නීතිය කෙලෙ­සී­මට සිවුර බල­ප­තක්ද? | සිළුමිණ

නීතිය කෙලෙ­සී­මට සිවුර බල­ප­තක්ද?

ගල­ගො­ඩ­අත්තේ ඥාණ­සාර භික්ෂුව අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ චෝද­නා­වට වර­ද­කරු වීමත් සමග සංඝ සමා­ජය පළ­මුව තැති ගත්තේය. දෙවැ­නිව සංඝ සමා­ජය හැසි­රෙන්න පට­න්ගත්තේ දණ්ඩෙන් පහර කෑ සර්ප­යකු මෙනි. පසු­ගි­යදා ජනා­ධි­ප­ති­ව­ර­යාට ලිපි­යක් යව­මින් සියම් මහා නිකායේ කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව පව­සන්නේ ඥාණ­සාර භික්ෂුව අධි­ක­ර­ණ­යේදී අප­හා­සා­ත්මක ලෙස හැසිරී ඇත්තේ පෞද්ග­ලික අර­මු­ණක් මුදුන් පත් කර­ගැ­නී­මට නොවන බවයි. රට වෙළා­ගෙන තිබූ කුරිරු යුද්ධ­යෙන් රට බේරා­ගත් හමුදා සාමා­ජි­ක­යන් වෙනු­වෙන් එම භික්ෂුව තුළ ඇති වූ අසී­මිත අනු­ක­ම්පාව නිසා එසේ හැසිරී ඇති බව එම සංඝ සභාවේ මත­යයි.

කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව පව­සන කාර­ණය සත්‍ය­යකි. ඥාණ­සාර භික්ෂුව අධි­ක­ර­ණ­යට අප­හාස කර­මින්, සාධා­ර­ණය ඉල්ලා ගිය කාන්තා­ව­කට තර්ජ­නය කිරීම පෞද්ග­ලික අව­ශ්‍ය­තා­වක් නොව, දේශ­පා­ලන අව­ශ්‍ය­තා­වක් මත සිදු කළ අප­රා­ධ­යකි. ඥාණ­සාර භික්ෂු­වට ඔහුගේ හැසි­රීම තුළ කිසි­විට පෞද්ග­ලික අව­ශ්‍යතා තිබූ බවක් දක්නට නොමැත. ඔහු හැම­වි­ටම හැසු­රුණේ කාගේ හෝ දේශ­පා­ලන අව­ශ්‍ය­තා­ව­ක­ටය. එනිසා ඔහු මුලදී සමා­ජයේ ගෞර­ව­ය­ටද ලක් විය. පසුව ඔහුට සිර දඬු­වම් විඳි­න්නට තරම්, කළ අප­රාධ හේතු­වීම උත්ප්‍රා­ස­ජ­න­කය.

වාර්තා වන පරිදි රහ­මෙර පානය කර වාහ­න­යක් පදවා වර­ද­ක­රු­වකු වීම ගල­ගො­ඩ­අත්තේ ඥාණ­සා­රහිමිගේ පළමු නීතිය කඩ කිරී­මයි. අන­තු­රුව ඔහු දක්ෂිණ අධි­වේගී මාර්ග­යෙන් පැමිණ කොට්ටාව පිට­වීම් දොර­ටුවේ දී පොලිස් නිල­ධා­රීන්ට තිර­ශ්චීන ලෙස තර්ජ­නය කර­මින් බැන වදින අව­ස්ථා­වක් අන්ත­ර්ජා­ලයේ පළ විය. ප්‍රවෘත්ති සාක­ච්ඡා­ව­කට කඩා­වැදී ප්‍රති­වා­දීන්ට මැර තර්ජන එල්ල කිරීම ඔහුගේ තවත් හැසි­රී­මකි. බර­ප­ත­ළම කරුණ වූයේ අලු­ත්ගම හා බේරු­වල ප්‍රදේශ කේන්ද්‍ර කර­ග­නි­මින් පැතිර ගිය වාර්ගික අර­ග­ල­ව­ලට ඔහුගේ හැසි­රීම වග­කිව යුතු වීමයි. එසේම මේ වසරේ මුලදී තෙල්දෙ­ණිය ප්‍රදේ­ශයේ පැතිර ගිය වාර්ගික කෝලා­හල පිටු­ප­සද ඔහු සිටි බවට චෝදනා එල්ල විය.

රට බේරා­ගත් හමුදා නිල­ධා­රීන් සම්බ­න්ධ­යෙන් ඇති කර­ගත් හැඟී­ම­කින් පවා රටේ නීතිය කඩ කර­න්නට කිසි­ව­කුට නොහැ­කිය. සිය­ල්ල­ට­මත් වඩා බෞද්ධ භික්ෂු­ව­කට විනය නීති කඩ කර­මින් මැර­යකු ලෙස හැසි­රෙන්න කොහෙත්ම නොහැ­කිය. පෞද්ග­ලික නොවන අව­ශ්‍ය­තා­වක් මත ඥාණ­සාරහිමියෝ හැසිරී ඇතැයි කීමෙන් හෝ ඔහු කළ අප­රා­ධ­මය වරද නිව­රද නොවේ. ඒ අර්ථ­යෙන් ඥාණ­සාර භික්ෂු­වගේ ගෞර­ව­නීය නොවන හැසි­රීම සාධා­ර­ණී­ක­ර­ණය කිරීම සඳහා සංඝ සභාව යොදා­ගන්නේ අතා­ර්කික උප­ක්‍ර­ම­යකි.

ඥාණ­සාර භික්ෂුව කල්පනා කළේ සිවු­රට මුවා වී තමන්ගේ සියලු දේශ­පා­ලන අර­මුණු ඉටු කර­ග­න්න­ටය. එහෙත් කොට්ටෝ­රුවා අව­සා­නයේ කෙසෙල් ගහට ඇන හොට පට­ල­වා­ග­ත්තේය. කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව දැන් උත්සාහ ගන්නේ හොට පට­ල­වා­ග­ත්තකු බේරා­ගැ­නී­ම­ටය. එහෙත් ඥාණ­සාර භික්ෂුව අප­රා­ධ­මය වරද කළ කිසිම අව­ස්ථා­වක ඔහුව වර­දින් මුදා­ගැ­නී­මට සංඝ සභාව කිසි විට මැදි­හත් නොවීය. සන්ධ්‍යා එක්නැ­ලි­ගොඩ පව­සන පරිදි ඈට ඥාණ­සාර භික්ෂුව විසින් අධි­ක­ර­ණ­යේදී අප­හාස කළ විට කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑ­පානේ ධම්මා­ලං­කාර හිමි හමු වන්නට ඈ ගොස් ඇත. එසේ හමු වී අදාළ ප්‍රශ්නය පවසා ඊට මැදි­හත් වන ලෙස පවසා ඇතත් උන් වහන්සේ මුනි­වත රැක තිබේ.

ඇතැම් භික්ෂූන් කල්පනා කරන්නේ තමන් සිවු­රක් ඇඳි පළි­යට ඕනෑම වර­දක් කිරී­මට තමන්ට බල­ප­ත්‍ර­යක් ලැබී ඇති බවයි. තම නිකා­ය­වල භික්ෂූන් පක්ෂ දේශ­පා­ලන අව­ශ්‍යතා ඉටු කර­මින් වර­දෙහි යෙදෙන විට නිහ­ඬව සිටින නිකාය කාරක සංඝ සභා ඒ වරද අධි­ක­ර­ණය ඉදි­රියේ විභා­ග­ය­කට ලක් කර දඬු­වම් නියම වූ පසු බෞද්ධ භික්ෂු සිවුර සංකේ­තා­ත්ම­කව උත්ක­ර්ෂ­යට නැංවීම අර්ථ ගැන්විය යුත්තේ කෙසේද?

 

- අබ­රන්

Comments