නාසා විද්‍යා­ඥ­යන් හා කරට කර ඉඳ හඳ අල්ලන්න සැර­සෙන අපේ පුංචි මේඝ | Page 2 | සිළුමිණ

නාසා විද්‍යා­ඥ­යන් හා කරට කර ඉඳ හඳ අල්ලන්න සැර­සෙන අපේ පුංචි මේඝ

නව හැවිරිදි මේ පුංචි පුතා අභ්‍යා­ව­කා­ශය ගැන ගුවන් යානා, රොකට් ගැන බොහෝ දැන උග­ත්කම් ඇත්තෙකි. තව තවත් ඒ පිළි­බඳ හදා­ර­න්නෙකි. ඔහු දැන් නාසා ආය­නයේ ඔස්ට්‍රේ­ලි­යාව නියෝ­ජ­නය කරන ළාබා­ලම තානා­ප­ති­ව­රයායි. ඔහු නමින් මේඝ මහිම විජේ­ව­ර්ධ­නයි.   

‘මේඝ යැයි නම ඇසුණ විට සිහි­යට නැඟෙන්නේ එදා එනම් 1972 අවු­රුද්දේ සතුට පත්ත­රයේ පළවූ චිත්‍ර කතා­වය. මේඝ චිත්‍ර කතාව සතුට පුවත් පතට අඳින්නේ ප්‍රවීණ චිත්‍ර ශිල්පි අනුර විජේ­ව­ර්ධන මහ­තාය. මේඝ ඇඳපු අනු­රත් මේ මේඝත් අතර ඇති සම්බ­න්ධ­තාව වන්නේ ඔහු අනු­රගේ මුනු­පුරා වීමය. අනුර විජේ­ව­ර්ධන තව­මත් සිළු­මිණ පුවත් පතට ධාරා නමින් චිත්‍ර­ක­තා­වක් අඳියි. අනු­රගේ පුතු වූ චරිත් විජේ­ව­ර්ධන කලක් ලේක්හ­වුස් ආය­ත­නයේ තරුණි පුව­ත්පතේ ප්‍රධාන නිර්මාණ හා පිටු සැල­සුම් ශිල්පියා විය. දැන් ඔවුන් පදිං­චිව සිටින්නේ ඔස්ට්‍රේ­ලි­යා­වේය.

නාසා ප්‍රධාන උපදේශක ආචාර්ය රූස්වෙල් ජොන්සන් සමඟ

මේඝට තවම අවු­රුදු නව­යයි. උපන්නේ දකුණු ඔස්ට්‍රේ­ලි­යාවේ ඇඩි­ලේට් නුව­රය. සඳ තරු ග්‍රහ­ලෝ­ක­ව­ලට ආද­රය කරන පොඩ්ඩන් මේ යුගය අනුව සොයා­ගැ­නීම මදක් අසී­රුය. ඒ දැනුම් තේරුම් ඇති කාලයේ පටන්ම ජංගම දුර­ක­ත­න­යට රූප­වා­හි­නි­යට අපේ රටේ දරු­වන් යොමු වන බැවිනි. තත්ත්වය එසේ වුවද ඉගෙ­නුමේ උපන් හපන් දස්කම් ඇති දරුවෝ අපට හමු­වෙති. ඒ අත­රින් ඉගෙ­නු­මට මෙන්ම නව දැනුම සොයන දැනුම් පිපා­ස­යෙන් පෙළෙන දරුවෝ ද අපට හමු වෙති. පදිං­චිය ලංකාවේ නොවු­ණත් ඔස්ට්‍රේ­ලි­යාවේ පදිංචි මේඝ සැබැ­වින්ම අපේ රටට කීර්ති­යකි.

මේඝ විශේ­ෂිත දරු­වෙකි. ඒ බව කියන්නේ අප නොව ඔස්ට්‍රේ­ලි­යාවේ වෛද්‍ය­ව­රුය. එරට වෛද්‍ය­වරු පවසා ඇත්තේ මේඝගේ මොළය ඔහුගේ වය­සට වඩා අවු­රුදු පහ­කින් වැඩුණ අයෙ­කුගේ මෙන් සැකසී ඇති බවය. ඒ නිසා ඔහුට පාසලේ දී අම­තර දැනු­මක් ලබා දෙන ලෙස ඔවුන් නිර්දේශ කර ඇත.

“මේඝ ගැන මෙත­රම් දිගු විස්ත­ර­යක් ලිය­න්නට අප පෙල­ඹ­වුයේ පසු­ගි­යදා ඔහුට ලද තවත් ජය­ග්‍ර­හ­ණ­යක් පිළි­බඳ දැන­ගැ­නී­මත් සම­ඟය. එනම් නාසා ආය­ත­නයේ ඔස්ට්‍රේ­ලි­යාව නියෝ­ජ­නය කරන ළාබා­ලම තානා­ප­ති­ව­රයා ඹේඝය. මේ වන තුරු ඇම­රි­කාව හෝ කැන­ඩාව ආදි රට­ව­ල්ව­ලින් පම­ණක් තානා­ප­ති­ව­රුන් තෝරා ගෙන ඇති අතර මේඝට මේ අව­ස්ථාව උදා වන්නේ ඔහුගේ බුද්ධිය දැනුම නිසා­මය.

තව­මත් නව හැවි­රිදි වියේ පසු­වන මේඝ ගැන කිය­න්නට ඇත්තේ කතා ගොන්නකි. මේ හැම කතා­වක්ම ආවාට ගියාට කියන කත­න්දර නොවේ. මේඝගේ පියා වන චරිත් තම සුවි­ශේෂි පුතු ගැන අපට පැහැ­දිලි කළේ මෙසේය.

“පුතා පුංචි කාලේ ඉඳ­ලාම කතා කළේ සිංහල. ඒ අපි ගෙද­රදි සිංහල කතා කළ නිසා. අදත් පුතා චතු­රව සිංහල කතා කර­නවා. අපි එයාට පොඩි කාලේ ඉඳ­ලාම පොත් කිය­වන්න ගෙනැල්ලා දුන්නා. මේ රටේ දී දරු­වෙකු ලැබු­ණාම රෝහ­ලෙන් දෙනවා දරු­වාට පරි­හ­ර­ණය කර­න්නට පොත්. ඒ කළු සුදු රූප සහිත ඒවා. පුතා පොත්ව­ලට හරි ඉක්ම­නට හුරු වුණා. ඒ නිසා අපිට එයාට මාස හයේදී අකුරු කිය­ව­න්නට සිද්ධ වුණා.

අවු­රුදු දෙක වන විට පුතා පොඩි පොඩි දේවල් කිය­වන්න පටන් ගත්තා. සාමා­න්‍ය­යෙන් අවු­රුදු තුන වෙන­කොට පුතාට පොත් කිය­වන්න පුළු­වන්. එයා කිය­වන්න පුරුදු වුනේ සත්‍ය තොර­තුරු තියෙන පොත්. ඒ කියන්නේ එයා ප්‍රබන්ධ කතා කිය­වන්න කැමති වුණේ නැහැ. මට මත­කයි අපි පුතා පුංචි කාලේ එයාට බයි­බ­ලයේ එන දෙවි­යන් වහන්සේ ලෝකය මවලා දුන්න හැටි කිය­නවා. පුතා ඒ කතා­ව­ලට ගොඩක් කැමති වුණා. අවු­රුදු තුන පහු­වෙන කොට එයාට භෞතික විද්‍යාවේ පොඩි පොඩි සිද්ධාන්ත අව­බෝධ කර­ගත්තා.

මමයි බිරිඳ චමි­න්දියි විද්‍යාව ගැන දන්නේ නැහැ. චමි­න්දිගේ තාත්තා ගාල්ල රිච්මන්ඩ් විද්‍යා­ලයේ ඉංග්‍රිසී භාෂා­වෙන් විද්‍ය විෂ­යන් ඉගෙන ගෙන තියෙන්නේ. පුතා ස්කයිප් ඔස්සේ සීයා සමඟ කතා කරලා දැනුම ලබා­ග­න්නවා. පුතා හැම වෙලේම දැනුම සෙව්වා. ඔහු උදේ පාන්දර අවදි වෙලා පොත් කිය­ව­නවා. මම දැකලා තියෙන දෙයක් තමයි එයා වෙන­සක් දකින්න ඕන වුණාම චිත්‍ර අඳි­නවා.”

දැනුම පිපා­ස­යෙන් පෙළෙන මේඝ පුතු මවු­පි­යන් විසින් ඇඩි­ලේඩ් හි වෙස්මි­නි­ස්ටර් පාස­ලට ඇතු­ළත් කරන ලදි. එම පාස­ලේදි මේඝගේ සුවි­ශේෂි බව තේරුම් ගත් විදු­හල් බල­ධා­රීහු ඔහු වෙනු­වෙන් වෙනම අධ්‍යා­පන රටා­වක් ලබා­දී­මට කට­යුතු කළහ. මේඝගේ ආසාව ඇත්තේ අභ්‍ය­ව­කා­ශය ගැනය. ගුවන් යානා ගැනය. මේ පිළි­බඳ සොය­න්නට කිය­ව­න්නට උනන්දු වූ පුංචි පුතු Future Problem-solving club ඇතු­ළත් කර­න්නට මවු­පියෝ උනන්දු වූහ.

වයස අවු­රුදු හත­රේදී ඔහු දකුණු ඔස්ට්‍රේ­ලියා විශ්ව­වි­ද්‍යා­ලයේ අභ්‍ය­ව­කාශ විද්‍යාව පිළි­බද පාඨ­මා­ලා­වක් හදා­රයි. ඔහුගේ ආශාව එතැ­නින් නිමා වන්නේ නැත. ඔහු තව තවත් අභ්‍ය­ව­කා­ශය ගැන උනන්දු වන්නේය. අව­සා­නයේ චරිත්ට හා චමි­න්දිට සිදු වන්නේ සිය පුතු රැගෙන ඇඩි­ලේඩ් විශ්ව­වි­ද්‍යා­ලයේ භෞතික විද්‍යා මහා­චාර්යවරුන් පව­ත්වන දේශන සඳහා යෑම­ටය.

“ අපට හිතා ගන්න බැහැ පුතා මේවා ගැන ඇයි මෙත­රම් උනන්දු කියලා. ඒ විශ්ව­වි­ද්‍යා­ලයේ දේශන සඳහා මහා­චා­ර්ය­ව­රුන් තමයි සහ­භාගි වෙන්නේ. අවු­රුදු හයේදි පුතා ඒ කියන්නේ 2017 වසරේ Future Problem-solving club එකේ ලියා­ප­දිංචි වෙනවා. මේ සංග­මයේ සාමා­ජි­ක­ත්වය අරන් තියෙන්නේ ඉංජි­නේ­රු­ව­රුන්, විශ්වවිද්‍යාල සිසුන් මට්ටමේ අය. පුතා එහිදි වායු­ගෝ­ලය පිළි­බඳ පැවැති පරී­ක්ෂණ දෙකක් ජය ගන්නවා. එහිදි පුතා ළාබා­ලම කණ්ඩා­යමේ නාය­කයා වෙනවා. Airbus සමා­ගම හා ප්‍රංස රජය ඒකා­බ­ද්ධව කරන Acting Space ව්‍යාපෘ­ති­යේදී චන්ද්‍රිකා තාක්ෂ­ණය භාවිත කර මුහුද මැදදී නෞකා අතු­රු­දන් වන ක්‍රියා­ව­ලිය වළ­ක්වන ක්‍රම සොයා බැලූ පරී­ක්ෂ­ණය ද පුතා ජය ගන්නවා. ඒ ගිය අවු­රුද්දේ.

මව සහ පියා සමඟ

ඔවුන්ගේ ඊළඟ ව්‍යාපෘ­තිය වන තව වසර 200කින් පමණ පෘථි­විය හා ගැටෙන බෙනූ ග්‍රාහ­කය වැළැ­ක්වීමේ මෙහෙ­යු­මට NASA Space App Challenge සමඟ සම්බන්ධ වීමට පුතාට අව­ස්ථාව ලැබෙ­නවා. ඒ සියලු කට­යුතු කර­ගෙන යන අතර තමයි පුතාට නාසා ආය­ත­නයේ OSIRIS-Rex මෙහෙ­යුමේ තානා­ප­ති­ව­ර­යකු ලෙස අයැ­දුම් කර­න්නට අව­ස්ථාව අව­ස්ථාව උදා වෙන්නේ.

ඒ තානා­ප­ති­කම ලැබෙන්නේ ආර­ක්ෂක, සමාජ සම්බ­න්ධතා. සෞඛ්‍ය­මය තත්ත්වය පිළි­බඳ දිගු කාලින අධ්‍ය­ය­න­යක් කළාට පස්සේ. නාසා ආය­තන මඟින් පව­ත්වපු පරී­ක්ෂ­ණ­ය­කින් ඉහ­ළින් සමත් වීමෙන් පසුව පුතාට මේ තානා­ප­ති­කම ලැබෙ­නවා. ඒ අනුව, එම මෙහෙ­යුමේ තොර­තුරු ඔස්ට්‍රේ­ලියා ජන­තා­වට ලබා­දීම, සමා­ජ­යෙන් මතු වන ප්‍රශ්න­ව­ලට පිළි­තුර දීම ඇතුළු කාර්ය­යන් පැව­රෙන්නේ මේඝ පුතාට.

පුතා ගැන මටත් චාමි­න්දි­ටත් හරිම පුදු­මයි. පුතා මේ මොන දේ කළත් එයා ලංකා­වට ආද­රෙයි. එයා කියන්නේ ශ්‍රි ලාංකික වීම එයාට ආඩ­ම්බ­ර­යක් කියලා. එයාට මේ දේවල් හැරුණ විට ගීත ගයන්න සංගීත භාණ්ඩ වාද­නය කරන්න චෙස් ක්‍රීඩා කරන්න පිහි­නන්න හොඳට පුළු­වන්. පුතා පාසල් ක්‍රිකට් කණ්ඩා­යමේ නාය­කයා. ඒ වගේ ම ඔහු පිට පිටම මීටර් 400 දිවීමේ තර­ග­යෙන් ප්‍රථ­මයා වී තිබෙ­නවා.”

බාල වියේ සිටම විද්‍යා­වට ආශක්ත හතර ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන මේ පුංචි පැංචාට ජීවි­තයේ ඇත්තේ අර­මුණු දෙකකි. ඔහුගේ පළමු වැනි අර­මුණ වන්නේ වයස අවු­රුදු පහ­ළොව වන විට ගුවන් නියමු බල­ප­ත්‍රය ලබා­ගෙන සිවිල් ගුවන් නිය­මු­වෙකු වීම හා අවු­රුදු විස්ස වන විට වාණි­ජ­මය ගුවන් නියමු බල­ප­ත්‍රය ලබා­ගැ­නී­මය. මේඝගේ දෙවන අර­මුණ වන්නේ විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය ලබා අව­සා­නයේ ඔස්ට්‍රේ­ලි­යානු අභ්‍යා­ව­කාශ මධ්‍ය­ස්ථා­නයේ හා නාසා ආය­ත­නයේ රොකට් විද්‍යා­ඥ­යෙකු වීමය. මේඝ කාල­යෙන් උප­රිම ප්‍රයෝ­ජන ගන්නා දරු­වෙකි. ඔහු අලු­යම අවදි වී පොත පත කිය­වයි. ඒ අතර පාසලේ අධ්‍ය­යන කට­යුතු ද ක්‍රීඩා ක්‍රියා­කා­ර­ක­ම්ව­ලද නියැ­ළෙයි.

“ පුතා ගැන අපිට හරි ආඩ­ම්බ­රයි. අපේ පුතා වැඩි­හි­ටි­යන්ට වගේම පරි­ස­ර­ය­ටත් හරි ආද­රෙයි. පුතාට පුංචි කාලේ ඉඳ­ලාම උප­න්දින තෑගි­ව­ලට ලංකා­වෙන් එව්වේ පොත් පත්. දව­සක අපේ පුතා අපේ රටට කීර්ති­යක් ගෙන එන බව මට විශ්වා­සයි.

මේඝ පුතුගේ පියා චරිත් පව­සන්නේ බලා­පො­රොත්තු සහ­ග­තය. අපේ රටට උරුම පුංචි මේඝට දිගු ගම­නක් යන්නට අපි ද සුබ පතමු.

 

Comments