හැකිය. ඔවුන්ට ලැබුණු අගැයීම් හා බුහුමන්ද බොහෝ විය. අනුරාධපුරයේ සිට කෝට්ටේ දක්වාම ඒ සෞන්දර්ය ලකුණු ඉතිරිව තිබේ.

පොලොන්නරු යුගයෙහි රචනා කළ මුවදෙව්දාවත කවියා රජරට වැව් තාවුල් ඔස්සේත් නිල වන වදුලු අස්සේත් දෙපා නැගූ සොඳුරු පරිසරවේදියෙකැයි හැඟවෙන අපූර්ව කවි සිතිවිලි එහි දැක ගත හැකිය.

මරාමිණි තැටියොත

කොමළ මුතු සිරි බිජි

නෙළුඹු දළ ගබ සසිනිඳු

පැහැසර රැඳි තුසර බිඳු

බලනු මැනවි! නෙලුම් පත් මත වැටී දිලෙන පිනිබිඳු මරකත මැණික් තැටියෙක රැඳවූ කොමළ මුතු ඇට සේ නොවේද කියා යනුවෙන් කවියා කළ වාග් සිතුවම කොතරම් විශිෂ්ටද?

මෙබඳු කාව්‍ය නිර්මාණ අදත් විරලව හෝ සිදු වෙන බවද කිව යුතුය. එහෙත් ඒ කවි සම්මාන උලෙළවල දැති මෝරුන්ගෙන් කැපී වැනසී යන බවට බලවත් චෝදනාවක්ද ඇසෙයි. අද කවිය නාට්‍ය තබා ඒ සියලු නිර්මාණ බිහි වන භාෂාව ගැන වත් තැකීමක් නැත.

දැන් අකුරට වන්න දාස

අකුරු ඔබට වේය දාස

යනුවෙන් ලියූ මුනිදාස කුමාරතුංගයන්ගේ සුභාෂිතය ඇසූ අයවත් ශාස්ත්‍ර ශාලාවල සිටිත්ද? සිංහල භාෂාවේ අනර්ඝත්වය, ගාම්භීරත්වය පාසල්වල තබා විශ්වවිද්‍යාලවලවත් අවධානයට ලක්ව තිබේ ද? බොහෝ විද්යුත් මාධ්‍යවල දෝර ගලන හඩු බස ඒවා දොඩන අයගේ කුදු බවම පසක් කරති. එහෙත් ඔවුහු මේ සමාජ මතු මහලේ නොවැජඹෙත්ද?

මේ නිසා අද සෞන්දර්ය කලාවේ අභිවර්ධනය සඳහා සොඳුරු මැදිහත් වීම අවශ්‍යය. සත්කලාව ජනගත කරවීම උදාර ජන මෙහෙවරකි. මේ ධනභෝගී කාමහරිත අරමුණුවලින් කිළිටි වූ වෙ‍ෙළඳපොල සමග සටන් වැදීමට වඩා තම සෞන්දර්ය කලා අසපු තුළ සමාධි ගතව සිටීම මැනවැයි සිතන සුධීහුද වෙති. එහෙත් එය නොමැනවි. මේ ශාපයෙන් සහෘදය ජනයා මුදාගත යුතුය. ජනප්‍රිය කලාව වෙනුවට සැබෑ කලාව ඔවුන්ට මුණගැස්විය යුතුය. ජූඩ් ශ්‍රීමාල් මේ යථාර්ථය පසක් කරගත් සත්පුරුෂයකු බව ඔහුගේ ප්‍රයත්නයෙන් ඔප්පු කර තිබේ.

 

සේයාරුව- නිශ්ශංක විජේරත්න

ගාමිණි සුමනසේකර

Comments