කොළඹ ප්‍රදර්ශනය නිදහස් ලංකාවේ පැවති පළමුවෙනි සංවර්ධන ප්‍රදර්ශනය විය හැකිය. එය කොළඹ ක්‍රමය නමින් පොදු රාජ්‍ය මණ්ඩල කලාපයේ ක්‍රියාත්මකවූ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ යම් ඓතිහාසික සටහනකි. එදා රාජ්‍ය ප්රධානිහු එකී ප්‍රදර්ශනයේ අරමුණු ගැන සියලු මාධ්‍යවේදින් කැඳවා පැහැදිලි කළහ. ඊට රජය වෙනුවෙන් සහභාගි වෙමින් සිටි සර් ඔලිවර් ගුණතිලකට කවුරුන් හෝ විසින් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මුණගස්වනු ලැබීය. සිංහල දුර්වල වුණාට මානවසිංහගේ විවේචන ගැන දැන සිටි සර් ඔලිවර් වහා මානවසිංහට අතට අත දී සිංහලෙන් මෙසේ කීය.
“මහත්තයා අපට උදව් කරන්න ඕනැ” එකල මානවසිංහ යනු එජාප රජයට වූ ප්‍රබල මාධ්‍ය කාල තුවක්කුවකි. මානවසිංහ වහා උණ්ඩයක් නිකුත් කරමින් “ගොයියෝ එව්වා හරියන්නේ නැහැ” කීය. මේ සිද්ධිය ‘එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා’වැඩ සටහන ගැන මාධ්‍ය දැනුම්වත් කිරීම පිළිබඳ මංගල සමරවිර ඇමැති වරයාගේ නිවෙසේ පැවැති සාකච්ඡාව අවසානයේ මට සිහිපත් වුණේ මාධ්‍ය සගයෙකු ඇසූ ප්‍රශ්නයක් නිසාය.
“මේක තවත් දැයට කිරුළක්ද?” අමාත්‍ය මංගල සමරවීර පිළිතුරු දෙමින් කීවේ තමා දැයට කිරුළ දැක නැති බවය. සංවර්ධන වැඩ සටහනක් යනු නොකවුට් ප්‍රශ්නවලට සීමා කිරිම අභාග්‍යයකි. මොරගහකන්ද ජලාශය දියෙන් පිරෙන විට, එක් මාධ්‍ය ආයතනයක් සති තුනක් පුරා ජලාශයට මැදිවූ වන සතුන් ගැන මෙන්ම ජලාශයට යටවූ ගම්මාන ගැන රටට සිහිපත් කළේය. මාධ්‍ය භාවිතය සහ කුහකකම අතර වෙනසට තවත් උදාහරණ උවමනා නැත.
56 පෙරළියේදී දියසේන ලෙස බණ්ඩාරනායක උස්සා තැබූ මානවසිංහ පසුව දිය බැහැපු සේන ලෙස සමච්චල් කළේය. බුද්ධ ජයන්තියට ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කළ, බිමල් රෝයිගේ ගෞතම බුද්ධ චිත්‍රපටයට හොඳ සිංහල පිටපත් නැති නිසා ප්‍රදර්ශනය පමා විය. එය ඇසූ අගමැති බණ්ඩාරනායක “ඇයි මානවසිංහට කිවේ නැද්දැ”යි විමසීය. මානවසිංහගේ ආණ්ඩු විරෝධය ගැන කී වහාම බණ්ඩාරනායක දුන් පිළිතුර මෙසේය.
“අයිසේ මානවසිංහ ආණ්ඩුවට විරුද්ධ වුණාට බුද්ධාගමට විරුද්ධ නෑනේ” බණ්ඩාරනායක කී පරිදිම මානවසිංහ එකී කාර්ය ඉතා හොඳින් ඉටු කළේය. සර් ඔලිවර්ට අර ජාතියේ පිළිතුරක් දීමට තරම් එදා මාධ්‍ය නිර්භය විය. අද මාධ්‍ය බියෙන් සිටිති යැයි කියන්නේ කීත් නොයාර් බේරා හැරිය බව පිළිගන්නා මහින්ද රාජපක්ෂ පමණකි. නිදහස යනු අනෙකාගේ නාසය තුවාල කිරිමේ අවසරය නොවේ.
මාධ්‍ය කී වෙනිදෝ ආණ්ඩුව නම්, සිය වගකීම් තේරුම්ගත යුතු වේ. හැම මඟුලටම විරුද්ධ වන්නේ නම් රටක් පවතින්නේ නැත. රට යනු ජනතාවය. ආණ්ඩු රැකීමට මාධ්‍ය බැඳී නැත. එහෙත් ජනතාව රැකීම මාධ්‍ය සතු පරම වගකීම වේ. ප්රජාතන්ත්රවාදී රටවල් ආණ්ඩු කරන්නේ ජනතාව තෝරා ගත් දේශපාලන පක්‍ෂ විසිනි. රතුපස්වල සිද්ධිය එක් පුවත්පතක් වාර්තා කළේම නැත. ඒ අර පත්තරය ආණ්ඩුවේ පන්දමක් වූ නිසාය. ඒ පුවත්පත අද ශිෂ්‍ය උද්ඝෝෂණවලට කඳුළු ගෑස් ගහන හැටි වාර්තා කරයි.
‘එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා’වැඩ සටහන ජනතාව වෙත ගෙන යන්නේ ජල බවුසර් සහ කඳුළු ගෑස් නොවේ. ජනතා යහපතට අවශ්‍ය දේය. එකී වැඩ සටහන සමඟ රජය මොනරාගල යාම බෙහෙවින් සාර්ථකව විය. එදා මංගල සමරවිරගෙන් අර මාධ්‍ය සගයා ඇසුවේ මේක තවත් දැයට කිරුළක්ද කියාය. මහ අව්වේ මෙන්ම දබ වැස්සේ දරුවන් කරපින්නා ගත් මිනිස්සු හා ගැහැනු පැමිණ රැස් කකා ප්‍රදර්ශනය නැරඹූහ. ඒ පැමිණි ජනතාව දැයට කිරුළ නැරඹූ අය වෙති. ‘එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා’වැඩ සටහන ස්පර්ශ කළ ජනතාව දැයට කිරුළෙන් මේ වැඩ සටහන වෙන් කොට හඳුනා ගත්තාට සැක නැත. මේ කාලයේ චිත්‍රපට පවා ජනතාව බලන්නේ රූපවාහිනිය හරහාය. රූපවාහිනිය හරහාද ‘එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා’වැඩ සටහන නැරැඹිය හැකිව තියෙද්දී ජනතාව පැමිණියේ ඇයි? මාධ්‍ය හරහා සත්‍යය දැකිය නොහැකි නිසාද?
මට මොනරාගලදී නීතිඥවරියක මුණ ගැසිණ. මා පැමිණි කාරණය ඇසූ ඇයගේ මුහුණ වෙනස් විය.
“ඊයේ අපි හවස ගමනක් ගියා. රෑ දෙළහටත් පාරේ සෙනඟ. අමාරුවෙන් ආවේ” පළමු දිනයේ ජන සහභාගිත්වයට එය සාක්කියකි. ඒ ගැන මගේ සතුට මුසු ප්‍රතිචාරය දැක්වූ පසුව ඇය මෙසේ කීය.
“මොනරාගල ඉන්න අපියි දන්නේ මෙහෙ මිනිසුන්ගේ අසරණකම. කන්ට බොන්ට අඳින්ට නැහැ. ඒත් මෙහෙම එකකට දරුවොත් උස්සාගෙන එන්නේ” ඇය අදහන දේශපාලනය මම දනිමි.
“ඒ වුණාට ඔයා මට කියන්න කෑම කඩයක් රෙදි කඩයක් වැහිච්ච තැනක්”
“ඒක නම් එහෙම තමා” කී ඇය මාතෘකාව වෙනස් කළාය. සත්තකින්ම උදාවී ඇත්තේ මාතෘකාව වෙනස් කළ යුතු යුගයකි. රුපියල් 2500න් මාසයක් ජීවත්විය හැකි බව කී බන්දුල ගුණවර්ධන අද ජීවන වියදම ගැන කියයි. මාර්ග නීති දඩ වැඩි කිරීමට එරෙහි සමහරුන් කියන්නේ පාරේ වාහන වැඩි බවය. පාරේ වාහන වැඩි වුණේ සහ ඒවායේ යන්නේ රටේ මිනිසුන්ය. කෑම කඩ රෙදි කඩ නොවැසෙන ලංකාවේ ඇත්තේ දිළිඳුකම නොවේ. ආයෝජනයට ඉඩ ප්‍රස්ථා නැතිකමය. ඊට ඉඩ නො සලසා මිනිසුන්ගේ ආත්මය කෙළෙසීම පාපයකි.
මාධ්‍ය නිදහස දෝරේ ගලන රටේ ජනතාව හිඟන්නන් බව කියන රටේ මෙවැනි ප්‍රදර්ශන පවත්වා පමණක් පලක් නැත. ඒ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුවේ. ප්රභාකරන් කී පරිදි දෙසතියකින් සියල්ල අමතක වන රෝගයකින් ශ්‍රී ලංකාව පෙළෙයි. එසේම ‘එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා’ වැඩ සටහන වැනි බොහෝ වැඩ සටහන් අසාර්ථක වූ ඉතිහාසයක් අපට ඇත. 1972 පස් අවුරුදු සැලැස්ම ඊට උදාහණයකි. එදා සියරට දේ සිරිසැප දෙන බව විශ්වාස කොට විදේශීය පොහොර පවා නතර කැරිණි. නිලධාරින් ඉතා සාර්ථක ලෙස වැඩ සටහන ක්‍රියාත්මක කරද්දී පොහොර නැව් පැමිණි බව වාර්තා විය. අරමුණු අතරමං විය. රටක් ලෙස අප සිටින්නේ යම් කැප කිරීමක් කොට අරමුණක් ඉටුකරගත යුතු කාලයකය. ගිනිගත් රැවුලෙන් සුරුට්ටු පත්තු කරන්නන් හඳුනා ගත යුතුවේ.
ගෙවී ගිය වසර තුන පිළිබඳ ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන්ද සිටියේ සතුටින් නොවේ. අගමැති රනිල් වික්‍රමසිංහ මොනරාගල ගොස් කීවේ දැන් පටන් ගන්න කියාය. මෙහිදී මට 2001 එජාප ආණ්ඩුව සිහිපත් විය. එදා තිබුණේ චන්ද්‍රිකා බංකොළොත් කළ රටකි. මුල් දෙවසරම රස්සා දීම තහනම් කළ අගමැති මේ විදියටම පටන් ගැන්මක් අපේක්‍ෂා කළේය. ඊට පෙර චන්ද්‍රිකා ආණ්ඩුව පැහැර ගත්තාය. 2015දී නැවත රනිල් අගමැති විය. මෙවරද ලැබුණේ රටක් නොවේ. ණය උගුලකි. මෛත්‍රි-රනිල් පාලනය එක්ව සාර්ථක ගමනක් යමින් සිටියි. දැන් ඇත්තේ අස්වැන්න නෙළන්නය.
එහෙත් සංවර්ධන ගොයමේ කීඩාවන් නැතිවා නොවේ. ක්‍රියාදාමය අධීක්ෂණය කරන්නන් ගැන පරිස්සම් විය යුතුවේ. වැඩිවූ විශ්‍රාම වැටුප පමා කරමින් විශ්රාමිකයන්ගෙන් 10% එකතු කරන රාජ්‍ය නිලධාරි පැළැන්තියක් සක්‍රීය වේ. හොරාකෑම පුරුදු කළ ‘ටෙන් ප(ර්)සන්ට්’ කිඹුලන් ගෙදර ඇරියාට කිඹුල් හූනෝ නිරුපද්‍රිතව ආණ්ඩුව සපා කමින් සිටිති. ණය වැඩ සටහන යන්නේ බැංකු හරහාය. අධීක්ෂණය හරියට නොකෙරුණොත් ආයෙත් මුලටය. නිකුත් වන ණය මුදල ආයෝජනය කෙරෙන හැටි විමසිය යුතුවේ. එක පලතුරු කඩයක් පටන් ගත් විට ඒ අසලින් තවත් පලතුරු කඩ 6ක් මතුවේ. පලතුරු කඩ දෙකකට පසුව පලතුරු වැවීමේ හා ජූස් බාර් ඇරීමේ වාසිය ජනගත කළයුතු වේ. සත්තකින්ම මින්සුන් අත මුදල් නැතුවා නොවේ. ශක්තිය නැතුවා නොවේ. ඇත්තේ ආයෝජනය පිළිබඳ පවත්නා නොදැනීම ය. දැනුම්වත් කිරීමේ කාර්ය වඩාත් කළ හැක්කේ මාධ්‍ය හරහාය. මානවසිංහ බුද්ධාගමට විරුද්ධ නොවුණා මෙන් මාධ්‍ය ජනතාවට පක්‍ෂ විය යුතුවේ. රටේ සංවර්ධනය ආගම මෙන් ඇදහිය යුතුවේ. නමුත් ඒ ඇදහිල්ල හොරකම් කළත් රට දියුණු කළත් කමක් නෑ වැනි ආගමක් නොවිය යුතුවේ.
එබැවින් ‘එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩ සටහන කොළඹ ප්‍රදර්ශනයෙන්, ගම් උදාවෙන් හා දැයට කිරුළෙන් වෙනස්වන හැටි විමසිය යුතුවේ. එසේම මේ වැය කරන්නේ රටේ ධනය බව නිතර සිහිපත් කළ යුතුවේ.