දිනපු අයට දෙන පොරොන්දු ඉටු කළ යුතුයි | සිළුමිණ

දිනපු අයට දෙන පොරොන්දු ඉටු කළ යුතුයි

මීට දෙමසකට පෙර ඉන්දුනීසියාවේ පැවැති 18 වැනි ආසියානු ක්‍රීඩා උ‍ෙලළට ගිය අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකදු පදක්කමක් හෝ දිනා ගත නොහැකිව මිලියන 50ක් වියදම් කොට පදක්කම් සටහනේ අවසානයේ සිටිමින් පෙරළා පැමිණෙන විට ඊ‍ට සමගාමීව පැවැති ආබාධිතයන්ගේ ආසියානු ක්‍රීඩා උ‍ෙලළ හෙවත් පැරා ආසියානු ක්‍රීඩා උලෙළට ගිය අපේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 4ක් රිදී පදක්කම් 6 ක් හා ලෝකඩ පදක්කම් 4ක් දිනාගෙනයි ආපසු මව් රටට පැමිණියේ.

ඒ අවධියේ ම ශ්‍රී ලංකා දැල් පන්දු ක්‍රීඩිකාවෝ ආසියානු දැල් පන්දු කිරුළ දිනීමට සමත් වුහ. පසුගිය සතියේ අපේ ශ්‍රවණාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ අයි.සී.සී. විස්සයි 20 ශ්‍රව්‍යාබාධිත ලෝක ක්‍රිකට් ශුරතාව දිනා ගත්තෝය. මේ අතරතුර එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෝ වසර ගණනාවකට පසු ආසියානු කලාපයේ ඔවුන්ගේ හොඳම සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකාව සහමුලින්ම පරාජයට පත් කිරීමට සමත් වුහ.

ආබාධිතයන්ගේ ක්‍රීඩා සම්මේලනය නොවන්නට අපේ රටේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙනුයේ කුඩම්මාගේ සැලකිලිය. අද එදාට වඩා ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකා‍වන් ශක්තිමත් මෙන්ම ධෛර්ය සම්පන්නය. ඒ බොහෝ ක්‍රීඩාවල නිරත වන ආබාධිතයන් ත්‍රිවිධ හමුදාවල සේවය කරන්නන් වීමය. වෙනත් රටවල ආබාධිතයන්ට සමාජයේ ඇති සැලකිල්ල හා ලබාදෙන ප්‍රමුඛතාව තවමත් අප රටේ නොමැත. රෝද පුටුවකින් යන්නකුට පහසුකම් ඇති ගොඩනැගිලි හා මගී ප්‍රවාහන පහසුකම් ද නොමැත්තේය.

ක්‍රීඩා අමාත්‍යංශය හා ජාතික ඔලිම්පික් කමිටුව ද වෙනත් මවු ක්‍රීඩා සංගම්ද බොහෝ විට මේ ආබාධිත ක්‍රීඩකයෝ අමතක කරති. ආබාධිතයන්ගේ ක්‍රිකට් තරගවලට ශ්‍රී ලංකා ආබාධිත ක්‍රීඩකයන් සහභාගි වන්නේ අද ඊයේ නොවේ. ශ්‍රවණ‍ාබාධිත හා දෘශ්‍යාබාධිත ලෝක ශූරතා තරගද කලක සිට පැවැත්වේ. මේ සඳහා අප රටෙන් කණ්ඩායම් සහභාගි වුවත් හැමදාමත් ඔවුන් ඒවා සඳහා යන්නේ අනුග්‍රාහකයන්ට නොවදිනා වැඳුම් වැදීමෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මේ සෑම අවස්ථාවකම “එපා වාහෙට හොඳි බෙදන්නාක් මෙන්” තමන් සතු කෝටි ගණනක වත්කමින් මොවුන්ට සොච්චමක් ලබාදෙයි. ඒ එක්කෝ ගුවන් ප්‍රවේශ පත්‍ර හෝ ක්‍රීඩා භාණ්ඩ ලබා දෙමිනි. මෙවර පුහුණු අංශයේ පුහුණුකරුවකුගේ සහාය ලබා දී තිබිණ.

මෙවර ශ්‍රවණාබාධිත ලෝක ශූරතාව පැවැත්වුයේ අයි.සී.සී. ය යටතේය. මේ සඳහා සහභාගි වන රටවල කණ්ඩායම් අදාළ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුයුක්ත විය යුතු බවට ඔවුන් නීතියක් පනවා තිබිණ. එහෙත් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට තවමත් අනුයුක්ත නැත. දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයද එසේමය. මීට කලකට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයද පසු වුයේ එපරිද්දෙනි. පසු කලෙක කාන්තා ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් පිළිගෙන එහි අංශය‍ක් ලෙස පරිපාලනය සිදු කෙරේ.

ශ්‍රවණාබාධිතයන්ගේ ක්‍රිකට් කණ්ඩායම මෙවර ඉන්දියාව අවසන් තරගයේදී පරදවමින් විස්සයි 20 ලෝක කුසලානය දිනා ගැනීමට සමත්විය. 90 දශකයේ සිටම මෙම ක්‍රිකට් කණ්ඩායම පවත්වාගෙන එන අතර සුවිශේෂත්වයක් වනුයේ මුල සිට මේ දක්වා මේ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු වන්නේ එකම පුද්ගලයකු වීමයි. ඒ මොරටුවෙන් බිහි වූ දක්ෂ වේග පන්දු යවන්නකු හා පුහුණුකරුවකු වන ජයලත් අපොන්සුය.

අංග සම්පුර්ණ ක්‍රීඩකයකුට වඩා ශ්‍රවණාබාධිත ක්‍රීඩකයකුට පුහුණු කිරීම පහසු කටයුත්තක් නොවේ. මේ ක්‍රීඩකයන්ට කන් නොඇසෙනවාත් මෙන්ම කතා කිරීමට ද නොහැකිය. සමහරුන්ට කියන දෙය ‍තොල් උච්චාරණයෙන් තේරුම් ගත හැකි වුවද වැඩි ව‍ශයෙන් යමක් තේරුම් කළ හැක්කේ අංග චලනයෙනි. එනම් පුහුණුකරුවාට ඒ පිළිබඳ දැනුමක් මෙන්ම දැඩි ඉවසිමක් හා කැපවීමද අත්‍යවශ්‍යවේ. වසර ගණනක් මොවුන් සමඟ ගත කළ අපොන්සුට ඒ පිළිබඳව ඇත්තේ විශාල අත්දැකීමකි.

ජයලත් අපොන්සුගේ මෙම කැපවීමේ වඩාත්ම සුවිශේෂිත්වය වනුයේ වසර ගණනක් මුළුල්ලේ ඔහු මෙම කටයුත්ත කළේ මුදල් නොලබා ස්වෙච්ඡා සේවයක් ලෙස වීමයි. මා පාසල් නායකත්වය දැරූ වසරේ එනම් 1977 අපොන්සු කොළඹ සිට කළුතරට පැමිණ අප කණ්ඩායමට ද දින කිහිපයක් පුහුණු කළේ ද ස්වේච්ඡාවෙනි. තම කැපවීමේ උපරිම ඵලය ඔහුට දිනා දීමට මෙවර ඔහුගේ ශ්‍රවණාබාධිත ක්‍රීඩක පිරිසට හැකි විය. ඒ නිසා මෙම ජයග්‍රහණයේ පූර්ණ ගෞරවයක් හා ස්තූතියක් ජයලත් අපොන්සුට පිරිනැමිය යුතුය.

යන්නට කලින් කිසිවක් නොකළත් අප රටේ කුමන හෝ ක්‍රීඩකයකු හා කණ්ඩායමක් ජයග්‍රහණය කොට පෙරළා පැමිණෙන විට ගුවන්තොටුපළට ගොස් මල් මාලා දැමීමටත් පින්තූරවලට මුහුණ දමා ගැනීමටත් වොයිස් කට් දීමටත්, පොරොන්දු දීමටත් ලකුණු දමා ගැනීමටත් ඕනෑ තරම් අය සිටිති. ඒ ලංකාවේ හැටිය.

මෙම ක්‍රීඩකයන්ටද ක්‍රීඩා ඇමැතිවරයා විසින් ගුවන් තොටුපළේදීම පොරොන්දුවක් දී තිබේ. ඒ ක්‍රිකට් පාලක මණ්ඩලය හරහා එක් ක්‍රීඩකයකුට ඩොලර් 500ක තෑගි මුදලක් ලබා දීමටයි. මෙය ක්‍රීඩකයන් 15 දෙනකුට ලබා දුනහොත් එහි එකතුව රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසකි. ටෙස්ට් තරගයක් දින තුනකින් පරාජය වුවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ තරග දීමනාව මෙයට වඩා වැඩිය. මෙවර යෝජිත ක්‍රිකට් පාලක මණ්ඩල සේවක බෝනස් ද්විත්වය ලබා දුනහොත් එහි ප්‍රධානම නිලධාරීන් දෙදෙනාට ලැබෙන බෝනස් මුදල මීට වඩා දෙගුණයකි. හරි නම් ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ මුදල මෝය කටින් පොල් ලෙල්ලක් යෑමක් වැනිය.

එහෙත් මෙම ක්‍රීඩකයන්ට එය විශාල මුදලක් වන්නේ මොවුන් සියලු දෙනාම රැකියාවල නිරතවන ගමන් අමාරුවෙන් ගමන් වියදම් සොයාගෙන නිවාඩු දමා පුහුණුවීම් වල යෙ‍දුනු ක්‍රීඩකයන් නිසාය.

ක්‍රීඩා ඇමැතිවරයාටද මී‍ට වඩා ඔවුන් වෙනුවෙන් තම අමාත්‍යංශය හරහා යමක් සිදු කළ හැකිව තිබේ. ක්‍රීඩා අමාත්‍යංශය මඟින් මොවුන්ට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීම සිදු කළ බව සැබෑය. එහෙත් විදේශයකදී ලබා ගන්නා ජයග්‍රහණවල නිසි ප්‍රමිතියකට මුදල් තෑගි පිරිනැමීමේ ක්‍රමයේ අඩුපාඩු රැසකි. ඒ ඒ ජයග්‍රහණවල ප්‍රමිතියට අනුව මිස මුදල් තෑගි පිරිනැමීමේ පිළිගත් ක්‍රමවේදයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ නොමැත. පැරා ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම් ලාභීන්ටද ආසියානු දැල් පන්දු ශූරතාව දිනු ක්‍රීඩිකාවන්ටද මෙතෙක් දුන් දෙයක් නැත. ඇත්තේ පොරොන්දු පමණය.

ආසියානු ක්‍රීඩා උලෙළක ජයග්‍රාහකයන්ට පිරිනැමෙන මුදලක් පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රමවේදයක් සකසා ඇතත් ආසියානු දැල් පන්දු ශුරතාව එයට ඇතුළත් නෙ‍ාවේ. ආසියානු ක්‍රීඩා උලෙළට දැල් පන්දු නොමැති නිසා ආසියානු දැල්පන්දු ශුරතාව එම වර්ගයට අයත් විය යුතු වුවත් ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් තමන් විසින් වැරදියට සකස් කළ ක්‍රමවේදයෙන් බැහැර වීමට අකැමැත්තෙන් සිටියි. ඒ නිසා ආසියානු දැල්පන්දු ශුරතාව දිනා දෙමසක් කල් ඉකුත්ව ගොස් ඇතත් මෙතෙක් එම ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබී ඇත්තේ භෝජන සංග්‍රහයක් පමණි.

පැරා ආසියානු ශූරයන් ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයෙන් ද පන්නා දැමීමට මේ ඇතැම් ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු යොදා තිබිණ. සෑම ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගාවලියකටම ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් දිනකට ඩොලර් 300-400 දීමනා සහිතව කණ්ඩායම් නිලධාරියකු හෝ නිරීක්ෂකයකු ලෙස යාමට පොර කති. ආසියානු දැල් පන්දු තරගාවලියට ද එවැනි එක් නිලධාරිනියක සහභාගී වූ අතර ක්‍රීඩිකාවකට වඩා වැඩි මුදලක් ඇය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය වැය කළා විය හැක. දහසක් පොරොන්දු ලබා දීමට කළින් ක්‍රීඩා අමාත්‍යවරයාද මේ සියල්ල සලකා බැලිය යුතුව ඇත.

Comments