අමි­තාව් ඝෝෂ් ඥාන්පිත් සම්මා­න­යෙන් පිදුම් ලබයි | සිළුමිණ

අමි­තාව් ඝෝෂ් ඥාන්පිත් සම්මා­න­යෙන් පිදුම් ලබයි

ඉන්දියානු සාහිත්‍යයට විශිෂ්ට දායකත්වයක් සපයන ලේඛක ලේඛිකාවන් උදෙසා වාර්ෂිකව පිරිනැමෙන ඥාන්පිත් සම්මානය පසුගියදා ඉංග්‍රීසි ජාතික ලේඛක අමිතාව් ඝෝෂ් (amitav ghosh) වෙත පිරිනැමුණා. වර්ෂ 1961දි ආරම්භ කර ඇති මේ සම්මානය ඉංග්‍රීසි බසින් නිර්මාණකරණයේ යෙදෙන ඉන්දියානු ලේඛකයෙකුට හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

දැනට 56 වැනි වියේ පසුවන අමිතාව් ඝෝෂ් බෙංගාලයේ උපත ලබා ලෝකය පුරා විවිධ රටවල ජීවිතය ගත කර ඇති ලේඛකයෙක් වශයෙන් ප්‍රකට ය.

ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, එංගලන්තය, ඊජිප්තුව ආදී නොයෙක් රටවල බොහෝ ප්‍රදේශ ගණනාවක සිය ජීවිතය ගත කර ඇති ඔහු, මේ වනවිට සිය බිරිය සමඟ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර වාසය කරයි.

ඔහු විසින් රචනා කළ ‘ද ෂැඩො ලයින්ස්’, 'සර්කල් ඔෆ් රීසන්' වැනි කෘති ලොව පුරා පාඨකයන් අතර ඉමහත් ජනප්‍රිය විය.

මෙයට පෙරද ඔහු සාහිත්‍ය ඇකඩමි සම්මානය සහ පද්ම ශ්‍රී ප්‍රණාමය වැනි ඇගයීම් රැසකින් පිදුම් ලබා තිබීම ද විශේෂත්වයකි. ඔහුගේ අලුත්ම නවකතාවද මේ වසරේ ජුනි මාසයේදී ප්‍රකාශයට පත් වීමට නියමිත බව වාර්තා වේ.

 


නගීබ් මහෆුස් සාහිත්‍ය පදක්කම සවුදි ලේඛිකාවකට

මේ වසරේ නගීබ් මහෆුස් සාහිත්‍ය පදක්කම සවුදි ලේඛිකා ඔමයිමා අල්ඛමිස් (Omaima Al-Khamis) වෙත පිරිනැමීමට සුදානම් බව පසුගියදා ප්‍රකාශයට පත් කර ඇත. මෙය ප්‍රකාශ කෙරුණේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ ප්‍රථම අරාබි ජාතික ලේඛකයා ලෙස සැලකෙන නගීබ් මහෆුස්ගේ ජන්ම සංවත්සරය සැමරීම සඳහා කයිරෝ නුවර අමෙරිකානු විශ්ව විද්‍යාලයේ පෙරදිග අධ්‍යයන ශාලාවේ පැවතී විශේෂ උත්සවයකදීය.

වර්ෂ 1966දී රියාද් නුවර උපත ලබා, පසුව කින්ග් සවුදි විශ්ව විද්‍යාලයේ අරාබි සාහිත්‍ය හැදෑරූ අල්ඛමිස්, කෙටිකතා සංග්‍රහ සහ ළමා සාහිත්‍ය කෘති කිහිපයක් මෙන්ම නවකතා දෙකක්ද ලියා තිබේ.

ඒ අතරින් එක් නවකතාවක් 2010 වසරේදී අරාබි බුකර් සම්මානය සඳහා ද නිර්දේශ වීම විශේෂත්වයකි. මෙවර නගීබ් මහෆුස් සාහිත්‍ය පදක්කම දිනූ ඇගේ නවකතාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර පළ කිරීමට කයිරෝ නුවර අමෙරිකානු විශ්වවිද්‍යාලයට අයත් මුද්‍රණාලය මේ වන විටත් කටයුතු සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

 


චාල්ස් ඩිකන්ස්ගේ පොත් සහ අත්පිටපත් පරිත්‍යාග කෙරේ

පාසල් සිසුවකුව සිටියදී ත්‍යාග වශයෙන් ලද ‘අ ක්‍රිස්මස් කැරොල්’(A Christmas Carol) කෘතිය කියවීමෙන් පසුව ඩිකන්ස් පිළිබඳ දැඩි උනන්දුවක් ඇති වූ ඩැනියල් රයන් නැමැති පුද්ගලයකු විසින් එකතු කරන ලදුව කෞතුක භාණ්ඩ රැසක් පසුගියදා මැසචුසෙට්ස් නුවර වෝල්චෙස්ටර් පොලිටෙනික් ආයතනයට පිරිනමනු ලැබීය.

රයන් නැමැත්තා විසින් එම භාණ්ඩ වසර 65ක කාලයක් පුරා එකතු කර ඇති බව සඳහන් වේ. ඔහුගේ බිරිය ද මෙයට සහයෝගය දක්වා ඇත. එසේම විවිධ චිත්‍ර ශිල්පීන් දහසය දෙනකු විසින් ඩිකන්ස්ගේ කෘතිවල මුල් ම පිටපත් සඳහා නිර්මාණය කරන ලද රුපසටහන් සහ ඒවා මුද්‍රණය කිරීම සඳහා උපයෝගී කරගන්නා ලද ලෝහ තහඩු අතරින් කිහිපයක්ද මේ අතර තිබී ඇතැයි සඳහන්. ඩිකන්ස් විසින් ලියන ලද ලිපි කිහිපයක් ද ඒ අතර වේ. මෙයට පෙර කිසිදු අවස්ථාවක සොයා ගැනීමට නොහැකි වූ විරල ගනයේ ලිපි කිහිපයක් ද ඒ අතර තිබීම විශේෂත්වයකි. ඔහු විසින් සිය පෞද්ගලික ලිපි රැසක් පුළුස්සා දමා ඇති බව බවත්, මේවැනි ලිපි මේ ආකාරයෙන් හෝ නැවත හමු වීම වැදගත් බව බොහෝ විචාරකයන්ගේ අදහසයි. කෙසේ වෙතත් මේ වටිනා කෞතුක භාණ්ඩ 2020 වසරේදී පැවැත්වීමට නියමිත චාල්ස් ඩිකන්ස්ගේ 150 වැනි ගුණානුස්මරණ සංවත්සරයේදී ප්‍රදර්ශනයට තැබීමට සුරක්ෂිතව තබා ඇති බව වාර්තා වේ.

 


වොනෙගට්ගේ නවකතාවකට අදාළ ඡායාරූප සහ ලිපි හමු වේ

අමෙරිකානු ලේඛක කර්ට් වොනෙගට් (Kurt Vonnegut) රචනා කළ 'ස්ලෝටර්හවුස්-ෆයිව් (Slaughterhouse-Five)’ නමැති යුද විරෝධී විද්‍යා ප්‍රබන්ධ නවකතාවට පාදක වූ තොරතුරුවලට අදාළ ඡායාරූප සහ ලිපි රැසක් හමු වී ඇති බව වාර්තා වේ. දෙවැනි ලෝක යුද්ධය පැවති කාලයේදී ඩ්‍රෙස්ඩන් නුවර අමෙරිකානු හමුදාවේ සොල්දාදුවකු ලෙස කටයුතු කරමින් සිටියදී නට්සි ජර්මනියේ යුද සිරකරුවකු බවට පත්වීමෙන් පසුව වොනෙගට් විසින් එකතු කර ඇතැයි සැලකෙන මේ ඡායාරූප සහ ලිපි එකතුව හමු වී ඇත්තේ අදාළ නවකතාව පළ වී වසර 50ක් සපිරීමට ආසන්නව තිබියදී වීම විශේෂත්වයක්.

මුල්වරට 1969 දී ප්‍රකාශයට පත්ව ඇති මේ නවකතාව සඳහා පසුබිම සැපයූ අත්දැකීම් හා සම්බන්ධ පෞද්ගලික ලියුම් 22ක්, ඡායාරූප රැසක් හා 1945 වසරේ ජනවාරි මාසයේදී ඔහු අතුරුදන් වී ඇතැයි කියවෙන විදුලි පුවතක්ද මේ එකතුව අතර තිබී ඇත.

වොනෙගට්ගේ ප්‍රථම නවකතාව 'ප්ලේයර් පියානෝ' (Player Piano) 1952 වසරේදී පළ වූ නමුත් හෙතෙම වඩාත් කතාබහට ලක් වූයේ ඔහුගේ 6 වැනි නවකතාව වූ 'ස්ලෝටර්හවුස්-ෆයිව්' පළ වීමෙන් පසුවයි.

 

Comments