හොඳට අවුරුදු කෑවද? එහෙම නම් මෙහෙම කරන්න | සිළුමිණ

හොඳට අවුරුදු කෑවද? එහෙම නම් මෙහෙම කරන්න

වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම

සිංහල හා දමිළ අලුත් අවුරුදු සමය නිමාවට පත් විය. අවුරුද්දේ කැවුමක, කොකිසක රස නොබැලු කෙනෙකු සොයාගැනීම ද අසීරු වන්නේ ලංකාවේ සෑම අස්සක මුල්ලකම කැවිලි පෙවිලි පිළියෙල වන නිසා ය. තෙල් කෑමෙන් පැණිරස කෑමෙන් පරිස්සම් වන අය පවා සිංහල අවුරුදු දිනයේ කැවිලිවල රස බලන්නේ සිය රෝගි බව මොහොතකට අමතක කර දමමිනි. නිවැරදි ආහාර රටා අනුගමනය කරන අය පවා සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය ආහාර පුරුද්ද වෙනස් කරති.

අප පසුගිය සතියේ නිවැරදි ආකාරයට කැවිලි පෙවිලි සකස් කර ගන්නා ආකාරය ගැන විස්තර කළ ද බො‍හෝ දෙනකු විසින් ඒවා සකස් කර ගනු ලබන්නේ නිවැරදි ආකාරයට නොවේ. ඒ නිසාම අලුත් අවුරුද්ද අවසාන වීමත් සමඟ ම ශරීරයේ තැන්පත් වන තෙල් සහ සීනි ප්‍රමාණය ඉහළ අගයක් ගනී. සිංහල අලුත් අවුරුද්ද අවසාන වීමත් සමඟ ම ශරීරයේ තැන්පත් වී තිබෙන තෙල් සහ සීනි ප්‍රමාණය පහත බස්සවා ගත හැක්කේ කෙසේදැයි අද සාකච්ඡා කෙරෙන්නේ එබැවිනි.

සිංහල අවුරුදු කෑම හේතුවෙන් ශරීරය තුළ තැන්පත් වන මේදය සහ සීනි අවම කරගැනීම සඳහා ව්‍යායාම අත්‍යවශ්‍ය සාධකයකි. අතීතයේ ජීවත් වූ අය තෙල් සහ පැණි රස කොතෙක් ආහාරයට ගත්ත ද ඔවුන් නිරෝගි තත්ත්වයෙන් පසු වූයේ ඔවුන්ට ව්‍යායාම ලැබුණු බැවිනි. එදා ජීවත් වූ අය නෑගම් ගියේ පයිනි. පන්සලට ගියේ පයිනි. ඒ නිසා ඔවුන්ට ව්‍යායාම නිරායාසයෙන් ලැබුණු අතර ඔවුහු සෞඛ්‍ය සම්පන්න වූහ. එහෙත් අද ජීවත් වන අයට මීටර් 500ක් යෑමටත් ත්‍රීවිලරයක් අවශ්‍යය. ඇවිදීමට ඇති කම්මැළිකම ඉවත දමා නෑදෑ හිත මිතුරන්ගේ නිවෙස්වලට යෑමේදී පයින් යෑමට තීරණය කරන්න. ව්‍යායාම අතරින් ඉතා පහසුවෙන් කළ හැකි හොඳ ව්‍යායාමයක් වන ඇවිදීම නිසා ඔබේ සිරුරේ අඩංගු වී ඇති තෙල් සහ සීනි දහනය කර ගත හැකිය. කිලෝ මීටරයක් වැනි දුරක් ඇවිද යෑම කිසිම කෙනෙකුට දුෂ්කර කාර්යයක් නොවේ. එබැවින් කෙටි දුරින් පිහිටා ඇති නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වලට යෑම, වාහන නැතිව පයින් යෑමට පුරුදු වන්න. එයින් ඔබට නිරෝගි පුද්ගලයකු ලෙස ජීවත් විය හැකිය.

අවුරුදු නිවාඩුවෙන් පසු ඔබ කාර්යාලයට යන විට කාර්යාලයේ උඩු මහලට යෑමට පඩිපෙළ භාවිත කිරීමෙන් සිරුරේ තැන්පත් වන මේදය සහ සීනි අඩු කරගත හැකිය. අද බොහෝ දෙනකු පියගැට පෙළ භාවිත කරන්නේ නැති තරම්ය. ඔවුන් හුරු පුරුදු වී සිටින්නේ විදුලි සෝපානය භාවිත කිරීමටයි. එහෙත් විදුලි සෝපානය නිසා ශරීරයට අවශ්‍යම ව්‍යායාම නොලැබී යන අතර මේදය සහ සීනි සිරුරේ තැන්පත් වනු ඇත. විදුලි සෝපානයට විරාමයක් දී පියගැට පෙළ භාවිත කළහොත් ඔබට සෞඛ්‍ය සම්පන්න පුද්ගලයකු ලෙස ජීවත් විය හැකිය.

එමෙන්ම සිංහල අලුත් අවුරුදු සමයේ පැවැත්වෙන තරග අතරින් ක්‍රියාශීලි ක්‍රීඩාවක නිරත වුවහොත් ඔබ ආහාරයට ගත් කැවුම් කොකිස්වල තෙල් සහ සීනි දහනය කර ගත හැකිය. විශේෂයෙන් මේ දිනවල පැවැත්වෙන බක් මහ උලෙළවලට ඇතුළත් ධාවන තරග, බයිසිකල් පැදීම, පිහිනුම් තරග, කඹ ඇදීම වැනි තරග සඳහා ඉදිරිපත් වීමෙන් සිරුරේ තැන්පත් වී ඇති තෙල් සහ සීනි අවම කරගත හැකිය.

ඊට අමතරව අපගේ සිරුරේ තැන්පත් වී ඇති තෙල්, සීනි ඇතුළු විස වර්ග ඉවත් කිරීම සඳහා කොළ කැඳ සහ කලවම් පලා මැල්ලුම් ආහාරයට එක් කරගැනීම ඉතා පහසු මෙන්ම වැදගත් ක්‍රියාවකි. පොල්පලා, ඉරමුසු, ගොටුකොළ වැනි කොළ වර්ග පොල්, කැකුළු හාල්, සුදුලූනු, ගම්මිරිස් එකතු කර සකස් කරගන්නා කොළකැඳ ඉතා අගනා ඖෂධීය පානයකි. තෙබු, මුරුංගා, කෝවක්කා වැනි කොළ වර්ග එකතු කර පිළියෙල කරගන්නා කවලම් පලා මැල්ලුම නිසා කොලොස්ටරෝල්, සීනි පමණක් නොව පිළිකා නාශක ගුණ පවා තිබෙන රසවත් ආහාරයකි. අප ජීවත් වන වට පිටාවෙන් ලෙහෙසියෙන් සොයාගත හැකි පලා වර්ග සිංහල අලුත් අවුරුද්ද නිමා වීමත් සමඟ ආහාරයට එක් කර ගතහොත් ඔබට නිරෝගි දිවියක් උදා කරගත හැකිය.

මේ අතරවාරයේදී සාම්ප්‍රදායික සහල් වර්ගයක් වන කළු හීනටිහාල් දින කීපයකට හෝ ආහාරයට ගැනීම ඉතා සුදුසු ය. මන්ද අපගේ සිරුරේ තැන්පත් වී ඇති විවිධ විස වර්ග හරණය කිරීමේ ශක්තියක් කළු හීනටිහාල් සතු වන බැවිනි. කළු හීනටිහාල් දිනපතා ආහාරයට ගැනීම මඳක් අසීරු විය හැක්කේ එය මිල අධික නිසාය. එහෙත් දවසක් හැර දවසක් හෝ ආහාරයට ගැනීමෙන් ඉතා ප්‍රබල ගුණයක් ලබාගත හැකි බව ප්‍රත්‍යක්ෂය.

සිංහල අලුත් අවුරුදු නිමාවත් සමඟ ශරීරයේ නිරෝගි බව ආරක්ෂා කරගැනීම උදෙසා මානසික ලිහිල් බව ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරයි. දැඩි මානසික වෙහෙස සහ මානසික ආතතිය දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඉහළ නැංවීමට හේතු වේ. එබැවින් මේ දිනවල මානසික විවේකය අත්‍යවශ්‍ය සාධකයකි. බොහෝවිට ආගම දහමට නැඹුරු වීම, භාවනාවෙහි යෙදීම ඉතා වැදගත් වේ. මක් නිසාද භාවනාවේ යෙදෙන විට සිදු වන හෝමෝන වෙනස්කම් මගින් සිරුරේ තැන්පත් වී තිබෙන විස වර්ග ඉවත් වන නිසාය.

පැරණි සමාජයේ විසූ අය අතිරස, කොණ්ඩ කැවුම්, මුංගුලි, උඳුවැල්, කොකිස් වැනි ආහාර කොපමණ අනුභව කළ ද ඔවුන් සෞඛ්‍ය සම්පන්න ජීවිත ගත කළේ කෙසේදැයි මේ අනුව අපට සිතාගත හැකිය. ඔවුන්ගේ ගමන බිමන පයිනි. ඔවුහු තිරික්කල රේස්, කොට්ටා පොර, කඹ ඇදීම වැනි ක්‍රියාශීලි ක්‍රීඩාවල නිරත වූහ. සිංහල අවුරුද්දත් සමඟ බැඳී ඇති පුණ්‍ය කාලය ගත කළේ ගමේ විහාරස්ථානයේ ය. හිසතෙල් ගෑමට ගමේ පන්සලට ගියහ. කළු හීනටි හාල්, මුරුංගා කොළ, කෝවක්කා, තෙබු වැනි කොළ වර්ග ඔවුන්ගේ එදිනෙදා ආහාර වේලට එකතු වූයේ සාමාන්‍ය ආකාරයට ය. ඉදින්, ඔවුහු නිරෝගි සම්පන්න පිරිසක් වුහ.

වර්තමාන සමාජය ද හැකිතාක් දුරට මේ පියවර අනුගමනය කරන්නේ නම් ඔවුන්ට ද සිංහල අවුරුද්දත් සමඟ එකතු වූ තෙල්, සීනි, අතුළු විවිධ වස විස වර්ග සිරුරෙන් ඉවත් කරගත හැකි වනවා නොඅනුමානය.

සාකච්ඡා කර සකස් කළේ
හර්ෂා සුගතදාස

Comments