කපුවන් නැති මහ දෙවොල බිහි කළ සේදිරිස් මාමාගේ පහන් පැල | Page 2 | සිළුමිණ

කපුවන් නැති මහ දෙවොල බිහි කළ සේදිරිස් මාමාගේ පහන් පැල

සේයාරූ - අර්ශාද් නාමල්වත්ත
  • ගලේ දේවාලය පිහිටි තැන මුලින්ම ගමේ අය අලුත් සහල් මංගල්‍යය පැවැත්වූවා
  • දෙමළ බැතිමතෙකු අවුරුද්දකට සැරයක් මුරුතැන් දානයක් දුන්නා
  • දැන් කෙම්මුර දවසකට බැතිමතුන් පනස් දාහක් පමණ එනවා

මිනුවන්ගොඩ වෑගොව්ව ගම්මානයට මැදි වී පිහිටා ඇති වෙල්යායේ පැතලි ගල් තලාවක් මත හාස්කම් රැසක් තිබෙනවායැයි කියන ගලේ දේවාලය පිහිටා තිබේ. නිට්ටඹුව කටුනායක ප්‍රධාන මාර්ගයේ සිට හෝ මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රධාන මාර්ගයෙන් ගලේ දේවාලයට පිවිසිය හැකි අතුරු මාර්ග කීපයකි. ඒ හැම පිවිසුමකම වාහන නවතා තැබීම සදහා ඉදි කළ රථගාල් බොහෝ ප්‍රමාණයක් ඇත. වෙල්යාය මැදින් පීරා ගලා යන ඇළේ එක් ඉවුරක් අද දේවාලයට යන මාර්ගය බවට පත්ව ඇත.

මාර්ගය දෙපස එකට එකක් යා කොට තැනූ තේ කඩ සහ පූජාවට්ටි කඩ දෙසීයකට වඩා වැඩි ප්‍රමාණයක් ඉදි කොට තිබේ. එම වෙළඳසල් පවත්වාගෙන යන්නේ පෞද්ගලික ඉඩම්වලය. පූජා වට්ටි කඩයක් තේ කඩයක් හෝ වාහන නවතා තැබීමට රථ ගාලක් හිමි නොවන්නෙකු මේ අවටින් සොයාගැනීම දුෂ්කරය. පෙර කල නිහඬතාවෙන් වැසී තිබූ ගම්මානය ගලේ දේවාලයේ අනුහසින් නොනිදන කුඩා නගරයක් බවට පරිවර්ථනය වී ඇත. හාත්පස දැල්වෙන පහනින් හමන තෙල් සුවඳ, මල් සුවඳ මෙන්ම සුවඳ දුමින් නැඟෙන සුවඳ පරිසරය තුළ යම් උපශාන්ත බවක් ඇති කරයි.

බෝසත් ත්‍රස්තවාදය

ගලේ දේවාලය විශේෂය. අනෙකුත් දේවාල මෙන් එම දේවාලයේ දෙවියන්ට ආවතේව කිරීම සඳහා කපුවෙක් නොසිටී. කපුවන් ගෙන්වා යාතිකා කිරීමට ද සම්ප්‍රදාය විසින් තහනම් කරනු ලැබ තිබේ. මල් පහන් පුදා පඬුරු ගැටගසා පූජා වට්ටි දෙවියන්ට කැප කිරීම ඇතුළු සියලුම පුද පූජාවන් කැමති කෙනෙකුට කැමති ආකාරයකට කළ හැකිය. දෙවියන් වෙත යෑමට අවශ්‍ය නම් අතරමැදියන් නැත. දෙවියන් හා ගනුදෙනු කිරීම තම තමන්ම කරගත යුතුය.

එම අපූරු මෙම පුදබිම පිළිබඳ නොදත් තොරතුරු දැනගන්නට සුදුසුම ස්ථානය සිදුහත් සමිතිය ය. අපි සමිති කාර්යාලයට පිය නැඟුවෙමු. වෑගොව්ව ගලේ දේවාලයේ සිදුහත් සමිතිය යනු ගම්වාසීන් එකමුතු වී පිහිටුවාගෙන ඇති සමිතියකි. දේවාලයේ සංවර්ධන කටයුතු පරිපාලන කටයුතු හා මුදල් පරිපාලනය සිදු වන්නේ එම සමිතියෙනි. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැගෙන එන අපද්‍රව්‍යය කළමනාකරණය ඇතුළු ස්ථානීය පවිත්‍රතාව සම්බන්ධ කටයුතු කිරීම බාරව ඇත්තේද සිදුහත් සමිතියටය.

එහෙත් සිදුහත් සමිතියේ බෝසත් ගුණ නැති බව වැටහෙන්නේ ඔවුන් අප අමතන දේවදත්ත භාෂා විලාශය ඇසෙන විටය. “දේවාලෙ ගැන කිසිම තොරතුරක් මාධ්‍යවලට නොදී ඉන්න සමිතිය තීරණය කරලා තියනවා. මීට කලින් රූපවාහිනි චැනල් එකකින් ඇවිත් අපෙන් තොරතුරු අරගෙන ගිහින් මෙතැන දෙවියෙක් නෑ කියලා වැඩසටහනක් කෙරුවා. ඒ හින්ද මාධ්‍යකාරයෝ ගේට්ටුවෙන් මෙහාට ආවොත් කනට ගහල එළවන්ඩ කියල තමයි අපට කියලා තියෙන්නෙ. ඒ නිසා මුලින්ම ඔය ෆොටෝ ගහන වැඩේ නවත්තන්න. දැන් පිට වෙලා යන්න. ”

සිදුහත් සමිතියේ තරුණ පිරිසගේ බෝසත් ත්‍රස්තවාදයට ඉඩ දී දැන් අප පිටත්ව යා යුතුය. මේ ඔවුන්ගේ ගමය. දේවාලයේ අයිතිය ඇති සිදුහත් සමිතියට දෙවියන්ගේ අයිතියත් ඇතිවා සේය. කිසිවෙකුට පුදබිම පිළිබඳ කිසිම තොරතුරක් ලබාදීම වළක්වා ප්‍රසිද්ධ නියෝග නිකුත් කෙරිණි. අප සිටියේ ගලේ දෙවියන්ගේ පිහිටද අහිමි වී යා හැකි වටපිටාවකය. සැබැවින්ම අප සොයමින් සිටියේ ගලේ දේවාලයේ වැඩ ඉන්නා දෙවියන්ගේ රුවගුණ නොවේ. මේ බිමේ උන්වහන්සේගේ පැවැත්මත් නොවේ. අප විශ්වාස කරන පරිදි දෙවිවරුන් වැඩ ඉන්නෙ සැබෑ බැතිමතුන්ගේ හදවත්වලය. හදවත් තුළ දෙවියන්ට ලැගුම් දී ඇති අව්‍යාජ ගැමියෝ අප සොයන අතීත කතාව දනිති. ඒ කතාව කියන්නට ඔවුන් මසුරු වූයේ නැත.

අවුරුදු පනහකට පමණ පෙර එක්තරා දවසක සිට වියපත් මැතිමතෙකු පුරුද්දක් ලෙස පත්තු කළ පහන් එළියක් මහා පුදබිමක් නිර්මාණය කර ඇත. ඒ පිළිබඳ වූ ඒ කතාව අපූරුය. මේ කතාව කියන්නට මුලින්ම අප හා එක්වන්නේ ඇසිලින් අම්මාය. තම දියණියද සමග පූජාවට්ටි කඩයක් තුළ අසුන් ගෙන සිටියාය. ගලේ දේවාලය අසල කඩයක් පටන්ගත් දෙවැන්නා ඇයය.

පුදබිමේ ඇරඹුම

“මේ දේවාලේ තියන තැන මුලින්ම පහන් වැටක් හැදුවේ මම. ඒකෙ පහන් හතලිහක් තිබුණා. මගේ මහත්තයා නැති වෙලා තුන් මාසෙ දානෙ දෙන්න කලින් දවසෙ තමයි ඒ පහන් වැට මුලින්ම පත්තු කෙරුවේ. ඒ එක්දාස් නවසිය අසූ අටේ මාර්තු මාසෙ විසි හත් වෙනිදා. ඒ වෙන කොට දේවාලේ තියෙන තැන වෘක්ෂය මුල පත්තු වුණේ එක පහනයි. මම පහන්වැට පත්තු කරපු දවසේ ඉඳලා අද වෙන කොට එක රෑකට පොල්තෙල් බෝතල් කීයක නම් පහන් පත්තු කරනවද?”

“සේදිරිස් බාප්ප තවමත් ජීවතුන් අතර ඉන්නවා. එයාගේ ආච්චිට අයිති කුඹුරු යායෙන් කොටසක තමයි මේ දේවාලෙ හැදුණේ. මෙතැන ගල තියෙන හින්දා කුඹුරක් කොටන්න බෑ. මම දන්න කාලේ සේදිරිස් බාප්ප හැමදා හවසට මෙතැන පහනක් තියනවා. ඒ පහන තියපු පහන් පැල කොයි තරම් පරණයිද කියල මම දන්නෙ නෑ. කුඹුරු කොටල අස්වැන්න නෙළුවට පස්සෙ ගමේ උදවිය අලුත් සහල් මංගල්ලෙ පවත්වන්නෙ මේ දේවාලෙ තිබුණු තැන. ඔය කාලේ මට මතකයි “අයියප්ප” කියල දෙමළ මනුස්සයෙක් මේ දේවාලෙ තියෙන තැන අවුරුද්දකට වතාවක් මුරුතැන් බත් දානයක් දෙනවා. දැන් ඔය ඔතැන තියෙන බෝධියයි ඉද්ද ගහයි පැළ කළෙත් සේදිරිස් බාප්පා. ඒ සිද්ධියත් මට හොඳට මතකයි.”

ඇසිලින් මහත්මිය පහන් වැට ඉදි කිරීමටත් පෙර සිට සේදිරිස් මාමා වර්තමානයේ ගලේ දේවාලය ඉදි කර ඇති ස්ථානයේ තිබූ පහන් පැලක දිනපතා පහනක් දැල්වූ වග මතකයේ ඇති වැඩිහිටියන් බොහෝ දෙනෙකු අපට හමු විණි. ඒ සියලු දෙනා විශ්වාස කරන අයුරින් ගලේ දේවාලය ආශ්චර්යවත් තැනකි. ඔවුන් දකින එක් ආශ්චර්යයක් නම් දේවාලය පිටුපසින් රෝපණය වී ඇති කිරි නුග ගසය. එම ගසේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය නම් ඒක් අතු රිකිල්ලක පමණක් ලියලන පත්‍ර දලුලා වැඩෙන්නේ ඉතාම කුඩාවට වීමයි.

දේවාල භූමියේ පිටුපස වැඩී ඇති එම කිරි නුග ගසේ පත්‍ර අතීතයේ සිටම මේ අයුරින් ප්‍රමාණ දෙකකින් හටගැනීම ගැමියන් විස්මයට පත් කර තිබුණ ආකාරය පෙනේ. ගලේ දෙවාලයේ වැඩ වාසය කරන ගම්භාර දෙවියන්ගේ හාස්කම් පිළිබඳ වූ එක් ජීවමාන සාක්ෂියක් ලෙස සැලකන්නේ එම කිරි නුග ගසය. කිරි නුග ගසේ පත්‍ර කුඩාවට වැඩෙන අත්ත බෙදී ඇති ස්ථානයේ ගැඹුරට නෙරා ඇති කුහරයක ලකුණු දුටුවෙමි.

ගලේ දේවාලය අනුහස් පිරි ස්ථානයක් ලෙසින් කෙටි කාලයක් තුළ ප්‍රකට වීමට බලපෑ තවත් ප්‍රධාන සාධකයක් වන්නේ දේවාල ගොඩනැගිල්ල ඉදි කිරීමය. ඇසිලින් අම්මා කියන ආකාරයට එම ඉදි කිරීම කරන්නේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකි. ඔවුහු දෙදෙනා කිරි නුගය ඉදිරිපිට පහන් දල්වා තම ව්‍යාපාර සාර්ථක කරදෙන මෙන් ගම්බාර දේවතාවන් වහන්සේගෙන් ඉල්ලීමක් කර පඬුරු ගැටගැසූහ. ඉතා කෙටි කලක් තුළ ඔවුන් දෙදෙනාගේ ව්‍යාපාර සාර්ථක වී තිබිණි.

භාරය ඔප්පු කරමින් දේවාල ගොඩනැගිල්ල ඉදි විය. දිනෙන් දින දියුණු වන එම ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරයේ රහස ගලේ දේවාලයේ වැඩසිටින ගම්භාර දෙවියන්ට බාරවීමය යන ආරංචිය ගමපුරා පැතිර ගියේය. ඉන්පසු වෑගොව්වේ පමණක් නොව අසල ගම්වාසීහුත් ගම්බාර දෙවියන්ගෙන් බොහෝ දේ ඉල්ලා බාර හාර වන්නට දේවාලයට පැමිණියහ.

“ගම්බාර අප්පච්චි ඒ කාලඒ මෙතෙන්ට ආව ගියා විතරයි. සෙනඟ ගොඩක් යන එන හින්ද දැන් උන්නාන්සේ මෙතැනම වැඩහිටිනවා.” එසේ පවසන්නෙ ගම්බාර දෙවියන් උදෙසා දේවාලයේ මුල්ම පහන් වැට ඉදි කළ ඇසිලින් අම්මාය.

ලිපක් නැති දන්සල

කපුවන් නැති ගලේ දේවාලයේ ලිපක් නැති දන්සලක්ද ඇත. කිරිබත් කැවුම් කොකිස් කෙසෙල් ගෙඩි පමණක් නොව පාං බනිස් ඇතුළු බොහෝ දේ දිනපතාම බැතිමතුන්ට ලබාදෙන දන්සල සඳහා ආහාර පිස ගෙනෙන්නේද බැතිමතුන්මය. කිසිදු ආහාරයක් දේවාල භූමියේ සකස් කිරීමක් නොකෙරේ. එහෙත් ආහාර පානවල අඩුවක් නැත. සවස පටන් මධ්‍යම රාත්‍රිය වන තුරුත් දන්සල නොකඩවා පවතිනු ලක්නට ලැබිණි. අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවල එම දන්සල දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන යන බව මෙතැනට පැමිණෙන බොහෝ දෙනා දනිති.

දරුපල නැත්තෝ දරුවන් ඉල්ලාගෙනද නඩු හබ ඇත්තෝ ඉන් සහනයක් ඉල්ලාගෙනද, රෝගීයෝ නිරෝගී බව පතාගෙනද, නැති බැරි අය ඇති හැකි අය වන්නට සිතාගෙනද කපුවෙක් නැති ගලේ දෙවොලට මිනිස්සු ඇදෙති. මේ සියලු මිනිසුන්ගේ දුක් පීඩා කන්දරාවම දෙවියන්ට බාර කරති. ඉන් ලබන සැනසීම රැගෙන ඔවුහු දෙවොල් බිමෙන් පිටව යති. ඒ යන අතරේ මිනුවන්ගොඩ වෑගොව්ව ගම්වල බොහෝ පිරිසකගේ සිත්වලටද සතුට සැනසීම ඉතිරි කර යති.

වෑගොව්ව ගම්මානයේ ජනතාවගේ ජනජීවිතයට ගලේ දේවාලයෙන් ලැබුණු බොහෝ දේ ඇත. “දේවාලයට පාරක් හදන්න යන කොට ඊට විරුද්ධ වෙච්චි කෙනෙක් අද බැතිමතුන් නිසා විශාල ආදායමක් ලබනවා. මේ සමිතිය ගෙඩනඟලා දේවාලය දියුණු කරන්න මුල් වුණු මිනිස්සු අද මෙතැන නෑ.” එසේ කියන්නේ කලක් වෑගොව්ව ගමේ සේවය කළ ග්‍රාමනිලධාරීවරයෙකි. එහෙත් දෙවියන් ඔවුන් සැමට සලකා ඇත්තේ එකම මෙත් සිතකින් බව පෙනේ. දේව කරුණාවෙන් ජීවිතය සරි කරගත් මිනිසුන් ගැන වෑගොව්ව විවේකාරාම විහාරයේ විහාරාධිපති උඩුපුස්සැල්ලාවේ විජිත ස්වාමීන්වහන්සේ කියන කතාව මෙසේය.

“වෑගොව්ව කියන්නෙ තැළුණු පොඩි වුණු මිනිස්සු ජීවත්වෙච්චි දුප්පත් ගමක්. ගොඩ දෙනෙක් ජීවිතය ගැටගහගත්තෙ කුලීවැඩ කරලා. අද ඒ තත්වය නැත්තටම නැති වෙලා . ගලේ දේවාලෙ නිසා ගමට දිනපතාම විශාල ආදායමක් ගලාගෙන එනවා. ගමේ හැමෝටම වගේ ආදායම් මාර්ග විවෘත වෙලා තියෙනවා. ගම ඇතුළේ තියෙන පාරවල් සේරම කොන්ක්‍රීට් කරලා නැත්නම් කාපට් කරලා. ඒ එකක්වත් ආණ්ඩුවෙන් කරපු දේවල් නෙවෙයි. දේවාලෙ පඬුරුවලින් ලැබෙන ආදායමෙන් කරපු දේවල්. ගමේ සංවර්ධන කටයුතු රාශියක් මේ වෙනකොට අවසන් කරලා දුප්පත්කම හින්ද තමයි ඒ වගේ නරක වැඩවලට මිනිස්සු පෙලඹෙන්නේ. අද ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. භෞතික වගේම ආධ්‍යත්මිකවත් විශාල දියුණුවක් ඉතාම කෙටිකාලයක් තුළ ඇති වෙලා තියෙනවා. ගමේ විතරක් නෙවෙයි. අවට ගම්වලටත් අපි උදව් කරනවා. කොටින්ම කියනවා නම් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ වැසිකිළි පද්ධතිය හදලා තියෙන්නෙත් ගලේ දේවාලේ සල්ලිවලින්.”

නායක හාමුදුරුවන්ගෙන් සමුගෙන පාරට පිවිසුණෙමු. වේලාව මධ්‍යම රාත්‍රී දොළහට ආසන්නව ඇත. රෑ බෝ වී ඇති නමුත් මාර්ගයේ තදබදය අවසන් නැත. තවමත් බැතිමත්හු දේවාලයට ඇදෙති. බොහෝ අපේක්ෂා සුන් වූ මිනිසුන්ගේ ජීවිතවලට බලාපොරොත්තු ලබා දෙන ගම්භාර දෙවියන්වහන්සේ වැඩ ඉන්නා ගලේ දේවාල භූමියේ ආලෝකවත් පහන් එළිපෙළ අහස පැහැපත් කර ඇති ආකාරය දෙස උපේක්ෂාවෙන් බලාගෙන සිටියෙමි.

 

Comments