මට උඹව මිස් උනා | Page 2 | සිළුමිණ

මට උඹව මිස් උනා

ගුරුවරයකු තම වෘත්තීය ජීවිතයේදී කවි ලිවීම නිසා අමිහිරි අත්දැකීමකට මුහුණ දී ඇත්නම්, ඒ කුෂාන් ශාලික පමණක්දැයි විමසන්නට මම නොයමි. එහෙත් කවි ලියූ ගුරුවරයකු ලෙස ඔහු‍ෙග් අත්දැකීම කෙළවර වන්නේ ස්ථාන මාරුවක් ද ලැබීමෙනි. පාසලේ දී කවි ලියූ ගුරුවරයා තම පළමු කාව්‍ය සංග්‍රහය 2017 දී පළ කරන්නේ, ‘ටයි පටිය දිගේ කඳුළු ගලනවා, (අහස පොතක්) නමිනි. මට ‘උඹ ව මිස් උනා,, මෙම සංග්‍රහයේ හමුවන ගද්‍ය පන්තිය ඔස්සේ කවියා කථකයා අතින් ගිලිහී ගිය පිය සෙනෙහසක් පිළිබඳ කියැවේ. මව් සෙනෙහස, පිය සෙනෙහස, සහෝදර ප්‍රේමය මාතෘකා කොටගෙන ලියැවුණු නිර්මාණ අප්‍රමාණ ය. ඒවා මඟින් පාඨකයනට ඉදිරිපත් කරනු ලබන අත්දැකීමෙන් මතුවෙන මානවීය ගුණය, නව දෘෂ්ටිය නිසා කෙතරම් පැරණි විෂයයක් වුව ද නව නිර්මාණයක් සේ රස විඳීමට පාඨකයනට අවස්ථාව සැලසේ. කවියා ‘මිස් උනා, යන යෙදුම භාවිත කරන්නේ අත හැරුණා, ගිලිහුණා, I miss you යන ඉංග්‍රීසි යෙදුමෙහි අර්ථය miss you යන්නෙන් ධ්වනිත වන අර්ථය වඩාත් සමීප යෙදුමක් ලෙස සලකමින් බව පෙනේ.

කථකයාගේ නග‍රයේ රැකියාවේ පසුබිම මෙන් ම, ඔහුගේ ගෘහස්ථ ජීවිතයේ විවිධ අවස්ථාවන්හි මුහුණ දෙන්නට සිදුවන, වැඩ කටයුතු, රාජකාරි ඔහුට තම පියා බලන්නට යෑම වැළැක්වූ බව පැවසේ.

‘අඩු පාඩු ෆයිල්වල කන්ද තව උස් උනා

අට පහේ රස්සාව හත අටට දික් උනා

එන්න එන්න ම සතුට ජීවිතෙන් හිස් උනා

වේදනා රළ පහර එයින් තව ඉස්සුණා

පෝය සති අන්ත දින කොළඹට ම කොටුවෙලා

ශොපින්වල බීච්වල හවස්වරු ගත උනා

ශෝට් ලිව් හාෆ් ඩේ ඒ වටම හිස් උනා

තාත්තේ උඹ බලන වැඩේ මට මිස් උනා...

රැකියා ස්ථානයේ රාජකාරි වැඩිවීම සුපුරුදු පෙරවරු අටේ සිට පහ දක්වා කාලය හත අටට දික් වන්නේ රාජකාරි ලිපිගොනුවල අඩුපාඩු වැඩි වූ බැවිනි. එනිසා ඔහුගේ සතුට ජීවිතයෙන් ඈත්වෙයි. වේදනා රළපහර සමඟ පියා පිළිබඳ මතකය ද යටපත් වේ. ඊට අමතරව පෙම්වතෙකු වන කථකයාට පියා පිළිබඳ මතකය ගිලිහී යන්නේ, පෝය හා සති අන්ත ද පෙම්වතිය සමඟ කොළඹට ම වී සිටින්නට සිදු වූ නිසා විය යුතුය. සාප්පු සවාරි, සැඳෑ කාලයේ මුහුදු වෙරළ අයිනේ ප්‍රේමණීය හමුවීම් සඳහා කෙටි නිවාඩු, වරු නිවාඩු ගැනීමෙන් තාත්තා බලන්නට කවියේ කථකයාට ඉඩ නොලැබේ. කාර්යාලයේ රාජකාරි ප්‍රශ්න, පෙම්වතිය හා ගමන්බිමන් කොතෙක් තිබුණ ද ඕනෑකමක් තිබුණි නම් තාත්තා බලන්නට යන්නට තිබුණා නොවෙද කියා පාඨක අපට සිතේ.

ඊළඟ අවස්ථාවේ කථකයාට තම පියා පිළිබඳ මතකයෙන් ඈත් වන්නට සිදු වන්නේ, විවාහ වීමෙන් පසු කුටුම්භය තුළ මුහුණ දෙන්නට සිදු වන, ඉටු කරන්නට සිදුවන ඕනෑ එපාකම් නිසා ය.

‘පැටවු හයි ස්කූල්වලට යනකොට

හවස ඇරොබික් ස්විමින් වැටුණා

ලැටින් සල්සාවලට යන්නට

නිතර කුරු කුරු ගෑවෙ විමලා

ෆිනෑන්ස් කොම්පැනිවලට වැඳ වැඳ

අරන් දැමූ දඬු මොණරෙ නැඟලා‍

රට වටේ යන විටදි අමතක

උනා යන්නට උඹව බලලා’

කථකයා ගේ ජීවිතය වර්තමාන, නාගරික මධ්‍යම පාන්තිකයාගේ චර්යාවන් අනුව හැඩ ගැසෙන කල්හි, ගමරට දෙමාපියන් හා වූ සබඳතා ගිලිහී යයි. දරුවන්ගේ ඕනෑ එපාකම්, බිරියගේ කන්කෙඳිරිය, ගෙවීමේ පදනම මත මිලට ගත් යතුරු පැදියක් තිබුණත්, රට වටේ ගිය මුත් තාත්තා ඔහු මතකයෙන් ඈත් වී යයි. එහෙත් ඔහුට තාත්තාගේ කටහඬ ඇසෙන්නේ ඔහු පිළිබඳ මතකයට එන්නේ ගමේ ඉඩකඩම් දරුවන් අතර බෙදන්නට තාත්තාව ඕනෑ වූ කල්හිය.

‘පොඩි එකෝ හෙට යාය බෙදමුද

උඹේ හඬ කාලෙකින් ඇහුණා

හා කියන්නට ගත් වචනය

මටත් නොදැනිම උගුරෙ ගිලුනා

“ගෙනෙමු ඔප්පුව” ගෑනි කිව්වම

දරා ගන්නට බැරිව ඇඬුණා

කම්බි වැට කණු වැදී දෙපසට

මතක සටහන් දෙකට බෙඳුණා..’

තාත්තා කථකයා අමතන්නේ යාය බෙදන්නටය. බිරිය ඔප්පුව ගැන පවසයි. පෙරදා විමලා අද ගෑනි බවට පත්වන්නේ සැමියාගේ දේපොලට හිමිකම් කීමට පැමිණීමෙනි. කථකයාගේ සිත වේදනාවෙන් පිරී මතක සටහන් දෙකට බෙදේ. කම්බි වැට කණු දෙපසට වැදුණු ලෙසයි ඔහුට ඒ රිදුම දැනෙන්නේ. අවසන ඔහු ගමට එන්නේ පියාගේ අවමඟුලටයි. ඔහුට ඔහුගේ බාල කාලයෙහි මතක සිහිවේ. තාත්තා ඔහු වඩාගෙන ගිය මග නුග ගස අසල වලකය දැන් ඔහු මිහිදන් වන්නේ. තාත්තාගේ වියෝව පුතු සිතට දුකක් වන මොහොත්, එය සැහැල්ලු සතුටක් වන්නේ ඔහුගේ බිරියගේ මුහුණේ යයි පවසන්නේ, සෑය උපහාසයෙනි.

‘වැව් පිටිය ළඟ ස‍ුසානේ සිට

සුදු පාට කොඩි බැනර් රැඳුණා

මා වඩා නුඹ ඇවිදගන ගිය

මහනු‍ෙග් යට වලක් තිබුණා

නුඹේ දෙණ කර ගහන් යන කොට

වරක් මම ඇගෙ මුහුණ බැලුවා

මහ බරක් බිම තැබූ අයුරින්

මඳ සිනා ඇගෙ මුහුණෙ තිබුණා..

ස්වාමි පුරුෂයාගේ ජීවත්ව සිටි තාත්තා බරක් ලෙස ලේලිය සිතූ බව කවියා පවසයි. ඔහු මිය යාම ඒ බර ඇගෙන් නිදහස් වූ මොහොතක් වූ බැවින් ඇගේ මුහුණෙහි මඳ සිනාවක් ඇ‍ඳෙනු කවියා දකියි. කථකයාට තම පියා අත්හැරී ගිය සිද්ධි දාමයක උච්ච අවස්ථාව ඉන් පැවසේ.

මට උඹව මිස් උනා යන්නෙහි පුතකුට තාත්තා කෙනකු අමතක වූවා ය යන අර්ථය, මට ඔබ අහැරුණා තාත්තේ, මට ඔබ අමතක උනා පියාණෙනි යැයි කීමට වඩා සමීපව දැනෙන යෙදුමකැයි මට සිතේ. වර්තමාන ජීවන අරගලය තුළ, අසරණ වන විවාහක පුරුෂයකුගේ සිතුම් පැතුම් කෙරෙහි බලපෑම් කරනු ලබන, සමාජ සංස්ථා මෙන් ම සමීප චරිත ද මේ නිර්මාණය තුළින් අපි දකිමු. තම පියා අත් හැරුණු දුකින්, පශ්චත්තාපයෙන් සිටින පුතකු පිළිබඳ අනුකම්පාවක් පාඨක සිත තුළ ජනිත කරවීමට කවියා සමත් වේ. ලෙව්ලැකියෙන් ගත් යෙදුම කවියේ මුඛ්‍ය අරමුණට බාධා නොකරන නිර්මාණාත්මක යෙදුමකැයි හැ‍ඟේ.

 

Comments