ආසියාවටම ‘තර්ජනයක්’ වූ ලොව උසම දැල්පන්දු රැජන ‘තර්ජිනී’ | සිළුමිණ

ආසියාවටම ‘තර්ජනයක්’ වූ ලොව උසම දැල්පන්දු රැජන ‘තර්ජිනී’

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතාව හිමි කරගනිද්දී ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් ඩුබායිහි පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටියි. ආසියානු ක්‍රිකට් තරගාවලිය 15 දා ඇරැඹුණු අතර අවසන් තරගය 28 දා පැවැත්වෙයි. මූලික වටයේදී ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය 15 දා පැවැත්වීමට (ඊයේ) නියමිතව තිබූ අතර, 17 දා (හෙට) ඇෆ්ගනිස්තානය සමඟ තරග කරයි.

කණ්ඩායම් 12ක් ආසියානු දැල්පන්දු තරගාවලියට කණ්ඩායම් 12ක් මෙවර එක් වූ අතර, මූලික වටයේ තරග කාණ්ඩ හතරක් යටතේ පැවැත්විණි. ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් තරග කළ අතර, එහිදී ඉන්දියාව සහ චීන-තායිපේ කණ්ඩායම් හමු විය. මූලික වටයේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයග්‍රහණ දෙකක් හිමි වූ අතර එහිදී චීන-තායිපේ කණ්ඩායමට එරෙහිව ගෝල 137ට 05ක් සහ ඉන්දියාවට එරෙහිව ගෝල 101ට 29 ක් ලෙස ජය ගැනීමට සමත් විය. දෙවැනි වටය කාණ්ඩ හතරෙන් පෙරමුණ ගත් ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව සහ හොංකොං ශූරතා කුසලාන තරගාවලියට මේ අනුව සුදුසුකම් ලබාගත්තෝය. ශූරතා කුසලාන තරගාවලියේ සිංගප්පූරුවට එරෙහිව 74ට 61ක්, මැලේසියාවට එරෙහිව 62ට 59ක් සහ හොංකොං කණ්ඩායමට එරෙහිව 71ට 48ක් වශයෙන් ජය ගත් චතුරංගි ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල තරගාවලිය පුරා අඛණ්ඩව ජය තහවුරු කරගනිමින් සත්කාරක සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගයට පැමිණ එම තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් විය.

ආසියාවේ ප්‍රබලතම දැල්පන්දු කණ්ඩායමක් ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට 2009න් පසු ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැත. 2012, 2014, 2016 වසරවලදී පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලීන්හිදී ශ්‍රී ලංකාවට හිමි වූයේ අනුශූරතාවයි. ඒ සිංගප්පූරුව හමුවේය. කෙසේ වෙතත් වසර 9කට පසු සිය ප්‍රබලම ප්‍රතිවාදියා වූ සිංගප්පූරු කණ්ඩායම ලකුණු 69ට 50ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

“මගේ කණ්ඩායම සහ පුහුණුකාරිය ගැන ගොඩක් සතුටුයි. අපි අන්තිම මාස කිහිපයේම දැඩි කැප වීමකින් පුහුණුවීම් කළා, හොඳ විනයක් තියාගත්ත, කණ්ඩායමක් විදියට එකට ක්‍රීඩා කළා. ඒකම තමයි ජයග්‍රහණයේ රහස. ලබන අවුරුද්දේ තියෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලැබුවා. ඒ තරගාවලියේ හොඳම කණ්ඩායම් දහයට එන-එක තමයි දැන් ලොකුම ටාගට්-එක.” චතුරංගි ජයසූරිය ජයග්‍රහණය පිළිබඳ එලෙස අදහස් ගොනු කළාය. චතුරංගි ජයසූරියගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා සැලසුම්සහගතව ක්‍රීඩා කළ අතර, තර්ජිනී වෙත පන්දුව යොමු කිරීමට ඔවුන් දැක්වූ දක්ෂතා විචාරකයන්ගේද ඇගයීමට ලක් විය.

මෑත යුගයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ටතම දැල්පන්දු ක්‍රීඩිකාව වනුයේ තර්ජිනි ශිවලිංගම්ය. එසේ වුවත් දැල් පන්දු ක්‍රීඩා පරිපාලනය සමඟ හටගත් ගැටලු මත ඇය 2014 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් වූවාය. ඊට පසුව ඇය මේ තරගාවලිය වන තෙක් ශ්‍රී ලංකාව නියෝජනය කළේ නැත. එකී කාලය අතරතුරදී ඇය තමා සේවය කරන සෙලාන් බැංකුව නියෝජනය කරමින් වෙළෙඳසේවා දැල්පන්දු ශූරතාවලියට සහභාගි වෙමින් සුපුරුදු පරිදි දස්කම්ද දැක්වූවාය.

“ඇයට අමුතුවෙන් සිදු කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇයගේ ආරෝහ-පරිණාහ දේහය ඇය වෙනුවෙන් නැඟී සිටියා. ගෝල රැස් කළ අවස්ථාවලින් 93%ක්ම සාර්ථක වෙන්න හේතුව මෙයයි.”

2018 ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් පසු, ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනී ශිවලිංගම් ගැන අන්තර්ජාතික විස්තර විචාරකයන් අදහස් දක්වා තිබුණේ එලෙසිනි. තරගාවලිය පුරා තර්ජිනී දැක්වූ දක්ෂතාව දැඩි අවධානයට ලක්ව තිබිණි.

ආසියානු ශූරතාවලිය අවසානයේ තර්ජිනි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියාය. තර්ජිනි පසුගිය වසරේද කැන්ගරු දේශයට ගියේ මාස හයක කාලයක් සඳහාය. එම කාලය තුළදී ඇය වික්ටෝරියානු දැල්පන්දු ලීග් තරගාවලියේදී මෙල්බර්න් නුවර ‘සිටි වෙස්ට් ෆෝල්කන්ස්’ කණ්ඩායම නියෝජනය කිරීමටය. එමෙන්ම ‘ශාන්ත ඇල්බන්ස්’ දැල්පන්දු සමාජයටත් ක්‍රීඩා කළ අතර, එහිදී දැල්පන්දු ක්‍රීඩාවට අදාළ විශේෂ පුහුණුවක්ද ලැබුවාය.

ඔස්ට්‍රේලියාව යනු ලෝක දැල්පන්දු ශූරතා 11ක්ම හිමි කරගත්, අන්තර්ජාතික දැල්පන්දු ක්‍රීඩාවේ සුපිරිතම රටය. එවැනි රටක තරගාවලියකට සහභාගි වීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවකට අවස්ථාවක් ලැබීම අතිදුර්ලභ එමෙන්ම අතිසුවිශේෂ සිදුවීමකි. එම අවස්ථාව ඇයට හිමි වූයේ වත්මන් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු පුහුණුකාරිනියන් වන තිලකා ජිනදාස සහ තර්ජිනිගේ කළමනාකරු වන ශිවරාජා ගෝබිනාත්ගේ මැදිහත් වීම මතය.

“මම මේ අවස්ථාවේදී මගේ පුහුණුකාරිනිය වන තිලකා ජිනදාස සහ කළමනාකරු වන ගෝබිනාත්ටත්, මට උදවු කළ අනෙක් අයටත් ස්තුතිවන්ත වෙනවා. මේ මාස හයක කාලයෙන් පසු මම නැවතත් මගේ මවුබිමට එනවා. ඊට පසුව ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩාවට උදව් කරන්න සූදානම්,” තර්ජිනී පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු ගමනට පෙර පැවැසුවාය. ඔස්ට්‍රේලියාවේදී තර්ජිනී ක්‍රීඩා කළේ නිකොල් රිචඩ්සන්ගේ අධීක්ෂණය යටතේය. නිකොල් යනු ඔස්ට්‍රේලියාව නියෝජනය කළ දුලබ ක්‍රීඩිකාවකි. ඇය 1999 සිට 2003 දක්වා අන්තර්ජාතික දැල්පන්දු ක්‍රීඩාවේ නියැළුණාය. නිකොල් 2002 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ රන් පදක්කම හිමි කරගත් කණ්ඩායමේද සාමාජිකාවකි. එමෙන්ම ඇය 1996 අමෙරිකාවේ පැවැති ඇට්ලන්ටා ඔලිම්පික් උලෙළේ සැහැල්ලු පන්දු (බේස්බෝල් ක්‍රීඩාවට අදාළ තවත් ක්‍රීඩාවක්) ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම හිමි කරගත් කණ්ඩායමටද ක්‍රීඩා කළාය.

අපගේ කතානායිකාව වන තර්ජිනී ශිවලිංගම් උපත ලැබුවේ දශක තුනක් තිස්සේ දිව ගිය ශාප ලත් යුද ගිනිදැල් මැද යාපනයේ පුන්නලායිකට්ටුවාන් ප්‍රදේශයේදීය. 2003 වසරේදී යාපනය දැල් පන්දු කණ්ඩායමක් නියෝජනය කරමින් මඩකලපුවේ පැවැති තරගයකට පැමිණි ගමන තර්ජිනීගේ ක්‍රීඩා දිවිය මෙතරම් දුර රැගෙන යාවි යැයි ඇයවත් නොසිතන්නට ඇත. ඒ වන තෙක්ද තර්ජිනී සිය උස ප්‍රයෝජනයට ගනිමින් දැල්පන්දු ක්‍රීඩාවේ නියැළුණා මිස ක්‍රීඩාව ප්‍රගුණ කර නොතිබිණි. කොටින්ම පාවහන් යුගළක් පැලඳ ක්‍රීඩා කිරීමද තර්ජිනිට නුහුරු අත්දැකීමක් විය.

මේ සියල්ල වෙනස් වන්නේ ඇය 2005දී ගෙන්දගම් පොළොවට පය තැබීමත් සමඟමය. එහෙත් එකී මඟෙහි මල් පෙති විසිර නොතිබිණි. නුහුරු-නුපුරුදු ගෙන්දගම් පොළොවේ ලත් ඒ සියලු අත්දැකීම්ද තර්ජිනී එක මිටකට ගොනු කරගත්තාය. අදටද එහි වෙනසක් නැත. අදටත් ඇය ගෙවන්නේ නේවාසික ජීවිතයකි. තර්ජිනීගේ උස්, ආරෝහ-පරිණාහ දේහය මේ ගෙවෙන දිවියට ගෙන එන්නේ සුව-පහසුවක් නොවේ. එහෙත් ඒ සියලු පිරිපත ලංකා නාමය වෙනුවෙන් විඳදරා ගැනීමට ඇය සූදානම්ය.

“මගේ මවුබිමට තරම් මම ආදරය කරන තවත් තැනක් වෙන කොහේ වත් නැහැ. අද මම මෙවැනි තත්ත්වයක සිටින්නේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට තරම් වාසනාවන්ත වූ නිසා තමයි.” ඇය වැඩිදුරටත් පවසයි.

ඇය නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියකි. 2005 වසරේ සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇය ක්‍රීඩා කළේ ගෝල් විදින්නියක (ගෝල් ෂූටර්) වශයෙනි. සිය උසත්, ක්‍රීඩා හැකියාවත් මනාව ප්‍රයෝජනයට ගනිමින් තර්ජිනී ගත වූ කාලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූවාය. 2009 වසරේ ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කළ ඇයගේ දක්ෂතාව කොතරම් ද යත්: 2005, 2009 සහ 2012 වසරවල ආසියාවේ දක්ෂතම විදින්නිය (බෙස්ට් ෂූටර්) ලෙසටත් තේරුණාය. 2011 ලෝක දැල්පන්දු ශූරතාවලියේ දක්ෂතම විදින්නිය වූයේද තර්ජිනීමය. එමෙන්ම ඇය ශ්‍රී ලංකා ජාතික පිලේ නායකත්වයටත් පත් වූවාය. ඇයගේ නායකත්වය යටතේ 2012 වසරේදී ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව සිංගප්පූරු කණ්ඩායමට පරාජය වූයේ එක් ලකුණකිනි.

“ශ්‍රී ලංකාවේ 2012 පැවැති තරගාවලියේදී මගේ නායකත්වය යටතේ දිනා ගන්න බැරි වූ ශූරතාව, මේ අයගේ රටටම ඇවිල්ලා හිමි කරගන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා,” යැයි අවසන් තරගයෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ තර්ජිනී ශිවලිංගම් පැවැසුවාය.

තර්ජිනී මෙන්ම කණ්ඩායම් නායිකා චතුරංගි ජයසූරිය ඇතුළු ක්‍රීඩිකාවෝ තම ජයග්‍රහණය ගැන අදහස් පළ කරන අතරතුර සිය පුහුණුකාරිය වන තිලකා ජිනදාස ගැන විශේෂයෙන් සඳහන් කළහ. 2009 ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය වූයේ ද තිලකා ජිනදාසය. ඉන් පසු ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනයේ පැනනැඟුණු ගැටලු හේතුවෙන් විදේශගත වූ ඇය, බෘනායිහි දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස සේවය කළාය. ඇය බෘනායි දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය ලෙස කටයුතු කළ වසර 7 තුළ එම කණ්ඩායමේ ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි විය. 2017 වසර අවසානයේදී විරෝධතා මධ්‍යයේ ඇය නැවත ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකාරිය ලෙස සේවය ආරම්භ කළාය. ක්‍රීඩා අමාත්‍යාංශයට ඇයගේ පත්වීම ගැන පැමිණිලි ද ලැබී තිබිණි. කෙසේ නමුත්, 2017 දෙසැම්බර් මස අවසානයේදී එවකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ මැදිහත් වීමෙන් තිලකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස ස්ථිර කරන ලැබිණි. ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ඒ අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ තිලකා ජිනදාස ශ්‍රී ලංකාවේ පුහුණුකරු තනතුරට යළි පැමිණියේ බෘනායිහි ඇයට ලැබුණු විශාල වැටුප පවා කැප කරමින් බවය.

“සමහර අය හිතනව අවුවේ හිටියාම, බොහෝ කණ්ඩායම් පුහුණු කළාම ඒ අය පුහුණුකරුවෝ කියලා. ඒක නොවෙයි වෙන්න ඕනෑ; දැනුම යාවත්කාලින කරගන්න ඕනෑ, සහ හරියට තේරුම් ගන්න ඕනෑ ක්‍රීඩිකාවන්ට අවශ්‍ය මොනවද කියලා. මම ස්තුතිවන්ත වෙනවා හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට ඒ ගත්ත තීරණයට,” ජයග්‍රහණයෙන් පසු තිලකා ජිනදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

තිලකා ජිනදාස පුහුණුකාරිය ලෙස පත් වීමෙන් පසු, එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්ව සිටි තර්ජිනී සිවලිංගම් වැනි ක්‍රීඩිකාවෝ නැවත ජාතික‍ කණ්ඩායමට සම්බන්ධ වූහ. ලබන වසරේ ජූලි මස එක්සත් රාජධානියේදී පැවැත්වෙන ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට එක් වන කණ්ඩායම් 16 අතරට ශ්‍රී ලංකාව එක් කරමින් ඔවුන් එක් වී ලද මේ ආසියානු ශූරතා ජයග්‍රහණය, හෙට දවසේ අපගේ දැල් පන්දු ක්‍රීඩාවේ දීප්තිය ලොව පුරා විහිදුවා ලීමට පන්නරයක්ම වනු ඇත.

Comments