තමාගේ මෝඩකම්වලට තමාට ම සිනා සුණ වී.ඩී. ද ලැනරෝල් | සිළුමිණ

තමාගේ මෝඩකම්වලට තමාට ම සිනා සුණ වී.ඩී. ද ලැනරෝල්

කුමරජිත්

ඔහු ලංකාවේ ගම් නියම්ගම් ගැනත්, හැම පළාත්වල ම මිනිසුන් හා ඔවුන්ගේ සිරිත් ගැනත්, හොඳ දැනුමක් ඇත්තෙකි. කවර පළාතක වුව ද නමක්, මිනිහකුගේ හෝ ගැහැනියකගේ හෝ නමක් නිවැරැදිව ඉංග්‍රීසියෙන් සිංහලට නැඟීමට ඔහු දනියි.

පත්‍රයෙහි (සිළුමිණ) පුවත් හැකිතාක් ඇත්තට ළං වන සේ හැකි තරම් නිවැරැදි වීම එකල මහත් කොට සලකනු ලැබීය. එවැනි කලක ලැනරෝල් ඉතා සූර ප්‍රවෘත්ති සංස්කාරකයකු විය. සිත් ගන්නා කෙටිමැ පෙළ සහිතව ප්‍රවෘත්ති සකස් කිරීමට හුරුකමක් ලැනරෝල්ට විය. පනාමුරේ ඇත්ගාල පිළිබඳ පුවතට ඔහු ලියූ මාතෘකා පාඨයක් මෙසේ ය. “කොළඹ ගෑනුන් අලි කෙඳි සොයා යෑම.”

වී.ඩී. ද ලැනරෝල් නම් අසාමාන්‍ය ලේඛකයා, පුවත්පත් කලාවේදියා ගැන මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ‘උපන්දා සිට’ කෘතියේ සඳහන් කර ඇත. දෙබස් පුහුණු ගුරුවරයකු වශයෙන් වෘත්තිය ඇරඹූ ලැන‍රෝල් මහතා කවියකු, පාඩම් පොත් රචකයකු, ළමා කවි, ළමා කතා, පමණක් නොව අපේ ඉතිහාසය, ජාතිකත්වය, ශිෂ්ටාචාරය ගැන ද අපේ ගම ගැන, ගැමිකම, පුරසාරම් ගැන හා මෝඩකම් ගැන ද ලියා පිස්සන් කොටුවට ගොස් නැවතී, එහි අපූරු තොරතුරු ඇසුරෙන් රසවත් කතා ලියූ සූර ලේඛකයෙකි.

“ඉස්කෝලෙදි පියසිරිට කැලෑසියේ ලොකු ළමයින්ගෙන් බේරිල්ලක් නැත. කැලෑසියේ ළාබලම ළමයා පියසිරි බැවින් තවමත් රැවුල හරියට නොවැඩුණේ ඔහුගේ පමණකි‍. මුලින් ම නිකටේ වැඩුණ රැවුල් ගස් දෙක තුන හෙතෙම කණ්ණාඩිය බලාගෙන උගුලා දැම්මේ ය. රැවුල් ගස් උගුලන්නට, උගුලන්නට වැඩි වැඩියෙන් රැවුල ආයේ ය. එහෙයින් ඔහු නිකම් සිටින සෑම වේලාවේම ඔහුගේ අත යන්නේ නිකටට ය. කණ්ණාඩිය ඇතිවත් නැතිවත් හෙතෙම නිතරම නිකට අතගාමින් රැවුල් ගස් උගුලයි. මේ නිසා ඔහුට උගුලා ඉවර කරන්නට බැරි තරම් රැවුල් ගස් එයි. ඉස්කෝලෙදි ලොකු ළමයින්ගෙන් ඔහුට හිංසා පීඩා හා සමච්චල් ඇති වූයේ මේ රැවුල් ගස් නිසා ය.”

2491 ගුණසේන වෙසක් කලාපයට ලැනරෝල් විසින් ලියන ලද ‘මඟුල් රැවුල’ නම් කෙටිකතාවේ එන කොටසකි එ‍්. ඔහු විසින් 1944 ලියූ ‘පියසිරිගෙ පාසල් සමය’ කෘතියේ ද ප්‍රධාන චරිතය පියසිරි ය. මේ කෘතිය අතිශයින් ම ජනප්‍රිය වූ අතර 1944 සිට 1957 දක්වා හයවැනි මුද්‍රණය වන විට එහි පිටපත් 27,000ක් විකිණී ඇති බව යසවර්ධන රුද්රිගු විසින් ලියන ලද ‘පන්හි‍ඳෙක විස්කම්’ (වී.ඩී. ද ලැනරෝල් සහ නිර්මාණ) පොතෙහි දැක්වෙයි. ‘හපන්කම් මෝඩකම් පුරසාරම්’, ‘උමතු තරුණයා’, ‘ආලය’, ‘මලවි’, ‘සන්දේශය’, ‘කුටුම්බ රක්ෂණී හෙවත් තරුණියන්ට අවවාද’ ‘ලංකා පුරාවෘත්ත’ යන කෘති මෙන්ම බාලාංශය පන්තිය සඳහා ලියූ ‘සිංහල සිරිත’ ග්‍රන්ථ 3 දහස් ගණන් අලෙවි වී ඇත. ඔහු විසින් ලියූ ග්‍රන්ථ සංඛ්‍යාව සියයක් පමණ වෙයි.

රාජකරුණාධිපති අමරකෝන් මුදියන්සේලාගේ වික්ටර් දුකි ලැනරෝල් හෙවත් වී.ඩී. ද ලැනරෝල් 1893 දෙසැම්බර් 25 වැනිදා කඩුවෙල බෝමිරියේ උපත ලැබීය. ඔහු සිංහල සාහිත්‍යයටත්, පුවත්පත් කලාවටත් ලේඛන කලාවටත් සම්බන්ධ සොහොයුරන් හතර දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා ය. පවුලේ දෙවැන්නා ජූලියස් ද ලැනරෝල් සිංහල ශබ්ද කෝෂයේ කතුවරයා ලෙස ද ‘ලංකාදීප’ පුවත්පතේ ප්‍රථම කතුවරයා ද විය. ‘වන නදිය’ ලියූ ඇස්.ඩී. ද ලැනරෝල් (සැමුවෙල්) නම් විශිෂ්ට ලේඛකයා තුන්වැන්නාය. කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයකු, ප්‍රධානාචාර්ය ධූරය ද දැරූ ඉංග්‍රීසි බසින් බුද්ධ ධර්මය ගැන පොතපත ලියූ කේ.ඩී. ද ලැනරෝල් (කුලසිංහ) සිව් වැනි සොහොයුරාය. ඔවුනට සෝමභද්‍රා නම් නැගණියක් ද විය.

බෝමිරියේ රජයේ පාසලින් (අද කුමාරතුංග මුනිදාස විද්‍යාලය) ඉගෙනුම ලැබූ ඔහු වරක් ‘මා ලේඛකයකු වූ හැටි’ මැයෙන් ‘රසවාහිනි’ සඟරාවට ලියූ ලිපියක මෙසේ සඳහන් කර තිබුණි.

“මා කුඩා කාලයේ සිංහල ලේඛන කලාව ගැන දැන් මෙන් උනන්දුවක් දක්වන අය විරල වූහ. ඒ කාලයේ සිංහල ගුරුවරු පාසලේ දී ශිෂ්‍යයන්ට වාක්‍ය රචනාව ඉගැන්වූ නමුත් ඒ කලාවක් වශයෙන් නොවේ. බෝමිරියේ ද්වි භාෂා පාඨශාලාවේ ඉගෙනීම කරන කාලයේ එහි ප්‍රධානාචාර්ය ව සිටි ඒ. ද ඇස්. විජයසේකර මහතාගෙන් හා උපාචාර්ය මුනිදාස කුමාරතුංග මහතාගෙන් මම සිංහල වාක්‍ය රචනාව ප්‍රගුණ කළෙමි. මා මුලින් ම ලිපියක් ලියුවේ 1913 දී පමණ ‘සිංහල තරුණයා’ සඟරාවට ය. එහි පළ කිරීම සඳහා ‘මා විසින් පසුගිය සිංහල අවුරුද්ද ගත කළ අන්දම’ යන මාතෘකාවෙන් ලියනු ලැබූ ඉතා හොඳ ලිපියට තෑග්ගක් ප්‍රදානය කරන බවත් සඳහන් ව තිබූ නිසා ය. වාක්‍ය රචනාව ගැන විජයසේකර මහතාගෙන් නොයෙක් වර පැසසුම් ලබා සිටි බැවින් මේ තෑග්ග සඳහා ලිපියක් ලිවීමට මම අදහස් කළෙමි.

මේ කුලුඳුල් ලිපියට තෑග්ගක් ලැබේ යැයි මම සිහිනෙන්වත් නොසිතුවෙමි. දිනක් මම පොත් වගයක් මිලදී ගැනීම සඳහා කොළඹ වේල්ල වීදියේ කේ.ඩී. පෙරේරා සහ පුත්‍ර සමාගමේ ‘විද්‍යාදර්ශ’ පොත්හලට ගියෙමි. එහි අයිතිකාරයා වූ කේ.එස්. පෙරේරා මහතා මට කුඩා කල සිට සැලකිල්ලක් දැක්වූ කෙනෙකි.

“හා වික්ටර් මේ පාර තෑග්ගක් තියෙනවා නොවැ‍” යි පෙරේරා මහතා පිළිවදන් දුන්නේ ය.

“විහිළු කරන්ට එපා මහත්තයා” මම පැවසීමි.

“විහිළුවක් නොවේ. එහෙනම් අච්චු කන්තෝරුවට ගොස් බලා ගත හැකිය” යි පෙරේරා මහතා පිළිවදන් දුන්නේ ය.

මට ඒ වෙලාවේ වූ සතුට නිම් හිම් නැති විය. සඟරාව නිකුත් වී එනතුරු මා දුටු දේ කිසිවකුට දැන්වූයේ නැත. මේ ලිපිය වෙනුවෙන් මට ලැබුණු තෑග්ග නම් වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතා විසින් ඒ අවුරුද්දේම පළ කරන ලද ‘පුරාවිද්‍යාව’ නම් මාහැඟි ග්‍රන්ථයයි.”

මීට වසර දොළහකට පමණ පෙර මා සන් මිත්‍ර සෝමසිරි කස්තුරිආරච්චි සමඟ ලැන‍‍රෝල් මහතා උපන් කඩුවෙල වැලිවිට පට්ටියවත්තේ ඔහුගේ මහගෙදරට ගියෙමු. එහිදී මට ‘සිළුමිණ’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සේවය කරමින් සිට ලංකා පිඟන් සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ලෙස සේවය කොට දැනට ඇමෙරිකාවේ පදිංචිව සිටින ආනන්ද ලැනරෝල් හමු විය. ඔහු ලැනරෝල් මහතාගේ පුතෙකි. ඔහු

ආනන්දයේ ඉගෙනුම ලබා ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබූවෙකි. මම ඔහුගෙන් මුලින් ම ඇසුවේ ලැනරෝල් මහතා ‘පියසිරි’ නමින් කතා ලිව්වේ මන්ද කියා ය.

“මගේ තාත්තා ‘පියසිරි’ නමින් කතා ලිව්වට ඒ තාත්තාගේ චරිතය තමයි මතු වුණේ‍. තාත්තාගේ සමීප මිත්‍රයන් ලෙස ආනන්ද නම් කළේ කළුකොඳයාවේ නායක හාමුදුරුවෝ, ඩබ්ල්යු.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, හේමපාල මුනිදාස, මුනිදාස කුමාරතුංග මහත්වරු බව ය.

“තාත්තාට තිබුණා ‘වික්ටර් ඇන්ඩ් කම්පැනි’ කියලා සමාගමක්. ඒ වුණාට තාත්තා ව්‍යාපාර කටයුතුවලට සූර නැහැ. මේ සමාගමට දවල් කෑම සඳහා තාත්තාගේ ලේඛක මිත්‍රයෝ රැස් වෙනවලු. දවසක් කුමාරතුංග මුනිදාස මහත්තයා ඇවිත්. තාත්තා මේ කාලයේ අනන්ත නම් නාග රාජයා ගැන ලියූ පැරණි පොතක් සංස්කරණය කරමින් හිටියෙ.

“කුමාරතුංග මහත්තයෝ, මම පොතේ අහවල් වචනයට දැම්මා ‘අතක්’ කියලා වචනයක්’ තාත්තා කීවාලු.

කුමාරතුංග මහත්තයා ඒ වාක්‍යය බලලා බොහොම සැහැල්ලුවෙන් කිව්වලු “පයක් කියලා ඒකට දැම්මත් වැඩි වෙනසක් නැහැ” කියලා. කුමාරතුංග මහත්තයා එහෙම කියලා තියෙන්නේ තාත්තාගෙ වචනය කිසි සම්බන්ධයක් නැති බව සලකලා. තාත්තා ඒවාට කිපෙන්නේ නෑ.”

ආනන්ද එදා අපට කිව්වේ තාත්තා තමාගේ මෝඩකම්වලට හිනා වුණ කෙනෙක් බව ය. තාත්තා තුම්පණේ ජීවත් වූ කුඩා කාලයේ පාසල් ගොස් ගෙදර ආ විට පාඩම් කර අවසන් වී පොත් පරෙස්සම් කර ගැනීමට මේස ලාච්චුවක් සහිත පුංචි මේසයක් තිබූ බව පවසන ආනන්ද තාත්තාට ලාච්චුව වසා තැබීමට අමතක වූ දවසක් ගැන සඳහන් කර ඇත.

“මීයාගෙන් වන අනදර ගැන දඬුවමක් කිරීමට තාත්තා කර ඇත්තේ ගෙදර සිටි සුරතල් බළල් පැටියා ලාච්චුවට කූඩු කිරීමයි. දිනක් තාත්තා එදා සවස පාඩම් කර, පොත් ලාච්චුව තුළ දමා බළල් පැටවාට කන්ට දී ඌ අල්ලා ලාච්චුවට දමා යතුරත් දමා තිබෙනවා. පොත්වල සතු‍රා මැඩලන්න ලැබීමේ ප්‍රීතියෙන් තාත්තාට නින්ද ගොස් නැහැ. උදේ අලුයම බළල් පැටවා නිදහස් කිරීමට සිතා ලාච්චුව අරින විට බළල් පැටවා මැරිලා. ලාච්චුව යතුරු ලා තිබූ නිසා එදා රෑ මීයා පොත් කැපීමට ඇවිත් නැහැ. මේ වගේ තාත්තාගේ ළමා වියේ කළ මෝඩකම් රැසක් තියෙනවා” ආනන්ද එදා කීය.

වී.ඩී. ද ලැනරෝල් තමා ලියූ මුල්ම නවකතා වූ ‘ඉරණම’ ලියා ඇත්තේ සිරකාමරයක සිටලු. දිනක් දළදා මාළිගාවට ගිය ඔහුට දැක ගන්නට ලැබී ඇත‍්තේ පාවහන් දමා මාළිගාව තුළට ගිය කෙනෙක්. කෝපයෙන් සිටි ලැනරෝල් ඔහුට දොස් කීවේය. මෙය බලා සිටි හිසේ පනාවක් ගසා ගෙන සිටි ධනවත් කෙනකු ඔහු අසලට පැමිණියේ ය.

“ඔබ කවුද? කුමන රස්සාවක් කරන කෙනෙක්ද? පෙනුමෙන් නුඹ යුක්තියට වැඩ කරන කෙනෙකු හැඩයි.”

“මගේ නම කෝන්ගොඩ වික්‍රමපාල. අර පියදාස සිරිසේන උන්නැහේගෙ රහස් පරීක්ෂක කතාවල එන වික්‍රමපාල තමා මම.”

“එහෙනං ‘වලව්වක පළහිලව්ව’ ලිවීමට උදව් කරලා තියෙන්නේ උඹ? උඹ වහාම දළදා මාළිගා භූමියෙන් පිට වෙයන්.”

“මා පිට කරන්න උඹ කවුද?” ඇසූ ලැනරෝල් ගැසූ පහරකින් ඔහුගේ හිසේ තිබූ නැමි පනාව ද කැඩී වීසි විය.

අවට සිටි ආරක්ෂකයෝ ලැනරෝල් අල්ලා දියවඩන නිලමේ ළඟට ගෙන ගිය අතර ඔහු පොලීසියට කතා කොට වරදකරු භාර දී ඇත. පොලිසියට ගෙන ගිය ලැනරෝල් සිර කාමරයකට ගෙන ගියේ ය. සිරකාමරයේ දී තම මුල්ම නවකතාව පැන්සලයකින් බිත්තියේ (එහි මුල් කොටස) ලියනු දුටු එක් පොලිස් නිලධාරියෙක් ඔහුට පුල්ස්කැප් කඩදාසි දුසිමක් ගෙනවිත් දී ඇත.

“උමතු තරුණයා” පොත ලියද්දී ලැනරෝල් මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේලු. තම පොතෙහි එන උමතු තරුණයා අනිකකු නොව තමා ම බව ඔහු සඳහන් කර ඇත. යම් කිසි කලකදී තමා උමතු වී සිටි බව ලෝකයාට කියා පෑමට කිසිවෙකු කැමති නැති වුවත් ඇත්ත කීමට ලැජ්ජා නොවිය යුතු බැවින් තමා උමතුවෙන් කළ කී දෑ ලිවීමට මැළි නොවන බව ඔහු කියා ඇත.

ලැනරෝල් පරම්පරාව පැවත එන ප්‍රංස ජාතිකයන්ගෙන් තමා පැවත එන බව ලැනරෝල් ලේඛකයා ආඩම්බරයෙන් සඳහන් කර ඇත.

තමා පමණක් නොව ලංකාවේ ලැනරෝල් පරම්පරාවේ කවුරුන් ගැන වුවත් සඳහන් කළ යුතුව ඇත්තේ හපන්කම්, මෝඩකම් හා පුරසාරම් ගැන පමණක් බව ඔහු උපහාසයෙන් මෙන් කියා ඇත.

“මහනුවර රාජධානියේ තානාපති වශයෙන් ප්‍රංස දේශයේ සිට පැමිණි අපේ කිරිකිත්තා වූ නෑනක් ලයර්ස් ද ලැනරෝල් සමසක් සිරේ සිටියේ සිංහල රජ්ජුරුවන්ට තමාගේ මෝඩකම් හා පුරසාරම් නිසා. මගේ මේ ඥාතියා, රොබට් නොක්ස් සමඟ දෙවැනි රාජසිංහ රජුගේ සිරකරුවකු සිටියෙ. මහනුවර රාජධානිය තුළ රජ්ජුරුවන්ට හා මහ අදිකාරම් හැර අන්‍යයකුට අසු පිටින් යෑම තහනම් බව රාජ පුරුෂයන් කියද්දීත් “අපේ රටේ අප යන්නේ එහෙම තමා‍” යයි පුරසාරම් දොඩා අසු පිටින් නොබැසම මඟුල් මඩුව වටා කර කැවෙමින් සිට තමා බැහැ දැක‍ීමට රජතුමා නියම කළ වේලාවට නොපැමිණි නිසා උරණ වූ ලැනරෝල් තානාපතියා තම නවාතැනට ගොස් ඇතැයි” පවසා ඇත. ලැනරෝල් හා මාර්ටින් වික්‍රමසිංහයන් ‘සිළුමිණේ’ වැඩ කරද්දී වූ සිද්ධියක් ‘උපන්දා සිට’ පොතේ එයි.

“නවකථා ලිවීමෙන් කලකිරී සිටි මට පාසල් පොත් ලියන්ට මගේ හිත මිතුරකු වූ වී.ඩී. ද ලැනරෝල් අනුබල දුන්නේ ය. මම මගේ විද්‍යා විනෝද කථා පොත් පෙළේ ‘කුරුමිනි සත්තු’, ‘වෙස් මාරු කරන සත්තු’ යන පොත් දෙක ලියුවෙමි.

වික්ටර් ලැනරෝල් සමාජවාදය හා සමාජවාදයට ගුරුවුණු දර්ශනය ද පිළිබඳ දැනුම ඇති පොතේ ගුරෙක් නොවීය. ඔහු උග්‍ර සමාජවාදියෙකි. අප දෙදෙනාම දවල් බත් කන්නේ මැන්දිස් සිල්වාගේ ගෙදරිනි. උයන්නා නිවාඩු පිට යන දවස්වල අප බත් කන්නේ බොරැල්ල හන්දියේ මාළු කඩපළ ඉස්සරහ හෝටලයකිනි. මටත් වඩා ලැනරෝල් ඒ හෝටලයෙන් බත් කන්ට කැමැති වීය.

දවසක මගේ යාළුවෙක් මට මෙසේ කීය.

“වික්‍රමසිංහ, බොරැල්ලේ හෝටලයෙන් බත් කන්න යන්න එපා. ඒක මදි කමක්...”

ලැනරෝල් ගේ ළඟ නෑයකු වන ඔහු මගේ ඉතා හිතවත් මිතුරකු පමණක් නොව නිහතමාන ඉතාම අවංක උගතෙක් ද වෙයි.

“අපි වෙන තැනකින් බත් කමු” යි මම ලැනරෝල්ට යෝජනා කෙළෙමි. මම ඔහුගේ නෑයා කී වදන් ද කීවෙමි.

“නෑ - අපි තේ බොන්ටත් යමු ඒ හෝටලේට!” යි ලැන‍රෝල් කීවේය. අපි සමහර දවසක තේ බොන්ට ද එහි ගියෙමු.”

තාත්තා හාන්සි පුටුවට වී මිත්‍රයන් සමඟ කියන කතා පුංචි ආනන්ද ආසාවෙන් අසා සිට ඇත. තම පියා යාළුවන් ආශ්‍රය කළේ එක්තරා ප්‍රමාණයකට බව කියන ඔහු යාළුවෝ තාත්තා සොයා ගෙන ආවා මිස තාත්තා ඔවුන් සොයා ගියේ කලාතුරකින් බව කීවේය.

කලක් ලැනරෝල් මහතා ඇම්.ඩී. ගුණසේන සමාගමේ ප්‍රකාශන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය. ඒ කාලයේ ඔහු ‘ලිහිණි පොත්’ මාලාව අරඹා නවකයන්ට මෙන් ම ප්‍රවීණයන්ට ද අතහිත දී ඇත.

රු.1.50 කට මිල නියම කර තිබූ මේ පොත් මාලාවෙන් ගුණදාස අමරසේකර, මඩවල එස්. රත්නායක, කේ.ඩී‍.පී. වික්‍රමසිංහ, සයිමන් නවගත්තේගම, සි‍රිල් සී. පෙරේරා වැනි නවක ලේඛකයන්ට මෙන් ම එදිරිවීර සරච්චන්ද්‍ර, මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා, ඩේවිඩ් කරුණාරත්න, හියුබත් දිසානායක ආදී ප්‍රවීණයන්ගේ පොත් ද පළ කොට තිබුණි. වාර්ෂිකව පළ කෙරෙන ‘ගුණසේන වෙසක් කලාපය’ සංස්කරණය කළ ඔහු ‘කවීන්ද්‍රයා’ නමින් කවි සඟරාවක් ද සංස්කරණය කොට ඇත.

ලැනරෝල් මහතා ගැන දීගොඩ පියදාස නම් ලංකාදීප පුවත්පතේ හිටපු කතුවරයා මෙසේ සටහන්කර තිබුණි.

“ජාතිකානුරාගයත්, දේශප්‍රේමයත් අප රටේ කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා වූ සියල්ලන් තුළ දල්වා ලීම සඳහා, සිරුරින් කුඩා වුවත් සිතින් දැවැන්තයකු වූ මේ සත්පුරුෂයාගේ පෑන් තුඩින් ලියවුණු හැම අකුරක්ම පාහේ ගිනිපුලිඟුවක් ව‍ූ බව අප අමතක නොකළ යුතුය. එසේ අමතක කිරීම අකෘතඥකමකි.

එයින් දැල්වුණ එම ආලෝකය නිවී යා නොදී වඩ වඩාත් ප්‍රභාවත්ව පවත්වාගෙන යාම අද සිටින අපගේත් මතු බිහිවන පරපුරේත් පරම යුතුකමක් වන්නේ ය. වී.ඩී. ද ලැනරෝල් පාසල් දරුවන් උදෙසා ලියා පළ කළ පාඩම් පොත්, ළමා කව්, ළමා කතා පමණක් නොව අනික් හැම කෘතියක් යටින් දිවෙන රන් හූ පොටක් වැනි අරමුණක් ඇත්තේ ය.

එම අරමුණ නම් අපේ ජාතිකත්වය අපේ සංස්කෘතිය හා අපේ අනන්‍යතාව බොඳ වන්නට නොදී රැක ගැනීමේ උතුම් මෙහෙවර ගැන අවබෝධයක් හා දැනුවත්කමක් ද ලබාදීමයි.”

වසර 82 ක් ආයු වලඳා 1977 ජ‍ූනි 2 වැනිදා වී.ඩී. ද ලැනරෝල් මහතා මිය ගියේ තම උපන් ගමවූ බෝමිරියේදීම ය.

Comments