ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 ලේක්හවුසියට සම්මාන පහක් | සිළුමිණ

ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 ලේක්හවුසියට සම්මාන පහක්

ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් සහ සුවිශේෂී නිපුණතා ඇගැයීමේ අරමුණින් ප්‍රථම වතාවට පැවැත්වු 'ජනාධිපති මාධ්‍ය සම්මාන - 2018' සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

පුවත් පත්, ගුවන්විදුලි, රූපවාහිනී සහ වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රයන්හි නියැළි සිටි ගෞරවනීය බුහුමනට පාත්‍ර විය යුතු සිව් දෙනකුට දිවියේ එක් වරක් පමණක් පිදෙන විශේෂ සම්මාන හතරක් ද මෙහිදි පිරිනැමිණි. එම අනභිභවනීය සම්මාන පුවත් පත් ක්ෂේ ත්‍රය වෙනුවෙන් ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතාද, ගුවන් විදුලි ක්ෂේත්‍රය වෙනුවෙන් කරුණාරත්න අමරසිංහ මහතාද, රූපවාහිනී ක්ෂේත්‍රය වෙනුවෙන් ලූෂන් බුලත්සිංහල මහතාද, වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ලක්ෂ්මන් ජයවර්ධන මහතාද පිදුම් ලැබූහ.

මෙහිදි ලංකාවේ සීමාසහිත එක්‌සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට (ලේක්හවුස් ආයතනය) සම්මාන පහක් හිමි විය.

වසරේ ප්‍රශස්ත විමර්ශනාත්මක පුවත (සිංහල) සඳහා සම්මානය දිනමිණ පුවත්පතේ ක්‍රිෂාන් අරෝෂණ මාන්නපෙරුම මහතාට හිමි විය.

වසරේ ප්‍රශස්තම ඡායාරූප ශීල්පියාට හිමි වූ සම්මානය දිනමිණ පුවත්පතේ රුක්මල් ගමගේ සහ සිළුමිණ පුවත් පතේ සුදම් ගුණසිංහ මහත්වරුන් විසින් ලබා ගන්නා ලදී.

වසරේ ප්‍රශස්ත පුවත් වාර්තාකරණය (දෙමළ) සඳහා තිනකරන් පුවත්පත් පතේ ලෝරන්ස් සෙල්වනායගම් මහතාට හිමි විය.

වසරේ ප්‍රශස්ත විශේෂාංග ලිපිය (ඉංග්‍රීසි) සඳහා පිරිනැමෙන සම්මානය සන්ඩේ ඔබ්සර්වර් පුවත් පතේ මහිල් විජේසිංහ මහතා දිනා ගත්තේය. ඊට අමතරව මෙහිදී පුවත්පත්, රූපවාහිනී හා ගුවන් විදුලි ‍ක්ෂේත්‍ර සඳහාද සම්මාන 52ක් පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් ඇමැති දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රි ලසන්ත අලගියවන්න, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහත්වරුද මාධ්‍ය ‍ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.

Comments