ඉහළට එන්න ඉතා හොඳ අවස්ථාවක් ති‍යෙනවා | සිළුමිණ

ඉහළට එන්න ඉතා හොඳ අවස්ථාවක් ති‍යෙනවා

ඒ. එස්. නාලක - ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම්

පළමු ආසියානු ශුරතා අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක සමඟ කළ කතාබහකි.

ආසියානු ශුරතා අභියෝග කුසලාන වොලි‍බෝල් තරගාවලිය පළමුවර‍ටයි පැවැත්වෙන්නේ?

මේ තරගාවලියට ආසියානු වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වල නව වැනි ස්ථානයේ ඉඳලා දහසය වැනි ස්ථානය දක්වා ඉන්න කණ්ඩායම් අට සහභාගි වෙනවා. ආසියානු වොලිබෝල් සම්මේලනයට අනුබද්ධිත රටවල් 65 ක් තියෙනවා. ඕෂේනියා කියන ඔස්ට්‍රේලියානු කලාපයේ රටවල් පවා එකතු වෙනවා.

ශ්‍රී ලංකාව මේ රටවල් අතරින් ශ්‍රේණිගත කිරීම්වල 14 වැනි ස්ථානයේ ඉන්නේ. මේ 14වැනි ස්ථානයේ ඉඳලා ඉදිරියට එන එක තමයි මේ තරගාවලියේ මූලික අරමුණ.

ආසියානු කුසලාන වොලිබෝල් තරගාවලිය මේ තරගාවලියෙන් වෙනස් වෙන්නේ කොහො‍මද ?

ආසියානු ශ්‍රේණිගත කිරීම්වල 01ඉඳලා 8 වැනි ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම්වල ඉන්න රටවල් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරනවා. 9-16 දක්වා ඉන්න කණ්ඩායම් තමයි මේ ශූරතා අභියෝග කුසලාන තරගාවලියට එකතු වෙන්නේ.

ලෝක වොලිබෝල් සම්මේලනය තමයි මේ ශ්‍රේණිගත කිරීම් පළමුවරට හඳුන්වා දුන්නේ. මේ තරගාවලියේ ශුරයන් හෝ අනුශුරයන් වෙන්න පුළුවන් වුණොත් අපට ආසියාවේ ශ්‍රේණිගත කිරීම්වල 7 හෝ 8 වැනි ස්ථානවලට එන්න පුළුවන් වෙනවා.

ශුරයන් හෝ අනුශුරයන් වුණොත් අපිට ශ්‍රේණිගත කිරීම් ඉදිරිය‍ට යන්න අවස්ථාව ලැබෙනවා?

ඔව්. අපි ආසියානු කුසලාන තරගාවලිය දක්වා උසස් වීමක් ලබනවා. ආසියානු රටවල් 65 අතරින් මේ අවුරුද්ද අවසන් වෙනකොට ඒ ඉලක්කයට එන්න තමයි අපි අපේ ක්‍රිඩකයන්ට වැඩි තරග ප්‍රමාණයකට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. මේ සඳහා විදේශීය පුහුණුකරුවකුගේ සේවය පවා කණ්ඩායමට ලබාදිලා තියෙනවා.

මේ තරගාවලියේ දස්කම් පාන අපට ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වලත් ඉහලට එන්න අවස්ථාව තියෙනවා?

රටවල් 224 ක් ලෝක වොලිබෝල් සම්මේලනයේ සාමාජිකයෝ ඉන්නවා. මේ 224න් අපි දැනට 78 වැනි ස්ථානයේ ඉන්නේ. ආසියානු අභියෝග කුසලාන තරගාවලියේ ශුරයන් හෝ අනුශුරයන් වුණොත් අපට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 51 දක්වා ඉහළට එන්න පුළුවන්. අපි ආසියාවේ 14 වැනි තැන ඉඳලා එකපාරට 1-2 වෙන්න බෑ. අනිත් රටවල් පවා තරගකාරිත්වය උඩ ඉහළට එනවා.

මේ තරගාවලියට එන රටවල් සම්බන්ධයෙන් මොනවගේ තක්සේරුවක් ද තියෙන්නේ?

මේ තරගාවලියට සත්කාරක අපිත් එක්ක බංග්ලාදේශය, හොංකොං, මැලේසියාව, මො‍ංගෝලියාව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමිර්, ඉරාකය එකතු වෙනවා. මේ රටවල් අතරින් කිහිපයක් එක්ක තමයි මීට කළින් තරග කරලා තියෙන්නේ. මේ තරගාවලිය අතරතුර තමයි ප්‍රතිවාදින් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ.

ආසියානු ක්‍රිඩා සමාජ සහ ආසියානු තරගාවලියේ අත්දැකීම් අපට මේ තරගාවලියේදී ලොකු රුකුලක් වෙයි?

ඔව්, මේ තරගාවලි දෙක හරහා ලබා ගන්න හොඳම අත්දැකීම් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට එකතු වෙන්නේ. ඒ නිසාම මේ තරගාවලිය තියුණු තරගාවලියක් වෙයි. ආසියානු කලාපයේ හොඳ තරගාවලි දෙකක අත්දැකීම් එක්ක තමයි හැම කෙනෙක් ම ආසියානු අභියෝග කුසලාන තරගාවලියට එකතු වෙන්නේ.

සෞදි අරාබිය, ඉරාකය සහ බංග්ලාදේශ මේ තරගාවලිය අපට අභියෝගයක් වෙයි. මේ කණ්ඩායම් කාලයකින් එකම එක කාණ්ඩයේ අපට හමු වෙලා නෑ. පසුගිය සාග් තරගාවලියේ බංග්ලාදේශය තරගය අපි දිනුවා. ඉරාකය සහ සෞදි අරාබියා කණ්ඩායම් කාලයකට පස්සේ හම්බ වෙන්නේ. 

Comments