විද්‍යාත්මක දියුණුව බුදුසමයට අභියෝගයක් වේ ද? | සිළුමිණ

විද්‍යාත්මක දියුණුව බුදුසමයට අභියෝගයක් වේ ද?

කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

රාජකීය පණ්ඩිත ආචාර්ය

උඩුහාවර ආනන්ද හිමි

 

යුරෝපයේ සිදු වූ විද්‍යාත්මක පුනරුදයත් සමඟ දේවවාදී ආගම්වලට විශාල අභියෝගයකට මුහුණ දෙන්නට සිදු විය. ගැලීලියෝ ගැලිලි දුරදක්නය දියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකය නිරීක්‍ෂණය කිරීමේ හැකියාව ඇති වූ අතර එම අත්දැකීම් හා විද්‍යාත්මක නිරීක්‍ෂණ එවකට යුරෝපයේ ප්‍රබල ආගම් බවට පත් වී තිබුණු යුදෙව් හා ක්‍රිස්තියානි ආගම් කෙරෙහි බලපෑම් ඇති කළේය. බයිබලයේ දැක්වෙන මහපොළොව විශ්වයෙහි කේන්ද්‍රය බවට පිළිගත් මතය මෙම සොයාගැනීමත් සමඟ අභියෝගයට ලක් විය.

පෘථිවිය විශ්වයේ මධ්‍ය නොව එය වනාහි විශ්වයේ අනන්ත තාරකා අතර සූර්යයාට අයත් එක් ග්‍රහලෝකයක් පමණක් බවත්, පෘථිවිය සූර්යා වටා කැරකෙනවා මිස සූර්යා පෘථිවිය වටා ගමන් කරන්නේය යන මතය වැරදි බවත් නිකොලොස් කොපර්නිකස් තහවුරු කළේය.

එම මතය පිළිගැනීමත් සමඟම ඒ කෙරෙහි යුරෝපීය දේවවාදි ආගමික සංවිධාන විසින් තදබල ලෙස විරෝධය දක්වන ලදී. එහෙත් දේවවාදි ආගමික ග්‍රන්ථ මෙන්ම ඒවායේ ඉගැන්වීම්වලට වඩා විද්‍යාත්මක ඥානය ගැන ජනතාවගේ අවධානය යොමු විය. විද්‍යාත්මක ඥානය පමණක් නොව වෙනත් නව සොයාගැනීම්ද දේවවාදී ආගම්වලට ප්‍රබල අභියෝගයක් විය. ඒ අතර නිර්මාණවාදය ප්‍රතික්‍ෂේප කරමින් චාර්ල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද පරිණාම වාදය දේවවාදී ආගම් කෙරෙහි කොතෙක් දුරට බලපෑවේද යන්න එම ආගමික කණ්ඩායම් විසින් එයට දක්වන ලද දැඩි විරෝධතා මඟින් පැහැදිලි වේ. දේවවාදී ආගම්වලට බලපෑම් එල්ල වූයේ විද්‍යාත්මක ඥානයෙන් පමණක් නොවේ. දර්ශනය, දේශපාලන විද්‍යාව හා මනෝවිද්‍යාව යන විෂයන් යටතේ ඉදිරිපත් කරන ලද නව සොයාගැනීම් නිසාද එම ආගමික ඉගැන්වීම් ප්‍රබල අභියෝගයට ලක් විය.

ෆෙඩ්‍රික් නීට්ස් නම් දාර්ශනිකයා විසින් දේවවාදී ආගම් විචේචනයට ලක් කරමින් පවසා සිටියේ දෙවියන් පිළිබඳ විශ්වාසය නූතන සමාජයට තවදුරටත් බලපෑම් කළ නොහැකි ඉගැන්වීමක් බවය. මාක්ස්වාදයේ නිර්මාතෘ වූ කාල්මාක්ස් විසින් ඉදිරිපත් කරන ලද ආගම් පිළිබඳ ප්‍රබල විවේචනය දේවවාදී ආගම්වල පැවත්ම කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවේය. ඒ නිසා ඇතැම් බටහිර රටවල් ආගම් විරහිත රටවල් බවට පත් විය. දේවවාදී ආගම් මිනිසා පිළිබඳ එතෙක් ඉදිරිපත් කර තිබූ විග්‍රහය බටහිර මනෝවිද්‍යාවේ පියා වශයෙන් සැ කෙන සිග්මන් ප්‍රොයිඩ් විසින් ඉදිරිපත්කරන ලද මනෝ විශ්ලේෂණවාදය මඟින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කළේය.

විද්‍යාත්මක ඥානය, දාර්ශනික ප්‍රබෝධය හා කාර්මික දියුණුවත් සමඟ යුරෝපයේ ඇති වූ විවිධ සමාජ පරිවර්තන දේවවාදි ආගම් කෙරෙහි ප්‍රබල අභියෝගයක් විය. ආගමික මූලධර්මවාදය ලෙස අප හඳුනාගන්නා ආගමික කණ්ඩායම් බිහි වන්නේ එම පසුබිම යටතේය.

ඔවුහු අතිශය ප්‍රබල ලෙස විද්‍යාත්මක දියුණුව පදනම් කරගත් නූතනත්වය ප්‍රතික්‍ෂේප කරමින් එය අභියෝගයට ලක් කරති. විවේචනයෙන් තොරව ආගමික ඉගැන්වීම් පිළිගන්නා හෙයින් එම කණ්ඩායම් නව තාක්‍ෂණය මෙන්ම නව සමාජ ප්‍රතිසංස්කරණ කෙරෙහි ප්‍රබල විරෝධතාවක් දක්වති. බටහිර ඇතැම් ආගම් විද්‍යාත්මක දියුණුව හේතුවෙන් තමන්ට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග නිසා ආගමික ග්‍රන්ථවල එන ඉගැන්වීම් නැවත වරක් නිර්වචනය කොට නූතන ලෝකය හා සමපාත වෙමින් ඉදිරියට ගමන් කරනු දක්නට ලැබේ. එය එක් අතකින් පැසසිය යුතු තත්ත්වයකි.

එහෙත් ඇතැම් මූලධර්මවාදී ආගමික කණ්ඩායම් එවැනි පරිවර්තනයකට කිසිසේත්ම උනන්දුවක් නොදක්වයි. වරදවා පිළිගත් අන්තවාදී ආගමික විශ්වාස මත පිහිටා ලෝක සාමයට බරපතළ ලෙස බාධා පමුණුවයි. ලොව පුරා ව්‍යාප්තව පවත්නා ආගමික මූලධර්මවාදය පදනම් කරගත් ත්‍රස්තවාදය එයට කදිම නිදසුනකි.

විද්‍යාත්මක ඥානය හා එහි ප්‍රතිඵලයක් වන තාක්‍ෂණය බෞද්ධ රටවල ව්‍යාප්ත වූයේ පසු කාලයක වුවද ඒ කෙරෙහි සැලකිය යුතු මට්ටමේ ප්‍රතිවිරෝධතා බෞද්ධ සමාජයෙන් ඉදිරිපත් නොවිණි. විද්‍යාත්මක නිමැවුම් හා උපකරණ බෞද්ධ රටවලට හඳුන්වාදුන් විට ඒවා කෙරෙහි දැඩි විරෝධයක් බෞද්ධ සමාජ සංවිධානවලින් එල්ල නොවූ අතර එම නිමැවුම්වලට සමාජයට යාමේ අවස්ථාව පහසුවෙන් උදා විය. සදාචාරාත්මක ජීවන දර්ශනයක් වශයෙන් මතවාදී නොවීම, ආදාහනග්‍රාහී නොවීම, ඒකාන්ත වාදී නොවීම හා නිදහස් චින්තනය ආදී ඉගැන්වීම් නිසා බටහිර විද්‍යාත්මක ඥනය හෝ දාර්ශනික ඉගැන්වීම බුදුසමයට අභියෝගයක් නොවීය. විද්‍යාත්මක නිමැවුන් වලට බුදුසමයෙන් ප්‍රතිවිරෝධතාවක් නොදැක්වූයේ බුදුසමයේ ඉගැන්වෙන මූලික සංකල්පවලට එයින් හානියක් නොවන බැවිනි.

බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම් වන චතුරාර්ය සත්‍ය හා ප්‍රතීත්‍ය සමුත්පාදය දේවවිශ්වාසය සපුරා බැහැර කරන අතර එබඳු විශ්වාසයකින් තොරව ආගමික ජීවිතය අර්ථවත් කරගත හැකියැයි පෙන්වා දෙයි.

ත්‍රිලක්‍ෂණය පිළිබඳ බුදුරදුන්ගේ ඉගැන්වීම නූතන විද්‍යාව ඉක්මවා ගිය සත්‍ය සිද්ධාන්තයකි. අනිත්‍යතාව විශ්වසාධාරණ ධර්මතාවක් ලෙස පිළිගැනේ. සියලු සමාජ වෙනස්වීම් විද්‍යාත්මක සොයාගැනීම් හා නව දාර්ශනික ඉගැන්වීම් අනිත්‍යතා සිද්ධාන්තයට අනුකූල වේ. මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය බටහිර මනෝවිද්‍යාවට වඩා ඉදිරියෙන් තිබෙන නිසා නූතන මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් බුදුසමයට අභියෝගයක් නොවේ. බුදුසමයේ දැක්වෙන චිත්ත, මනෝ, විඤ්ඤාණ පිළිබද විග්‍රහය පමණක් වුවද බටහිර මනෝවිද්‍යාවට අභියෝගයක් බව පැහැදිලිය. එනිසා නවීන විද්‍යාවට හෝ එහි නිමැවුම්වලට විරුද්ධව සටන් කිරීමට බුදුසමයට හෝ බෞද්ධ සංවිධානවලට අවශ්‍ය නොවේ.

එයින් අදහස් වන්නේ බුදුසමය විද්‍යාත්මක වේ යන්න නොවේ. විද්‍යාත්මක සොයාගැනීම් නිරන්තර වෙනස් වීමට භාජනය වන හෙයින් එම සිද්ධාන්තය මත පිහිටා බුදුසමය විද්‍යාත්මක යැයි විග්‍රහකිරීම සුදුසු නොවේ. බුදුසමයේ ඉදිරිපත් කරන පුද්ගලයා හා ලෝකය පිළිබඳ සත්තාව විද්‍යාත්මක විග්‍රහයන් මෙන් කලින් කලට වෙනස් වන සිද්ධාන්තයක් නොවේ.

බුදුරදුන්ගේ මූලික අරමුණ වූයේ පුද්ගලයා මුහුණ දෙන දුක පිළිබඳ සනාතනික ගැටලුව නිරාකරණය කිරීමය. විද්‍යාව විසින් සොයාගනු ලැබූ බොහෝ දේ මිනිස් වර්ගයාගේ යහපත සඳහා වුවත් හැමවිටම එය එසේ වී නැති බව ලොව නන් දෙසින් ලැබෙන දුක්ඛදායක පුවත්වලින් පැහැදිලි වේ. විද්‍යාත්මක නිමැවුම් එක් අතකින් මිනිසාට සෙත සලසන අතර යම් පමණකට විනාශයද රැගෙනවිත් තිබේ. එබැවින් බුදුසමයේ අනන්‍යතාව එයටම ආවේණික වූවකි. එහෙත් බුදුරදුන්ගේ ඉගැන්වීම පැහැදිලි කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද යොදාගැනීම වරදක් යැයි සැලකිය නොහැකිය.

අනෙක් අතට සදාචාරාත්මක ජීවන දර්ශනයක් වන බුදුසමය කිසිදු සමාජ ආයතනයක් කෙරෙහි නීති පනවා නැත. සැම සමාජ ආයතනයක්ම විධිමත්ව හා සමාජයට හිතකර අයුරින් පවත්වාගෙන යෑමට අවශ්‍ය සදාචාර ධර්ම පද්ධතියක් පමණක් බුදුසමයෙන් හඳුන්වා දී තිබේ. බෞද්ධ සදාචාරය, බෞද්ධ සමාජ හා දේශපාලන දර්ශනය, බෞද්ධ ආර්ථික දර්ශනය යනුවෙන් විවිධ නම් යටතේ හඳුනාගන්නේ එම සදාචාර ධර්ම පද්ධතියයි. ඒ සියල්ල ආත්මාවබෝධය (අත්තානං උපමං කත්වා) මත ක්‍රියාවට නැංවිය යුතු සදාචාර ධර්ම පද්ධතියක් මිස ආගමික නීතියක් නොවේ. එහි අරමුණ පුද්ගලයාගේ (අත්තහිතාය) මෙන්ම සමාජයේත් (පරහිතාය) යහපත සැලසීමය. කිසියම් පුද්ගයෙකුගේ හෝ සමාජ කණ්ඩායමක මූලික නිදහස අහිමි කෙරෙන, අයිතිවාසිකම් උල්ංඝනය කෙරෙන, ඉගැන්වීම් කිසිවක් එම සදාචාරාත්මක ඉගැන්වීම්වල අන්තර්ගත නොවේ.

වෙනත් ආකාරයෙන් පවසන්නේ නම් වර්තමාන ලෝක සාමයට බාධා කෙරෙන මූලධර්මවාදී ආගමික අන්තවාදයකට, ආගමික ත්‍රස්තවාදයකට තුඩුදෙන නැතහොත් වස්තු බීජ සැපයෙන ඉගැන්වීම් කිසිවක් බෞද්ධ සදාචාරාත්මක ඉගැන්ම්වල සාකල්‍යයෙන්ම අන්තර්ගත නොවේ.

බුදුසමය ප්‍රඥාවන්ත මිනිසුන්ට පමණක්ම විවෘත වූ නිදහස් චින්තනයකි. එය බලහත්කාරයෙන් අන්‍යයන් වෙත ආරෝපනය කෙරෙන ආගමික චින්තනයක් නොවේ. ඉතා විවෘතව ඇවිත් බලන්න යනුවෙන් (එහිපස්සිත) කෙරෙන සුහද ආරාධනාවෙන් යුක්ත ඉගැන්වීමකි. එය පිළිගැනීමට හෝ ප්‍රතික්‍ෂේප කිරීමට අන්‍යයාට පූර්ණ නිදහස ප්‍රදානය කරන ආගමික දර්ශනයකි.

එම සාරවත් පදනම නිසා බුදුසමය ව්‍යාප්ත වූ රටවල වෙසෙන බෞද්ධ නොවන අන්‍ය ජනවර්ග හා ආගමික කණ්ඩායම් සමග සහයෝගීව ඔවුනොවුන්ගේ ආගමික හා සංස්කෘතික විශ්වාස කෙරෙහි සානුකම්පිත වෙමින් අන්‍යොන්‍ය සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමට බෞද්ධ සංස්කෘතිය නියෝජනය කරන ජනතාවට හැකියාව ලැබී තිබේ. ඒ අනුව බුදුසමය ලෝක සාමයේ පරමාදර්ශයක් ලෙස සැලකිය හැකිය.

විද්‍යාව හා තාක්‍ෂණය විසින් සොයාගන්නා ලද දේවල් බුදුසමයට අභියෝගයක් නොවුණත් බුදුසමයේ එන ඇතැම් ඉගැන්වීම් විද්‍යාවෙන් අභියෝගයට ලක් වේ. විශේෂයෙන්ම පරලොව පිළිබඳ විශ්වාසය දිව්‍යලෝක හා අපාය පිළිබඳ ඉගැන්වීම් නවීන විද්‍යාවෙන් ප්‍රතික්‍ෂේප වන්නේ යැයි කෙනෙකුට ප්‍රකාශ කළ හැකිය. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් දියුණුකරන ලද අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය වන දිබ්බචක්ඛු හා ඉද්ධිධිධ ඤාණ ආදී ඤාණ විශේෂ පිළිගන්නා බුදුසමයට ඉහතින් දැක් වූ කරුණු පිළිගැනීම පහසුය. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය පමණක් පිළිගන්නා විද්‍යාවට ඒවා තහවුරු කිරීම කළ නොහැකිය. එයින් පෙන්වන්නේ විද්‍යාවේ පවතින සීමා සහිත බවයි.

විද්‍යාවෙන් ඉදිරිපත් කරන ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය පමණක් පිළිගන්නා කෙනෙකුට එම කරුණු ප්‍රතික්‍ෂේප කළ හැකි වුවද ඒ අනුව අතීනද්‍රීය ප්‍රත්‍යක්‍ෂයෙන් තහවුරු වන කාරණා සත්‍ය නොවේ යැයි සලකා බැහැර කළ නොහැකිය.

එනිසා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය පමණක් පිළිගන්නා විද්‍යාවෙන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය මෙන්ම අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයත් පිළිගන්නා බුදුසමයට අභියෝගයක් නැති අතර එමඟින් බුදුසමයේ මූලික හරයට ද හානියක් නොවේ. මිනිසාගේ පැවැත්ම පිළිබඳ බුදුරදුන්ගේ මූලික විග්‍රහයත් එයට ඉදිරිපත් කරන විසදුමත් මානව සංහතිය පවත්නා තෙක්ම වලංගු වේ.

Comments