මෙවර මහවැලි ක්‍රීඩා උලෙළින් අපි වෙනස පටන් ගන්නවා | සිළුමිණ

මෙවර මහවැලි ක්‍රීඩා උලෙළින් අපි වෙනස පටන් ගන්නවා

සරත් චන්ද්‍රසිරි විතාන

අධ්‍යක්ෂ ජනරාල්

මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා දක්ෂතා උරගා බලන වාර්ෂික මහවැලි ක්‍රීඩා උලෙළ තිස් වැනි වරටත් 15 සහ 16 දෙදින තුළ ඇඹිලිපිටිය වලව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මේ ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන සමඟ කළ කතා බහකට අප වෙන් කළ ඉඩකඩයි.

මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා දක්ෂතා වාර්ෂිකව උරගා බලන ප්‍රධාන සහ එකම ක්‍රීඩා තරගාවලිය වන මහවැලි ක්‍රීඩා උලෙළ ලංකාවේ පැවැත්වෙන අනෙක් ක්‍රීඩා උලෙළවලින් වෙනස් වෙන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් අනෙක් ක්‍රීඩා උලෙළවල් වගේ ම තමයි, හැබැයි මෙහි මූලික ම වෙනස තියෙන්නේ මහවැලි ක්‍රීඩා උලෙළේ පදනම තමයි වෙනස් වෙන්නේ. මහවැලි කලාපයේ ජනපදිකයන් ගේ දරුවන්ගේ ක්‍රීඩා උලෙළ විදියට තමයි මෙය පැවැත්වෙන්නේ. මෙය පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙමින් මේ දක්වා දීර්ඝ ගමනක් ඇවිත් තියෙනවා.

මහවැලි කලාපයේ කලාප 10 ක් තියෙනවා. මේ දහයේ තියෙන්නේ ‍විවිධ අත්දැකීම්. මේ හැම අත්දැකීමක් ඇතුළේ ම තියෙන්නේ ගොවිකම. ගොවිකම මූලික වෙච්ච සංස්කෘතියක් තියෙන්නේ. මේ හැම දෙයක් ම මිශ්‍ර වෙලා තමයි මේ තරගාවලිය පවත්වන්නේ.

මෙවර තරගාවලියේ තේමාව මොකක් ද?

තාරුණ්‍යයට අපමණ අගයක් තමයි මෙවර තේමාව කර ගෙන තියෙන්නේ. මහවැලි දරුවන් ගොවිකමෙන් ඈත්වෙන බවක් පෙනෙන්න තියෙනවා. මේ හැම දෙයක් ම වෙනස් වෙන්න ඕනෑ. තාරුණ්‍යයට අපමණ අගයක් කියන දේ පවා කාලානුරූපව වෙනස් වෙන්න ඕනෑ. හැම වෙලාවෙ ම තාරුණ්‍යයට ලබා දෙන අගයට නිසි තැන වටිනාකම ලබා දෙන්න ඕනෑ.

අපේ රට මැදි ආර්ථිකයක් තියෙන රටක්. මේ මැදි ආර්ථිකයට ගැලපෙන විදියට වෘත්තීය මට්ටම පවා වෙනස් වෙන්න ඕනෑ. ඒකට අවස්ථාව දෙන්න තමයි අපි මෙවර තේමාව පවා තාරුණ්‍ය මුල්කර ගෙන තිස්වැනි මහවැලි ක්‍රීඩා උලෙළ පවත්වන්නේ.

දශක තුනක ඉතිහාසයක් තිබෙන මේ තරගාවලිය දිහා හැරිලා බලන කොට මොනවාද හිතෙන්නේ?

ඇත්තට ම කනගාටුවක් තමයි තියෙන්නේ. මේ අතීතය දිහා බලනකොට මහවැලි ක්‍රීඩා උලෙළ ආරම්භ කරන කොට තිබුණු වුවමනාවන් වෙනස් වෙලා නෑ. අපි මේ තිස්වැනි තරගාවලියෙන් පස්සේ වෙනස් කරන්න බලනවා. පවතින කාලයට හරියන විදියට වෙනස් වෙන්න ඕනෑ. එහෙම නැතුව ගමනක් යන්න බෑ. හෙටට ඔබින විදියට මේ දූ දරුවන් වෙනස් කරන්න ඕනෑ. ක්‍රීඩා ඉසව්වල වෙනසක් නැ. ඒ වුණාට අපි එකම තැන පල්වෙලා මේ ගමන යන්න බෑ. ඒකට වෙනසක් ඕනෑ. අපි ඒ වෙනස කරන්න ලෑස්තියි.

කනගාටුයි කිව්වේ?

ශ්‍රියානි කුලවංශට මහවැලිය හරහා ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් වුණා. නමුත් ඒ ජයග්‍රාහි ගැම්ම ඉදිරියට ම පවත්වා ගෙන යන්න බැරි වීම තමයි කනගාටුව. අපි මෙය වෙනස් කරන්න ඕනෑ. ඒ දේ කරන්න පුළුවන්. ශ්‍රියානිට මහවැලිය හරහා ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් වුණා නම් අපට එතැනින් එහාට යන්න බැරිවීම ගැන තමයි කනගාටුව. අරමුණු පරමාර්ථ තිබුණට දක්ෂ‍ෙයා් හැලිලා තියෙනවා.

තරගාවලි අලුත් වුණාට මතු වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුරක්ෂිත වෙලා නෑ. සංචිතගත කිරීමක්, නිසි තෝරා ගැනීමක් සිද්ධ වෙලා නෑ. කොටින් ම මේ හරහා මතුව ආ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරය දක්වා ම ඇදගෙන යාමේ වැඩපිළිවෙළක් තිබිලා නෑ. එහෙම ගමනක් යන්න බෑ.

දිගුකාලීන සැලසුම් නැතිව අවුරුද්දකට එක සැරයක් තරගාවලියක් තියලා සතුටින් හරි අසතුටින් විසිරිලා ගිහින්. ඊළඟ අවුරුද්දේ ආයේ හම්බවෙලා තියෙනවා?

ඔව්. ඒ සිතුම් පැතුම් දියවි යන දිය වී ගිය මට්ටමක් තමයි තිබිලා තියෙන්නේ. දක්ෂයන් ඉදිරියට ගන්න තිබුණු අවස්ථා පවා හුඟක් අතපසු කරලා තියෙනවා. මේ නිසා මහවැලි තරගාවලිය හරහා පවා මතුව ආ දක්ෂයන් හුඟක් වැළලිලා ගිහින්. මේවාට හරියට විසඳුම් තියෙන්න ඕනෑ.

පසුගිය වසරේ පැවැති තරගාවලිය අවසානයෙත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මහවැලි ක්‍රීඩා උලෙ‍ළේ දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ දක්ෂතා පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පහසුකම් සපයන්න කියලා. මෙහි ප්‍රගතිය කොහොමද?

ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමේ අරමුණ ඇතිව තමයි මේ තිස්වැනි තරගාවලියේ ඉඳලා අපි හුඟක් වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය කරන හැම පහසුකමක් ලබාදීලා ඔවුන්ගේ දක්ෂතා මේ තියෙන අඩියෙන් තව පියවරක් හරි උඩට ගන්න බලනවා. භෞතික පැත්තෙන් අවශ්‍ය මූලික දේවල් අප ලබා දෙනවා. ඒ වුණාට අපිත් දන්න දෙයක් තමයි ප්‍රායෝගික මට්ටමින් මේවා හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ක්‍රීඩා පුහුණුකරුවන්ගේ පහසුකම්වල ඉඳලා හැම දෙයක් ම මේ දක්ෂයන්ට ලබා දෙන්න ඕනෑ. තරගාවලියක් අවසානයේ බිහිවන දක්ෂයන් රැකගෙන ඉදිරියට යාමේ වැඩපිළිවෙළකට අත ගහලයි තියෙන්නේ.

දශක තුනක ඉතිහාසයේ බිහි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් අදටත් අප කතා කරන්නේ සංඛ්‍යාත්මකව ගතහොත් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසක්. මේ සමස්ත ක්‍රීඩාවේ අර්බුදවල ප්‍රතිඵලයක් ද?

ඇත්ත. දහඅට වැනි ආසියානු තරගාවලිය දිහා බලනකොට අප කොතැනද ඉන්නේ. අපේ බලාපොරොත්තු දවසින් දවස බිඳ වැටෙනවා. අපේ තාරුණ්‍යයේ අගයට නිසි වටිනාකමක් හම්බ වෙලා නෑ කියන එක පැහැදිලියිනේ. මේක ක්‍රීඩාවේ අර්බුදයක් විතරක් නෙවෙයි. කලාව පැත්තෙන් ගත්තත් සංස්කෘතිය පැත්තෙන් ගත්තත් මේ අර්බුදයට විසඳුම් දීලා නෑ. සාමූහික කණ්ඩායම් හැඟීම් නැති වෙලා ගිහින්. පරාර්ථකාමි වෙන්න ඕනෑ තැන්වල පවා ආත්මාර්ථකාමිත්වය නිසා විනාශ වෙලා.

ඉස්සර එහෙම නෑ. තමන්ගේ සහයෝගය රට වෙනුවෙන් දීපු අය හිටියා. දැන් එහෙම නෑ. අද රටේ ක්‍රිකට් උන්මාදයක් වගේ පැතිරිලා තියෙනවා. හැබැයි ටීම් එකට එකොළොස් දෙනයි. මලල ක්‍රීඩා ඉසව්වක් ගන්න. අද එයට කැපවෙන පිරිස කීයෙන් කීදෙනාද? අපේ පාපන්දු මීට දශක දෙකකට විතර කලින් ආසියාවේ හොඳ තැනක තිබුණා. අද අපේ පාපන්දු ආසියාවේ පවා යන එන මං නැති තැනකට වැටිලා. අපි පාපන්දු උගන්නපු රටවල් අපට වඩා ඉදිරියට ඇවිත්.

අද අපි ආසියානු තරගාවලියේ පදක්කම් දිනා ගන්නා නැති රටවල් දහයෙන් එකක් වෙලා. අපි හොඳට පුහුණුවීම් කළා ද? ඒවායේ ප්‍රතිඵල ගත්තද? අද මේවාට විසඳුම් නැති වෙලා තියෙනවා. කෝටි ගණන් වියදම් කරලා ලබා දුන් ලබා ගත් පුහුණුව නමට විතරද කියන ප්‍රශ්න අද මතුවෙලා.

මහවැලි ක්‍රීඩා උලළේ අර්බුද හඳුනාගෙන තියෙනවාද? විසඳුම මොකක්ද?

මේ තරගාවලිය හරහා විශේෂ ප්‍රතිලාභ කිහිපයක් ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි මේ තරගාවලිය හරහා මතුව එන දක්ෂයන්ට ඔවුන්ගේ ආර්ථික ගැටලුවලට විසඳුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

මෙවර තරගාවලියේ වඩාත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ආර්ථිකය ඉහළනංවා ගැනීමට ඕනෑ කරන පහසුකම් ලබා දීමයි මූලිකම අරමුණ විදියට දකින්නේ. ස්වයං රැකියාවකට අවශ්‍ය කරන පහසුකම් ලබාදීම වගේ දේවල්වලට මූලික තැන දෙනවා.

දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආර්ථික දුෂ්කරතා අමතක කරලා දාන තැනකට ඔවුන්ව ගෙන එන්න අපි සැලසුම් කරලා තියෙනවා.

අද දුවලා - පැනලා හෙට ඉඳලා ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට උත්තර දෙන්න උත්සහ කරනවා. අදටත් මහවැලි ක්‍රීඩා උලෙළේ සිද්ධ වෙන්නේ තරගාවලියකට එනවා ක්‍රීඩා කරනවා. විසිර යනවා. මේක අවුරුදු විසි නවයක් තිස්සේ පැවැති ක්‍රමය. මේ ඉතිහාසය වෙනස් කරන්න ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. මේ වෙනසේ ආරම්භය තිස්වැනි මහවැලි ක්‍රීඩා උලෙළින් ආරම්භ කරනවා. මහවැලිය නිදි නෑ. මොරගහකන්දෙන් පස්සේ ඇහැරිලා කියන පණිවුඩය තමයි මෙවර අපට මේ හරහා ගෙන යන්න තියෙන්නේ. මේ හැම දෙයක් ම ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනවා.

ඡායාරූපය - රංජිත් අසංක

Comments