ගඟක් සිඳුණාට පස්සේ ඉවුරක් ඉතිරි වන්නේ නැහැ | සිළුමිණ

ගඟක් සිඳුණාට පස්සේ ඉවුරක් ඉතිරි වන්නේ නැහැ

ප්‍රබ­න්ධ­ක­ර­ණ­යෙහි විවිධ ඉසවු ස්පර්ශ කළ ප්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජය­ව­ර්ධ­නගේ නව­තම කෘතිය වන ‘ඉවුරු’ නව­ක­තාව ඉකුත්දා එළි­දැ­ක්විණි. විද­ර්ශන ප්‍රකා­ශ­න­යක් ලෙස නිකුත්ව ඇති ඒ කෘතිය පාදක කර­ග­නි­මින් ඇය සමඟ පැවැත්වූ සංවා­දයේ සංක්ෂි­ප්තය මෙහි සට­හන් වේ.

ඔබේ නවතම කෘතිය ‘ඉවුරු’ යනුවෙන් නම් කළේ මන්ද?

එහි ප්‍රධාන නාමය ‘ඉවුරු’ වුණාට ඒකට යටින් තියෙනවා ‘ගඟ සිඳුණු දා’ කියලා. මේ සිතිවිලි දෙකම මට විශේෂයි. අපට එකිනෙක ඉවුරු තිබෙනවා. වම් ඉවුරු තිබෙනවා, දකුණු ඉවුරු තිබෙනවා. ඔය වගේ හැම තැනම කොටු ගහගෙන තමයි අපි ජීවත් වන්නේ. හැබැයි මම දැන් ඔය කොයි ඉවුරත් විශ්වාස කරන්නේ නැහැ. මේ වෙන කොට මේ හැම දෙයක්ම උඩු-යටිකුරු වෙලා. කාටවත් ඉවුරක් පේන්නෙ නැහැ. මොකද, මේ වෙන කොට ගඟ සිඳිල ඉවරයි. ගඟ සිඳුණාට පස්සෙ ඉවුරක් කියල දෙයක් පෙනෙන්නෙ නැහැ.

අපි මාක්ස්වාදය ගැන කතා කළා, ධනේශ්වරය ගැන කතා කළා. අද මේ හැම දෙයක්ම උඩු-යටිකුරු වෙලා, මොකක්දෝ කියන්න බැරි තත්ත්වයකට පත් වෙලා. එතැනදි මිනිස්සු නිර්වින්දනයකට පත් වෙලා. එතකොට කවුරු උත්සාහ කළත් ඉවුරක් පෙනෙන්නෙ නැහැ. මොකද, ගඟ සිඳිලා. මම මුලින්ම කිව්ව වගෙ ගඟ සිඳුණට පස්සෙ ඉවුරක් කියල දෙයක් කොතැනකවත් ඉතුරු වෙන්නෙ නැහැනෙ! මේක තමයි අද ලෝකයෙ ඉතුරු වෙලා තියෙන එකම ප්‍රවණතාව. එක් අතකින් පරිසර විනාශයත් එක්ක ලෝකය විනාශය කරා ගමන් කරමින් සිටින අතරේ අභ්‍යන්තර වශයෙන් මිනිසා කියන සත්ත්වයාද ගරා වැටෙමින් ඉන්නවා. ඒක හරිම කණගාටු දායක තත්ත්වයක් වගේම මහා විනාශකාරි දෙයක්. මෙවැනි අදහසක් තමයි මම මේ කතාව මඟින් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නෙ. ඒ මඟින් ලෝකය කොතැනද අද තිබෙන්නෙ, මිනිසා කොතැනද අද ඉන්නෙ... මේ වගෙ පැති කිහිපයක් මම සාකච්ඡා කරනවා.

ඔබගේ මෑතකාලීන නවකතා කිහිපයකම එය විවිධ දෘෂ්ටිකෝණවලින් සාකච්ඡා කෙරුණා...

මම හැම තිස්සෙම ගනුදෙනු කරන්නෙ මගෙ විශ්වාසයන් එක්ක. ඒ විශ්වාස මත පදනම් වෙලා තමයි මම ලියන්නෙ. මං හිතන්නෙ සාහිත්‍යකරුවකුට තමා විශ්වාස කරන විශ්වාස පද්ධතියක් තිබෙන්න ඕනෑ. එහෙම වුණොත් විතරයි සාහිත්‍යකරුවාගේ දෘෂ්ටිකෝණය සමාජයට වැඩදායක වන්නේ. සාහිත්‍ය කරුවාගෙ ප්‍රධාන වගකීම තමයි මිනිසා සොයා යෑම; මිනිසාගේ අභ්‍යන්තරයට කිඳා බැස ඔහුව නියමාකාරයෙන් සමාජයට නිරාවරණය කිරීම. එහෙම නැත් නම් අපේ උත්සාහයෙන් එතරම් ප්‍රයෝජනයක් අත් වන්නෙ නැහැ. ඒ අනුව සාහිත්‍යකරුවාට වගකීමක් තිබෙනො තමා ජීවත් වන වටපිටාව පිළිබඳ තමන්ගේ හැඟීම කියාපාන්න. මා නිරතුරුව අභ්‍යාසයේ යෙදෙන්නේ ඒ සම්බන්ධවයි. ඒ නිසා ඔබ අදහස් කළ දෙය මගේ මූලික විශ්වාසයන් අනුව බිහි වන්නක්. ඕනෑම නිර්මාණකරුවකුගේ හිතේ පැළපදියම් වෙලා තියෙන අදහස්, ආකල්ප, විශ්වාස ඔහුගේ හැම කෘතියකින්ම වගේ එළියට එනවා. ඒක වළක්වන්න බැහැ. ආයාසයෙන් වළක්වාගන්න ඕනැත් නැහැ. අප කරන කටයුත්තට අප අවංක විය යුතුයි.

මේ කෘතියේ චරිත ගොඩනැංවීමේදී ඔබ ප්‍රධාන ස්තර කිහිපයක් ස්පර්ශ කරනවා...

ඔව්. හැබැයි ඒක මම හිතල-මතල කරපු දෙයක් නොව‍ෙයි. මෙහි සිල්මෑණි කෙනකුයි, කතෝලික පූජකතුමකුයි ප්‍රධානව තවත් චරිත කිහිපයක් නියෝජනය වෙනවා. ඒ හැම චරිතයකටම මේ නවකතාවේ ලොකු වටිනාකමක් හිමි වනවා. ඒ හැමෝටම ගැටලු තිබෙනවා. උදාහරණයක් වශයෙන්: සිල් මෑණි කෙනකු ගන්න. ඔවුන් සම්බන්ධව විශාල ඛේදවාචකයක් පවතිනවා. එය කාන්තාවන් මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් හැටියටද මා දකිනවා. කෙනකු සිවුරට එන්නේ කිසියම් හෝ ජයග්‍රහණයක් ලබනවාට වඩා ආධ්‍යාත්මික ජයග්‍රහණයක් අත් කරගන්නයි. සිල් මෑණිවරුත් එහෙමයි. හැබැයි ඔවුන් හැම විටම උත්සාහ කරනවා භික්ෂුණී කියන තත්ත්වය ඔවුන්ට ලබාගන්න. එය ඉතා සාධාරණයි. එහෙත් ඓතිහාසිකව එය ලැබී නැහැ. පුරුෂාධිපත්‍යය මෙතැනදිත් ඉස්මතු වනවා. බුදුන්ගේ ධර්මයට අනුව කෙනකු අවසානය දක්වා යන්න තමයි උත්සාහ කරන්නෙ. ඒත් ඊට ඉස්සෙල්ලා පහු කරන්න අවධි කිහිපයක් තිබෙනවා. භික්ෂුණි භාවය පිළිබඳ ගැටලුව ඒ අතරින් එකක්. ඒත් මගේ නවකතාවෙ ඉන්න දේවමිත්තා මෙහෙණිය භික්ෂුභාවය වෙනුවෙන් සටන් කරන කෙනෙක් නෙමෙයි. ඇයගේ අරමුණු ඊට වඩා පුළුල්. ඒ අනුව දේවමිත්තාවන් මම නිරූපණය කරන්නේ සාමාන්‍ය මෙහෙණින් වහන්සේ කෙනකු හැටියට නොවේ; සාමාන්‍ය මෙහෙණින් වහන්සේ නමක ඉක්මවා ගිය තලයකයි. ඒත් ඒ චරිතය මඟින් ඔවුන් මුහුණ දෙන පොදු අභියෝගය ඉස්මතු කරන්න මට ඕන වුණා. ඒත් දේවමිත්තාවන් කියන්නෙ ‘ඔය ප්‍රශ්න එකක් වත් පුළුල් අරමුණ සාක්ෂා කරගැනීමේදී එතරම් බලපාන්නෙ නැහැ’ කියලයි. මෙහි එක කතෝලික පූජකතුමාගේ චරිතයත් එයට සමගාමිව ගලා-යනවා. අප ජාති, ආගම් වශයෙන් වෙන් කරගෙන හිටියට හැම ආගමකම ඉන්නවා ඉතා නිවැරදිව ජීවත් වන්න උත්සාහ කරන මිනිස්සු. ඒ වගේම හැම ජාතියකම, ආගමකට ඉන්නවා අනෙකා ගැන තැකීමක් නොකරන, සමාජයට අවැඩදායක මිනිස්සු. ඒ වගේම අපි වර්ගීකරණයකට ලක් කරලා තමයි ජීවත් වන්නෙ. අහවලා ක්‍රිස්තියානි, අහවලා මුස්ලිම්, එහෙම නැති නම් අහවලා පොලීසියෙ. මේ වගේ ආගම් අනුව වෘත්තීන් අනුව, ජාතීන් අනුව නොයෙක් ආකාරයේ වැටවලින් අප එකිනෙකා වර්ගීකරණය කර තිබෙනවා. පොලීසියේ ඉන්න කෙනකුට මානුෂිකත්වය නැද්ද? ඔහුට එය අකැපද? කොයි වෘත්තියෙත්, ජාතියෙත්, ආගමෙත් ඉන්නෙ එකම මිනිහා. මනුෂ්‍යත්වයට හිමි ගැටලු මේ සියලු දෙනාටම පොදුයි. මේවට ඉරි ගහන්න බැහැ. ‘ඉවුරු’ නවකතාවේ චරිත මඟින් මා ඒ වටපිටාවද සාකච්ඡා කරනව.

ඔබගේ මේ සියලු අදහස්වලින් ප්‍රතිරාවය වන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරින් හැදෑරීම නිර්මාණකරුවාගේ පුමුඛතම කාර්යය බවයි...

ඔව්. ඒ පිළිබඳ කිසිදු සැකයක් නැහැ. හැබැයි අපට වැරදිලා තිබෙන්නෙත් ඔතැනයි. මනුෂ්‍යත්වය ගැඹුරින් බලනවා වගේම ගැඹුරින් මනුෂ්‍යත්ව‍යේ ස්වභාවයත් තේරුම් ගන්න ඕන. අප කියනවා අපට ජාති භේදයක් නැහැ කියල. අප කියනවා අප අනුන්ට උදවු කරනවා කියලා. ඒත් ඒ උදවු කරන්නේ ඈතින් ඉඳගෙන. විපතට පත් වෙච්ච මිනිස්සුන්ට අප උදවු කරන්න හරි කැමැතියි. කෑම-බීම, ඇඳුම්-පැලඳුම් මේ හැම දෙයක්ම අප ගිහින් දෙනවා. ඒත් අප කිසිම කෙනෙක් තමන්ගෙ ගෙදර ඉඩ තිබුණත් එහෙම කෙනෙක්ව නවත්තගන්නෙ නැහැ. එහෙම ඉන්නවා නම් ඒ ඉතා සුළු පිරිසක් වෙන්න ඕනෑ. මොකද, මිනිහට තිබෙනවා තමන්ගෙ අනන්‍යතාව ආරක්ෂා කරගැනීමේ දැඩි අවශ්‍යතාවත්.

අපේ ගෙවල් වටේට වැටවල් තිබෙනවා, තාප්ප තිබෙනවා. මේක තමයි අපේ අනන්‍යතාව කියල අප තේරුම් ගන්න ඕනෑ. මේ අනන්‍යතාව කියන එක එහෙම පිටින්ම බිඳගන්න මිනිහෙකුට බැහැ. ඒකත් අප තේරුම් ගන්න ඕනෑ. අප බොහොම ප්‍රගතිශීලි විදියට කියනවා අපි සියලු දෙනාම එක සමානයි කියල. ඒත් අපේ අම්මාට තරම් අපට වෙන කෙනකුගෙ අම්මා කෙනකුට ආදරය කරන්න බැහැ. මේ තත්ත්වයත් අපි තේරුම් ගන්න ඕන.

බුදුන් වහන්සේ රාහුල කුමාරයා හා සමානව ලෝකය දිහා බැලුවා වගේ ලෝකය දිහා බලන්න තරම් අප දියුණු නැහැ. මේ හැම දෙයක් පිළිබඳවම මම මේ නවකතාව තුළ ගැඹුරින් සාකච්ඡා කරන්න උත්සාහ කළා.

මිනිසා කියන්නේ හරිම සංකීර්ණ සත්ත්වයෙක්...

දැන් බලන්න අප අතරේ ජාතිවාදීන් කියල කොටසක් ඉන්නවා. ජාත්‍යන්තරවාදීන් කියල කොටසක් ඉන්නවා. ඇත්තටම එක වෙලාවකට මේ දෙගොල්ලොම එක සමානද කියලා හිතෙන වෙලාවල් තියෙනව. ගැටලු, වාද-විවාද, බහින්-බස් වීම් නිරතුරුවම අප දකිනවා. මේවා කත‍ා කරන්න ඕනෑ තමයි. ඒත් විවිධ සංකල්ප, න්‍යාය ගැන වේදිකාවල මහ හයියෙන් කතා කළා කියලා මනුෂ්‍ය ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් වන්නේ නැහැ. මිහිහා පිළිබඳ ඇත්ත ඒකයි. ඒත් ඒ ඇත්ත තුළ මිනිහා සාධාරණීකරණය කරන්න අපට බැහැ. මේක අසාධාරණ තත්ත්වයක් තමයි. එහෙත් මිනිහා පිළිබඳ කතන්දරයෙදි අපිට මේ හැම දෙයක් ගැනම හිතන්න වෙනවා. මේ ලෝකෙ හැම දෙනාම එක සමානයි කියල හිතන්න පුළුවන් නම් හොඳයි. ඒත් එහෙම වෙන්නෙ නැහැ. එහෙම ලේසියෙන් වෙනස් කරන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ.

ලෝකය වෙනස් කරනවා කියල සිදු වෙච්ච ‍විප්ලවවලින් පස්සෙ ඇති වෙච්ච ප්‍රතිවිප්ලවවලදි ඉතා දරුණු දේවල් සිද්ධ වුණා. ඒ අනුව මනුෂ්‍යත්වයේ තිබෙන බරපතළ ප්‍රශ්න තමයි අපට විසඳගන්න වෙලා තිබෙන්නෙ. මනුෂ්‍යයා පිළිබඳ ඇත්ත කතාව ඕක තමයි. ඒක බෞද්ධ මනෝ විද්‍යාවේ ඉතා හොඳට පැහැදිලි වෙනො. හුඟ දෙනෙක් බෞද්ධ මනෝ විද්‍යාව ගැන එච්චර උනන්දුවක් නැහැ. ඒත් ඉතිං ඇත්ත තියෙන්නෙ එතැනයි.

ආගමික සංස්ථා පවා අද විශාල අර්බුදයකට මුහුණ පා තිබෙනවා...

ආගම් සම්බන්ධ යුද්ධ තිබුණා. ඒත් බුදුදහම වෙනුවෙන් එහෙම දෙයක් තිබුණේ නැහැ. ඒත් ආගමික සංස්ථාවත් අද දරුණු අර්බුදයකට මුහුණපා තිබෙනවා. මතවාද සම්බන්ධ ගැටලුවලදී මතවාදවලින් මිනිහා නොමඟ යනවා. මතවාද මධ්‍යස්ථ වීම කියනඑක ඉතා වැදගත්. මිනිස්සු සංකල්ප වෙනුවෙන් ඇන-කොටාගන්නවා. බුදුදහමේ මතවාද සම්බන්ධ ඉතා ගැඹුරු විග්‍රහයක් තිබෙනවා. මරාගෙන මැරෙන තත්ත්වයට බොහෝ වෙලාවට මිනිස්සුන් පත් කරන්නෙත් මතවාද නිසා. කිසියම් අරමුණක් වෙනුවෙන් සංකල්ප හා මතවාදවලින් අපට බැහැර වන්න පුළුවන් වගේම ඒ මොහොතෙහිදිම එය බැරි වෙනවා. අපි උප්පතියෙ ඉඳලම බැඳිලා ඉන්න ආගමෙන් ඈත් වන්න අපට අමාරුයි.

කෙනකුට විලාසිතාවකට වගේ අවශ්‍ය නම් එහෙම වෙන්න පුළුවන්. ඒත් අවංකව එය කරන්න අමාරුයි. මෙන්න මෙතැනදි තමයි කලාකරුවා හෝ සාහිත්‍යකරුව මනුෂ්‍යයාට අවශ්‍ය වන්නෙ. ඔහුට පුළුවන් මොන ආකාරයට මිනිහා එකිනෙක කොටුවල හිර වී හිටියත් එයින් එළියට ගෙන මනුෂ්‍යත්වයේ නියම මාර්ගය පෙන්වන්න. අපේ නවකතා ඇතුළු ප්‍රබන්ධ සාහිත්‍යය ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය පාඨකයාට දිය යුතුයි.

‘ඉවුරු’ නවකතාව රචනා කිරීම සඳහා ඔබ ක්ෂේත්‍ර ගණනාවක් අධ්‍යයනය කොට ඇති බව පෙනී යනවා...

පාඨකයාට වැදගත් නවකතාවක් ලියනවා නම් ඕනෑම කෙනකු ඒ සම්බන්ධ ගැඹුරු අධ්‍යයනයක නිරත විය යුතුයි. එහෙම නැත් නම් අප අතින් ලියවෙන්නෙ හුදු කතාවක් පමණයි. මේ නවකතාව සඳහා මම විශේෂයෙන්ම ආගම් පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක යෙදුණා. ඒ වගේම 83 සිද්ධි පිළිබඳ විශාල ලෙස කරුණු එක්රැස් කරගත්තා. 1915 කෝලාහලය ඇතුළු විවිධ සමාජීය තතු පිළිබඳ ගවේෂණයක යෙදුණා.

මේ සඳහා මට සමාජ විද්‍යාඥයන්ගේ සංගමය පළ කළ කෘති හා ලිපි-ලේඛන බොහෝ සෙයින් උදවු වුණා. දඩයම් යුගයේ පටන් අප බොහෝ දේ අත්හැර තිබෙනවා. ඒත් ලේ පිපාසය අපට අත්හළ නොහැකිව තිබෙනවා. තවමත් අප කුරිරු දඬුවම් දී සතුන් ඝාතනය කරනවා; හිතාගන්න බැරි විදියට වද-වේදනා පමුණුවලා උන් අමු-අමුවේ මරාදානවා. සිංහල-බෞද්ධ රටේ මෙහෙම වෙන්නෙ ඇයි? අපි ජාතිය, වර්ගය වෙනුවෙන් පෙනී සිටිනවා. ඇයි සත්ත්ව වර්ගය අපට අයිති නැද්ද? මේ හැම දෙයක්ම ඔළුවෙ තියාගෙන තමයි මම ‘ඉවුරු’ රචනා කළේ. ඒ නිසා මේ පොත පාඨකයන්ට මම ඉතා ආදරයෙන් බාර කරනවා.

 

 

Comments