පරිස්සම් වන්න ATM යන්ත්‍ර ඇතුලේ ඉලෙකටෝ‍රනික හොරු! | Page 2 | සිළුමිණ

පරිස්සම් වන්න ATM යන්ත්‍ර ඇතුලේ ඉලෙකටෝ‍රනික හොරු!

පසුගිය දිනවල මෙරට තුළ අමුතුම ආකාරයේ සොරකමක් ගැන වාර්තා විය. ඒ විදෙස් ජාතිකයන් පිරිසක් විසින් ඒටීඑම් යන්ත්‍රවලින් අන් සතු ගිණුම්වලින් සූක්ෂ්ම ලෙස මුදල් ලබාගත් බවටයි.

ඒ අනුව එම වංචාවට අදාළ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි අනුව චීන ජාතිකයන් දෙදෙනෙකු කොළඹ කොටුවේ පිහිටි මූල්‍ය ආයතන ප්‍රධාන ශාඛාවකදී සහ වැල්ලවත්තෙදී අත්අඩංගුවට ගනිද්දී අවසානයට පසුගිය හතර වැනිදා පාණදුරේදී රුමේනියා ජාතිකයකු ද අත්අඩංගුවට පත් වූයේය. මේ ජාවාරම්කරුවන් විසින් මේ වන විට රුපියල් ලක්ෂ 12ක් පමණ වංචා කර ඇති අතර ඔවුන් සතුව ව්‍යාජ කාඩ්පත් 200ක් සහ දත්ත සොරකම් කිරීමට භාවිත කළ උපකරණ දෙකක්ද තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා කීවේය.

එම ජාවාරම්කරුවන් සතිඅන්තවලදී ඒටීඑම් යන්ත්‍ර කුටිවලට ඇතුළු වී මේ ජාවාරම සිදු කර තිබිණි. මෙරටට පැමිණ දින කිහිපයක් රැඳි සිටින ජාවාරම්කරුවෝ කණ්ඩායම් වශයෙන් රට රටවල ගොස් මේ ජාවාරමේ නිරතව ඇති බව හෙළි වේ. මෙරට තුළදී කලින් කලට නොයෙක් රටවල විදෙස් ජාතිකයන් මේ වංචාව සිදු කර තිබේ. වංචාකරුවන් හිස්වැසුම් ආදිය පැලඳ ඒටීඑම් කුටිවලට ඇතුළු වී සූක්ෂ්ම ලෙස දත්ත සොරාගෙන ව්‍යාජ කාඩ්පත් නිර්මාණය කොට මේ ජවාරම සිදු කරයි.

කිසිදු ලෙසකින් බැංකු ගිණුම් ජාලයට හොර රහසේ ඇතුළු වී සිදු කරන ජාවාරමක් නොවන එම වංචාව ගැන අප කරුණු විමසුවේ බැංකු අතර ඒටීඑම් ජාලගත කරන Lanka Pay ජාලය ක්‍රියාත්මක කරන Lanka Clear ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතාගෙනි.

“මෙය අලුතෙන් වූ වංචාවක් නොවේ. කලින් කලට ලෝකයේ සෑම රටකම පාහේ සිදු වන වංචාවක්. මේ වංචාකාරයන් කරන්නෙ හිස්වැසුම් ආදිය පැලඳ කැමරාවලට වසන් වී ඒටීඑම්වලට ඇතුළුවී එහි කාඩ්පත ඇතුළු කරන තැනට සහ මුරපදය ඇතුළු කරන තැනට උපකරණ දෙකක් සවි කරනවා. කාඩ්පත ඇතුළු කරන තැනට යොදන්නෙ දත්ත සොරාගැනීමේ උපකරණයක්. ඒ තුළ ජනයා ඇතුළු කරන කාඩ්පත් දත්ත ගබඩා කරගන්නවා. මුරපදය යොදන තැනට කුඩා කැමරාවක් සවි කරනවා. ඉන් කාඩ්පත් හිමියාගේ අදාළ කාඩ්පතේ මුරපදයේ විඩියෝ දසුනක් ගබඩා කරගන්නවා. පසුව එම උපකරණ දෙක ගලවාගෙන ගොස් අදාළ කාඩ්පත් දත්තවලට සරිලන ව්‍යාජ කාඩ්පත් නිර්මාණය කරනවා. ඉන් පසුව වංචාකාරයන් එහි මුරපද අංකය භාවිත කොට මුදල් සොරාගන්නවා. මේ දේ තමයි වංචාකාරයන් සිදු කරන්නෙ.

මේ සොරකමෙන් ජනතාව ගලවාගැනීමට බැංකුවටත් වගකීමක් තියෙනවා. මොකද එහෙම කෙනෙක් ව්‍යාජ ලෙස කාඩ්පත් යොදා මුදල් ලබාගතහොත් බැංකුවට අදාළ මුදල් ගිණුම් හිමියාට පිරිනමන්න වෙනවා. ඒ වගේම කාඩ්පත් හිමියන්ටත් මෙහි ලොකු වගකීමක් තියෙනවා. ඔවුන්ට කරන්න තියෙන හොඳම දේ තමයි, තම ගිණුමේ භාවිතා පිළිබඳ එස්එම්එස් පණිවිඩයක් තම ජංගම දුරකතනයට ලබාගැනීමයි. එතකොට කිසියම් කෙනෙක් තම ගිණුමෙන් හොර රහසේ මුදල් ලබාගතහොත් පළමු අවස්ථාවේදීම තහවුරු වෙනවා. ඊට අමතරව චිප් එකක් සහිත නව කාඩ්පත් සියලු දෙනාම ලබාගත යුතුයි. චිප් සහිත කාඩ්පතේ දත්ත පහසුවෙන් සොරාගන්න බැහැ. ඒ වගේම ඒටීඑම් කුටිවලට ඇතුළු වූ විට මනා සෝදිසියකින් සිටිය යුතුයි අනවශ්‍ය උපකරණ සවි කර තිබේද කියා.

මේ සොරකම ගැන මහජනයා දැඩි සේ කලබල විය යුතු නැති බව අවධාරණය කර සිටින ප්‍රධාන විධායක නිලධාරිවරයා ඒටීඑම් බැංකු ගිණුම් ජාල තුළ සිදු වන ගනුදෙනු අතර සොරකමක් නොවන හෙයින් ජනතාව මෙන්ම මූල්‍ය ආයතනවල ආරක්ෂක අංශ ද අවධානයෙන් සිටීම මේ වංචාවෙන් මිදීමට වැදගත්ම සාධකයක් බව කීවේය. ඒ අනුව මූල්‍ය ආයතනවල ආරක්ෂක අංශ සාමාජිකයන් හිස්වැසුම්, ජැකට් ආදිය පැලඳ ඒටීඑම් කුටිවලට ඇතුළු වන අය ගැන සෝදිසියෙන් සිටීමෙන් රට පුරා පිහිටි පන්දහසකට ආසන්න ඒටීඑම් යන්ත්‍රවලින් ගනුදෙනු කරන මිලියන විස්සකට අධික ජනයා වංචාකරුවන්ගෙන් මුදාගැනීමට හැකි වනවා සේම වංචාකාරයන්ද නීතියේ රැහැනට පහසුවෙන් කොටු කරගත හැකි වනු ඇත.


ATM හොරුන්ගෙන් බේරෙන්න නම් ඔබ විමසිලිමත් විය යුතුයි

1. මුදල් ලබා ගන්නා යන්ත්‍රයේ කාටත් නොදැනී සවි කර ඇති දත්ත සොරා ගන්නා උපකරණ ගැන සැලකිලිමත් වන්න.

දත්ත පෙන්වන තීරය හෝ ඒ අවට

මැලියම් හෝ ටේප් සලකුණු.

කාඩ්පත ඇතුළු කරන කොටස

සෙලවීමක්

හොර රහසේ සවි කළ කැමරාවක්

යන්ත්‍රය අසල කුඩා සිදුරක් හෝ වේද?

යතුරු පුවරුවේ අසාමාන්‍ය ගනකම්

ස්වභාවය

ATM යන්ත්‍රයේ වෙනස් පැහැයක්.

රිසිට් පත ලබා ගන්නා විවරයේ ඇති

කඩතොලුවීම්

2. මුදල් ලබා ගැනීමට පෙර යන්ත්‍රය

පරික්ෂා කරන්න.

3.කාඩ්පත ඇතුළු කිරීම අපහසු නම් එම

යන්ත්‍රය භාවිතයෙන් වළකින්න.

බලධාරින් දැනුවත් කරන්න.

නිතරම ජනාකීර්ණ, ආවරණය නොවූ

ස්ථාන හා ක්‍රියාශීලී ස්ථානවල ඇති

යන්ත්‍ර භාවිත කරන්න.

අන් අයට නොපෙනෙන සේ අතින්

ආවරණය කරමින් රහස් අංකය ඇතුළු

කරන්න.

4.සතියේ දිනවලදී මුදල් ලබා ගන්න.

බැංකු විවෘතව ඇති දිනවලදී වංචනික

ක්‍රියාවල යෙදීම අපහසුවන බැවිනි.

5.නිතර ඔබගේ බැංකු ගිණුම පරික්ෂා

කරන්න.

6.සැක සහිතනම් වෙනත් යන්ත්‍රයක් භාවිත

කරන්න.

Comments