කලක් භාවනාව පුරුදු කරද්දී සිතේ බර - කයේ අපහසුතා නැති වී යනවා | සිළුමිණ

කලක් භාවනාව පුරුදු කරද්දී සිතේ බර - කයේ අපහසුතා නැති වී යනවා

අපට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ පසළොස් මරණ ධර්මවල අවසාන කාරණා හතර පිළිබඳවයි. එනම් රූපාවචර ධ්‍යාන හතර පිළිබඳවයි.

  • යත්තේ උපමාව
  • හුස්ම නොදැනීම
  • ආලෝක හුස්මක්

ධ්‍යානයක් කියන්නේ ඉතාම ප්‍රබල සමාධි අවස්ථාවක්. ධ්‍යානය කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කිරීම සඳහා මම එක් උදාහරණයක් ඉදිරිපත් කරනවා. ඔබ හිතන්න; ඔබ ආනාපාන සති භාවනාව පුරුදු කරන තැනැත්තෙක් කියලා. ආනාපාන භාවනාව පුරුදු කරන කෙනෙක් පළගක් බැඳගෙන වාඩිවෙලා කොන්ද ඍජුව තබාගෙන අත් දෙක පහසුවෙන් තබාගෙන ආශ්වාස ප්‍රශ්වාසවලට හිත යොමු කරනවා. එහෙම සිත යොමුකර හුස්ම ඉහළට යනවිට ආශ්වාස ආශ්වාස... යනුවෙන් ද හුස්ම පහළට යනවිට ප්‍රශ්වාස ප්‍රශ්වාස යනුවෙන් මෙනෙහි කරනවා. මෙයයි ආනාපානසති භාවනාවේ පළමු අදියර.

හිත හොඳින් සමාධිගත වනවිට මේ භාවනා ක්‍රමය පුරුදු වනවිට දීර්ඝව හුස්ම ඇතුළු වනවිට දීර්ඝව හුස්ම ඇතුළු වූ බව දැනෙන්නට පටන් ගන්නවා‍. දීර්ඝ ලෙස හුස්ම පිට වන විට දීර්ඝ ලෙස හුස්ම පිටවන බව දැනගන්නවා‍. ඒ කියන්නේ දීර්ඝව ආශ්වාස ප්‍රශ්වාස කරන විට දීර්ඝ හුස්මක් දීර්ඝ හුස්මක් කියලා සිතන්නේ නැහැ. හුස්ම ඉහළට ගැනීමේදී ආශ්වාස ආශ්වාස කියා කිහිප විටක් සිතන්නට පුළුවන් නම් ඒ ඔස්සේ තේරුම් ගැනීමට හැකිවෙනවා දීර්ඝ හුස්මක් බව.

ඒ වගේම හුස්ම පහළට හෙළන විට ප්‍රශ්වාස ප්‍රශ්වාස කියලා කිහිප විටක් සිතන්නට හැකි නම් ඒ ඔස්සේ තේරුම් ගන්නවා මේ දීර්ඝ ප්‍රශ්වාසයක් කියා. සමහර විට හුස්ම ඉහළට ගන්නා විට ආශ්වාස කියලා හිතන්නට පුළුවන් එක සැරයයි. හුස්ම පහළට හෙළන විට ප්‍රශ්වාස කියා සිතන්න පුළුවන් එක වරයි. ඒ කෙටි ප්‍රශ්වාසයක්. එවිට යෝගාවචරයා පුරුදු වෙනවා.

බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්න ඉතා ලස්සන දේශනාවක් කළා‍. වඩු මඩුවක වඩුවෙක් සිටිනවා. ලී යතු ගාන කෙනෙක්. මේ වඩුවා දීර්ඝ ලෙස යතු ගාන විට දීර්ඝ ලෙස යතු ගානා බව දැන ගන්නවා. ඒ වගේ ම ළඟ ළඟ යතු ගානාවිට ළඟ ළඟ යතු ගාන බව දැනගන්නවා. අන්න ඒ වගේ ආනාපාන සතිය වඩන තැනැත්තා දීර්ඝ හුස්ම ගන්නා විට ද‍ීර්ඝ හුස්මක් බව දැනගන්නවා. දීර්ඝ හුස්මක් හෙළන විට දීර්ඝ හුස්මක් හෙළන බව දැන ගන්නවා. කෙටි හුස්මක් ගන්නා විට කෙටි හුස්මක් බව දැන ගන්නවා. බලන්න ඒ උපමාවෙන් බොහොම ලස්සනට බුදුන්වහන්සේ පැහැදිලි කළ ආකාරය.

“සබ්ත කාය පටිසංවේ‍දී අස්ස සික්ඛාමි ඉති සික්ඛතිබ කියලා තව කොටසක් දේශනා කළා. ඒ කියන්නේ මුළු කයම දැනගෙන හික්මී ආශ්වාස කරන්නෙමි හික්මී මුළු කයම දැන ගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි” මුළු කයම කියලා මෙහිදී කියන්නේ තමන්ගේ මුළු ශරීරයම කියන තේරුම නොවෙයි. මෙතැනදි කය කියන වචනය භාවිතා කරලා තියෙන්නේ හුස්ම රැල්ලට පමණයි.

හුස්ම ඉහළ ගැනීම ආශ්වාස කය‍. හුස්ම පහළට ගැනීම ප්‍රාශ්වාස කය. මොකක්ද ‍එසේ නම් මුළු කයම දැන ගන්නවා කියලා කියන්නේ. ආනාපාන සතිය වඩන සමහර යෝගීන්ට නාසිකා අග හුස්ම ආරම්භ වන බව වැටහෙනවා. පවතින බව තේරෙන්නේ නැහැ අවසන් වන බව තේරෙන්නෙත් නැහැ.

ඒ වගේම නාසිකා අග ප්‍රශ්වාසය ආරම්භ වන බව තේරෙනවා. නමුත් පවතිනවා තේරෙන්නේ නැහැ. ඒ වගේ ම සමහර යෝගීන් ඉන්නවා ඒ අයට හුස්ම ආරම්භ වනවා තේරෙන්නේ නැහැ පවතිනවා තේරෙනවා. අවසන් වනවා කියා වැටහෙන්නේ නැහැ.

ප්‍රශ්වාසයත් එහෙමයි ප්‍රශ්වාසයේ ආරම්භය වැටහෙන්නේ නැහැ. පවතින ආකාරය වැටහෙනවා අවසන් වන ආකාරය වැටහෙන්නේ නැහැ. තව සමහර කෙනෙකුට ඇති වීම පැවැතීම දෙකම තේරෙන්නේ නැහැ. අවසන් වන අවස්ථාවට පමණයි. සිහියට හසු කරගැනීමට හැකි වෙන්නේ.

මේ විදිහට එක අවස්ථාවක් තේරුණා කියලා ආනාපාන භාවනාව වඩන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එක් අවස්ථාවක් පමණක් නොවෙයි අවස්ථා දෙකක් වැටහුණත් එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. යෝගියෙකුට නාසිකා අග හුස්ම ඇති වීම පැවැතීමයි අවසන් වීමයි යන අවස්ථා තුනම වැටහෙන්නට ඕනෑ. අන්න ඒ අවස්ථා තුනම තේරුම් ගන්න කියන එකයි. ‘සබ්බකාය පටිසංවේදීනි කියන කොටසින් පැහැදිලි කර දෙන්නේ.

හොඳ සිහියෙන් ආනාපාන සතිය වඩමින් තමන් හොඳට හුරු පුරුදු වෙන්නට ඕන නාසිකා අගම හුස්ම ඇති වීම පැවැතීම නැතිවීම බලන්න. ප්‍රශ්වාස ඇතිවන හැටි ප්‍රශ්වාසය පවතින හැටි නැතිවෙන හැටි එය දකින මට්ටමට හොඳින් හිත පුරුදු කරන්නට ඕන. එයට කියනවා සබ්බ කාය පටිසංවේදි” අවස්ථාව යනුවෙන්.

මේ විදිහට ඉතා හොඳින් හිමින් සීරුවේ මේ භාවනාව පුරුදු පුහුණු කළාම තව කාලයක් යන කොට හුස්ම දැනෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙනවා. හුස්ම අවසන් වී ඇති බව ඔබට හිතෙන්නට පුළුවන් කෙනෙක් විය හැකියි.

ආනාපාන සතිය වඩන විට ටිකින් ටික හිත සැහැල්ලු වෙනවා. ඒ වගේම ටිකින් ටික හිත සමාධි ගත වෙනවා. එහෙම වෙන විට ආශ්වාස ප්‍රාශ්වාසත් ටිකින් ටික සංසිදෙනවා. ලොකු බරක් කරේ තියාගෙන මහ කන්දක් පල්ලමට මනුස්සයෙක් බහිනවා කියලා හිතන්න‍. එයාට හුස්ම ගන්න නාසය ඉඩමදි එයා කටිනුත් හුස්ම ගන්නවා. කන්දෙන් පහළට ඇවිල්ලා තමා ගෙන එන ලද මහ බර පසෙකින් තියලා මේ මනුස්සයා යනවා ගස් කොළන් තියෙන තැනක ළිඳක් ළඟට. ඒ ළිඳ ළඟට ගිහින් ඒ ළි‍ඳෙන් ජලය ස්නානය කර ගසක සෙවණක වාඩිවෙලා ඉන්නවා. ඉතාමත් නිදහසේ වාඩිවෙලා ඉන්න විට එයාට හුස්ම තියෙනවාද කියලවත් වැටහෙන්නේ නැහැ.

කය සන්සිඳීම නිසා ආශ්වාස ප්‍රශ්වාසයත් සන්සිඳීමට පත් වෙනවා. භාවනාව කරන විටත් එහෙමයි. කාලයක් ගතවන විට හිතේ අපහසුතා කයේ බර ගතිය අඩුවෙලා කය සන්සිඳීමට පත් වෙනවා. කය සන්සිඳීමට පත් වුණාම හිතක් සන්සි‍ඳෙනවා. හිත සන් සිඳීමට පත් වුණාම ආශ්වාස ප්‍රශ්වාස සන්සිඳීමට පත්වෙනවා. ඉතා සියුම් විදිහට හුස්ම ඉහළ පහළ යන්නට පටන් ගන්නවා. කොච්චර සියුම් වෙලා ද කිව්වොත් අපිට දැනෙන්නේ නැති තරමට සියුම් වෙනවා. අපට දැනෙන්නේ හුස්ම නැවතුණා කියලා.

ඒ අවස්ථාවේදී මෙනෙහි කළ යුතු කරුණු අපට මවු කුසේ සිටින විට ආශ්වාස ප්‍රශ්වාස නැති වුණත් මා මවු කුසේ නොවෙයි දැන් ඉන්නේ එලෙස සිතන කොට යළිත් ආශ්වාස ප්‍රශ්වාස දැනීමට පටන් ගන්නවා. එහෙම හිතෙන කොට හුස්ම දැනෙන්න පටන් ගත්තේ නැතිනම් මම දියේ ගිලිල ඉන්න කොට ආශ්වාස ප්‍රශ්වාස නැහැ. මම දියේ ගිලිලා නොවෙයි ඉන්නේ මම ආශ්වාස ප්‍රශ්වාස තිබිය යුතුයි. ඒ ආකාරයට සිතන විට අපට හුස්ම දැනෙන්නට පටන් ගන්නවා.

එසේ දැනුණේ නැතිනම් ඊළඟට හිතන්න විස මූර්ඡා වෙච්ච වෙලාවට ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නේ නැහැ. ඒ නිසා මට ආශ්වාස ප්‍රශ්වාස තිබිය යුතුයි. එවිට ඔබට හුස්ම දැනෙයි. ඒ ලෙසටත් හුස්ම දැනුණේ නැත්නම් හිතන්න චතුක්ක ධ්‍යානයට සමවැදුණු විට ආශ්වාස ප්‍රශ්වාස නැහැ. නමුත් මම චතුත්තඃ ධ්‍යානයට සමවැදිලා නැහැ. ඒ නිසා මට ආශ්වාස ප්‍රශ්වාස තිබිය යුතුයි. එවිට හුස්ම දැනේවි. එසේ දැනුණේ නැතිනම් මරණය පත් වූ කෙනාට ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නේ නැහැ. මම මරණයට පත්වෙලා නැහැ කියලා. එවිට ආශ්වාස ප්‍රශ්වාස දැනේවි.

එහෙමත් දැනුණේ නැතිනම් හිතන්න නිරෝධ ඵල සම්පත්තියට සම වැදුණා ආශ්වාස ප්‍රශ්වාස නැහැ. මම නිරෝධ ඵල සම්පත්තියට සමවැදිලා නැති නිසා ආශ්වාස ප්‍රශ්වාස තිබිය යුතුයි කියලා එවිට හුස්ම දැනෙයි. මේ කාරණා සයම සිහි කළ යුතු නැහැ. එකක් දෙකක් සිහි කරන විට හුස්ම හුස්ම දැනෙන්නට පටන් ගන්නවා. එයට හොඳින් හිත යොමු කරලා ආශ්වාස ප්‍රශ්වාස කිරීම ඉතා හොඳ සිහියෙන් ශාන්තව මෙනෙහි කරන්න. අන්න එලෙස මෙනෙහි කිරීමට කියන්නේ

සස්සං භයං කාය සංකාරං

අස්ස ඉස්සාමි ඉතී සික්ඛති පස්සං භයං

කාය සංඛාරං අස්ස ඉස්සාමි ඉති සික්ඛතී”

කියා, ඒ කියන්නේ කාය සංස්කාර සන්සිඳී ඇති අවස්ථාවේ හුස්ම ගන්නවා කියලා නික්මෙනවා. කාය සංස්කාර සන්සිඳී ඇති අවස්ථාවේ හුස්ම පහළ දමනවා කියලා සංසිඳෙනවා. කාය සංස්කාර කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසවලට කියන නමක් ආශ්වාස ප්‍රශ්වාස කයට සම්බන්ධයි. ඒ නිසා කාය සංස්කාර කියා කියනවා සන්සිඳී පවතින හුස්මවලට හොඳට හිත යොමු කරන්න ඕන. ඒ තුළ හිත හොඳින් සමාධි ගත වෙනවා. ඒ ආශ්වාස ප්‍රශ්වාස සන්සිඳී පවතින අවස්ථාවේ හොඳ අවධානයෙන් හිත යොමු කළාට සමහර යෝගීන්ට හුස්ම රැල්ල වර්ණයක් විදිහට පෙනෙන්නට පටන් ගන්නවා. සමහර විට වර්ණයක් නැහැයට ඇතුළු වෙනවා වගේ, වර්ණයත් නාසිකාවෙන් පිටවනවා වගේ පෙනෙන්නට ගන්නවා.

වර්ණයක් විදිහට හුස්ම ගැනීම හොඳට වැටහෙනවා නම් එයට අපි කියනවා ‘උග්ගහන’ නිමිත්ත කියල උග්ගහන නිමිත්ත කියන්නේ හුස්ම රැල්ල ආලෝකයක් විදිහට පෙනීමට පටන් ගැනීමයි. ඉතින් මේ ආලෝකයක් වගේ පේන මේ හුළං රැල්ලට අපි උග්ගහන නිමිත්ත යැයි කියන්නේ.

හොඳට භාවනාව ග්‍රහණය කරගන්න තත්ත්වයට පත්වන්නේ මෙයට හිත යොමු කරගෙන තවදුරටත් ආනාපාන සතිය පුරුදු කරගෙන. ඉන් පස්සේ මේ වර්ණයක් වගේ පෙනෙන මේ ආශ්වාස ප්‍රශ්වාස තවදුරටත් ඒ වර්ණය ඉතා ප්‍රභාස්වරම පෙනෙන්නට පටන් ගන්නවා. අන්තිමට මේ වර්ණය හුස්ම වගේ ඇතුළට යෑමත් ශරීරයෙන් පිටව යාමත් නතර වෙලා න්‍යාය අග රැ‍ඳෙන්නට පටන් ගන්නවා. ඒ අවස්ථාවේ හුස්ම මෙනෙහි කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වර්ණයට හොඳින් හිත යොමු කරගෙන ඒ ආලෝකයට හිත යොමු කරගෙන ඒ තුළ වාසය කරන්න ඕන. එසේ වාසය කරන විට පැයක් පමණ වාසය කරන්න පුළුවන් නම් ඒ අවස්ථාවේ දී තමයි ඔබේ හිත තුළ චිත්ත විචාර ප්‍රිතිසුව ඒකග්ගතා කියන ධ්‍යාන අංග පහළ වන්නේ.

එතැනින් එහාට ආනාපාන සතියෙන් ලබන්නට පුළුවන් ධ්‍යාන පිළිබඳව ඇත්ත වශයෙන් ගුරුවරයෙකුගෙන් අසා දැන ගත යුතුයි‍. එතැනින් එහා දේවල් වටහා දීමට යෑමෙන් භාවනා කරන යෝගියා යම්කිසි පැටලීම් වැරදීම්වලට ලක්විය හැකි ඒ නිසා ආනාපාන සතිය වැඩීමේ දී ආශ්වාස ප්‍රශ්වාස වර්ණයක් විදිහට ගතහොත් යම් කිසිවෙකුට එතැනින් එහාට ඉතාම පළපුරුදු ගුරුවරයෙකුගෙන් ආනාපාන සති භාවනාව පිළිබඳව තවදුරටත් උපදෙස් ලබාගන්න. ඒ ආකාරයට ආනාපාන සතිය වඩමින් හෝ වෙනත් භාවනාවක් මෙනෙහි කරමින් ධ්‍යාන හතරක් උපදවා ගත හැකියි.

බුදු දහමේ ඒ ධ්‍යාන හඳුන්වන්නේ රූපාවචර ධ්‍යාන කියලා.

පළමු වැනි ධ්‍යානය හඳුන්වනවා. පතත්ච විචාර ප්‍රිති සුව ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානය කියලා. දෙවැන්න හඳුන්වන්නේ ප්‍රිතිසුච ඒකාග්ගතා සති සහිත දෙවැනි ධ්‍යානය නමින්. ඊළඟ ධ්‍යානය හඳුන්වන්නේ ප්‍රිතිසුව ඒකග්ගතා සහිත ධ්‍යානය නමින්. හතර වැනි ධ්‍යානය හඳුන්වන්නේ උපේඛා ඒකාග්ගතා සහිත හතරවන ධ්‍යානය නමිනුයි.

Comments