නව නි‍ර්මාණ කියලා ජාතියක් ලෝකෙ කොහේවත් නෑ | සිළුමිණ

නව නි‍ර්මාණ කියලා ජාතියක් ලෝකෙ කොහේවත් නෑ

‘‘The Alchemist හැමදේම දන්නවා. එහෙත් මං දන්නවා මා හැමදේම නොදන්න බව. මා නොදන්නා බොහෝ දේවල් තිබෙනවා. ඇත්ත වශයෙන් ම The Alchemist හිදී එ‍ඬේරා, ක්‍රිස්ටල් වෙළෙන්දා මෙන් ම ෆැට්මා ද මමයි; මම බ්‍රීඩා ද වුණා. The Valkyries සහ The Pilgrimage නම් පොත්වල ඇත්තේ මගේ චරිතයයි. මගේ පොත් බොහොමයක් ප්‍රබන්ධ නොවේ. ඒවා මගේ සැබෑ අත්දැකීම්. Veronica Decides to Die සම්බන්ධයෙන් ද සැබෑව එයයි. එහි ඇත්තේ මා තුන්වරක් මානසික රෝහල්වලට ගාල් කළ අවස්ථාවල මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් සම්භාරයයි.”

පාවුලෝ කොයියෝ සමඟ කරන සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයක් සහිත කෘතියක් ම තැත වෙයි. ‘රන් දම්’ නම් ඒ අපූර්ව කෘතියේ අපූර්ව කතා කිහිපයක් ම සටහන්ව ඇත. මේ කතා පරිවර්තනය කර ඇත්තේ සුමිත්‍රා රාහුබද්ධ සහ හසිතා තලගම්පොළ දෙපොළ ය.

නිදහස් පරිකල්පනයෙන් යුතු ඕනෑ ම නිර්මාණයක ලේඛකයාගේ; නිර්මාණකරුවාගේ අත්දැකීම් හා සහ සම්බන්ධ වෙන අවස්ථා සොයා ගැනීම අපහසු නැත. ලෝකයේ නව නිර්මාණ කියලා ජාතියක් නෑ කියලා බොහෝ විචාරකයෝ බය නැතිව කියන්නේ ඒකය. සෑම නිර්මාණයක් ම ඒ අදාළ නිර්මාණකරුවාගේ මනසේ කවදා කෙසේ කෙලෙස හෝ රැඳී අවශ්‍ය වෙලාවට ඔහුගේ පරිකල්පනය මෙහෙයවීමට දායක වේ. ඔබටත් දැනී ඇති සමහර අවස්ථාවල නිර්මාණයක්, කවියක් ලියද්දි හෝ දේශනයක් පවත්වද්දී අපට ගලාගෙන එන සමහර දේවල් අපේ මනසේ මතකයේ තිබුණ කියලා අපට දැනීමක් නොතිබි බව. ඔබ පුදුම වීත් ඇති ඒ කරුණ ඔබට ආවේ කොහොමද කියලා. මට නම් අනන්තවත් එලෙස සිදුවී තිබේ. ප්‍රබන්ධ ලෝකය කෙතරම් විචිත්‍රවත් ද කියා කියනවා නම් නිර්මාණකරුවාගේ ඒ සැඟවුණු ලෝකය, ජීවන තතු එයින් නිරූපිත අන්දර කිසිවක් නිර්මාණයෙන් සොයා ගත නොහැකි අවස්ථා එමට ය. හැම නිර්මාණකරුවෙක් ම තමන්ගේ කතාවල, කවිවල අමුද්‍රව්‍ය සඳහා තමන්ගේ ම අත්දැකීම්වල ගොදුරු සොයයි. නිර්මාණකරුවන් මෙය කරන්නේ කාරණා දෙකක් උදෙසායි. එකක් තමන්ගේ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමේදී පරිසරය හා සිදුවීම් චිත්‍රණය කරන්නට පහසු වීමයි. දෙවැන්න නිර්මාණයක් කිරීම යන අති දුෂ්කර හා සුකර නොවන ව්‍යායාමයට අධිෂ්ඨානයක්, ශක්තියක් එක් කර ගැනීමටයි.

සාමාන්‍යයෙන් ඕනෑ ම ලේඛකයෙක් කියන දෙයක් තිබේ. ඒ කුමක් හෝ සිද්ධියක්, කතාවක්, අත්දැකීමක්, චරිතයක් තමාට වද දිදී තමන් වටේ ම ගැවසුණා නිසා එයින් නිදහස් වීමටයි මම මේ නවකතාව ලියුවේ, කවිය ලියුයේ, කෙටිකතාව ලියුයේ කියා. ඒ වගේම නිර්මාණකරණයේදී තමන්ට ළඟා වීමට නොහැකි වුණු බොහෝ දේ ගැන, ඒවාට ළඟාවිය හැකි ක්‍රමවේද ගැන සාකච්ඡා කෙරේ. මේ සියල්ල කෙරෙන්නේ තමන්ගේ යටි සිතේ වන බලපෑම ඔස්සේ ය. බොහෝ රංගනවේදීන් පවසන කතාවක් වන්නේ තමන් රංගන වෘත්තියට කැමති වන්නට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නේ සෑම වෘත්තියක් ම, සෑම මනෝභාවයක් ම, සෑම ස්ථරයක් ම තමාට ගත කරන්නට ලැබෙන නිසා ය කියා ය. නිර්මාණකරුවා ද එසේ ම ය. ඔහුත් තමාට ළඟා කර ගත නොහැකි වුණු බොහෝ දේ ළඟා කර ගන්නේ සිය නිර්මාණවල ඒවා ප්‍රතිනිර්මාණය කිරීමෙනි.

නිර්මාණකරුවකුගේ ජීවිතයේ තොරක් නැති සිදුවීම්වලින් සමහර ඒවා ඉතා තදින් නිර්මාණශීලීත්වය උත්තේජනය කරයි. සමහර ඒවා පරිකල්පනය නොදල්වා මතක අතරින් පෙරී යයි. ඕනෑම නිර්මාණකරුවකුගේ මනසේ තදින් කාවදින දෙයක් සිදුවීමට නම් තමාගේ ජීවන අත්දැකීම් හා ඒවා මුසුවිය යුතු සේම තමාට ඒ අත්දැකීම්හිදී ඉටුකර ගත නොහැකි වුණු; නමුත් ඉටු කර ගැනීමට ආශාවෙන් සිටින දෙයක් ද විය යුතු වේ.

මීට යම් තරමකින් වෙනස් කතාවක් ජේ.කේ. රෝලින් හාවර්ඩ් සරසවියේ උපාධි ප්‍රදානෝත්සවයකදී කළ දේශනයකදී පවසා තිබේ. ඇයට අනුව බොහෝ දෙනෙක් තම පරිකල්පන භාවිත කරන්නට කැමැත්තක් දක්වන්නේ නැත. ඇය පවසන ආකාරයට ඔවුහු තමන්ගේ ම අත්දැකීම් හි සුවපහසුව රැඳී සිටීම ‍තෝරා ගනිති. අන් අයගේ අත්දැකීම් කවරාකාරදැයි සොයා බැලීමට ඔවුහු නොවෙහෙසෙති. වේදනාත්මක කෑ ගැසීම් හෝ කූඩු ඇතුළට එබී බැලීම් ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට හැකිය. තමන්ට පෞද්ගලිකව විඳීමක්, වේදනාවක් නොදැනෙන්ට, නෑසෙන්ට ඔවුන්ට සිය හදවත් සහ සිත් අගුලු දා ගත හැකිය.

පටු අවකාශයක ජීවත් වන්නට තෝරා ගැනීම ද විසල් අවකාශවලට බිය ඇති කරන්නට සමත් වෙයි. ඇය තවදුරටත් කියන්නේ පරිකල්පනය බැහැර කරන අයට බය වැඩියෙන් දැනෙන බවයි. අන් අයගේ දුක් වේදනා නොදැනෙන්නේ නම් ඒ අය බියජනක පුද්ගලයන් බවයි.

අත්දැකීම් තමාගේ හෝ අන් අයගේ වීම නිර්මාණකරුවාට අදාළ නොවන්නේ ඔහු ලබා ඇති ජීවන පරිඥානයේ පරිමාව අනුව යැයි සිතේ.

මැජික්කාරයන්ගේ ප්‍රයෝග, උපක්‍රම භාවිතයට ගැනීමට ඇති හැකියාව මත නිර්මාණකරණයේ ශක්තිය රඳා පවතී. ප්‍රබන්ධයේ අව්‍යාජත්වය රඳා පවතින්නේ ජීවිතය විසින් විධිවිධානය කරන නීතිරීතිවලට කීකරු වී අත්දැකීම් වලින්ම මතුවෙන දෑ නිර්මාණයට නඟන්නා ළඟ ය. ඔබ මා රන්සුනු සොයා යන මේ ගමනේදී අපගේ අත්දැකීම්, අන් අයගේ අත්දැකීම්, වෙන වෙන විධික්‍රම ඔස්සේ ලැබෙන අත්දැකීම් ආදී සෑම දෙයක් ම කවර හෝ මොහොතක අපට ප්‍රයෝජනවත් වන බැව් පමණක් සිහිතබා ගත යුතු වන්නේ ඒ නිසාය.

[email protected] 

Comments