2019 බලා‍පොරොත්තුවක් විතරයි | සිළුමිණ

2019 බලා‍පොරොත්තුවක් විතරයි

- ලසිත් මාලිංග

ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන මීළඟ ක්‍රිකට් ලෝක කුසලානයට අවස්ථාව ලැබුණොත් ක්‍රීඩා කරන බව පවසන ලසිත් මාලිංග තමා හොඳම දක්ෂතා අතර සිටින විට අවස්ථාව නොලැබෙන්නේ නම් තව දුරටත් මේ පසුපස එල්ලීගෙන යෑමේ තේරුමක් නොමැති බවද පවසයි.

අවුරුදු එකහමාරක් එළියේ

දීර්ඝ කාලයක් එළියේ ඉඳලා තමයි ජාතික කණ්ඩායමට අ‍ාවේ. මට විතරක් නෙවෙයි ඕනෑම ක්‍රීඩකයකුගේ ලොකුම බලාපොරොත්තුව තමයි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම. හැම කෙනෙක් ම බලන්නේ තමන්ගේ උපරිමය කණ්ඩායමට ලබා දෙන්න. පන්දු යවන්නෙක් විදියට මම විතරක් නෙවෙයි හැම පන්දු යවන්නෙක්ම බලන්නේ හැම තරගයකදීම කඩුලු අතරට යන්න. කොහොමත් මං කලින් ලසිත් මාලිංග නෙවෙයි. හැබැයි මට අදටත් යමක් කරන්න පුළුවන් කියලා හිතනවා. මම පන්දුවෙන් දන්න හැම දේම කරන්න බලනවා.

පිතිකරුවන් අසාර්ථකයි.

පසුගිය කාලයේ අවාසනාවට පිතිකරුවන් දිගින් දිගට ම අසාර්ථක වුණා. දිගින් දිගට ම මේ තත්ත්වය තියෙයි කියලා හිතන්නේ නෑ. පන්දුවාර දහයකදී කඩුලු 3-4 ක් වැටුණොත් අපි විතරක් නෙවෙයි ඕනෑම කණ්ඩායමක් අසීරුවට පත්වෙනවා.

වේගය අඩාළ පන්දුව...

මම කණ්ඩායමට ආවාම දන්න දේ තමයි කරන්නේ. මගේ සමහර සැලැසුම් හරියනවා. සමහර විට වරදිනවා. ඒ වගේ පන්දුවකට හයක් හතරක් වැදුණොත් බැනුම් කෝටියයි. විකට් ආවොත් හරි. නැත්නම් අයි.පී.එල්. ගිහින් පිතිකරුවන් හදලා ආවා කියනවා. මෙකේ දෙපැත්තක් තියෙනවා? විකට් එන වෙලාවට කියන දේවල් නෙවෙයි විකට් නැති වෙලාවට කියන්නේ.

තේරිම් කමිටුවට...

එහෙම තේරීම් කමිටුව ඉලක්ක කරගන්න දේවල් නෑ. මම තේරීම් කමිටු ගොඩක් එක්ක ක්‍රීඩා කරලා තියෙනවා. එක එක කාලවලට එන අයට ඕනෑ තීරණයක් ගන්න පුළුවන්. අපි ක්‍රීඩකයෝ විතරයි. අවස්ථාවක් ලැබුණොත් ක්‍රීඩා කරන්න තමයි අපිට තියෙන්නේ. දීර්ඝ කාලයක් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ නෑ. ආයෙත් අවස්ථාවක් ලැබුණා. කැනඩාවේ තරගාවලියකට ගියා. පළාත් තරගාවලියට ක්‍රීඩා කළා.

මට ලැබුණු අවස්ථාවල කඩුලු ලබාගැනීම තමයි ඉලක්කය. දෙවැනි තරගයේ ඒ අවස්ථාව ලැබුණා. දැන් මගේ ක්‍රීඩා ජීවිතයේ අන්තිම කාලය යන්නේ ඉතිරි කාලයේ තවත් කඩුලු ගන්න තමයි බලන්නේ.

දිගටම පරාජයන්...

මම කඩුලු ගත්තත් නැතත් තරග පරාජය වන කොට දුකයි. මම විකට් පහක් ගත්තත් වෙන කෙනෙක් විකට් පහක් ගත්ත ද කියන එකට වඩා වැදගත් වන්නේ පන්දු යවන්නෝ විදියට අපි කණ්ඩායමට ලබා දෙන සේවයයි.

පසුගිය කාලයේ දිගින් දිගට ම පරාජය වුණා. ඒක දුකයි. මගේ පෞද්ගලික දක්ෂතා කණ්ඩායමේ ජයග්‍රහණයට ඉවහල් වෙන්නේ නැත්නම් මටත් වැඩක් නෑ. කණ්ඩායමටත් වැඩක් නෑ.

පරාජයට හේතු...

එක පාරම කිසි කෙනෙකුට කිසි දේකට අැඟිලි දිගු කරන්න බෑ. ගොඩක් තරග ක්‍රීඩා කරපු අය වගේම තරග 20-30 ක්‍රීඩා කරපු අයත් ඉන්නවා. මේ අයට තව අවස්ථාව දීලා බලන්න ඕනෑ. මේ ඉන්නේ හොඳම අය. අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. මේ අයට තව අවස්ථාව දීලා ජාත්‍යන්තර තරගවලට ඕනෑ කරන විදියට මාර්ගය හදා ගන්න හුරු කරන්න. අපි මොන තරම් පළමු පෙළ ක්‍රීඩා කරලා ලකුණු - කඩුලු ගත්තත් ජාත්‍යන්තර තරගයකට හතරේ සීමාවේ ලණුව ඇතුළට යන එක අතර ලොකු වෙනසක් තියෙනවා. එතැන පීඩනය වැඩියි. බලන අයට වඩා ක්‍රීඩා කරන අයට මේ ඇතුළේ පීඩනය වැඩියි. ඒ පීඩනය නිසා තමයි අතපසු වීම් දන්නෙත් නැතුවම වගේ සිදු වෙන්නේ. ඒ පීඩනයට ඔරොත්තු දෙන විදියට අපේ මාර්ගය හදා ගන්න පුළුවන් නම් අපේ ක්‍රිකට් මීට වඩා තැනකට යයි.

ලෝක කුසලානය...

ඊළඟ ක්‍රිකට් ලෝක කුසලානය 2019 සෙල්ලම් කරන්න ලැබෙයි කියලා හිතන්නේ නෑ. පසුගිය කාලයේ වෙච්ච දේවල් එක්ක.

විශ්‍රාම යාම...

මම හොඳට දක්ෂතා අතර ඉන්න කොට අවස්ථාව දෙන්නේ නැත්නම්, ඉන්න එකේ තේරුමක් නෑ. මට දක්ෂතා දක්වන්න පුළුවන් කාලයේ මට අවස්ථාව හම්බ වෙන්නේ නැත්නම් බලාපොරොත්තු තියා ගෙන ඉන්න එකේ තේරුමක් නෑ. ඊට වඩා හොඳයි යන එක. මට අවස්ථාවක් ලැබුණොත් ලෝක කුසලානයට ක්‍රීඩා කරනවා. ඒක මගේ අන්තිම ලෝක කුසලානයයි. ඒ බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. මම හිතන්නේ නෑ හම්බ වෙයි කියලා. හම්බ වුණොත් සෙල්ලම් කරනවා.

කටුක දේ...

මට අවුරුදු 1 ½ ක කාලයේ කිසිම පුහුණු කරුවකුගේ සේවය ලැබුණේ නෑ. මම තනියම පුහුණුවීම් කරලා මේ තැනට අද ආවේ. ඒ කාලයේ විතරක් නෙමෙයි ඊට කලිනුත් මම කටුක දේවල් අත්විඳලා තියෙනවා. හතරේ සීමාවේ ඇතුළේ වගේම එළියෙත් ඉන්න ඕනෑ විදිය දන්නවා.

 

Comments