සියඹලා කොළයෙන් හදන ඉරුවාරදය දුරලන අත්දුටු ඔසුවක් | සිළුමිණ

සියඹලා කොළයෙන් හදන ඉරුවාරදය දුරලන අත්දුටු ඔසුවක්

  • ඇස් රෝග වළකයි
  • ආහාර ජීර්ණය පහසුව
  • රුධිර පීඩනයේ දෝෂ මඟහරියි

අපේ රටේ වියළි කලාපයේ නිතර හමුවන සියඹලා (Tamarindus indica) ෆැබසියෙ (Fabaceae) කුලයට අයත්,වෙනත් නිවර්තන කලාපික රටවලද හමු වන , සදාහරිත වෘක්‍ෂයකි. Tamarind tree නමින් ඉංග්‍රීසි බසින් හඳුන්වන සියඹලා‍ ශාකය දකුණු ඉන්දියාව, බෙංගාලය හා බුරුමයේද බහුලව දැකිය හැකිය.

ආහාර රස ගන්වනයක් ලෙස භාවිතා කරන සියඹලා මෙරට සෑම ගැමි මුළුතැන්ගෙයකදීම නොවැරදී හමුවේ. ඉදුණු සියඹලා කරල් පලතුරක් ලෙස ලොකු කුඩා කාගේත් ප්‍රියතම කෑමකි. භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා පෙරා රසවත් පානයක් ලෙසද සකසාගත හැකිය.

වසරේ අප්‍රේල් මැයි මාස වලදී සියඹලා ගස මලින් බරවෙයි. අගෝස්තු පමණ වන විට කරල් ඉදෙන්නට පටන් ගනී. ඉඳුණු සියඹලා කරලේ පොතු හා තන්තුමය රැහැන් ඉවත් කර ලුණු සමඟ මිශ්‍ර කර අව්වේ වියළා, වියළි මැටි බදුනක අසුරා වියළි තැනක ගබඩා කර තැබීමෙන් කල් තබා ගත හැකිය. සියඹලා ශාකයට ආවේණික සුවඳක් පවතී. සියඹලා කරල් මෙන්ම මල් හා කොළ පවා ඇඹුල් රසයකින් යුක්තය.

සියඹලා කුළුබඩුවක් ලෙසද, පලතුරක් ලෙසද වැදගත් වන නමුත් එහි ඇති නෙක නෙක ගුණයන් මත අත් බෙහෙතකට එහා ගිය ඖෂධීය වටිනාකමක්ද හඳුනාගත හැකිය. සියඹලා ගසේ කොළ, කරල්, පොතු, කොළ වල නැටි, මුල් ,ඇට සහ අැටයෙහි මදය දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලදී අවස්ථානුකූලව යොදාගනී. ඒ අනුව සමස්ත සියඹලා ගසම වැදගත් ඖෂධ ගබඩාවක් ලෙස සැලකිය හැකිය.

හේන් කුඹුරුවල වැඩකිරීමේදී මතු වන වෙහෙස නිවා ගැනීමට සියඹලා ගස් සෙවණ කදිමය. තදට පායන නියං සමයේ සියඹලා ගසක්‌ යටට ගොස්‌ හිසට සිසිලසත් කයට සිසිලසත් ලබාගත හැකිය. හම්බන්තොට, මොනරාගල වැනි ප්‍රදේශවලදී අයාලේ යන කිරි ගවයන්ද රංචු පිටින් සියඹලා ගස්‌ යට ලැඟුම් ගෙන සිටිනු සුලබව දක්නට ලැබෙන්නේ උන්ටද වෙනත් ගස් වලට සාපේක්ෂව සියඹලා ගස් සෙවණේ වැඩි සිසිලසක් ඇති බව දැනෙන නිසාය.

අතීතයේ සිටම දිරවිමට අපහසු මස් හෝ මාළු වර්ග පිසගැනීමේදී ඊට සියඹලා එක්කිරීම දේශීය ගෘහිණියගේ සිරිතය . ඒ මස් වල පවතින ප්‍රෝටීන වර්ග සහ මේද කොටස් මිනිසාට දිරවිමට පහසු කරවන සුවිශේෂි හැකියාවක් සියඹලා වලට පවතින නිසාය. ඉන් බැහැරව පොල්සම්බෝලය රස කර ගැනීමේ සිට පොළොස් ඇඹුල පදමට රස කර ගැනීම දක්වාම බොහෝ අවස්ථා වලදී සියඹලා භාවිතයට ගනී. නාගරිකව පිහිටි නවීන මුළුතැන්ගෙයි වුවද සැබෑ සියඹලා වෙනුවට සියඹලා වලින් සකසූ පල්ප හෝ ක්‍රීම් භාවිතයට ගන්නේ එහි ඇති ගුණවත් බව නිසාමය.

නිතර සියඹලා ආහාරයට එක් කර ගැනීම මඟින් මල බද්ධය වළකා මලපහ කිරීම පහසු කරයි. නමුත් සියඹලා තරමක් උෂ්ණාධික ගුණයෙන් යුතුය. ඒ නිසා ශරීරයේ උෂ්ණය සමනය පිණිස සියඹලා භාවිතයේදී ඒ සමඟ උළුහාල් ද යොදාගැනීම යෝග්‍ය වේ. එවිට උෂ්ණ ගුණය සමනය කොට සියඹලා ගුණ අත්විඳීමේ හැකියාව ලැබෙනු ඇත.

දේශීය වෙදකමේදී සියඹලා බහුලවම යොදා ගන්නේ ජීර්ණ පද්ධතියේ දෝෂ සමනය කිරීම සඳහාය. ආහාර ජීර්ණය අක්‍රමවත් වීම, ආහාර අරුචිය ඇතිවීම සඳහා ප්‍රතිකාර වලදී සියඹලා යොදාගත හැක. සියඹලා පානයද එවන් අවස්ථා වල වඩා යෝග්‍ය වේ. ආහාර රුචිය වැඩීම අරමුුණු කොටත්, අජීර්ණ රෝගීන්ටත් සකසන තැම්බුම් හොද්ද සඳහා ද සියඹලා අනිවාර්යයෙන් භාවිතා කරයි.

සියඹලා භාවිතයෙන් මිනිස් ශරීරයේ අක්‍රමවත් රුධිර පීඩන තත්වයන් සමනය කළ හැකි වීම වැදගත්ම තත්වයකි. වෛද්‍ය ප්‍රතිකාරයක් ලෙස විධිමත් ලෙස ඖෂධ පන්තියක් භාවිතා කිරීමෙන් හෝ සාමාන්‍ය පරිදි ආහාරයට සියඹලා එක්කර ගැනීමෙන් හෝ අඩු රුධිර පීඩනය හෝ අධි රුධිර පීඩනය නිසා ඇතිවන ව්‍යාකූලතාව සමනය කර නිරෝගී බව ලබාගැනිමට හැකියාව ලැබේ. එසේම ආහාරයක් ලෙස භාවිතයට ගැනීම මඟින් හදවතටත්, අක්මාවටත්, ආහාර ජීර්ණ පද්ධතියටත් ගුණ ගෙනදේ.

හොඳින් පරික්ෂා කර කඩාගත් පිරිසුදු සියඹලා කොළ තම්බා තැවීමෙන් ඇස් රෝග සඳහා සුව ගෙනදේ. එසේම ඇස් වල සුද ඉවත් කිරීමේ දේශිය පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර වලදී සියඹලා කොළ සහ ඇටවල මදය යොදාගන්නා පාරම්පරික වෛද්‍ය වට්ටෝරු හමුවේ. මේවා පුද්ගලිකව අත්හදා බැලීම නුසුදුසු වන අතර නිසි වෛද්‍යවරයෙකු හමුවී ලබාගත යුතු විධිමත් ප්‍රතිකාරයන්ය.

ගුද මාර්ගය ‍පිටතට එන ගුද භ්‍රංශ රෝගයේදී සියඹලා ඇට කබලේ බැද ඇල්දියෙන් අඹරා ආලේප කිරීම දේශිය චිකිත්සාවකි. අණ්ඩ කෝෂ ඉදිමුම් වේදනාව ඇති වූ විට සියඹලා කොළ සියුම් ලෙස අඹරා ආලේප කිරීමෙන් ඉදිමුම් බැස වේදනාවද සමනය වේ. මදසරුභාවය ඇතුළු ශුක්‍ර දෝෂ වලදී සියඹලා කොළ චූර්ණය භාවිතා කිරීමෙන් සුවය ලබා ගත හැකිය.

සියඹලා කොළ කොටා ලබාගන්නා ඉස්ම, කකරා ආලේප කිරීමෙන් හන්දිපත් රුදාව සහ හන්දි ආශ්‍රිත ඉදිමුම් සඳහා සහනය ලබාගත හැකිය. බොහෝ විට රෝගියාගේ තත්වයන් අනුව එයට මිශ්‍ර කළ යුතු වෙනත් ඖෂධ වර්ග නිර්දේශ කිරීම දේශීය වෛද්‍යවරුන් සිදු කරනු ඇත. සියඹලා කොළ අමු කහ සමඟ තම්බා ගත් ජලය කුෂ්ඨ , දැවිලි ආදී අවස්ථා වලදී සේදීමට ගනු ලබයි . සියඹලා කොළ තැවිල්ල වාත වේදනා දුරු කරයි.

ශරීරයේ ඇති අපිරිසිදු රුධිරය පිරිසුදු කිරීමේ හැකියාවක් සියඹලාවලට ඇත. සියඹලා කුඩා ළමයින්ට අනගි විරේක ඔසුවකි. දරුවන්ගේ පණු රෝගවලදී සියඹලා කොළ කසාය යෝග්‍ය වන අතර අර්ශස් රෝගීන්ගේ වේදනා සමනයටද සියඹලා ඉතා ගුණදායක වේ. සියඹලා දලු හා මල් අතීසාරයට ගුණ දේ. සියඹලා දලු හා මල් ව්‍යංජනයක් ලෙසද ආහාරයට ගනියි.

අක්මාවේ තැන්පත් වන මේදය දිය කර හැරීමට සියඹලා උපකාරි වේ. එසේම වමනය, ඔක්කාරය ආදී රෝග ලක්ෂණ සමනය කිරිමටත් සියඹලා යොදාගත හැකිය. බොහෝ දෙනා “මිග්‍රේන්” ලෙස හඳුන්වන “කෝටරක ප්‍රදාහය” නම් රෝග තත්වයන් වලදි ඇති වන හිසරදය සමනයටද සියඹලා යොදාගත හැකිය. සියඹලා කොළ, රතුලූනු, උදුපියළිය ගෙන කොටා ඉස්ම පානය කිරීම හිසරදය සඳහා පිළිගත් දේශිය වෛද්‍ය ප්‍රතිකාරයකි.

ජීර්ණ පද්ධතියේ මතුවන රෝග තත්වයන් සේ සැලකෙන අග්නි මාන්දය සහ ග්‍රහණි රෝග සඳහාද සියඹලා ප්‍රතිකාරයක් සේ යොදාගනී. සියඹලා භවිතයෙන් කොලෙස්ටරෝල් හෙවත් මේද වෘද්ධී තත්වයන් වලදී රුධිර නාළවල රැඳී ඇති මේද කොටස් ඉවත් කිරීමට වැඩි දායකත්වයක් ලබා ගත හැකිය. කාන්තාවන්ගේ ප්‍රදර රෝගයන් වලදීද, ගර්භාශ දොස් තත්වයන් වලදීද සියඹලා මඟින් සුවය ලබාගත හැකිය.

මෙම ලිපියේ දක්වා ඇති ප්‍රතිකාර ක්‍රම ඒ ඒ රෝගියාගේ ප්‍රකෘතිය පරීක්ෂා කිරීමෙන් පසුව තවත් ඖෂධ සමඟ සංයෝග කර, විවිධ අනුපාන සමඟ භාවිතා කරන්නට නියම කරන බැවින් දේශිය වෛද්‍ය උපදෙස් වලින් තොරව අත්හදා බැලීමෙන් ප්‍රතිඵල රහිත වනු ඇති බව පාඨකයන් සිහියේ තබාගත යුතුය.

කෙතරම් ගුණ වුවද අම්ල පිත්තයෙන් හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පිඩා විදින්නන්ට “සියඹලා” හෝ සියඹලා යෙදූ වෙනත් ආහාර ගැනීම එතරම් යෝග්‍ය නොවේ. ආමාශයේ ඌෂ්ණ ගතිය ඇති රෝගීන්ටද ආහාරයක් ලෙස හෝ ප්‍රතිකාරයක් ලෙස “සියඹලා” භාවිතය නොකළ යුතුය. ඒ හැර අනෙකුත් පිරිසට සියඹලා භාවිතයෙන් යහපතක් මිසෙක අයහපතක් නම් සිදු නොවනු ඇත.

සියඹලා කෙතරම් ගුණ වුවද බොහෝ දෙනා එය නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නේ නැත. එහෙත් ලෝකය පුරා සියඹලා වලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. දෙමළ ජනයා සියඹලා භාවිතය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වයි. සියඹලා ආශ්‍රිත නිෂ්පාදන රාශියක් දෙස් විදෙස් වෙළඳපොළේ දැකිය හැකිය. සියඹලා පල්පය, සියඹලා ක්ෂණික බීම, සියඹලා අච්චාරු, සියඹලා සිරප්, සියඹලා දෝසි, සියඹලා චට්නි, සියඹලා සෝස්, සියඹලා ජෑම් , සියඹලා ටොෆි ආදිය ස්වභාවික සියඹලා සාරයෙන් නිෂ්පාදනය කළ හැකිය. ක්ෂණික සහ කෘතිම රසකාරක වෙනුවට දේශියව වැවෙන ඖෂධීය වටිනාකමකින් හෙබි සියඹලා නිසි ලෙස පරිභෝජනය කිරීමෙන් ඔබටද, ඔබේ පවුලේ සැමටද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදා කරගත හැකිවනු ඇත.

මාලේවන දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කථිකාචාර්ය දේශීය වෛද්‍ය පලිත ශ්‍රී ගීගනාරච්චි සාකච්ඡා කළේ ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

Comments