බුද්ධකාලීන භික්ෂුණී සමාජය පිළිබඳ වැදගත් අධ්‍යයනයක් | සිළුමිණ

බුද්ධකාලීන භික්ෂුණී සමාජය පිළිබඳ වැදගත් අධ්‍යයනයක්

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ, රාජ්‍ය පරිපාලන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස් මහත්මිය විසින් රචිත භික්ෂුණී සමාජය: - බුද්ධකාලීන තොරතුරු ආශ්‍රීත අධ්‍යයනයක් නමැති කෘතිය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස ජනගත කර ඇත.

මේ කෘතියට පෙරවදන සපයන කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ විශ්‍රාමික මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියෝ බුද්ධකාලීන භික්ෂුණී සංස්ථාව පිළිබඳ ප්‍රමාණවත් ශාස්ත්‍රීය අධ්‍යයන සිංහල මාධ්‍යයෙන් දක්නට නොලැබෙන බැවින් ද කාන්තා පැවිද්ද පිළිබඳ විවිධ අදහස් හා ක්‍රියාමාර්ග පිළිබඳ අලුත් අවධානයක් යොමු වී ඇති බැවින් ද මෙය කාලීන වශයෙන් බෙහෙවින් ඵලදායක වූ ධර්ම ශාස්ත්‍රීය අධ්‍යයනයක් ලෙස අගය කළ හැකි බව සඳහන් කරති. කෘතිය පිළිබඳ ව තව දුරටත් අදහස් දක්වන උන්වහන්සේ ‘බුදුරදුන් වැඩ සිටි අවධිය හා බැඳුණු භික්ෂුණී සමාජය පිළිබඳ පුරාවෘත්තය ගොඩනැගීමට උපකාරී වන මූලාශ්‍රය ඉතා විමසිලිමත්ව, ඉවසිලිමත්ව හා විධිමත් ව සාකච්ඡාවට භාජනය කිරීම මෙම කෘතියෙහි විෂය ක්ෂේත්‍රයයි. සම්ප්‍රදායිකව පිළිගන්නා ඇතැම් ජනප්‍රිය තොරතුරුවලට සීමා නොවීමත්, ඒ තොරතුරු ද ප්‍රතික්ෂේප නොකොට, මූලාශ්‍රයානු සාරී තවත් බොහෝ කරුණු ද රැස් කර ගනිමින් තුලනාත්මකව, විචාරාත්මකව, මධ්‍යස්ථව, ප්‍රකාශිත පර්යේෂණ කෘතියක් ලෙස මෙය අගය කළ හැකිය.’ යැයි සඳහන් කරති.

කැලණිය විශ්වවිද්‍යාලයේත්, ඊට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේත්, දර්ශනපති හා දර්ශන විශාරද උපාධි පර්යේෂණයන්හි වසර ගණනාවක් මේ කෘතියේ කතුවරිය වන ආචාර්ය නිශාදිනී පීරිස් මහත්මිය කටයුතු කර ඇත.

‘ඉංග්‍රීසි සිංහල භාෂා දෙකින්ම කටයුතු කිරීමේ හැකියාවක් ඇති ආචාර්ය නිශාදිනී පීරිස් මහත්මිය දේශිය හා අන්තර්ජාතික සම්මණන්ත්‍රණවල දී ඇයගේ පුළුල් විෂයඥානය හා පර්යේෂණ හැකියාව ප්‍රදර්ශනය කර ඇත.

ඇයගේ පර්යේෂණ ගණනාවක් අතුරින් ප්‍රකාශයට පත් වන මේ කෘතිය ඇය ලබා ඇති ශාස්ත්‍රීය දියුණුවෙහි ඉතා සුළු ප්‍රමාණයක් නියෝජනය කරන්නක් බව මාගේ විශ්වාසයයි.’

සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ

Comments