ආණ්ඩුවෙන් පින් පඩියක් ඉල්ලූ නිදහස් අධ්‍යාපනයේ පියා | සිළුමිණ

ආණ්ඩුවෙන් පින් පඩියක් ඉල්ලූ නිදහස් අධ්‍යාපනයේ පියා

“ර‍ටේ පොදු ජනතාවගේ දරුවන්ට ඉහළටම ඉ‍ගෙන ගැනීමේ අවස්ථාව සලසා දෙන්නට මෙතෙක් වසා තිබුණු පොතක් විවෘත කර දක්වාලමි”

තුන්කල් දකින -තුන්කල් බලන ඉසිවරයකු මෙන් ස්වදේශ අධ්‍යාපන ක්‍රමය සකස් කළ එතුමෝ දරුවනට ගොවිතැන ගැන දැනුමක් ලබා දෙන්නට ‘වතුවැඩ’ සටහනක් ද පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් කළහ.

සිංහල බෞද්ධයකු ලෙස පංචශීල ප්‍රතිපත්තියක යෙදී තම දෙඅත්වල කැත කුණු හෝ ලේ ගාවා නොගෙන නියම දේශ සේවයෙහි යෙදුණු ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර ශ්‍රීමතාණන් පිළිබඳව රටේ ඉදිරි පරපුරට නියම තතු හෙළි කිරීම මේ යුගයේ හැටියට ඉහළම පුණ්‍යකර්මයක් විය හැක්කේය.

බළපිටියේ උසාවියේ නියෝජ්‍ය පිස්කල් තනතුර දැරූ ජෝන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර මැතිතුමාට දාව හික්කඩුවේ විබදු වලව්වේ එමලි විජේකෝන් මාතාවගේ කුසින් උපන් පවුලේ තුන්වැනි දරුවා වූ කිස්ටෝෆර් කුඩා කල සිටම ඉගෙනුමට මහත් වූ දක්ෂතාවක් දැක්වූවේ ය. ඒ නිසාම එක් වරෙක ඔහු ඉගෙන ගත් රන්දොඹේ වෙස්ලියන් විදුහලේ තෑගි බෙදාදීමේ උත්සවයකට පැමිණි ‍ගාල්ලේ රිච්මන්ඩ් විදුහල්පති ගරු ස්වෝන් ඩැරල් පියතුමාගේ සුවිශේෂ අවධානයට ද ලක් වූයේ ය.

වරින්වර නව වාරයක් ම තමන් වෙත පැමිණ විදුහලේ පන්තියේ දැක්වූ දක්ෂතාවන්ට තෑගි ලබාගෙන යන මේ දුඹුරු පැහැති ශිෂ්‍යයා නව වැනි තෑග්ග ගන්නට තමා වෙත පැමිණි අවස්ථාවේදී එතුමෝ තෑග්ග තමන් අත තබාගෙන,

“තෑගි ගෙදර ගෙන යන්න කරත්තයක් ගෙනාවද?” යි විමසූහ.

ශිෂ්‍යයා කළේ මද සිනාවක් පා තෑග්ග ද රැගෙන ආපසු යෑම පමණි.

එදා තම ප්‍රධාන දේශනයේදී ගරු ස්වෝන් ඩැරල් පියතුමා සභාව අමතා විශේෂයෙන් ම කතා කළේ මේ ශිෂ්‍යය‍ාගේ දස්කම් ගැන ය.

“මෙතරම් දක්ෂ ශිෂ්‍යයෙකු මේ විදුහලේ සිටින එක ගැන මටත් සතුටුයි. ඔහුගේ දක්ෂතා තව තවත් ඔප්නංවා ගැනීමට ලබන වසර මුලදී ගාල්ලේ රිච්මන්ඩ්හිදී පැවැත්වෙන ‘‍ෆවුන්ඩේෂන්’ ශිෂ්‍යත්වයට මේ දරුවා ඉදිරිපත් කරවන ලෙස ම විදුහල්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා” යි එතුමෝ එම කතාවේදී කියා සිටියහ‍.

දරුවාගේ දස්කම් පිළිබඳව ආශිර්වාද කළ කාගේත් මන දොළ සපුරමින් ක්‍රිස්ටෝෆර් ෆවුන්ඩේෂන් ශිෂ්‍යත්වය ඉහළින් ම දිනා ගත්තේ ය. ඉන් අනතුරුව ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ නේවාසිකාගාරය වෙත ගිය අවස්ථාවේදී එහි සිටි ධනවත් බලවත් වැඩිහිටි ශිෂ්‍යයෝ මේ නවක සිසුවා රන්දොඹේ අයකු බව අසා “අපි මෙයාට රන්දොඹේ ගොඩයා” කියමු යැයි කීවේ ඒ වනවිට ශිෂ්‍යයාගේ තිබුණු සාමාන්‍ය පෙනුමත් දුප්පත්කමත් නිසා ය.

එහෙත් සුළු කලකින් ම ‘රන්දොඹේ ගොඩයාගේ’ තරම එසේ ඔහු අවඥාවට ලක් කළ සියල්ලන්ටම දැනගත හැකි විය. ඔහු පන්තියේ වූ සෑම විෂයකටම ඉහළ ම ලකුණු ලබා පළමු තැන ගත්තේ සියල්ලන් මවිතයට පත් කරවමිනි.

වරෙක ක්‍රිස්ටෝෆර් ශිෂ්‍යයා මුළු බ්‍රිතාන්‍යයේම මුල්තැන ලබාගත් බව වාර්තාවූ පසු ඩැරල් පියතුමා කළේ ඔහු විශේෂයෙන් ශිෂ්‍යයාට හඳුන්වා දී මුළු දිනම නිවාඩු දීමය. මෙසේ කලකට පසුව ඔහුගේ දස්කම් අනුව එතුමෝ ක්‍රිස්ටෝෆර් විදුහලේ විශේෂ ගණිත ආචාර්ය පදවියකට පත්කර ආචාර්ය මණ්ඩලයට බඳවා ගත්හ. කලකට පසුව සිදුවූ ඩැරල් පියතුමාගේ හදිසි ස්වර්ගස්ථවීමෙන් පසුව ප්‍රථමයෙන් මොරටුවේ වේල්ස්කුමර විද්‍යාලයට ද දෙවනුව බොරැල්ලේ වෙස්ලි විද්‍යාලයේ ගුරු මඬුල්ලට ද එක්වූ ක්‍රිස්ටෝෆර් කන්නන්ගර තරුණයා එහිදී නීතිය හදාරා නීතිඥයකු ලෙස වර්ෂ 1910 දී ගාල්ලේ උසාවියේ කටයුතු කරන්නට පටන් ගනී.

එවකට කතෝලිකයකු ලෙස හැඳින්වෙමින් සිටි කන්නන්ගර නීතිඥතුමාට වර්ෂ 1915 ගේ සිංහල මුස්ලිම් අරගලය සමයේ වධයට පත්ව සිටි හා සැකයට ලක්ව සිටි බෞද්ධයන් වෙනුවෙන් නොමිලයේ ම පෙනී සිට ඔවුන් විශාල පිරිසක් නිදහස් කර ගැනීමේ අවස්ථාව ලැබිණ. ඒ පිළිබඳව පසුව පවුල් පිටින් ම පැමිණ ඔවුහු නීතිඥතුමාට සිය කෘතඥතාව දැක්වූහ.

එසේ කටයුතු කෙරෙමින් තිබියදී වර්ෂ 1923 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව උදෙසා පැවැති ඡන්දයේදී එතුමන් හමුවට පැමිණ එම බෞද්ධයෝ දකුණු පළාත ආසනය සඳහා ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටියහ. එහි ප්‍රතිඵලය වූයේ කන්නන්ගර නීතිඥතුමාට ඡන්ද 1969 ක් ලැබෙද්දී ප්‍රතිවාදී ඩේවිඩ් ද සිල්වා මහතාට ඡන්ද 115 ක් ලැබීම ය.

වැඩි ඡන්ද 1854 කින් එතුමෝ ජයග්‍රහණය කළහ.

මෙහිදී දක්නට ලැබුණු ප්‍රධාන කාරණයක් නම් ඒ වනතෙක්ම යුරෝපීය ඇඳුමින් සැරසී සිටි කන්නන්ගර නීතිඥතුමා ආර්යසිංහල ඇඳුමින් සැරසී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසි ප්‍රථමයා වෙමින් එහි යෑමය. එතෙක් ඇන්ලිකන් ආගමකට මවගේ බලපෑම පිට කතෝලිකයකුව සිටි කන්නන්ගර රාජ්‍ය මන්ත්‍රීතුමා තම පියාගේ ආගම අනුව බෞද්ධයකු වීම ද ඒ සමඟම සිදුවිය‍. එම යුගයේ දක්නට ලැබුණු ප්‍රධාන කරුණක් නම් ඡන්දය ඉල්ලන්නට කතෝලිකයන් බෞද්ධවීමය. මෙහිදී සිදුවුණේ මෙතුමා ඡන්දය දිනා ගැනීමෙන් පසු පිය උරුමය අනුව බෞද්ධයකු වීම ය.

ඉන්පසුව වර්ෂ 1931 පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ගාල්ල මන්ත්‍රීවරයා ලෙස ද විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ද පත් විය. මෙහිදී රටේ ඉදිරි පරපුර වෙනුවෙන් මහ මෙහෙයක් ඉටු කිරීමට එතුමා කටයුතු කළේ තමන් කුඩා කල ලැබූ අත්දැකීම් ද උපයෝගි කරගෙනය. කැලේ පිපෙන මල් කැලේම පරවන්නට ඉඩ නොදී සමාජයේ ඉහළට යන්නට ගම්බද දක්ෂ සිසුන්ට අවස්ථාව ලබාදීමට එතුමෝ එතෙක් කල් පැවැති අධිරාජ්‍යවාදී අධ්‍යාපන ක්‍රමයට දේශීය ඌරුව ගන්වා ක්‍රියාවෙහි යෙදවූහ. එසේම ඒ වනවිට ඉතා අසරණ තත්ත්වයක පසුවූ සිංහල භාෂා ගුරුවරයාගේ තත්ත්වය නගා සිටුවීමට ද එතුමෝ කටයුතු කළහ.

තුන්කල් දකින - තුන්කල් බලන ඉසිවරයකු මෙන් ස්වදේශ අධ්‍යාපන ක්‍රමය සකස් කළ එතුමෝ දරුවනට ගොවිතැන ගැන දැනුමක් ලබා දෙන්නට ‘වතුවැඩ’ සටහනක් ද පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් කළහ. දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයේ එහි අගය මනාව කාටත් වැටහිණි. ඉන්පසුව එංගලන්තයෙන් පැමිණි අධ්‍යාපන විශේෂඥයකු ඒ ගැන දැක බලා එවන් ක්‍රමයක් මුළු යටත් විජිත රටවල විදුහල්වලද ක්‍රියාවෙහි යෙදවිය යුතු යයි ද වාර්තා කළහ.

රටේ සිසු සිසුවියන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල‍යක් ඇති කරවන්නට කටයුතු කළ කන්නන්ගර ඇමැතිතුමෝ මුලින් ම ප්‍රාදේශීය වශයෙන් ‘ප්‍රාදේශීය විශ්වවිද්‍යාල වැනි’ මධ්‍ය විද්‍යාල සංකල්පයක් රටට හඳුන්වා දුන්හ. එගමන්ම රටේ පොදු ජනතාවගේ දරුවන්ට හෝඩියේ සිට‍ විශ්වවිද්‍යාලය දක්වා නොමිලයේ අධ්‍යාපනයක් ලබනු පිණිස ‘නිදහස් අධ්‍යාපන පනත’ ක් ඉදිරිපත් කළහ.‍

පුදුමයකට මෙන් එකල ඇමැති මණ්ඩල‍ේ ප්‍රධානින් මෙන් සිටි සේනානායක, බණ්ඩාරනායක, කොතලාවල වැනි ප්‍රධානතම ඇමැතිවරු කන්නන්ගර ඇමැතිතුම‍ාගේ එම පනතට ප්‍රසිද්ධියේ ම විරුද්ධ වූහ. රටේ ජාතියේ සම්පත වැනි වූ කැලේ පිපෙන මල්වලින් ඉහළම ප්‍රයෝජනය ලබා සිය රටේ දියුණුවට කැප කිරීමේ දූර ප්‍රාර්ථනයෙන් යුතු කන්නන්ගර ඇමැතිතුමාගේ එම සංකල්පය රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් සම්මත කරගන්නට ලැබුණේ එය ඉදිරිපත් කර අවුරුද්දකුත් මාස තුනකට පසුවය.

“ර‍ටේ පොදු ජනතාවගේ දරුවන්ට ඉහළටම ඉ‍ගෙන ගැනීමේ අවස්ථාව සලසා දෙන්නට මෙතෙක් වසා තිබුණු පොතත් විවෘත කර දක්වාලමි” යි කියමින් එතුමා කළ දේශනයට එවේලේ රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ මහා තුති ඝෝෂාවක් නැගුණි. අන්තිමේදී තම ලිපි ලේඛන ද රැගෙන ශාලාවෙන් පිටතට යන්නට ගිය විටදී දොරටුවේ සිටි සුදු ඇඳුමින් සැරසී සිටි මහත්මයෙක් කන්නන්ගර ඇමැතිතුමා බදාගත්තේ ය.

“අයියා ඔබතුමා අපේ රටේ ඉපදිලා මෙසේ පනතක් ඉදිරිපත් කළා නම් අපි අයියට දෙයියන්ට වාගේ සලකනවා” යි එම මහතා එතුමා හමුවේ කියා සිටියේ ය. බලනවිට එතුමාට දැකිය හැකි වූයේ එවකට ලංකා ඉන්දියානු මහ කොමසාරිස් ඇස්.ඇන්. ආනේ මහතා බවය. එවේලේ එතුමාට කලින් විරුද්ධව සිටි අය පවා ඡන්දය දුන් බව පසුව වාර්තා විය.

ප්‍රාදේශීය විශ්වවිද්‍යාලවන් වැනිවූ මධ්‍ය විද්‍යාල ක්‍රමය මුලින් ම මතුගම තම ඡන්ද කොට්ඨාසයේ වර්ෂ 1943 දී ඇරැඹූ කන්නන්ගර ඇමැතිතුමෝ වර්ෂ 1947 වනවිට රටපුරා මධ්‍ය විද්‍යාල පනස් හතරක් (54) පිහිටුවා තිබිණි. නිදහස් අධ්‍යාපන ක්‍රමය අනුව රටේ දෙමළ ජනතාවගේ දරුවන් වෙත ද සමසේ ලබාදීම උදෙසා ද කාන්නන්කුඩි, ඉරුකිලංපිඩි, යාපනය, චන්තාරමුලෙයි, වේලනෙයි, නෙල්ලඅඩි, වාසවිලාන් ආදී ප්‍රදේශවල ද මධ්‍ය විද්‍යාල පිහිටවිණි.

එහෙත් මෙසේ වූ පුළුල් අධ්‍යාපන සේවාවන් කන්නන්ගර ඇමැතිතුමා විසින් මුළු රට උදෙසාම බිහි කරන ලද නමුදු වර්ෂ 1947 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමෝ මතුගම ආසනයෙන් වැඩි ඡන්ද 3614 කින් පරාජය කරන්නට අධ්‍යාපන විශේෂඥයකු ද වූ විල්මට් ඒ. පෙරේරා මහතා සමත්විය.

එදා කළුතර කච්චේරියේදී චන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසු කන්නන්ගර මැතිතුමාගේ දෙනෙතින් කඳුළු කඩා වැටිණි.

“දැන් ඉතින් මම ඇමැතිවරයකු තබා මන්ත්‍රීවරයෙක්වත් නොවෙයි. ඒ නිසා මට මෙහි ආ ඇමැති නිල රථයෙන් ආපසු ගෙදර යන්න හිමිකමක් නෑ. කවුරු හරි හිතවතකු මා තමන්ගෙ රථයෙන් ගෙදරට ඇරලනවද?” යි අසා එතුමෝ ආපසු ගියේ එසේය. පසුව මෝටර් රථය පැමිණි විට පසුව දා ම රියදුරා සමඟ රථය මහා භාණ්ඩාගාරය වෙත යවනු ලැබිණි.

ඉන්පසුව කලකින් එතුමා ඉන්දුනිසියාවේ මහ කොමසාරිස් ධූරය ද දැරීය. පසුව 1952 මැතිවරණයේදී ලංකාවට පැමිණ අගලවත්ත ආසනය තරග කර දිනා ගත් එතුමාට ඩඩ්ලි සේනානායක රජය යටතේ පළාත්පාලන ඇමැති ධූරය ලැබිණි. 1952 කේ සිට 1956 දක්වා පළාත් පාලන ඇමැති වශයෙන් එතුමෝ එයින් පෙර එම ඇමැති පදවිය දැරූ බණ්ඩාරනායක මැතිතුමා කළ සේවයටත් වඩා වූ සේවාවක් සිදුකළ බව පසුව වාර්තා විය.

වර්ෂ 1956 යේදී එතුමන් දේශපාලන තරගයට ඉදිරිපත් නුවූයේ තමන් මේ විශ්‍රාම ගත යුතු වයස බව සිතමිනි. එවිට එතුමෝ හැත්තෑ දෙක වැනි වියේ පසුවූහ.

මෝටර් රථයක්, ගෙයක්, ඉඩමක්, ආදායම් ලැබෙන මාර්ගයෙන් විශ්‍රාම වැටුපක් ද නුවූ හෙයින් ඉන් පසුව යුගයේ එතුමෝ බලවත් ලෙස අසරණ වූ හෙයින් එතුමෝ තම තත්ත්වය පැහැදිලි කර පිටරටවල නම් මෙවැනි වූ වියපත් දේශපාලකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන සැටි ද සඳහන් කර “‍මේ මගේ අවසන් කාලයේ ජීවත්වීමට පින් පඩියක්වත් දුන මැනවි” කියා ලියූහ.

එය සලකා බැලූ එවකට සිටි කතානායක ආර්.ඇස්. පැල්පොළ මහතා කාරණය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යොමු කර රුපියල් දස දහසක පාරිතෝෂිතයක් ද මාසයකට රුපියල් පන්සියය බැගින් විශ්‍රාම වැටුපක් ගෙවීමට ද කටයුතු කළේ ය.

පසුව පැවැති ජාතික රජයේ ඊරියගොල්ල අධ්‍යාපන ඇමැතිතුමා එම මාසික මුදල රුපියල් දහස දක්වා වැඩිකර ගෙවන්නට කටයුතු කළහ. එයින් එතුමෝ තම අන්තිම කාලයේ යාන්තම් පණ ගැටගසා ගෙන ජීවත්වූහ.

එම යුගයේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ආදායම් බදු නොගෙවී යයි කියා නඩුවක් දමා එයට නොපැමිණි චෝදනාවට කන්නන්ගර මැතිතුමාට විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි. ආදායම් බදු ගෙවීමට තබා ජීවත්වන්නට ද එතුමා සටනක් ගෙන ගිය බව ඔවුහු නොදැන සිටියහ.

1969 සැප්තැම්බර් මස 23 වැනිදා එතුමා මිය ගියේ වැඩි දෙනෙකු විසින් අමතක කර දමන ලද පුද්ගලයකු ලෙසය. එතුමා ඉදිරිපත් කළ නිදහස් අධ්‍යාපන පනත යටතේ එකල රජයේත් පෞද්ගලික අංශයේත් ඉහළම තැන් පෙන්වූවන්ට ද එතුමා අමතකව තිබිණ.

මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය මගින් සෑම වසරකම සැප්තැම්බර් 23 වැනිදා ‍රටේ මධ්‍ය විද්‍යාලයකට එක් රැස්වී කන්නන්ගර මැතිතුමන්ගේ ගුණ සමරා එතුමාට පින් දෙති.

Comments